
කලාවැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතුසේන රජ සමයේ ඉදිකළ පුරාණ යෝධ ඇළ යනු පරිසර හිතකාමී වාරි ව්‍යාපෘතියක් සඳහා හොඳ උදාහරණයකි. මේ ලිපිය වසර එක්දහස් පන්සියයකට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවිතවල අසිරිය දකිමින්, ඔවුනගේ ජන ජීවිතය, සංස්කෘතික බැඳීම්, පාරිසරික සබඳතා සහ නව ප්රවණතා සාකච්ඡා කෙරෙන සංචාරක ලිපි පෙළක සිව් වැන්නයි.
යෝධ ඇළේ බැම්ම දිගේ යන්නට අප තෝරාගත් ප්‍රවාහන මාධ්‍ය වූයේ පාපැදියයි. ලොකු වේගයකුත්, අවධානමකුත් නොමැති නිසා වට පිට බලමින් නිදහසේ වගතුග විමසමින් යන ගමනකට පාපැදිය පිටිවහළකි. ජලය සහ කෙටි ආහාරද, අත්‍යාවශ්‍ය ඖෂධ ස්වල්පයක්ද, අමතර ඇඳුමක්ද සහිත බෑගයකුත්, අඟලේ සිතියම සහිත විශේෂ ඇසුරුමක්ද, කැමරාද කරේ එල්ලාගෙන නිවී සැනසිල්ලේ යන මේ ගමන මටත් චතුරටත් අපූරු අත්දැකීමකි.
කලාවැව මංසන්ධිය පසුකළ පසු යෝධ ඇළ බැම්ම යළිත් සන්සුන්ය… ඉවුරු තලා අතර පියඹා යන පිළිහුඩුවෙකු, දිය දෙබෑ කරමින් පිහිනා යන කබරගොයකු ආගන්තුක අප දෙස තව තවත් විමසිලිමත් වෙද්දී, නාන තොටුපොළක දිය නාන තරුණියන් කිහිප දෙනෙකු අපේ නෙත් මානයෙන් මඟ හරින්නට උත්සාහ දරන්නේ ලැජ්ජාවෙනි.
යෝධ ඇළේ බැම්මට ඉහත්තාවෙන්, මදින් මද උස්ව ඇසෙන යන්ත්‍ර ක්‍රියාකරවන හඬකි. එය මහා පරිමාණ යාන්ත්‍රික වී මෝලකි. ප්‍රදේශයේ දේශපාලකයෙකුද වන මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් එහි දෛනිකව වී සැකසුම් කාර්යය සිදුකෙරේ. යෝධ ඇළේ ආරම්භයෙන් කිලෝමීටරයකටත් අඩු දුරකදි හමුවන මේ වී මෝල පිහිටා ඇත්තේ යෝධ ඇළේ ඉහත්තාවෙන් නිසා සමස්ත යෝධ ඇළටම බලපාන පාරිසරික ගැටලුවක් ආරම්භ වන බව සඳහන් කරන්නේ ජාති භේදයකින් තොරව දෙපාර්ශ්වයේම ගොවීන්ය.
“වී කොටන්න කලින් වතුර ටැංකිවල දාලා පල් කරනවා… ඊට පස්සේ තමයි වී කොටන්නේ. කෙටුවහම එකතු වෙන දහයියා පොතු ගිනි තියලා අළු විදියට ඉවත දානවා. වී පල්කරන වතුරත් ඉවත දානවා. මේ දෙකම එකතු වෙන්නේ යෝධ ඇළට… ඇත්තටම කිව්වොත් හිතාමතාම එකතු කරනවා... ප්‍රමිතියෙන් යුතු කර්මාන්තශාලාවක නම් මේ අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකට ඉවත් කරන්න ඕන. ඒත් මෙතන එහෙම වෙන්නේ නෑ…”
“මේ අපද්‍රව්‍ය එකතු වුණහම දවසක් විතර යනකම් නාන්නවත් ඇළට බහින්න බෑ… ඇඟ කසනවා… වතුර ගඳයි… සතෙක්වත් බොන්නේ නෑ…”
මේ ගැටලුව අදාළ ව්‍යාපාරිකයා හැර සෑම ගම්වැසියෙකුටම දැනුණද ව්‍යාපාරිකයාගේ සිවිල් බලයත්, දේශපාලන සබඳතාත් නිසා ඔහුට විරුද්ධව පෞද්ගලිකව පැමිණිලි කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. පසුව අපට හමුවූ අමණක්කට්ටුව ගොවි සමිතියේ ලේකම් හිමංසු බණ්ඩාර ඇටිපොළ මහතා ගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ දිගින් දිගටම ගොවි සමිති හා සංවිධාන මඟින් කළ දැනුම්දීම්වලට අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳ දිගින් දිගටම මැදිහත් වන බවයි.
යෝධ ඇළ දිගේ තවත් කිලෝමීටරයක් පමණ යද්දී ඇළට ඔබ්බෙන් නැඟීසිටින ශිඛර දෙකකින් යුතු කන්දකි. වහ වහා අඟලේ සිතියම ගෙන වඩාත් හොඳින් පරික්ෂා කළේ කඳුගැටය හඳුනාගනු පිණිසය. සිතියමට අනුව අප දැන් සිටින්නේ විජිතපුර විහාරය අසලය. පසුබිමෙන් පෙනෙනුයේ විජිතපුර කන්දයි. එහි උස් ශිඛරය දහයියාගලයි.
අපි ආසන්නතම පාලමකින් එතෙරව විජිතපුර රජමහා විහාරය වෙත ගියෙමු. අප එහි යන විට ඉරුදින දහම් පාසල අහවර වූවා පමණි. විහාරාධිකාරී පල්ලේහිඟුරේ වජිරඥාන හිමියෝ එහි වැඩ සිටියහ.
“ඉස්සර යෝධ ඇළට මුහුණලා තමයි පන්සල තිබ්බේ… යෝධ ඇළේ බැම්ම දිගේ ඇවිල්ලා තමයි පන්සලට ගොඩවුණේ… සුද්දා පාර කැපුවේ විහාරය පිටිපස්සෙන්, පන්සල් බිම දෙකඩ කරගෙන. මෙතැන එළාර රජතුමාගේ බළකොටුවක් තිබුණු තැනක්. හැබැයි ඒක ප්‍රධාන විජිතපුර බළකොටුවද, අතුරු බළකොටුවක්ද කියන එක විවාදයක්… ඒත් බළකොටුවක්, සංඝාවාසයක්, ආරාම සංකීර්ණයක් විදියට අතීතයේ වරින් වර යුගවලදී විජිතපුර විහාරය වැදගත්වෙලා තියෙනවා…”
සුවිසල් බෝ රුකක්, රුවන්වැලි සෑයේ හැඩයට සමාන නමුත් ප්‍රමාණයෙන් කුඩා චෛත්‍යයක්, මෑතදි ඉදිකළ බුදු මැදුරක්, ධර්ම ශාලාවක්, දේවාල සංකිර්ණයක්ද ඇති විජිතපුර විහාරයේ පැරණි ගොඩනැගිලි නටඹුන් රාශියක්ද හඳුනාගත හැකිය. නිරන්තරයෙන් වන්දනාකරුවන් පැමිණෙන ජනාකීර්ණ විහාරයක් වන එහි අප යනවිටද වන්දනාකරුවෝ සියයකට ආසන්න පිරිසක් ආගමික වතාවත් වල නියැළී සිටියහ.
“රටේ සශ්‍රීකත්වය නිරූපණය කරන්න තමයි දුටුගැමුණු රජජුරුවෝ ස්වර්ණමාලි සෑය බැන්දේ…යුද්දෙට ගිහින් මැරුණු ආබාධිත වුණු සිංහල දෙමළ මිනිස්සුන්ගෙනුත්, විනාශ වුණු වැව්, අමුණු, කුඹුරු වගේ දේපළ වෙනුවෙනුත් ජාතියෙන් සමාව ගන්න තමයි මේ චෛත්‍යය හැදුවේ… මෙතැන විහාරයක් හැදෙන්න කලින් බහිරව ඇදහිල්ල කෙරුණු තැනක් විදියටත් විශ්වාස කරනවා… දුටුගැමුණු රජ සමයට පෙර අවධියේ නිර්මාණය වුණ බවට විශ්වාස කෙරෙන සඳකඩ පහන්, මුරගල් මේ බිමේ දකින්න පුළුවන්… ඉසුරුමුණියෙත්, විජිතපුරයෙත් විතරයි බහිරව රූප සහිත මුරගල් දකින්න පුළුවන්…”
අරාම සංකීර්ණයේ නටඹුන් මැදින් උන්වහන්සේ අප කැඳවාගෙන ගියේ පැරණි විහාර ගෙය දෙසටය. මහනුවර යුගයේ ඉදිකිරීමක් යැයි විශ්වාස කරන එම විහාර ගෙය දැන් අතහැර දමා ඇත. ඒ අසලම පැරණි කැසිකිළිගල් ගණනාවකි. රජ සමයේ ඉදිකළ පැරණි ළිඳකි.
“වන්දනාකාරයෝ අතර මේ විහාරය ජනප්‍රිය කඩු ගෑ ගල නිසා…එළාර දුටුගැමුණු යුද්ධයට යන්න සෙබළු කඩු මුවත් තියලා තියෙන්නේ ඒ ගලේ අතුල්ලලා…”
අඩි හයක් පමණ දිග කඩු ගෑ ගල පළලින් අඩි එක හමාරක් පමණ වේ. එහි මතුපිට ගෙවී ගොස් සුමටව ඇත්තේ කඩු මුවහත් තැබූ නිසා යැයි විශ්වාස කෙරේ. වෙනත් ස්ථානයක සිට විහාර භූමියට රැගෙන එන්නට ඇතැයි සිතිය හැකි එම ගල් පතුර දැන් ප්‍රදර්ශනයට තබා ඇත්තේ ලෝහමය වැටකින් ආවරණය කරන ලද ස්ථානයකය.
මහානාම හිමියන් යනු දේශීය ඉතිහාසයේ මිහිඳු හිමියන් ට පසු හමුවන වැදගත්ම භික්ෂු චරිතයයි. අනාගත පරපුරට දැනගැනීම පිණිස විවිධ මූලාශ්‍රවලින් ලබාගත් සංක්ෂිප්ත අතීතය අඛණ්ඩව ගලා යන පරිදි ලිඛිතව සටහන් කොට තැබීම ඇරඹුවේ උන්වහන්සේය. අද අප මූලාශ්‍ර ලෙස ගන්නා ‘මහාවංශය’උන්වහන්සේය. ඥාතීත්වයෙන් ධාතුසේන රජුගේ මවගේ සොහොයුරා වන උන්වහන්සේට ධාතුසේන රජුගේ පුත් මුගලන් කුමරු විසින් සීගිරියට සමිපව විහාරයක් පූජා කරන බව ඉතිහාසයේ සඳහන්වේ. උන්වහන්සේගේ සොහොන යැයි සැලකෙන චෛත්‍යයක් පිදුරංගල විහාරය ආශ්‍රිතව හමුවේ.
“මෙන්න මෙතැන තියෙන්නේ පස් කන්දක්… හැබැයි ඔය පස් කන්ද ගැන මත දෙකක් තියෙනවා… එකක් තමයි ධාතුසේන රජතුමාගේ මාමණ්ඩිය වුණු ‘මහානාම’ හාමුදුරුවන්ගේ සොහොන විදියට… කලාවැව හදන අතරතුර මහානාම හිමියන් අපවත් වුණු නිසා ඒ ආශ්‍රිත විහාරයක මිහිදන් කළ බවට ජනශ්රැතියේ තියෙනවා. අනෙක තමයි, දුටුගැමුණු රජවුණායින් පස්සේ විජිතපුර චෛත්‍යයේ පෙර සැලසුම විදියට. විහාරමහා දේවිය ඇවිත් මේ සැලසුම ස්ථීර කළායින් පසුව චෛත්‍යය ගොඩ නැංවීම ඇරැඹුණා කියන එක. මේ දෙකෙන් නිවැරදි දේ මොකද්ද හොයන එක බාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඒත් අවුරුදු ගාණකින් මෙපිට මෙහෙට පුරාවිද්‍යාවෙන් ඇවිත් කිසිම සංරක්ෂණයක් කරලා නෑ.”
මෙම පස් පිරවුම තුළ ඇත්තේ මහානාම හිමියන්ගේ සොහොනද, විජිතපුර විහාරයේ චෛත්‍යය ආකෘතියද යන්න නිවැරදිව දැනගැනීමට අයිතිය ලාංකික ජනතාවට පවතී. ඒ නිසා කිසිදු සංරක්ෂණයකින් තොරව හුදකලාව විහාර බිමේ පවතින මෙම ස්මාරකය ගැන සොයා බලා එහි වැදගත්කම මතුකර ගන්නට පුරා විද්‍යා බලධාරීන් කටයුතු කළයුතුය.
අප මීළඟට යෝධ ඇළෙන් එතෙරව යළිත් බැම්ම දිගේ ඉදිරියට ගොස් පිවිසුණේ අමණක්කට්ටුව ගම්මානයටයි.
එහිදී අපට හමුවූයේ දියර කිරි ඇසුරුමක් සිය යතුරු පැදියේ තබාගෙන නිවෙසට පැමිණෙන තරුණයෙකි. ඇළ අද්දර යතුරුපැදිය නැවැත්වූ ඔහුගේ සුදානම ඇළට පැන නාගන්නටය. අප ඔහු හා කතාවට වැටෙන්නට උත්සහ දැරුයේ යෝධ ඇළ ආශ්‍රිතව කිරි ගව කර්මාන්තය කෙරෙන්නේදැයි විමසා දැනගන්නටය.
නමින් නිශාන්ත රත්නමලල වන වයස අවුරුදු විසි අටක තරුණයෙකි. අමණක්කට්ටුවේ පදිංචිකරුවෙකි.
“දැන් යෝධ ඇළේ පදිංචි වුණාට අපේ මුල් ගම් වැව ඉහත්තාවේ. සුද්දගේ කාලේ තමයි මෙහෙට පදිංචියට ඇවිත් තියෙන්නේ. ඒත් මහවැලි ව්‍යාපාරයෙන් යොධ ඇළේ ගම්වල කිරිපට්ටි කරන එක නතර කෙරෙව්වා. ඒ නිසා අපේ හරක් කොටු දැන් තියෙන්නේ වැව ඉහත්තාවේ පරණ ගම්වල. අපට එළ හරක් පනහක් විතර, මි හරක් අසූවක් විතර ඉන්නවා. දවසකට කිරි ලීටර් 50ක් 60ක් ගන්නවා.”
වියළි සමයේදී නැවුම් තණකොළ හිඟය නිසා කිරි අස්වැන්න අඩුය. කිරි අස්වැන්න දෙගුණ වන්නේ වැස්සෙන් පසු හොඳින් දලු වැඩෙන සමයටය. කිරි ව්‍යාපාරිකයෙකු යෝධ ඇළේ දී හමුවුවද යෝධ ඇළ අවට කිරි ගව ව්‍යාපාරයන් හඳුනාගත නොහැක්කේ මහවැලියෙන් පනවා ඇති තහනම නිසාය.
“කිරි ලීටරයකට රුපියල් 65ක් විතර ගෙවනවා. පවුලටම කාලා බීලා ජිවත්වෙන්න පුළුවන්කමක් අපිට තියෙනවා. මේවගේ කිරිපට්ටි සියයක් විතර කලාවැව වටේට තියෙනවා.”
යෝධ ඇළ ඉස්මත්තේ ගව පාලනය තහනම් කිරීමට මහවැලිය ගත් තීරණය කෙටි කාලීනව හොඳ එකක් වුවද, දිගු කාලීනව එහි අහිතකර බලපෑම් දැන් මතුව තිබේ. ඒ ගැන අපට අදහස් දැක්වූයේ අමණක්කට්ටුව ගොවි සමිතියේ ලේකම් හිමංසු බණ්ඩාර ඇටිපොල මහතාය.
“ඉස්සර යෝධ ඇළෙන් එහා පැත්ත පිට්ටනිය වගේ ලස්සනයි. අපි පොඩි කාලේ සෙල්ලම් කරනවා. මොකද හරක් බඳින නිසා. දැන් ඒ පැත්තෙන් වැවෙන තණකොළ, කංකුං වගේ දේවල් ඇළ මැදටම පැතිරිලා. සමහර තැන්වල ඇළ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ කංකුන්වලින්. ගිය අවුරුද්දේ නාවික හමුදාවේ ශ්‍රමදානයකින් තමයි ඇළේ වැවිච්ච වල් පැළ උදුරලා දැම්මේ. ඒකට ඩීසල් වියදම දුන්නේ අපේ සමිතියෙන්. සමිති වියදම් නොකළොත් මහවැලියෙන් මහා පරිමාණිකව වියදම් කරලා වල්පැළ අයින් කරන්න ඕන. මොකද සොරොව්වල මේවා හිරවුණහම නියමිත වතුර ප්‍රමාණය කුඹුරුවලට ලැබෙන්නේ නැතිව යනවා. හරක් හිටියා නම් උන් ඕවා කාලා දානවා. එතකොට අමතරව සුද්ධ කරන්න දෙයක් නෑ. දැන් යෝධ ඇළ බැම්මේ තණකොළ කපන්නත් වියදම් කරන්න ඕන. ශ්‍රමදාන දාන්න ඕන. ආයෙමත් සීමාසහිතව හරි ගව පාලනයට අවසර ලැබෙනව නම් මේ කරදර අඩුවේවි.”
යෝධ ඇළ රැකිය යුත්තේ නීතිවලින්ද, නැතහොත් අවබෝධාත්මක හැසිරීමෙන්ද යන්න බලධාරින් තීරණය කළ යුතුව තිබේ. එක් ස්ථානයකින් තවත් තැනකට ජලය රැගෙන යන වාරි ඇළකට එහා ගිය සංස්කෘතියක් යෝධ ඇළේ තිබේ. පමාවී වුවද හඳුනාගත යුතුව ඇත්තේ ඒ සංස්කෘතියයි. වසර එක්දහස් පන්සියයක් පැරණි යෝධ ඇළ තවත් වසර දහස් ගණනක් ජීවමාන කළ හැක්කේ ඒ හඳුනාගැනීම මතය.
ඔබටත් පැරණි යෝධ ඇළ ගැන කියන්නට යමක් වේ නම් [email protected] ලිපිනයට දන්වන්න.
යෝධ ඇළේ ජල පාලනය සිදුකළ ‘යෝධ ඇළේ ගෙදර’හමුවුණු හැටි ලබන සතියේ…..
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ