
“මුන් ලේසියෙන් මේච්චල් කරන්න බැරි දරුණු අලි බව මං තේරුම් ගත්තා. කොච්චර විදුලි වැටවල් ගැහුවත් කඩාගෙන පනිනවා. අන්තිමේදී උන්ට ආදරයෙන් කතා කර මේච්චල් කරගැනීමට සිතා නායක ඇතින්නගේ ඇස් දිහා බලාගෙන කතා කළා. ඇතින්නත් මා දිහා බලා ඉන්නවා වගෙයි මට දැනුණේ. උඹ මං ළඟ හිටපන් නැත්නම් ආපහු ගියොත් වෙන්නේ මැරුම් කන්නයි කියා මං කන ළඟට ගිහින් කී දේ අන්තිමේ උන් තේරුම් ගත්තා. එදා පටන් උන් මට කීකරු වුණා.”
අපේ තාත්තා මිය ගිය බව මේ වන අලින් දැනගත්තේ කොහොමද? තාත්තා මිය ගොස් දින තුනකට පස්සේ අපේ වන නිවහන ළඟින් අලි කුංචනාද ඇහුණා. උන් හරිම ශෝකී බැල්මෙන් දවස් දෙකක් තිස්සේ අපේ ගේ දෙස බලා සිට යන්න ගියා. උන්ගේ ආදරය දිනූ මිනිසා මිය ගිහින් කියා උන් දැනගත්තේ කොහොමදැයි මං අදත් දන්නේ නෑ...
ඇන්තනිගේ පුතා කියන කතාව
ඒ 2003 වසරේ මාර්තු මාසයයි. ඇමෙරිකානු හමුදාවේ මේජර් නික් ඉරාක අගනුවර වන බැග්ඩෑඩය අල්ලා ගැනීමේ මෙහෙයුමේ යුහුසුලුව සිටියේය. දස දෙසින් ඇසෙන වෙඩි හඬ අතරේ බියපත්වූ ඔටුවෝ කීප දෙනෙක් සෙබළුන් අමෝරා ගෙන සිටි බර අවි අතරින් දුව ගියහ. තව තැනක මුවාවක් සොයන වඳුරෝ කීප දෙනෙකි. යුද්ධයක් මැද්දට මෙසේ සතුන් පැමිණියේ කෙසේද? මෙහෙයුමේ ලද විරාමයක් අතරේ නික් ඒ ගැන සොයා බැලීය. ඔහු දුටු දෙයින් පුදුමයට පත්විය. කලක් මැද පෙරදිග විශාලතම සත්ව උද්‍යානය ලෙසින් පැවැති බැග්ඩෑඩ් සතුන් වත්තේ සත්තු සීසීකඩව දිවයති. යුද්ධය අතරේ සත්ත්ව උද්‍යානයට ආ මංකොල්ලකරුවන් රිසිසේ සුද්දය දමද්දී රැගෙන යා නොහැකි සිංහ කොටි වලස්සු නිරාහාරව බීමට දිය පොදක් හෝ නොමැතිව කූඩුවලම ලැග සිටිති. සතුන් වත්තට අත්ව ඇති විනාශය දුටු මේජර් නික් වහාම සතුන් සුරැකීමට අවශ්‍ය පියවර ගත්තේය. එහෙත් යුද්ධයක් මෙහෙයවන අතරේ ඔහුට සතුන් වත්තක් බලා කියා ගැනීම කළ නොහැක්කකි.
යුද්ධය නිසා සතුන්ට අත්වූ ඉරණම අසා කම්පාවට පත් පුද්ගලයෙක් එවකට සිටියේ කුවේටයේය. සිය මෝටර් රථයට බෙහෙත් ද්‍රව්‍ය හා සතුන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ කීපයක් පටවා ගත් ඔහු වහාම දේශ සීමාව හරහා ඉරාකයට පැමිණියේය. ඔහු එද්දී බැග්ඩෑඩ් නගරයේ ඇතැම් වීදිවල කුණුවූ සත්ත්ව මළ සිරුරුවල නිලමැස්සෝ පොදි කති. 650ක් පමණ සතුන් සංඛ්‍යාවක් සිටි බැග්ඩෑඩ් සත්ත්ව උද්‍යානයේ ඒ වනවිට පණපිටින් සිටියේ සතුන් 35ක් පමණි. ඒ ද සිංහයන් වලසුන් රයිනෝ හා කොටින් වැනි විශාල සතුන්ය. ඒ සතුන් සිටි කාලකණ්ණි තත්ත්වය අනුව උන් මරා දැමීම සුදුසු වුවත් මේ පුද්ගලයා එසේ නොකළේය. බූරුවන් මිලට ගත් ඔහු මස් පමණක් ආහාරයට ගන්නා සතුන්ට ආහාරයට දුන්නේය. වරක් ඔහු මංකොල්ලකරුවන් වෙතින් ගැහැට විඳ අඩපණව සිටි ජිරාෆයකු වෙඩි තැබුවේ සතුන්ට අහර පිණිසය. බැග්ඩෑඩයේ හය මසක් නතරවී සතුන් රැකගත් ඔහුට ඇමෙරිකානු සොල්දාදුවෝ ද සිය විවේකයේදී සහාය වූහ. ඉරාක පාලක සදාම් හුසේන්ගේ සුරතලුන් වූ දුර්ලභ ගණයේ සිංහයෙක් හා කොටියෙක්ද ඔහු විසින් බේරා ගනු ලැබූහ. හය මසකට පසු ඔහු ඉරාකයෙන් නික්ම යද්දී කූඩු පිරිසුදුවී සත්තු නිරෝගීව යළි පණ ලැබ සිටියහ. ඒ මෙහෙවර අගයමින් ඇමෙරිකානු තෙවැනි පාබළ හමුදාව විසින් ඔහු සම්මානයකින් පුදනු ලැබීය.
සතුන්ට බෙහෙවින් ආදරය කළ මේ පුද්ගලයා ලෝරන්ස් ඇන්තනිය. ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්වූ සතුන් බේරා ගැනීම සඳහා මුළු ජීවිතයම කැප කළ ඔහු උපතින් ස්කොට්ලන්ත ජාතිකයෙකි. කුඩා කල සිටම අප්‍රිකානු වන ළැහැබ්වල රිංගමින් කල් ගත කළ ඔහු තරුණ වියට එළඹෙද්දී වනාන්තරයට හා සතා සිවුපාවුන්ට දැඩිසේ ආදරය කරන්නකු බවට පත්වීය. 1990 වසරේදී දකුණු අප්‍රිකාවේ දිස්ත්‍රික්කයක් වන සුලුලන්තයේ විශාල රක්ෂිතයක් මිලට ගත්තේය. ‘තුලා තුලා’නම් වූ එම භූමිය අක්කර 5000ක් විශාලය. වනසතුන් නැරැඹීමට සංචාරකයන් අද්දවා ගැනීම සඳහා එහි පහසුකම් සහිත සුඛෝපභෝගී නවාතැන් ඉදිකළ ඔහු එතැන සිය නවාතැන කර ගනිමින් ගෝත්‍රික ජනතාවගේ හදවත් දිනා ගත්තේය. මිහිකත සුරැකීමේ සංවිධානයක් පිහිටුවා ගත් ඇන්තනි ඒ හරහා වනාන්තර හා මහ පොළොව සුරැකීමට කටයුතු කළේය. දකුණු අප්‍රිකාවේ වනාන්තර හා සතුන් සුරැකීමේ අගය ගෝත්‍රික ජනතාවට පහදා දුන් ඔහු ගෝත්‍රිකයන්ට ජීවිකාවද සරිකර දුන්නේය.
කොංගෝවේ සුදු රයිනෝ සතුන් නැරැඹීමට ලොව නන් දෙසින් සංචාරකයෝ පැමිණෙති. එහෙත් දඩයක්කරුවන් නිසා ඉතිරිව සිටියේ සුදු රයිනෝවන් දස දෙනකුටත් අඩු ප්රමාණයකි. උන්ද සැරිසැරුවේ නාහෙට නාහන කැරලිකරුවන් නිතර ගැවසෙන ගරම්භා ජාතික උද්‍යානයේ මහ වනයේය. එනිසා රයිනෝසුන් නිතරම ඔවුන්ගේ රයිෆලවල ඉලක්ක බවට පත් විය. මේ බව දැනගත් ඇන්තනි කළේ කැරලිකරුවන් හා කතාබහ කර සුදු රයිනෝවන්ගේ අගය පහදා දී උන් සුරැකීමට ඔවුන් එකඟ කරවා ගැනීමය. දකුණු අප්‍රිකානු වනාන්තරවල වෙසෙන දුර්ලභ සත්ත්ව සංහති රැසක් ඒ ආකාරයෙන් රැක ගැනීමට ඇන්තනි සමත් විය.
ඉන් නොනැවතුණු ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව අභය භූමි හා සත්ව උද්‍යාන පිහිටි ප්‍රදේශවල යුද කටයුතු නොකිරීමට නීති සම්පාදනය කෙරෙව්වේය.
ඔහු සිය ලෑන්ඩ් රෝවර් ජීප් රථයේ නැගී මහ වනමැද සරද්දී රොක් සංගීතය මහ හඬින් වන සතුන්ට ඇසෙන සේ වාදනය කළ බව ප්‍රසිද්ධ කරුණකි. ඇන්තනි වන සතුන්ට එතරම් ආදරේ කළේය.
1999 වසර වනතෙක් ම ඇන්තනිට සිය තුලා තුලා රක්ෂිතයේ වන ඇතුන් සංරක්ෂණය කිරීමක් ගැන හැඟීමක් නොවීය. එම වසර මුල් භාගයේ වන ඇතුන් සංරක්ෂණය කරන සංවිධානයකින් ලද දුරකථන ඇමතුමකින් පසු ඔහුගේ සිතට අලුත් අදහසක් පිවිසියේය.
“මේ පළාතේ ගැවසෙන දරුණු අලි රංචුවක් ඉන්නවා. උන්ගේ තක්කඩිකම නිසා මරා දමන්නයි හදන්නේ. ඔබට බැරිද උන් ටික ඔබේ තුලා තුලා රක්ෂිතයට ගන්න. නැත්නම් වැඩිකල් යන්න පෙර උන් ටික මරා දමාවි”
එම අලි රෑන ඒ වෙද්දී සිටියේ ඇන්තනිගේ නිවහනෙන් සැතපුම් 600කට පමණ එපිටිනි. කණ්ඩායමේ බිහිසුණුබව තේරුම් ගත් ඇන්තනිට මුලින්ම සිතුණේ එම ඉල්ලීම පිළිකෙව් කිරීමටය. එහෙත් එසේ වුවහොත් උන්ට අත්වන්නේ නියත මරණය බව වටහා ගත් ඇන්තනි එම වන අලි රංචුව බාර ගැනීමට තීරණය කළේය. ඒ තීරණය අලි රංචුව ලද අවසාන අවස්ථාව විය.
“මේ අලි රංචුවේ නායක ඇතින්න හරිම දරුණුයි. ඒ වගේම කපටියි. රක්ෂිත වටකර ඇති විදුලි වැටවල් සූක්ෂමව දළෙන් ඇන කඩාගෙන ඇතුළට පනින්න දන්නවා. මේ නිසා රක්ෂිත අයිතිකරුවන්ට අවශ්‍ය වුණේ මේ කරදරකාර අලි රංචුව මරා දමන්නයි. ඒත් මුන් මට බාර දෙද්දී එයට මා තෝරා ගත්තේ ඇයිදැයි මං විමසුවා. ‘ඔබට සතුන් හා කතා කරන්න පුළුවන් කියා අප අසා තිබුණා. උන්ට හරියන්නේ ඔබ වැනි කෙනෙක්’යනුවෙන් ඔවුන් පිළිතුරු දුන්නා”අලි රංචුව සිය භාරකාරත්වයට පත්වීම ගැන ඇන්තනි පැවැසීය.
එම රංචුවේ වැඩිහිටි ඇතින්නියෝ තිදෙනෙක් තරුණ අලි තිදෙනෙක් තරුණ අලියෙක් හා පැටව් දෙදෙනෙකු ඇතුළු අලි නව දෙනෙක් වූහ. තුලා තුලා කරා ගෙන ඒම සඳහා වටකිරීමේදී පැනයෑමට තැත් කළ ඇතින්නක හා පැටියකු මරණයට පත්වීම ඇන්තනිට දරාගත නොහැකිවිය. එම වන අලි ඉතා දරුණු සතුන් වූ අතර මිනිසුන්ට දැඩිසේ වෛර කළහ. එතැන් පටන් එම අලි රෑනේ භාරකරු වූයේ ඇන්තනිය. ඔහුට අලින්ගේ විශ්වාසය දිනා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය. ඒ කාලයේදී උන් රැක ගැනීමට ඔහු ඉතා දුෂ්කර සටනක් ගෙන ගියේය. ඔහු මේ සතුන්ට කතා කළේ ආදරයෙනි. සැරවැර නොකර අලින්ට අවශ්‍ය ආහාර හා ජලය සැපයීය. අලින්ගේ කනට කොඳුරන්නා ලෙසින් පසුව ඇන්තනි සැවොම අතර ජනප්‍රිය වූයේ ඔහු හා අලින් අතර ඇතිවූ ළෙන්ගතු සම්බන්ධය නිසාය.
ඇන්තනි අලින් සුරතල් නම්වලින් හැඳින්වීය. රෑනේ නායක ඇතින්න ‘නානා’ නම් වූවාය. මියගිය ඇතින්නගේ පැටවා ඔහු හැඳින්වූයේ ‘මුනුම්සේන්’ නමිනි. අප්‍රිකානු සුලු භාෂාව අනුව එහි තේරුම ‘සර්’ යන්නය. රෑනේ දෙවැනි නායිකාව ලස්සනය. ඇන්තනි ඒ ඇතින්න සිය බිරියගේ නමද එක්කර ‘ෆ්රැන්කී’ ලෙසින් නම් කළේය. ඔහු රක්ෂිතය මැද්දේ දැවැන්ත කොටුවක් තනා අලින් එහි රැඳවූයේ උන් මේච්චල් වූ පසු රක්ෂිතය පුරා කරක් ගැසීමට ඉඩ දීම සඳහාය.
පසුකාලීනව ඇන්තනි තමා හා මේ අලි රෑන අතර ඇතිවූ ළෙන්ගතු බැඳීම අලළා පොත් කීපයක්ම රචනා කළේය. අලින්ගේ රැකවරණය ඉල්ලා අලින් සුරැකීමේ සංවිධානය විසින් කරනු ලැබූ ඉල්ලීමේ සිට ඒ දරුණු අලින් හීලෑ වූ අන්දමත් ඉන්පසු ඒ අලින් ඔහුට දරුවන් මෙන් වූ අන්දමත් ඔහු ඒ පොත්වලින් විස්තර කළේය.
“අලි රංචුව මුලින්ම දැමූ දැවැන්ත කොටුව වෝල්ට් 8000ක ධාරිතාවකින් යුත් විදුලි වැටකින් වටකර තිබුණා. නානා කළේ රංචුව වටකරගෙන උගේ දැවැන්ත දළෙන් වැටට ගැසීමයි. කරන්ට් එක වැදුණු ගමන් එයා පස්සට ගියා. ඒත් එයා තමන්ගේ උත්සාහය අත්හළේ නැහැ. කොටුව වටේ යමින් තැනින් තැන වැටට අනිමින් වැට කඩන්න උත්සාහ කළා. එදා රෑ මං නින්දට යද්දීත් උන් විදුලිය වැට කඩාගෙන පැන යෑමට
උත්සාහ කරමින් සිටියා”
නින්දට ගොස් පැය කීපයකට පසු සේවකයකු විසින් ඇන්තනි අවදි කරවනු ලැබුවේ අලි රංචුව වැට කඩාගෙන පැන ගොස් ඇති බව දන්වමිනි. කොටුවට ගොස් බලද්දී අලි රංචුව විශාල ගසක් විදුලි වැට හරහා පෙරළා එතැනින් පලා ගොස් සිටියහ. උන් සොයමින් රක්ෂිතය පුරා ගිය ඇන්තනි හා සේවකයන් දුටුවේ අලි රැළ පෙර සිටි පළාත කරා ඇදෙන අන්දමය. රක්ෂිතය අවට ගම්වාසීන් ඒ වෙද්දී ද සිය රයිෆල අතට ගෙන තිබුණේ මේ මිනීමරු අලි රැළ බෑවීම සඳහාය. ගම්මුන් ද අස්වසමින් අලි රෑන යළි කොටු කර ගැනීමට ඇන්තනි මහත් වෙහෙසක් ගත්තේය. නැවත රැගෙන ආ පසුද නානා සිය රැළ එක්කර ගෙන යළි විදුලිය වැට කැඩීමට උත්සාහ දරන්නීය. ඔහු ඇතින්න ඉදිරියට ගියේ ඇගේ දෑස් දෙසම බලාගෙනය. ඒ වෙද්දී වේලාව උදෑසන පහට ආසන්නය. ඇන්තනි ඇතින්නට ආයාචනා කරමින් ඇය ඉදිරියේය. උන් සැමගේ ජීවිත රැඳී ඇත්තේ නානාගේ තීරණය මතය.
“නානා ඒක කරන්න එපා. උඹ නැවත එය කළොත් ඒ අය උඹලා මරා දමාවි. දැන් උඹේ ගෙදර මේක. උඹ මෙහේ හිටපන්. මං උඹලා බලා ගන්නම්.” ඔහු සන්සුන් ඉරියව්වෙන් ඇතින්න අමතයි. ඇතින්නද නිහඬව ඔහු දෙස බලා සිටින්නීය. අලි රැළ ද නිහඬය.
“ඇතින්න මගේ දෑස් දෙසම බලා ඉන්නවා වගේ මට දැනුණා. ඇය මගේ ඉරියව් නිරීක්ෂණය කරන්නාක්
වගෙයි. එවේලේ මං කළ දෙයෙහි භයානක බව එක්වරම මට වැටහුණා. කරුවලේ භයානක ඇතින්නක හා රංචුවක් ඉදිරියේ මං තනියම. ඇය එක්වරම පාදයක් ඉදිරියට ගත්තේ වැට පෙරළන්න එන්නයි. මං හිටියේ වැටත් ඇතින්නත් අතරයි. ඒත් මාත් නානාත් අතර කිසියම් වූ එකඟතාවක් ඇතිවුණා වගේ දෙයක් මට දැනුණා. ඒ සමඟම ආපසු හැරුණු ඇතින්න යන්න ගියා. අලි රංචුවම ඇතින්න පස්සෙන් ඈතට ගියා”
අවසානයේ ඔහු තීරණය කළේ යළි අල්ලා කොටුකර ගත් අලි රෑන සමඟ ඔහු ද කල් ගෙවිය යුතු බවය.
“මං උන් සමඟ ජීවත් වෙමින් උන්ට රැකවරණය සපයමින් උන්ට කවමින් උන්ට කතා කරමින් සිටිය යුතු බව එකපාරටම මගේ සිතට ආවා. විශේෂයෙන් ම උදේ හවා උන් සමඟ සිටිමින් අප එකිනෙකා හඳුනාගත යුතු බව මට වැටහුණා” ඇන්තනි ඔහුගේ පොත්වල අලි රෑන හීලෑ කරගත් අන්දම විස්තර කරන්නේ එසේය.
අවසානයේ ඔහුගේ ඒ උත්සාහය හරි ගියේය. අලි රෑන ඔහු හා මිතුරුවිය. ඔහු උන්ට ළංවී ආදරයෙන් කතා කරද්දී හොඬයෙන් ඔහුගේ මුහුණ පිරිමදිමින් අතින් දෙන ආහාර බුදීමට මේ අලි හුරු වූහ. අලින්ගේ හැඟීම් ඔහුට වැටහුණා සේම ඔහුගේ ආදරය අලි තේරුම් ගත්හ. මෙසේ අලින් ඔහුට කීකරු වෙද්දී පළාතේ සිටින තවත් දරුණු අලි රෑනක් ඇන්තනි කරා ගෙන ඒමට අලි සංරක්ෂකයෝ පියවර ගත්හ. ඇන්තනිට හීලෑ වූ අලි ඔහුගේ රක්ෂිතය පුරා නිදහසේ කරක් ගැසූහ. වරින් වර ඔහු දැකීමට ඔහුගේ වන නිවහනටද ආ ගියහ.
දිනක් උදෑසන මුළුතැන්ගෙයි දොර හරිද්දී දුටු දෙයින් ඇන්තනිගේ බිරිය ෆ්රැන්කොයිස් පුදුමයට පත්වූවාය. දඟකාර වියේ කුඩා අලි පැටියෙක් ඔවුන්ගේ මුළුතැන්ගෙයි දොර බිඳ ඇතුළට ඒමට වලිකන්නේය. දොර හළ විගස ගෙට පැන ගත් අලි පැටියා හොඬවැල උස්සමින් ඉව කරන්නේ බීමට යමකි.
අප්‍රිකානු වන අලින් හා නොබිඳෙන බැඳීමක් ඇති කරගත් ඇන්තනි තමා අලින්ගෙන් ජීවිතය, නිදහස හා ළැදියාව පිළිබඳ බොහෝ පාඩම් උගත් බව පැවසීය.
අලින්ගේ කනට කොඳුරන්නා ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධ වූ ඇන්තනි 2012 වසරේ මාර්තු 7 වැනිදා මිය ගියේ හදිසි හෘදයාබාධයකිනි. එහෙත් කවුරුත් නොසිතූ සිදුවීමක් වූයේ ඉන් තෙදිනකට පසුය. ඒ පිළිබඳ ලොව පුරා මාධ්‍යට තොරතුරු හෙළි කළේ ඇන්තනිගේ බිරිය ෆ්රැන්කොයිස් හා පුතුන් වන ඩයිලන් හා ජේසන්ය.
“අලි රංචුව ඒ වෙද්දී අවුරුදකින් විතර අපේ ගේ ළඟට ඇවිත් හිටියේ නැහැ. පියා මියගොස් තෙවැනි දින අපේ ගම්බද ගේ ළඟින් අලි රංචුව කෑ ගහනවා ඇහුණා. ඒ පළමු අලි රංචුව. ඉන් පස්සේ අනිත් රංචුවත් ආවා. උන් දවස් දෙකක් තිස්සේ ගේ අසල ගැවසෙමින් කුංචනාද පවත්වමින් හිටියා. ඈත ගම්මානවල ගෝත්‍රිකයන් වෙතින් අප දැනගත් පරිදි උන් දින දොළහක් තිස්සේ මේ ගමන ඇවිත්. අලින්ට මරණයක් කල් තියා දැන ගැනීමේ හැකියාවක් තියෙනවා කියා මතයක් තියෙනවා. ඒත් මේ අලි පියාගේ මරණය දැන ගත්තේ කොහොමද? අලි අපේ පියා මිය යන බව දැනගෙන කල්තියා පිටත් වී සැතපුම් ගණනාවක් දින කීපයක් තිස්සේ ඇවිත්. සතුන්ගේ සංවේදිතාව ගැන මෙය පුදුමාකාර අත්දැකීමක්.”
ඇන්තනිගේ නිවෙස අසල දින දෙකක් තිස්සේ ශෝකී රාවයෙන් කුංචානාද කරමින් ගැවසුණු මේ වන අලින් සෙමෙන් සෙමෙන් යළි වනාන්තරයට ඇදී ගිය බව ඔහුගේ මරණය සිදු වූ කාලවකවානුවේ ලොව පුරා මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේය.