කුමා­ර­ගම කවියා එන­ තුරු ගල­කුත් අතේ තියන් මං බලන් ඉන්නවා | සිළුමිණ

කුමා­ර­ගම කවියා එන­ තුරු ගල­කුත් අතේ තියන් මං බලන් ඉන්නවා

කොළඹ යුගයේ විශිෂ්ට කවි­යෙකු වූ විම­ල­රත්න කුමා­ර­ගම කවි­යාගේ කවි පන්ති අතර හමු­වන ‘මායා’ සැබෑ ලොව සැබෑ චරි­ත­යක් බව දන්නෝ ඉතා අල්පය. කුමා­ර­ගම කවියා ලියු බොහෝ කවි­ව­ලට ඔහුගේ හිත ඇදී බැඳී ගිය මේ දිය­ණිය ‘මායා’ ප්‍රස්තුත විය. විම­ල­රත්න කුමා­ර­ග­ම­යන් ‍ගේ කවී­ත්ව­යට පෙම්බැඳි උද­වි­යට හා ඔහුට ඇලුම් කරන එම කව් කියවා ඇති රසික ඔබ මේ මායා කවු­දැයි නොද­න්නවා විය හැකියි. ‘මායා’ යනු කුමා­ර­ග­ම­යන් ගේ කවි නිර්මා­ණ­ව­ලට නිමිති වූ සැබෑ චරි­ත­යකි. ප්‍රවීණ කිවි­වර ඩී.ටී.මල්ල­ව­යන්ගේ දිය­ණිය වන එදා හත් හැවි­රිදි මායා අද හැත්තෑ වියැති මිත්ත­ණි­යකි. මේ අපූ­ර්ව­ත්ව­යෙන් යුතු ‘මායා’ සොයා සිළු­මිණ ඇගේ නිවෙ­සට පසු­ගිය දිනෙක ගොඩ වැදුණේ විම­ල­රත්න කුමා­ර­ග­ම­යන් හා ඇය ගෙවූ ළමා වියේ රස­මුසු තැන්, අත්දැ­කීම් ඔබ වෙත ගෙන ඒමේ අර­මු­ණෙනි. මේ ‘මායා’ ගේ කතා­වයි.

මායා කුමා­ර­ගම කවියා වෙත ලියූ කව­කට කවි­යෙන්ම පිළි­තුරු ලබයි.

ඔබෙ කවිය හරි හොඳයි
ලියු­මක් ද ඒ වගෙයි
කිව යුත්තෙ මතු ඔබත්...
කිවි­ඳි­යක වන වගයි...
මෙහි සිට එන විට කාරෙක බැලුවා
හරි ගස්ස­න්නට කල් යනු දුටුවා
කයි නාවේ ගිය සති අන්තේ
ළඟ­දීම එමි දන්වා ඔය පැත්තේ...
ඔබ­හට මෙන් මට නිද­හස නැත්තේ
ඇති නම් මා ඔහි හැම­දම ඇත්තේ...
අම්මට තාත්ත ට
අයියා හට ද අක්කට
නංගිට ද බැළලි ට
අනේ රිද­වනු එපා කිසි­විට
රඹු­ටන් ගහේ ගෙඩි රන් පෑ ගැහුණා ද?
මට මෙන් තාත්තට අම්මට දුන්නා ද?
‘චුූටි’ ගෙ පූසි තව ගස් උඩ නගි­න­වද ?
මා මගෙ දුවට එවු ලිය­මන හොඳ නේද?
කාරෙක නැති නිසා එන්නට බැරිය දුවේ
ඔබ දැක­ගන්ට බැරි‍ෙ­යන් හද­වත ද දැවේ
ඔබේ ගත සිත හොඳට හොඳ පිළි­වෙ­ළට වැඩේ
ජීව­ත්වනු මැනවි මවු­පිය අදර සුවේ.
මගෙ දුව ‘මායා’
ලස්සන හඳකි පායා
ලස්සන රකිනු ඇත...
මගේ දිය­ණිය රසික ‘මායා’
මෙහෙ දැන් මහ වැසි හොඳට වහි­නවා
සීතල හින්දා ගිනි ද තපි­නවා
මගෙ බල්ලන් ඇඳ ළඟ කැර­කෙ­නවා
අහ අට වැනි දා හව­සට එනවා...

• මුලින්ම ඔබ ගැන දැන­ ගන්න කැමැ­තියි?

මම ‘මායා.’ මම උපන්නේ 1949 දී. ඩී.ටී.මල්ලව කවියා තමයි මගේ පියා. ඔහු කොළඹ යුගයේ දෙවැනි පර­පුර නියෝ­ජ­නය කළ කවි­යෙක් මට ‘මායා’ කියල තමයි ගෙද­රට කියන්නේ නෑදෑයො, හිත­ව­තුන් හැම­දෙ­නාම මා දන්නේ ‘මායා’ නමින් මොකද ඒ කාලේ අපේ සැබෑ නම් ගමට එළි­වෙ­න­වට මවු­පි­යන් කැමැති වුණේ නැහැ. මොකද ඒ නම් ගමේ වෙන අයට තියාවි කියලා.

• එත­කොට ‘මායා’ ඔබේ සැබෑ නම නෙවෙයි?

නැහැ. මගෙ සැබෑ නම අංජලී කාන්ති­මතී මල්ලව. දැන් කාලේ ඇහෙන නමක් වගේ තරු­ණයි නේද? (ඇය සිනා­සෙයි) තාත්තා කවි­යෙක් හින්දා ලස්සන නමක් මට දාන්න ඇති.

• විම­ල­රත්න කුමා­ර­ගම­යන් ගේ කවි­ව­ලට ඔබ නිමිති වුණා?

ඔව්. එතු­මන් අපේ පවු­ලට ඉතාම සමීප කවි­යෙක්. නිත­රම අපේ ගෙදර ආවා ගියා. මගේ මවු­පි­යන් හා ඔහු අතර ඉතාම කුලු­පග මිතු­රු­ද­මක් තිබුණා. ඒ වගේම මගේ අක්කා - යමුනා, අයියා - පාලිත, මම - මායා හා නංගී - චූටි අපි හතර දෙනා සමඟ ඉතාම සමීප බවක් අංකල්ට තිබුණා. එතු­මන් අපේ නෑයො නෙමෙයි. නෑදෑ­යෙ­කුට වඩා වැඩි බැඳී­මක් ඔහු කෙරෙහි අපට තිබුණා.

• ඔබේ පවුලේ තොර­තුරු?

අම්මයි, තාත්තයි, අක්කයි, අයි­යයි, මමයි, නංගියි අපි හය දෙනා තමයි ගෙදර හිටියේ. අපේ ගම් ප්‍රදේ­ශය කෑගල්ල, වැලි­ම­නා­තොට. මගේ තාත්තා කවි­යෙක් වුණත් ඔහු වෘත්ති­යෙන් කෑගල්ල කච්චේ­රියේ ලිපි­ක­රු­වෙක්. මගේ මවත් රැකි­යා­වක් කළා. අපි පදිංචි වෙලා උන්නේ කෑගල්ල රජයේ නිවා­ස­ව­ලයි.

• ගෙදර කවි­යට තිබුණු ඉඩ­කඩ මත­කද?

අපේ ගෙදර හැම­දා­මත් කවී­න්ගෙන් පිරුණු තැනක්. තාත්තා, අම්මා, නැන්දා මේ හැම­දෙ­නා­ටම හොඳින් කවි ලියන්න, කවි කියන්න හැකි­යාව තිබුණා. ඒ නිසාම දෝ කවි­යෙක් නැති දව­සක් අපේ ගෙදර තිබුණෙ නැහැ. හැම­දාම කවීන් ආවා ගියා. ගැව­සුණා.

• නිතර ආ ගිය කවීන් කවු­රුන්ද?

විම­ල­රත්න කුමා­ර­ගම, එච්. එම්. කුඩ­ලි­ගම, උඳු­ගොඩ නව­රත්න, මාක­ඳුරේ ගුණ­ව­ර්ධන, බැන්ටිස් රණ­වීර, පල­න්සු­රිය, පී. බී. අල්විස් පෙරේරා. වගේ කවීන් නිත­රම ආවා. ඒ අය නුවර යන ගමන් හරි කොළ­ඹට එන ගමන් හරි කෑගල්ලේ අපේ ගෙද­රට ගොඩ­වැ­දිලා කාලා බීලා යන්න අම­තක කළේ නැහැ. අපේ අම්මත් ඕනම වෙලා­වක ඒ අයට සංග්‍රහ කර­න්නට ලැහැස්ති පිට තමයි හිටියේ.

• එත­කොට විම­ල­රත්න කුමා­ර­ගම කවියා විශේෂ වන්නේ?

කුමා­ර­ගම අංකල් තමයි වැඩි­පු­රම අපේ ගෙර­දට ආව ගිය කවියා. අපි පුරු­දු­වෙලා හිටියා ජාතික ඇඳුම ඇද­ගෙන එන අය මාමා ලෙසත් කලි­සම් කෝට් ඇදලා එන අය අංකල් ලෙසත් හඳු­න්වන්න. ඒ නිසා කුමා­ර­ගම අංකල් කියලා තමයි අපි එතු­මාට කතා කළේ මොකද ඔහු ඇන්දේ කලි­සම, කමී­සය, කෝට් එක.

• ඔහු මොන­වගේ කෙනෙක් ද?

කුමා­ර­ගම අංකල්ව මම දකින කොට මට අවු­රුදු හතක් අටක් විතර ඇති. එතු­මන් හරිම ලස්සන මනු­ස්ස­යෙක් සුදුයි හරි ලස්ස­නයි. හරිම ප්‍රතා­ප­වත් පාටයි. ඔහු විවාහ වී සිටියේ නැහැ. දරු­වන්ට නම් පුදු­මා­කාර ආද­ර­යක් දැක්වුවා. ඒකට සාක්ෂි තමයි අපි හතර දෙනා. අ‍පේ ගෙදර හැම සති අන්තෙ­කම වගේ එනවා.

මට මත­කයි ඔහුගේ කාර් එක එන තෙත් මම ගෙදර බංකු­වක් තියා­ගෙන ගල­කුත් අතට අර­ගෙන ඉඳ­ගෙන ඉන්නවා. ඒ කාර් එකේ රෝදේ අඩ­යට තියන්න...

ඉතින්, ඔහු ගෙද­රට ආවට පස්සේ මාව වඩා­ගෙන නිතර හුර­තල් කර­නවා. මා ලව්වා කවි කිය­ව­නවා. ඔහු හා ගෙවුණු අතී­තය හීන­යක් වගේ තවම මත­කයි.

• ඒ ගැනත් කතා කරමු?

කුමා­ර­ගම අංකල් ආපු දව‍සට අපේ ගෙදර රසම රස සාග­ර­යක් වගේ. ඒ ගැන කියලා වැඩක් නැහැ. මතක් කළත් සතු­ටක් දැනෙ­නවා. අපි ගෙවූ අතී­තය අද කාලේ දරු­වෙ­කුට හිත­න්න­වත් බැහැ. (ඇගේ දෙනෙත් කඳු­ළ­කින් බොඳ­වෙයි.) අපේ ගෙද­රට එන කවියො ටික එකතු වෙලා පොඩි අඩි­යක් ගහලා කවි කිය­නවා. හරි­යට සතුටු වෙනවා. පුංචි මං ලව්වත් කවි කිය­ව­නවා. ඒ අය අඩි­යක් ගැහු­වට අද කාලෙ වගේ නෙමෙයි. කාට­වත්ම කර­ද­ර­යක් නැහැ. බොහොම අහිං­සක සතු­ටක් වින්දේ. ඒ අය කතා­බහ කළේ කවිය, සාහි­ත්‍යය ගැන. මේ නිසා පුංචි අපේ හිත්ව­ලත් කලා­වට විශාල ඇල්මක් ඇති වුණා.

• ඔබත් කවි ලිව්වා ද?

මමත් ඉස්සර පුංචිකමට කවි ලිය­නවා. කවි ගය­නවා. මම ඉස්ස­රෝම කවි­යක් ලියපු දවස මට අද වගේ මත­කයි. කුමා­ර­ගම අංකල් මාව වඩා­ගෙන මගේ තාත්තාට කිව්වා. ‘මල්ලව උඹ හරි වාස­නා­ව­න්තයි’ කියලා. මොකද මගේ කවි­යට කුඩා කල සිටම තිබූ දක්ෂ­තාව නිසා අංකල්ට සතුටු හිතිලා මට තෑගිත් ගෙනත් දුන්නා. ඩික්ෂ­නරි එකක් තමයි මට ලැබුණු තෑග්ග. අනෙක මම පාසලේ දී පවා කවි තර­ග­ව­ලින් ජය­ග්‍ර­හ­ණය කළා. මට මත­කයි මම පොඩි කාලෙ තාත්තගෙ අතේ එල්ලිලා කොළඹ තරුණ කවි සමා­ජ­යට යනවා. මට ඕන වුණේ ඒ කාලෙ ප්‍රසිද්ධ කවියෝ දැක බලා ගන්න.

• කුමා­ර­ගම කවි­යාගේ කවී­ත්වය ගැන කතා කළොත් ?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පුදු­මා­කාර හැකි­යා­වක් එතු­මාට තිබුණා. මගේ තාත්තගේ කවි­ව­ල­ටත් වඩා මම හුඟක් ආස කරන්නේ කුමා­ර­ග­මගේ අංකල් ගේ කවි­ව­ලට. ඒ අත­රින් ‘අයි­ය­නා­යක’ කවි පන්ති­යට මම හුඟක්ම කැම­තියි. කුමා­ර­ගම අංකල් ප්‍රසිද්ධ කවි­යෙක් වුණාට වෘත්ති­යෙන් ඩී.ආර්.ඕ. කෙනෙක් ඔහු සේවය කළේ සංගි­ලි­පා­ලමේ නාර­ම්ප­නාවේ. අපි නිවාඩු කාල­යට නාර­ම්ප­නාවේ නව­තින්න යනවා. ඔහු මේ ප්‍ර‍දේශ­වල ජීවත් වූ දුක්වි­ඳින ගැමි­යන් ගැන, සතා සිවු­පාවා ගැන හරි­යට දුක් වුණා. ඒවා තමයි ඔහුගේ අතින් කවි නිර්මාණ බවට පත් වුණේ.

මට මත­කයි අපි එහෙ ගිහින් ඉන්න එක වෙලා­වක ඉතාම වය­සක අම්මා කෙනෙක් ආවා. ඒ අංකල්ට කියලා පින් පඩිය හදවා ගන්න. ඒත් ඒ වෙන­කොට පින් පඩිය දෙන්නේ නැහැ. ඇගේ දුක් ගැන­විල්ල අහලා අංකල් ඇඬුවා මොකද අංකල් ඩී.ආර්.ඕ. වුණත්, ඔහුට පින්ප­ඩිය හදවා දෙන්න පුළු­වන් කමක් තිබුණෙ නැහැ. ඒ ආච්චි යන්න ගියා. මඟක් දුර යන විට මගේ අතට අංකල් සල්ලි දීලා කිව්වා දුවලා ගිහින් මේ මුදල ඇයට දෙන්න කියලා. ඒ වගේ සංවේදී හද­ව­තක් තමයි කුමා­ර­ගම අංකල්ට ති‍බුණේ.

• ඒ වගේම ඔහු සතා සිවු­පා­ව­ටත් ආද­රය කළා?

අංකල්ගෙ නිල නිව‍ාසෙ හැම­තැ­නම හුඟක් සතුන් හිටියා. ගේ ඇතුළේ වැල් ගිහිල්ලා ඒවායේ කූඩු හදා­ගෙන කුරුල්ලෝ හිටියා බල්ලො, පූසො සත්තු හිටියා උන්ට කන්න දෙන එක­මයි වැඩේ ඔහුට අත් උද­ව්ක­රු­වන් දෙන්නෙක් හිටියා. උයන්න හිටියේ රංහාමි. රංහා­මිට නින්ද ගියොත් වැඩ අත­පසු වුණොත් කව­දා­වත් අංකල් කෑග­හ­නව, බැණ වදි­නව අපි දැකල නැහැ. හරිම නිවුණු කෙනෙක්.

• ඔබත් කුමා­ර­ගම කවි­යාගේ කවි­ව­ලට නිමිති වෙනවා.?

කුමා­ර­ග­ම­යන් ලියූ කවි පොත් කියෙව්වා නම් ඔබට “මායා” ගැන දැන­ගන්න පුළු­වන් එතු­මන් ගේ “නොපළ කවි” පොත කියෙ­ව්වාම ‘මායා’ ගැන කවි බොහො­ම­යක් ලියැ­විලා ඇති. මම ලියු­මක් ඔහුට තැපැල් කළාම ඔහුත් ලිපි­යක් එව­නවා. මම විත­රක් නෙමෙයි අක්කා, අයියා, නංගි අපි හතර දෙනාම ඔහුට ලිපි ලිය­නවා. මම තමයි ගෙදර දඟ­කා­රම ගෙදර වෙන හැම­දේම මම ලියලා අරි­නවා. අක්කා, අයියා එක්ක සණ්ඩු කළත් ඔවුන් මට තර­වටු කළත් මම ඒ හැම­දේම අංකල්ට ලියලා අරි­නවා. කවිත් ලියලා අරි­නවා. මේවාට උත්තර කවි­යෙන්ම ඔහු අපිට ලියලා එව­නවා. ඔහු අපේ ගෙදර එනවා නම් අපිට ටෙලි­ග්රෑම් එකක් එව­නවා.

• ඔහු එන දව­සට ඔබලා මොකද කරන්නේ?

අපිත් කවි ලියා­ගෙන ඔහු එන­තුරු මඟ බලා ඉන්නවා. අම්මා අංකල්ට මස් මාළු එක්ක හොඳ කෑම වේලක් හදලා තියෙ­නවා. අංකල් කෑමට වාඩි­වෙද්දී මමත් පුංචි­ක­මට අංකල්ගේ එහා පැත්තෙන් වාඩි­වෙ­නවා. ඔහු බත් බෙදා­ගෙන එක මාළු­වක් එක්ක තමයි මුලින්ම කන්නේ. මටත් ඒ විදි­ය­ටම බෙද­නවා. සම­හර වෙලා­වට මම කන්න කැමැති නැති එළ­ව­ළුත් බෙද­නවා. ඒ වෙලා­වට මම ඒවා කන්නෙ නැතුව ගිලි­නවා. කොහොම හරි අංකල් තමයි අපිට කෑම කන්න උග­න්වන්නේ මෙහෙ­මයි කන්න ඕන කියලා ඒ ව­ගේම මට මත­කයි මට පොල්ගාන හැටි පවා දව­සක් කියලා දුන්නේ අංකල්. ඒ විදි­යට පුංචි අපේ අඩු­පාඩුකම් පවා අංකල් හැඳුවා.

• ඔහු ඔබට පාස­ල­ටත් කවි ලියා එව­නවා නේද?

මම ඉගෙන ගත්තේ කෑගල්ල බාලිකා විදු­හලේ මගේ උප­න්දි­න­යට මම අංකල්ට කිය­නවා පාස­ලට සුබ පැතුම් පතක් එවන්න කියලා. ලස්සන කවි­යක් ලියලා මට සුබ පතලා පාස­ලට පෝස්ට් කාඩ් එකක් එව­නවා. එවන්නේ විදු­හ­ල්ප­ති­තු­මිය අතට ඉතින් ප්‍රින්සි­පල් මැඩම් අනුලා උදු­ලා­ගම මහ­ත්මිය මට කතා කරලා විම­ල­රත්න අංකල් ගැන අහලා බොහොම සතු­ටින් සුබ­පැ­තු­ම්පත මට දෙනවා. ඉතින් මට හරිම සතු­ටුයි.

• කුමා­ර­ග­ම­යන් දරු­වන්ට හුඟක් ආද­රෙයි වගේ?

ඔව්. අපි පදිං­චි­වෙලා හිටියේ රජයේ නිවා­ස­වල. එහෙ එක එක ජාතීන්ට අයත්, විවිධ ආගම් අද­හන අයත් අපි හිටපු නිවා­ස­වල ජීවත් වුණා. මේ හැම­ගෙ­ද­ර­කම වගේ ළමයි අපේ ගෙදර ඇවිත් සෙල්ලම් කර­නවා. සෙල්ලම් ගෙවල් හද­නවා. මේ දේවල් දිහා අංකල් හොරෙන් බලා ඉන්නවා අපි කියන කරන ඒවාට කන්දී­ගෙන ඉන්නේ. පස්සේ සෙල්ලම් ගෙද­රට නෑයො එනව වගේ අංකල් අපේ සෙල්ලම් බත් කනවා. අපිත් එක්ක සෙල්ලම් කර­නවා. අපේ එක­මුතු කමට අංකල් හරි ආසයි. මම තමයි ගෙද­රින්ම ටිකක් දඟ. ඒ නිසා නි­තරම අව­වාද දෙනවා. ලියු­මක් එව්වත් දඟ වැඩ කරන්න එපා හොඳ වැඩ කරන්න කියලා අව­වාද දෙනවා.

• කුමා­ර­ගම කවි­යාගේ අව­සන් කාලය ඔබට මත­කද?

ඔව්. අංකල් හරි­යට අඩි ගහ­නවා. ඒත් කාට­වත් හිංසා­වක් කර­ද­ර­යක් නැහැ. මට මත­කයි අංකල්ට ලේ වම­නය වෙන්න අරන් රෝහල්ගත කර හිටියා. රෝහ­ල­ටත් මම ගියා ඔහුව බල­න්නට. අන්ති­මේදී අවු­රුදු හත­ළිස් ගණ­න­කදී ඉතාම අඩු වය­ස­කින් අංකල් මිය ගියා. ඔහුගේ අව­සන් කට­යුතු සිදු වුණේ නාර­ම්ප­නා­වේදී අපේ පවුලේ හැම දෙනාම එයට සහ­භාගී වුණා. මගේ ජීවිතේ මම දැකපු කවි­යන් අත­රින් හොඳම චරි­ත­යක් තමයි කුමා­ර­ගම අංකල් ඒ වගේ කරු­ණා­වන්ත, නිහ­ත­මානී, සරල මනු­ස්ස­යෙක් අඩු වය­සින් මිය ගියා කියන්නේ ඒක ලොකු පාඩු­වක්. ඔහු මිය ගියාට පසු ඔහු ගැන ඔහු ලියපු කවි එකතු කරලා මගේ පියා සහ හල්දුම්මු‍ල්ලේ සිරි­ව­ර්ධන ‘විම­ල­රත්න කුමා­ර­ගම නොපළ කවි’ නමින් පොතක් කළා. ඒ වගේම පී.බී. අල්විස් පෙරේරා කවි­යත් ඔහු ගැන පොතක් රචනා කළා. ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම මගේ පිනක් ලෙසයි හැම­දා­මත් මට හිතෙන්නේ.

Comments