කනට කොඳුරා ආද­රය කියා­දුන් සොඳුරු මිනි­සාට සමු­දෙන්න පැමිණි සද්ද­න්තයෝ | සිළුමිණ

කනට කොඳුරා ආද­රය කියා­දුන් සොඳුරු මිනි­සාට සමු­දෙන්න පැමිණි සද්ද­න්තයෝ

“මුන් ලේසි­යෙන් මේච්චල් කරන්න බැරි දරුණු අලි බව මං තේරුම් ගත්තා. කොච්චර විදුලි වැට­වල් ගැහු­වත් කඩා­ගෙන පනි­නවා. අන්ති­මේදී උන්ට ආද­ර­යෙන් කතා කර මේච්චල් කරගැනී­මට සිතා නායක ඇති­න්නගේ ඇස් දිහා බලා­ගෙන කතා කළා. ඇති­න්නත් මා දිහා බලා ඉන්නවා වගෙයි මට දැනුණේ. උඹ මං ළඟ හිට­පන් නැත්නම් ආපහු ගියොත් වෙන්නේ මැරුම් කන්නයි කියා මං කන ළඟට ගිහින් කී දේ අන්තිමේ උන් තේරුම් ගත්තා. එදා පටන් උන් මට කීකරු වුණා.”

අපේ තාත්තා මිය ගිය බව මේ වන අලින් දැනගත්තේ කොහො­මද? තාත්තා මිය ගොස් දින තුන­කට පස්සේ අපේ වන නිව­හන ළඟින් අලි කුංච­නාද ඇහුණා. උන් හරිම ශෝකී බැල්මෙන් දවස් දෙකක් තිස්සේ අපේ ගේ දෙස බලා සිට යන්න ගියා. උන්ගේ ආද­රය දිනූ මිනිසා මිය ගිහින් කියා උන් දැනගත්තේ කොහො­ම­දැයි මං අදත් දන්නේ නෑ...

ඇන්ත­නිගේ පුතා කියන කතාව

ඒ 2003 වසරේ මාර්තු මාස­යයි. ඇමෙ­රි­කානු හමු­දාවේ මේජර් නික් ඉරාක අග­නු­වර වන බැග්ඩෑ­ඩය අල්ලා ගැනීමේ මෙහෙ­යුමේ යුහු­සු­ලුව සිටි­යේය. දස දෙසින් ඇසෙන වෙඩි හඬ අතරේ බිය­පත්වූ ඔටුවෝ කීප දෙනෙක් සෙබ­ළුන් අමෝරා ගෙන සිටි බර අවි අත­රින් දුව ගියහ. තව තැනක මුවා­වක් සොයන වඳු­රෝ කීප දෙනෙකි. යුද්ධ­යක් මැද්දට මෙසේ සතුන් පැමි­ණියේ කෙසේද? මෙහෙ­යුමේ ලද විරා­ම­යක් අතරේ නික් ඒ ගැන සොයා බැලීය. ඔහු දුටු දෙයින් පුදු­ම­යට පත්විය. කලක් මැද පෙර­දිග විශා­ල­තම සත්ව උද්‍යා­නය ලෙසින් පැවැති බැග්ඩෑඩ් සතුන් වත්තේ සත්තු සීසී­ක­ඩව දිව­යති. යුද්ධය අතරේ සත්ත්ව උද්‍යා­න­යට ආ මංකො­ල්ල­ක­රු­වන් රිසිසේ සුද්දය දමද්දී රැගෙන යා නොහැකි සිංහ කොටි වලස්සු නිරා­හා­රව බීමට දිය පොදක් හෝ නොමැ­තිව කූඩු­ව­ලම ලැග සිටිති. සතුන් වත්තට අත්ව ඇති විනා­ශය දුටු මේජර් නික් වහාම සතුන් සුරැ­කී­මට අවශ්‍ය පිය­වර ගත්තේය. එහෙත් යුද්ධ­යක් මෙහෙ­ය­වන අතරේ ඔහුට සතුන් වත්තක් බලා කියා ගැනීම කළ නොහැ­ක්කකි.

යුද්ධය නිසා සතුන්ට අත්වූ ඉර­ණම අසා කම්පා­වට පත් පුද්ග­ල­යෙක් එව­කට සිටියේ කුවේ­ට­යේය. සිය මෝටර් රථ­යට බෙහෙත් ද්‍රව්‍ය හා සතුන්ට ප්‍රති­කාර සඳහා අවශ්‍ය වෛද්‍ය උප­ක­රණ කීප­යක් පටවා ගත් ඔහු වහාම දේශ සීමාව හරහා ඉරා­ක­යට පැමි­ණි­යේය. ඔහු එද්දී බැග්ඩෑඩ් නග­රයේ ඇතැම් වීදි­වල කුණුවූ සත්ත්ව මළ සිරු­රු­වල නිල­මැස්සෝ පොදි කති. 650ක් පමණ සතුන් සංඛ්‍යා­වක් සිටි බැග්ඩෑඩ් සත්ත්ව උද්‍යා­නයේ ඒ වන­විට පණ­පි­ටින් සිටියේ සතුන් 35ක් පමණි. ඒ ද සිංහ­යන් වල­සුන් රයිනෝ හා කොටින් වැනි විශාල සතුන්ය. ඒ සතුන් සිටි කාල­කණ්ණි තත්ත්වය අනුව උන් මරා දැමීම සුදුසු වුවත් මේ පුද්ග­ලයා එසේ නොක­ළේය. බූරු­වන් මිලට ගත් ඔහු මස් පම­ණක් ආහා­ර­යට ගන්නා සතුන්ට ආහා­ර­යට දුන්නේය. වරක් ඔහු මංකො­ල්ල­ක­රු­වන් වෙතින් ගැහැට විඳ අඩ­ප­ණව සිටි ජිරා­ෆ­යකු වෙඩි තැබුවේ සතුන්ට අහර පිණි­සය. බැග්ඩෑ­ඩයේ හය මසක් නත­රවී සතුන් රැක­ගත් ඔහුට ඇමෙ­රි­කානු සොල්දා­දුවෝ ද සිය විවේ­ක­යේදී සහාය වූහ. ඉරාක පාලක සදාම් හුසේන්ගේ සුර­ත­ලුන් වූ දුර්ලභ ගණයේ සිංහ­යෙක් හා කොටි­යෙක්ද ඔහු විසින් බේරා ගනු ලැබූහ. හය මස­කට පසු ඔහු ඉරා­ක­යෙන් නික්ම යද්දී කූඩු පිරි­සු­දුවී සත්තු නිරෝ­ගීව යළි පණ ලැබ සිටි­යහ. ඒ මෙහෙ­වර අග­ය­මින් ඇමෙ­රි­කානු තෙවැනි පාබළ හමු­දාව විසින් ඔහු සම්මා­න­ය­කින් පුදනු ලැබීය.

සතුන්ට බෙහෙ­වින් ආද­රය කළ මේ පුද්ග­ලයා ලෝරන්ස් ඇන්ත­නිය. ලෝකයේ වඳ­වීමේ තර්ජ­න­යට ලක්වූ සතුන් බේරා ගැනීම සඳහා මුළු ජීවි­ත­යම කැප කළ ඔහු උප­තින් ස්කොට්ලන්ත ජාති­ක­යෙකි. කුඩා කල සිටම අප්‍රි­කානු වන ළැහැ­බ්වල රිංග­මින් කල් ගත­ කළ ඔහු තරුණ වියට එළ­ඹෙද්දී වනා­න්ත­ර­යට හා සතා සිවු­පා­වුන්ට දැඩිසේ ආද­රය කර­න්නකු බවට පත්වීය. 1990 වස­රේදී දකුණු අප්‍රි­කාවේ දිස්ත්‍රි­ක්ක­යක් වන සුලු­ල­න්තයේ විශාල රක්ෂි­ත­යක් මිලට ගත්තේය. ‘තුලා තුලා’නම් වූ එම භූමිය අක්කර 5000ක් විශා­ලය. වන­ස­තුන් නැරැ­ඹී­මට සංචා­ර­ක­යන් අද්දවා ගැනීම සඳහා එහි පහ­සු­කම් සහිත සුඛෝ­ප­භෝගී නවා­තැන් ඉදි­කළ ඔහු එතැන සිය නවා­තැන කර ගනි­මින් ගෝත්‍රික ජන­තා­වගේ හද­වත් දිනා ගත්තේය. මිහි­කත සුරැ­කීමේ සංවි­ධා­න­යක් පිහි­ටුවා ගත් ඇන්තනි ඒ හරහා වනා­න්තර හා මහ පො‍ළොව සුරැ­කී­මට කට­යුතු කළේය. දකුණු අප්‍රි­කාවේ වනා­න්තර හා සතුන් සුරැ­කීමේ අගය ගෝත්‍රික ජන­තා­වට පහදා දුන් ඔහු ගෝත්‍රි­ක­යන්ට ජීවි­කා­වද සරි­කර දුන්නේය.

කොංගෝවේ සුදු රයිනෝ සතුන් නැරැ­ඹී­මට ලොව නන් දෙසින් සංචා­ර­කයෝ පැමි­ණෙති. එහෙත් දඩ­ය­ක්ක­රු­වන් නිසා ඉති­රිව සිටියේ සුදු රයි­නෝ­වන් දස දෙන­කු­ටත් අඩු ප්‍රමා­ණ­යකි. උන්ද සැරි­සැ­රුවේ නාහෙට නාහන කැර­ලි­ක­රු­වන් නිතර ගැව­සෙන ගරම්භා ජාතික උද්‍යා­නයේ මහ වන­යේය. එනිසා රයි­නෝ­සුන් නිත­රම ඔවුන්ගේ රයි­ෆ­ල­වල ඉලක්ක බවට පත් විය. මේ බව දැන­ගත් ඇන්තනි කළේ කැර­ලි­ක­රු­වන් හා කතා­බහ කර සුදු රයි­නෝ­වන්ගේ අගය පහදා දී උන් සුරැ­කී­මට ඔවුන් එකඟ කරවා ගැනී­මය. දකුණු අප්‍රි­කානු වනා­න්ත­ර­වල වෙසෙන දුර්ලභ සත්ත්ව සංහති රැසක් ඒ ආකා­ර­යෙන් රැක ගැනී­මට ඇන්තනි සමත් විය.

ඉන් නොනැ­ව­තුණු ඔහු එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය හා එක්ව අභය භූමි හා සත්ව උද්‍යාන පිහිටි ප්‍රදේ­ශ­වල යුද කට­යුතු නොකි­රී­මට නීති සම්පා­ද­නය කෙරෙ­ව්වේය.

ඔහු සිය ලෑන්ඩ් රෝවර් ජීප් රථයේ නැගී මහ වන­මැද සරද්දී රොක් සංගී­තය මහ හඬින් වන සතුන්ට ඇසෙන සේ වාද­නය කළ බව ප්‍රසිද්ධ කරු­ණකි. ඇන්තනි වන සතුන්ට එත­රම් ආදරේ කළේය.

1999 වසර වන­තෙක් ම ඇන්ත­නිට සිය තුලා තුලා රක්ෂි­තයේ වන ඇතුන් සංර­ක්ෂ­ණය කිරී­මක් ගැන හැඟී­මක් නොවීය. එම වසර මුල් භාගයේ වන ඇතුන් සංර­ක්ෂ­ණය කරන සංවි­ධා­න­ය­කින් ලද දුර­ක­ථන ඇම­තු­ම­කින් පසු ඔහුගේ සිතට අලුත් අද­හ­සක් පිවි­සි­යේය.

“මේ පළාතේ ගැව­සෙන දරුණු අලි රංචු­වක් ඉන්නවා. උන්ගේ තක්ක­ඩි­කම නිසා මරා දම­න්නයි හදන්නේ. ඔබට බැරිද උන් ටික ඔබේ තුලා තුලා රක්ෂි­ත­යට ගන්න. නැත්නම් වැඩි­කල් යන්න පෙර උන් ටික මරා දමාවි”

එම අලි රෑන ඒ වෙද්දී සිටියේ ඇන්ත­නිගේ නිව­හ­නෙන් සැත­පුම් 600කට පමණ එපි­ටිනි. කණ්ඩා­යමේ බිහි­සු­ණු­බව තේරුම් ගත් ඇන්ත­නිට මුලින්ම සිතුණේ එම ඉල්ලීම පිළි­කෙව් කිරී­ම­ටය. එහෙත් එසේ වුව­හොත් උන්ට අත්වන්නේ නියත මර­ණය බව වටහා ගත් ඇන්තනි එම වන අලි රංචුව බාර ගැනී­මට තීර­ණය කළේය. ඒ තීර­ණය අලි රංචුව ලද අව­සාන අව­ස්ථාව විය.

“මේ අලි රංචුවේ නායක ඇතින්න හරිම දරු­ණුයි. ඒ වගේම කප­ටියි. රක්ෂිත වට­කර ඇති විදුලි වැට­වල් සූක්ෂ­මව දළෙන් ඇන කඩා­ගෙන ඇතු­ළට පනින්න දන්නවා. මේ නිසා රක්ෂිත අයි­ති­ක­රු­වන්ට අවශ්‍ය වුණේ මේ කර­ද­ර­කාර අලි රංචුව මරා දම­න්නයි. ඒත් මුන් මට බාර දෙද්දී එයට මා තෝරා ගත්තේ ඇයි­දැයි මං විම­සුවා. ‘ඔබට සතුන් හා කතා කරන්න පුළු­වන් කියා අප අසා තිබුණා. උන්ට හරි­යන්නේ ඔබ වැනි කෙනෙක්’යනු­වෙන් ඔවුන් පිළි­තුරු දුන්නා”අලි රංචුව සිය භාර­කා­ර­ත්ව­යට පත්වීම ගැන ඇන්තනි පැවැසීය.

එම රංචුවේ වැඩි­හිටි ඇති­න්නියෝ තිදෙ­නෙක් තරුණ අලි තිදෙ­නෙක් තරුණ අලි­යෙක් හා පැටව් දෙදෙ­නෙකු ඇතුළු අලි නව දෙනෙක් වූහ. තුලා තුලා කරා ගෙන ඒම සඳහා වට­කි­රී­මේදී පැන­යෑ­මට තැත් කළ ඇති­න්නක හා පැටි­යකු මර­ණ­යට පත්වීම ඇන්ත­නිට දරා­ගත නොහැ­කි­විය. එම වන අලි ඉතා දරුණු සතුන් වූ අතර මිනි­සුන්ට දැඩිසේ වෛර කළහ. එතැන් පටන් එම අලි රෑනේ භාර­කරු වූයේ ඇන්ත­නිය. ඔහුට අලින්ගේ විශ්වා­සය දිනා ගැනී­මට සෑහෙන කාල­යක් ගත­විය. ඒ කාල­යේදී උන් රැක ගැනී­මට ඔහු ඉතා දුෂ්කර සට­නක් ගෙන ගියේය. ඔහු මේ සතුන්ට කතා කළේ ආද­ර­යෙනි. සැර­වැර නොකර අලින්ට අවශ්‍ය ආහාර හා ජලය සැප­යීය. අලින්ගේ කනට කොඳු­රන්නා ලෙසින් පසුව ඇන්තනි සැවොම අතර ජන­ප්‍රිය වූයේ ඔහු හා අලින් අතර ඇතිවූ ළෙන්ගතු සම්බ­න්ධය නිසාය.

ඇන්තනි අලින් සුර­තල් නම්ව­ලින් හැඳි­න්වීය. රෑනේ නායක ඇතින්න ‘නානා’ නම් වූවාය. මිය­ගිය ඇති­න්නගේ පැටවා ඔහු හැඳි­න්වූයේ ‘මුනු­ම්සේන්’ නමිනි. අප්‍රි­කානු සුලු භාෂාව අනුව එහි තේරුම ‘සර්’ යන්නය. රෑනේ දෙවැනි නායි­කාව ලස්ස­නය. ඇන්තනි ඒ ඇතින්න සිය බිරි­යගේ නමද එක්කර ‘ෆ්‍රැන්කී’ ලෙසින් නම් කළේය. ඔහු රක්ෂි­තය මැද්දේ දැවැන්ත කොටු­වක් තනා අලින් එහි රැඳ­වූයේ උන් මේච්චල් වූ පසු රක්ෂි­තය පුරා කරක් ගැසී­මට ඉඩ දීම සඳ­හාය.

පසු­කා­ලී­නව ඇන්තනි තමා හා මේ අලි රෑන අතර ඇතිවූ ළෙන්ගතු බැඳීම අලළා පොත් කීප­යක්ම රචනා කළේය. අලින්ගේ රැක­ව­ර­ණය ඉල්ලා අලින් සුරැ­කීමේ සංවි­ධා­නය විසින් කරනු ලැබූ ඉල්ලීමේ සිට ඒ දරුණු අලින් හීලෑ වූ අන්ද­මත් ඉන්පසු ඒ අලින් ඔහුට දරු­වන් මෙන් වූ අන්ද­මත් ඔහු ඒ පොත්ව­ලින් විස්තර කළේය.

“අලි රංචුව මුලින්ම දැමූ දැවැන්ත කොටුව වෝල්ට් 8000ක ධාරි­තා­ව­කින් යුත් විදුලි වැට­කින් වට­කර තිබුණා. නානා කළේ රංචුව වට­ක­ර­ගෙන උගේ දැවැන්ත දළෙන් වැටට ගැසී­මයි. කරන්ට් එක වැදුණු ගමන් එයා පස්සට ගියා. ඒත් එයා තමන්ගේ උත්සා­හය අත්හළේ නැහැ. කොටුව වටේ යමින් තැනින් තැන වැටට අනි­මින් වැට කඩන්න උත්සාහ කළා. එදා රෑ මං නින්දට යද්දීත් උන් විදු­ලිය වැට කඩා­ගෙන පැන යෑමට

උත්සාහ කර­මින් සිටියා”

නින්දට ගොස් පැය කීප­ය­කට පසු සේව­ක­යකු විසින් ඇන්තනි අවදි කර­වනු ලැබුවේ අලි රංචුව වැට කඩා­ගෙන පැන ගොස් ඇති බව දන්ව­මිනි. කොටු­වට ගොස් බලද්දී අලි රංචුව විශාල ගසක් විදුලි වැට හරහා පෙරළා එතැ­නින් පලා ගොස් සිටි­යහ. උන් සොය­මින් රක්ෂි­තය පුරා ගිය ඇන්තනි හා සේව­ක­යන් දුටුවේ අලි රැළ පෙර සිටි පළාත කරා ඇදෙන අන්ද­මය. රක්ෂි­තය අවට ගම්වා­සීන් ඒ වෙද්දී ද සිය රයි­ෆල අතට ගෙන තිබුණේ මේ මිනී­මරු අලි රැළ බෑවීම සඳ­හාය. ගම්මුන් ද අස්ව­ස­මින් අලි රෑන යළි කොටු කර ගැනී­මට ඇන්තනි මහත් වෙහෙ­සක් ගත්තේය. නැවත රැගෙන ආ පසුද නානා සිය රැළ එක්කර ගෙන යළි විදු­ලිය වැට කැඩී­මට උත්සාහ දර­න්නීය. ඔහු ඇතින්න ඉදි­රි­යට ගියේ ඇගේ දෑස් දෙසම බලා­ගෙ­නය. ඒ වෙද්දී වේලාව උදෑ­සන පහට ආස­න්නය. ඇන්තනි ඇති­න්නට ආයා­චනා කර­මින් ඇය ඉදි­රි­යේය. උන් සැමගේ ජීවිත රැඳී ඇත්තේ නානාගේ තීර­ණය මතය.

“නානා ඒක කරන්න එපා. උඹ නැවත එය කළොත් ඒ අය උඹලා මරා දමාවි. දැන් උඹේ ගෙදර මේක. උඹ මෙහේ හිට­පන්. මං උඹලා බලා ගන්නම්.” ඔහු සන්සුන් ඉරි­ය­ව්වෙන් ඇතින්න අම­තයි. ඇති­න්නද නිහ­ඬව ඔහු දෙස බලා සිටි­න්නීය. අලි රැළ ද නිහ­ඬය.

“ඇතින්න මගේ දෑස් දෙසම බලා ඉන්නවා වගේ මට දැනුණා. ඇය මගේ ඉරි­යව් නිරී­ක්ෂ­ණය කර­න්නාක්

වගෙයි. එවේලේ මං කළ දෙයෙහි භයා­නක බව එක්ව­රම මට වැට­හුණා. කරු­වලේ භයා­නක ඇති­න්නක හා රංචු­වක් ඉදි­රියේ මං තනි­යම. ඇය එක්ව­රම පාද­යක් ඉදි­රි­යට ගත්තේ වැට පෙර­ළන්න එන්නයි. මං හිටියේ වැටත් ඇති­න්නත් අත­රයි. ඒත් මාත් නානාත් අතර කිසි­යම් වූ එක­ඟ­තා­වක් ඇති­වුණා වගේ දෙයක් මට දැනුණා. ඒ සම­ඟම ආපසු හැරුණු ඇතින්න යන්න ගියා. අලි රංචු­වම ඇතින්න පස්සෙන් ඈතට ගියා”

අව­සා­නයේ ඔහු තීර­ණය කළේ යළි අල්ලා කොටු­කර ගත් අලි රෑන සමඟ ඔහු ද කල් ගෙවිය යුතු බවය.

“මං උන් සමඟ ජීවත් වෙමින් උන්ට රැක­ව­ර­ණය සප­ය­මින් උන්ට කව­මින් උන්ට කතා කර­මින් සිටිය යුතු බව එක­පා­ර­ටම මගේ සිතට ආවා. විශේ­ෂ­යෙන් ම උදේ හවා උන් සමඟ සිටි­මින් අප එකි­නෙකා හඳු­නා­ගත යුතු බව මට වැට­හුණා” ඇන්තනි ඔහුගේ පොත්වල අලි රෑන හීලෑ කර­ගත් අන්දම විස්තර කරන්නේ එසේය.

අව­සා­නයේ ඔහුගේ ඒ උත්සා­හය හරි ගියේය. අලි රෑන ඔහු හා මිතු­රු­විය. ඔහු උන්ට ළංවී ආද­ර­යෙන් කතා කරද්දී හොඬ­යෙන් ඔහුගේ මුහුණ පිරි­ම­දි­මින් අතින් දෙන ආහාර බුදී­මට මේ අලි හුරු වූහ. අලින්ගේ හැඟීම් ඔහුට වැට­හුණා සේම ඔහුගේ ආද­රය අලි තේරුම් ගත්හ. මෙසේ අලින් ඔහුට කීකරු වෙද්දී පළාතේ සිටින තවත් දරුණු අලි රෑනක් ඇන්තනි කරා ගෙන ඒමට අලි සංර­ක්ෂ­කයෝ පිය­වර ගත්හ. ඇන්ත­නිට හීලෑ වූ අලි ඔහුගේ රක්ෂි­තය පුරා නිද­හසේ කරක් ගැසූහ. වරින් වර ඔහු දැකී­මට ඔහුගේ වන නිව­හ­න­ටද ආ ගියහ.

දිනක් උදෑ­සන මුළු­තැ­න්ගෙයි දොර හරිද්දී දුටු දෙයින් ඇන්ත­නිගේ බිරිය ෆ්‍රැන්කො­යිස් පුදු­ම­යට පත්වූ­වාය. දඟ­කාර වියේ කුඩා අලි පැටි­යෙක් ඔවුන්ගේ මුළු­තැ­න්ගෙයි දොර බිඳ ඇතු­ළට ඒමට වලික­න්නේය. දොර හළ විගස ගෙට පැන ගත් අලි පැටියා හොඬ­වැල උස්ස­මින් ඉව කරන්නේ බීමට යමකි.

අප්‍රි­කානු වන අලින් හා නොබි­ඳෙන බැඳී­මක් ඇති කර­ගත් ඇන්තනි තමා අලි­න්ගෙන් ජීවි­තය, නිද­හස හා ළැදි­යාව පිළි­බඳ බොහෝ පාඩම් උගත් බව පැව­සීය.

අලින්ගේ කනට කොඳු­රන්නා ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධ වූ ඇන්තනි 2012 වසරේ මාර්තු 7 වැනිදා මිය ගියේ හදිසි හෘද­යා­බා­ධ­ය­කිනි. එහෙත් කවු­රුත් නොසිතූ සිදු­වී­මක් වූයේ ඉන් තෙදි­න­කට පසුය. ඒ පිළි­බඳ ලොව පුරා මාධ්‍යට තොර­තුරු හෙළි කළේ ඇන්ත­නිගේ බිරිය ෆ්‍රැන්කො­යිස් හා පුතුන් වන ඩයි­ලන් හා ජේසන්ය.

“අලි රංචුව ඒ වෙද්දී අවු­රු­ද­කින් විතර අපේ ගේ ළඟට ඇවිත් හිටියේ නැහැ. පියා මිය­ගොස් තෙවැනි දින අපේ ගම්බද ගේ ළඟින් අලි රංචුව කෑ ගහ­නවා ඇහුණා. ඒ පළමු අලි රංචුව. ඉන් පස්සේ අනිත් රංචු­වත් ආවා. උන් දවස් දෙකක් තිස්සේ ගේ අසල ගැව­සෙ­මින් කුංච­නාද පව­ත්ව­මින් හිටියා. ඈත ගම්මා­න­වල ගෝත්‍රි­ක­යන් වෙතින් අප දැන­ගත් පරිදි උන් දින දොළ­හක් තිස්සේ මේ ගමන ඇවිත්. අලින්ට මර­ණ­යක් කල් තියා දැන ගැනීමේ හැකි­යා­වක් තියෙ­නවා කියා මත­යක් තියෙ­නවා. ඒත් මේ අලි පියාගේ මර­ණය දැන ගත්තේ කොහො­මද? අලි අපේ පියා මිය යන බව දැන­ගෙන කල්තියා පිටත් වී සැත­පුම් ගණ­නා­වක් දින කීප­යක් තිස්සේ ඇවිත්. සතුන්ගේ සංවේ­දි­තාව ගැන මෙය පුදු­මා­කාර අත්දැ­කී­මක්.”

ඇන්ත­නිගේ නිවෙස අසල දින දෙකක් තිස්සේ ශෝකී රාව­යෙන් කුංචා­නාද කර­මින් ගැව­සුණු මේ වන අලින් සෙමෙන් සෙමෙන් යළි වනා­න්ත­ර­යට ඇදී ගිය බව ඔහුගේ මර­ණය සිදු වූ කාල­ව­ක­වා­නුවේ ‍ලොව පුරා මාධ්‍ය රැසක් වාර්තා කර තිබු­ණේය.

Comments