
වලව්වක වටිනාකම වැඩි වන්නේ එය පරණ වූ තරමටය. බණ්ඩාරගම පිහිටි කන්නන්ගර වලව්ව ද අද වන විට වසර සියයකටත් වඩා පැරණිය. එහි වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකිය. මුදල්වල වටිනාකම පසෙක ලූ කන්නන්ගර දියණියෝ මීට වසර කිහිපයකට පෙර වලව්ව සඟසතු කළහ. අද එය ගිලන් භික්ෂූන් සඳහා කැප වුණ, සිත නිවන මධ්‍යස්ථානයකි.
දානේ නොලැබෙන දිනවලට උපස්ථායක හිමිනම අතින්ම දානේ පිසිනවා
* බණ්ඩාරගම පැරැණිම වලව්ව
* වටිනාකම කෝටි ගණනක්
“අසනීප වූ භික්ෂුන් වහන්සේ වැඩ වෙසෙන පරණ වලව්වක් තියෙනවා. කන්නන්ගර වලව්ව කියලා කියන්නේ. කාගෙද කියන්න හරියටම දන්නේ නැහැ”
යෙහෙළියක් දිනක් කීවාය. කී පමණින්ම මගේ සිතේ මේ වලව්ව කෙරෙහි ඇතිවූයේ කුතුහලයකි.
වලව්වක් යනු වත්මනෙහි බොහෝ පෞරාණික වටිනාකමක් ඇති තැනකි. එහෙයින් වලව් අයිති බොහෝ දෙනා ඒවා ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙති. නොඑසේනම් ඒවා තවත් වැඩි දියුණු කර වාණිජ පරමාර්ථ සඳහා යෙදවීමට උත්සාහ දරති. එසේ තිබියදී මෙවන් පැරැණි වලව්වක් ගිලන් ආරාමයක් සඳහා පූජා කරන්නේ නම් ඒ උතුම් කර්තව්‍යයකි.
පරණ වලව්වත් එහි වැඩ වසන ගිලන් භික්ෂුන් වහන්සේත් දැක ගැනීමේ අරමුණින් පසුගිය දිනෙක අපි බණ්ඩාරගමට ගියෙමු.
මේ වස් කාලයයි. ගමත් පන්සලත් අතර ඇති සබැඳියාව වඩාත් තර වන්නේ මේ කාලයටයි. ඒ දායකයන් වෙනදාටත් වඩා භික්ෂූන් වහන්සේ උදෙසා ඇප උපස්ථාන කරන බැවිනි. වස් සමයේ ආරම්භයත් සමඟ අප ගොඩවැදුණේ පන්සලක් හෝ ආරාමයක් හෝ නොවන ස්ථානයකටය. ඒ භික්ෂු ගිලන් මධ්යස්ථායකි. මෙයට බොහෝ කලකට පෙර මෙවැනි භික්ෂු ගිලන්හල් කිහපයකට යෑමේ අවස්ථාව අපට උදාවිය. එකක් පොල්ගහවෙල ප්රදේශයේය. අනෙක මාතර ප්රදේශයේය. මේ දෙපොළේම සිටින්නේ ගිලන් වූ භික්ෂුන් වහන්සේය.
බණ්ඩාරගම නගරයෙන් කළුතර පාරේ මඳ දුරක් ගිය විට හමුවන්නේ කෘෂිකර්ම දෙපාර්තමේනත්තුවේ බීජ ගොවිපොළට යන පාරයි. මේ පාරේ මීටර් සියයක් එකසිය පනහක් පමණ ගිය විට හමුවන්නේ භික්ෂු ගිලන් නිවෙසකි.
විවිධ මලින් හැඩ වූ වලව්ව ඉදිරිපිට නතර වී අපි අවට බැලුවෙමු. ඉදිරිපසින් ඇත්තේ කුරුඳු ඉඩමකි. අනෙක් පසින් ඇත්තේ කර්මාන්ත ශාලාවකි. තවත් පසෙක ඇත්තේ හිස් ඉඩමකි. ඒ ඉඩමේ තැනෙක අලියෙක් බැඳ සිටී. වලව් දොරකඩ නතර වූ අපි වලව්ව අවට ඇති නෙක මලින් පිරි මල් ගස්වල හැඩ බැලුවෙමු.
“එන්න ඇතුළට ”
පැරණි තාලයේ වලව් බිම දැන් ටයිල් කැට අල්ලා නවීකරණය කර ඇත. උස් පඩි නැඟ අපි වලව්වට ගොඩවිමු. විසල් සාලයේ කෙළවරක වැඩහිඳින බුදු පිළිම වහන්සේය. අවට පිරිසුදුය. පිළිවෙළය.
ඩී. සී. ඩබ්ලිව්. කන්නන්ගර අනුස්මරණ අමිලසිරි ගිලන් භික්ෂු නිවෙස බාරව කටයුතු කරන භික්ෂුන් වහන්සේ හා අපි කතා කළෙමු. ගෝණදෙණියේ පේමසිරි හිමියෝ වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේගේ ඇප උපස්ථාන කරමින් මෙම ස්ථානයේ වැඩ සිටින්නාහ. රජයෙන් හෝ වෙනත් කිසිදු සංවිධානයකින් අනුග්‍රහයක් නැති වුවද ගිලන් භික්ෂුන් වහන්සේගේ සුවපහසුව හා උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් කටයුතු කරගෙනු යනු ලබන්නේ බොහෝ අමාරුවෙනි.
දායක පින්වතුන්ගේ උදව්වෙන් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. දානේ නොලැබෙන දවස්වලට මම දානය පිළියෙල කරනවා. මේ අසනීපව සිටින භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ගැන බලන්න ෙවෙද්‍ය දිනේෂ් ගුණතිලක මහත්තයා එනවා. ඔහු පාණදුර රෝහලේ සේවය කරන්නේ. දැනට මෙතැන භික්ෂූන් වහන්සේ පස් දෙනෙක් වැඩ ඉන්නවා. අපට කාමර හයයි තියෙන්නේ. කාලයක් මේ වලව්ව අභාවයට ගිහින් තිබිලා. ඩී. සී. ඩබ්ලිව් කන්නන්ගර මහත්තයාගේ දරුවෝ තමයි මේ වලව්ව මෝදරවානේ අමිලසිරි හමුදුරුවන්ට පූජා කරලා තියෙන්නේ. උන් වහන්සේ තමයි මේ ස්ථානය කරගෙන යන්න කියලා මට බාර දුන්නේ.”
ගෝණදෙණියේ පේමසිරි හිමියන් පැවිදි දිවියට එළැඹෙන්නේ දෙදහස් දහතුන වසරේදීය. තිස්වැනි වියේ පසුවන පේමසිරි හිමි අට දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැනියාය.
“අපේ පන්තියේ තුන් හතර දෙනෙක්ම පැවිදි වී හිටියා. මේ නිසා මටත් පැවිදි වෙන්න හිතුණා. මුලින් ගෙදර කවුරුවත් කැමති වුණේ නැහැ මම පැවිදි වෙනවට. නමුත් මම නිතර ඇවිටිලි කළාම ගෙදර අය කැමැත්ත දුන්නා පැවිදි වෙන්නට. මං මේ ස්ථානයට ඇවිත් දැන් අට අවුරුද්දක්. වියපත් භික්ෂුන් වහන්සේට ඇප උපස්ථාන කිරීම මම බොහෝම කැමැත්තෙන් සිදු කරන්නේ. ” පේමසිරි හිමි පවසන්නේය.
මෙම භික්ෂු ගිලන් හලේ සිටින වයෝවෘද්ධතම ස්වාමීන් වහන්සේ වන්නේ කුලියාපිටියේ ධීරානන්ද ස්වාමීන් වහන්සේය. උන් වහන්සේ ගේ මතකයද දැන් අඩුය. එනිසා වයස හෝ තම තරුණ විය පිළිබඳ නිවැරදි මතකයක් නැති තරම්ය. උන් වහන්සේ පවසන්නේ තමන්ට දැන් වයස අවුරුදු එකසිය තුනක් බවය. මෙහි වෙසෙන ධර්මසේන හාමුදුරුවෝ අනූහත් හැවිරිදිය. උන් වහන්සේ මේ දිනවල අසනීපයෙනි.
ගිලන්හලේ වැඩ වාසය කරන බුලත්සිංහල ධර්මසිරි ස්වාමීන් වහන්සේ අසූ තුන්හැවිරිදි වියේ පසුවන්නාහ. උන්වහන්සේ පැවිදි දිවියට පත්ව ඇත්තේ දෙදහස් එකොළහ වර්ෂයේදීය.
“මම ගිහි ජීවිතයේදී කෘෂි කර්ම උපදේශකවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළා. පුතාලා තුන්දෙනකුත්, දුවෙකුත් හිටියා. ඒ අය විවාහකයි. ගිහිකල බිරිය අසනීප වුණාට පස්සේ ඇය දියණීයගේ නිවෙසේ නතර වෙන්න ගියා. නිවෙසේ තනිවුණු මට මහා පාළුවක් දැනෙන්න ගත්තා. මම කල්පනා කළා ජීවිතය නිකම්ම ගෙවා දමනවාට වඩා බණ භාවනා කරමින් මේ සංසාර ගමන කෙටි කර ගන්නට පැවිදී විම හොඳයි කියලා හිතුණා. මම මුලින් හිටියේ ආරණ්‍යයක. නමුත් කඳු නඟින්න අමාරු නිසා මෙහෙට ආවා. දැන් මම සැහැල්ලුයි. මගේ අත්දෙක හිස්. මට ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. ”
ධර්මසිරි ස්වාමීන් වහන්සේ පවසන්නේ සැහැල්ලුවෙනි.
කාලයේ හැටියට ගේ දොර ඉඩකඩම් බොහෝ වටී. මෙවැනි යුඟයක වසර සියයකටත් වඩා පැරණි වලව්වක් විකුණා කෝටි ගණනින් මුදල් ඉපයිමේ හැකියාව තිබියදී මෙය දනට පූජා කළෝ කවුරුද? කන්නන්ගර වලව්වේ හිමිකරු කවුද මේ තොරතුරුවලට පිළිතුරු සෙවිමේ අරමුණින් අපි බණ්ඩාරගම දවස පත්තර කඩේ හිමිකාරිය මුණ ගැසුණෙමු. ඇය සිරියාවති ය.
“ඔය කන්නන්ගර වලව්වේ හිමිකරු තමයි ඩී. සී. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයා. මගේ මහත්තයා තමයි කේ. එල්. ධර්මදාස. මගේ මහත්තයා කන්නන්ගර මහත්තයා සමඟ දේශපාලනය කළා. කන්නන්ගර මහත්තයා තමයි සුළු නගර සභාවේ ප්‍රථම උප සභාපති. පසුව ඔහු පාණදුර පාර්ලිමේන්තු මන්ත්‍රී වුණා” සිරියාවතී මහත්මිය පැවැසුවේ ඇය දන්නා තොරතුරුය.
“මේ බණ්ඩාරගමට වලව් පහක් විතර තිබුණා. අද වෙනකොට තියෙන පැරණිම වලව් තමයි කන්නන්ගර වලව්වයි, විදාගම වලව්වයි. අරලියගහ වලව්ව, මාලඹේ වලව්ව ආදි වශයෙන් තවත් වලව් කිහිපයක්ම තිබුණා. මේ වලව්ව අපි දන්න විදිහට නම් අවුරුදු සියයකට වඩා පරණයි. මම දන්න විදිහට නම් කන්නන්ගර මහත්තයා දේශපාලනය කළේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. ඔහු දේශපානය කළේ නම්බුකාරකමට”. සිරියාවතිගේ පුතු අජන්ත පැවසීය.
ඩී. සී. ඩබ්ලිව්. යනු දොන් ක්‍රිස්ටෝපර් විජේසිංහ කන්නන්ගරය. එක්දහස් නවසිය දහතුනේදි උපන් කන්නන්ගර මහතා මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. පසුව කාර්මික විද්‍යාලයෙන් ද එතුමා ඉගෙනුම ලබා ඇත්තේය. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි කන්නන්ගර මහතා තම ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් හඬක් නැගූ අයෙකි. එතුමා පිළිබඳ වැඩිවිස්තර දැන ගැනීමේ අරමුණින් අපි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මහේෂ් කොතලාවල මහතාගෙන් තොරතුරු විමසුවෙමු.
“කන්නන්ගර මහත්තයා හොඳ දේශපාලනඥයෙක්. එතුමා ඒකාලේ තිබු සුළු නගර සභාවේ සභාපති ලෙස වසර විසිතුනක් සේවය කළා. මගේ පියා වේලියදාස කොතලාවල. මගේ තාත්තා තමයි ඒ අවුරුදු විසිතුනම එතුමාගේ ලේකම් ලෙස කටයුතු කෙරුවේ. එතුමාට දියණියන් තිදෙනෙක් සිටියා. එක් දියණියක් සුනාමියෙන් මියගියා. අනෙක් දියණියන් විදේශ ගතවෙලා ඉන්නේ. මේ ඉඩම් දියණියන්ට බෙදා දුන්නත් වලව්වේ අයිතිය තුන්දෙනාටම දීලා තිබුණේ. පසු කලෙක ඔවුන් මේ වලව්ව භික්ෂූන් වහන්සේට පුජා කළා. මෙය කලක් ගරා වැටිලා තිබුණේ. නමුත් මේ වලව්ව භික්ෂූන් වහන්සේට පූජා කළේ සම්පුර්ණයෙන්ම පිළිසකර කරලා.”
මිනිස්සු මේ ජීවිතයේදී සියල්ල පොදි බඳිති. සසර ගමන ගැන නොසිතති. ඉන්නකන් ‘ජොලියේ‘ ඉන්න ඕනෑය යන්න බොහෝ දෙනාගේ අදහසය. නමුත් තණ්හාව අත් හළ කන්නන්ගර දියණියෝ තමන් සතු පරම්පරා ගණනක් ජීවත් වූ වලව්ව සඟ සතු කළහ. දැන් එහි වැඩ වාසය කරන්නේ වියපත්, රෝගී සිටින භික්ෂුන් වහන්සේය.
ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු