
* වෛද්‍යවරුන් ඉල්ලා කරන උද්ෙඝා්්ෂණයට අවුරුදු ෙදකයි
* ප්‍රසව වාට්ටුව භාර එකම දොස්තරත් නිවාඩු ගිහිල්ලා
සමාජයේ කොතැනක වුව ගැබිනි මවුවරුන්ට ඉතා ඉහළින් සලකනු ලබන්නේ අනාගත පරපුර වෙනුවෙන් තවත් සාමාජිකයකු මෙලොවට බිහි කිරීමට ගැබිනි මවුවරුන් දරණ වෑයම අගය කිරීමක් වශයෙනි. පෙර රජ දරුවන් ගැබිනි මවුවරුන් වෙනුවෙන් ගැබ් පෙරහර පවත්වා ඔවුන් ආගමික පරිසරයකට නැඹුරු කොට දෙවියන්ගේ බුදුන්ගේ පවා ආශිර්වාදය ගැබිනි මවුවරුන්ට ලබා දී තිබේ. අනුරාධපුර යුගයේදී දුටුගැමුණු රජතුමා පමණක් එවැනි ගැබ් පෙරහර හතළිස් හතරක් කළ බවට මහාවංශයේ කරුණු සඳහන්ය. එසේ නමුදු වර්තමානයේ අනුරාධපුරයට මායිම්ව ඊට නුදුරින් පිහිටි මන්නාරමේ ගැබිනි මවුවරුන්ට විඳීමට සිදුව ඇති පීඩා ඇසෙන විට අප ලෝකයේ සිටින්නේ කොතැනකදැයි සිතා ගැනීමට පවා අසීරුය.
මන්නාරම රජයේ රෝහලේ දැඩි වෛද්‍ය හිඟයක් පවතින්නේ දැනට වසර තුනක පමණ කාලයක සිටය. උතුරු පළාත් සෞඛ්‍ය ලේකම්වරයා වරක් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබුණේ මන්නාරම රෝහලට අවශ්‍ය පමණට වෛද්‍යවරුන් ලබාදීමට නොහැකිනම් රෝහල වසා දමන ලෙසයි. නමුත් මේ දක්වාම මන්නාරම රෝහලේ වෛද්‍ය හිඟයට කිසිදු විසඳුමක් ලැබී නොමැත.
මන්නාරම රෝහලේ ප්‍රසව වාට්ටුව බාරව සේවය කරන එකම එක වෛද්‍යවරයා මේ දිනවල නිවාඩු ලබාගෙනය. එහෙයින් රෝහලට ඇතුළත් වන ගර්භිණී මවුවරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරයකු නොමැත. මේ නිසාම මන්නාරම රෝහලේ බලධාරීහු මේ දිනවල මන්නාරම රෝහලට ඇතුළත් වන ගැබිනි මවුවරුන් ගිලන් රථවල පටවා වවුනියාව මහ රෝහල වෙත එවීමට කටයුතු කරති.
ඒ අතර මන්නාරම රෝහලේ ගැබිනියන්ට ප්‍රතිකාර සඳහා අදාළ වෛද්‍යවරයෙකු නොමැති බව දන්නා ගැබිනි මවුවරුන්ගේ ස්වාමිපුරුෂයෝ සිය බිරියන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කරති. මේ නිසා වවුනියාව රෝහලට ඇතුළත් වන ගැබිනි මවුවරුන්ගේ සංඛ්‍යාව ද වැඩිවී තිබේ.
වවුනියාව මහ රෝහලේ පහේ වාට්ටුව මේ හේතුව නිසා දැන් ඉතාම කාර්ය බහුල හා තදබදයෙන් පිරි තැනක් වී ඇත. එනිසාම ගැටලු රාශියක් ද පැන නැඟී ඇත්තේය. ගැබිනි මවුවරුන් කෙතෙක් පීඩා වින්දද තවමත් මන්නාරම රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුමක් ලැබී නැති අතරම මේ නිසා වවුනියාව හා මන්නාරම යන රෝහල් දෙකෙහිම ගැටලු වැඩිවීම පමණක් සිදුව තිබේ.
වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ ගැන මෙසේ අදහස් පළ කළේ මෙසේය.
''සාමාන්‍යයෙන් මහ රෝහලකදී ඕනෑම රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා සමස්ත කාර්ය මණ්ඩලයම බැඳී සිටිනවා. ඒක කළ යුතු දෙයක්. නමුත් මේ ප්‍රශ්නය පරිපාලනමය ප්‍රශ්නයක් නිසා ඇති වී තිබෙන්නේ ආරවුල් සහගත තත්ත්වයකුයි. මෙවැනි ප්‍රශ්න කෙටි කාලයකින් විසඳිය යුතුයි. දැන් මන්නාරම රෝහලේ වෛද්‍ය හිඟයට වසර හතරක් විතර ගත වෙලා. ඒත් තවමත් ප්‍රශ්නය විසඳිලා නෑ. ඒ රෝහලේ ඉන්න වෛද්‍යවරුන් නිවාඩු යනකොට සියලුම ලෙඩ්ඩු වවුනියාව රෝහලටයි ගේන්නේ. අනිත් රෝගීන් කොච්චර ආවත් ඒක පේනවා අඩුයි. මොකද ඒ වගේ ලෙඩ්ඩු ඇඳක අයිනක හරි බංකුවක හරි තියන්න පුළුවනි. ඒත් ගැබිනි මවුවරුන්ට එහෙම කරන්න බැහැ. මේ නිසා මේ රෝහලේ මේ වාට්ටුවේ තද බදය වැඩි වෙලා. ප්‍රශ්න වැඩිවෙලා. කෙටියෙන් කියනවනම් පරිපාලන කටයුතු අවුල් වෙලා. මේ රෝහලේ ඉන්න සියලුම දෙනා එකා වගේ මුළු කාලයම වැඩ කරනවා. ඒත් වැඩවල ඉවරයක් දකින්න අමාරුයි. මේකෙන් වෙන්නේ සියලු දෙනාම නිකන් අපරාදේ හෙම්බත් වෙන එක විතරයි. ඒක නිසා බලධාරීන් මේ ප්‍රශ්නවලට ඉතා ඉක්මනින් විසඳුම් සෙවිය යුතුයි.''
සාමාන්‍යයෙන් වවුනියාව මහ රෝහලටද ගැබිනි මවුවරු සැලකිය යුතු ප්‍රමාණයක් දිනකට ඇතුළත් වෙති.
මන්නාරම රෝහලේ ගර්භිණී මවුවරුන්ගේ ප්‍රශ්නය මේ වසරේ ජනවාරී මාසයේදී ඉතාම උග්‍ර විය. මාස දෙකක්ම මන්නාරම රෝහලේ ගැබිනි මවුවරුන් වෙණුවෙන් වෛද්‍ය සායන නොපැවැත්වුණි. අවසානයේදී මන්නාරම රෝහලේ පාලන අධිකාරිය ගැබිනි මවුවරුන්ට සායනයක් සඳහා දිනයක් ලබා දුන්නේය. වවුනියාව මහ රෝහලෙන් වෛද්‍යවරුන් මන්නාරමට කැඳවා ඒ සායනය පැවැත්වීමට සැලසුම් යොදා තිබුණද විවිධ හේතු මත නියමිත දිනයට මන්නාරම රෝහලට වවුනියාව මහ රෝහලෙන් වෛද්‍යවරුන් කැඳවා ගැනීමට නොහැකිවීම නිසා එම සායනද අත්හිටවනු ලැබිණි.
එදින මන්නාරම රෝහල ඉදිරිපිට ඇතිවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි. ඉතා අසීරුවෙන් සායනය කරා පැමිණි ගැබිනි මවුවරුන් මහ පාරේ අව්වේ වේෙළමින් මන්නාරම රෝහලට වෛද්‍යවරුන් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වීමය. මද වේලාවකින් ඊට තවත් පිරිස් එක්වීම නිසා වාහන තදබදයක් ද ඇතිවී පොලිසිය පවා යෙදවීමට සිදුවිය.
ගැබිනි කාන්තාවන් මහා මාර්ගයෙන් ඉවත් කිරීමට පොලීසියටද කළ හැකි දෙයක් නොවීය. මේ නිසා පොලීසියේ ඉහළ නිලධාරිහු මන්නාරම රෝහලේ බලධාරීන් සොයා ගියහ.
''මේ ප්‍රශ්නය විසඳන්න පොලීසියට බැහැ. වෛද්‍යවරුන් දෙන්නම් කියලා කියන්න පොලීසියට බැහැ. ඒක නිසා බලධාරීන්ම ඉදිරිපත් වෙලා මේ මවුවරුන්ට පිළිතුරක් දෙන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට මොනවත් කරන්න බැහැ''
පොලීසියේ ඉල්ලීම මත මන්නාරම රෝහලේ කාර්ය බාර වෛද්‍යවරියක් පැමිණ ගැබිනි මවුවරුන් ඇමතුවාය.
"අපි මේ රෝහලට වෛද්‍යවරු නෑ කියලා අවුරුදු දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයටත් උතුරු පළාත් සභාවේ බලධාරීන්ටත් කියනවා. අලුතෙන් වෛද්‍යවරුන් ලබාදීලා නැහැ. රසායනාගාර නිලධාරීන් ඇතුළු අනෙක් සේවක පිරිස්වලත් විශාල අඩුවක් පවතිනවා. මේකට අපට කරන්න දෙයක් නෑ. ඒත් මේ උදාවෙලා තියෙන තත්ත්වය ගැන අපි උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. අපිට දැන් උත්තරයක් දීලා තියෙනවා. මන්නාරම රෝහලට අලුතෙන් වෛද්‍යවරුන් ලැබෙනතුරු මාතෘ සායනය තියෙන දිනයට වවුනියාව මහ රෝහලේ සිට වෛද්‍යවරුන් හා අනෙක් නිලධාරීන් මන්නාරමට එවන්න ඔවුන් තීරණය කළා. මේ නිසා අප ඉදිරියේ කෙසේ හෝ මේ මාතෘ සායනය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.''
එසේ නමුත් ඒ කී පරිදි වෛද්‍ය සායනය පැවැත්වුණේ ද අවස්ථා කීපයක් පමණි. වවුනියාව මහ රෝහලටද මේ ප්‍රශ්නය දරා ගත නොහැකි වූ නිසා සායන ඉබේම නතර විය.
යාන්තමකට හෝ විසඳුමක් වශයෙන් මන්නාරම රෝහලේ ප්‍රසව වාට්ටුව වෙත එක් වෛද්‍යවරයකු පමණක් අනුයුක්ත කර තිබිණි. එම වෛද්‍යවරයා ඉහ ඉස්පාසුවක් නොමැතිව සේවයේ යෙදී සිටින අතර ඔහුද නිවාඩු යද්දී පෙරකී තැනටම යළිත් රෝහල පත්වීම ඛේදජනකය.
''අපි මන්නාරම රෝහලට ඇතුළත් වුණේ ළමයා ලැබෙන්න කියලා. ඒත් රෑම වවුනියාවට ගෙනාවා. ගෙදර අයට කියන්නවත් විදිහක් වුණේ නෑ. ඒ අය උදේ මන්නාරම ඉස්පිරිතාලෙට ආවට පස්සෙයි අපි මෙහෙ ඉන්නේ කියලා දැනගෙන තියෙන්නේ. මෙ මවුවරුන් මන්නාරමේ ඉඳලා වවුනියාවට එක්කන් එන්න ගිලන් රථ දුන්නට ටිකට් කැපුවට පස්සේ එහෙම ලැබෙන්නේ නෑ. අපි අතින් වියදම් කරන් යන්න ඕනේ. බබා හම්බ වෙලා හැතැප්ම හතළිස් නවයක් බස් එකක යන්න බැහැ. මොකක් හරි
වාහනයක් අල්ල ගන්න ඕනේ. ත්‍රීවීල් එකක එච්චර දුර යන්නත් බෑ. කොහොම හරි වාහනයකට රුපියල් හාරදාහක් පන්දාහක් ඉල්ලනවා. අපි කීප දෙනෙකුට එකතු වෙලා යන්නත් බැහැ. අපි මන්නාරම රෝහලට වෛද්‍යවරුන් ඕනේ කියලා කෑ ගහන්නේ මේ ප්‍රශ්න නිසයි. කෑ ගැහුවම එකම එක වෛද්‍යවරයෙක් තමයි දුන්නේ. එයා නිවාඩු ගියාම බබාලා හම්බ වෙන්න උන්න අම්මලාට කරගන්න දෙයක් නෑ. අපි ඉල්ලන්නේ මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් දෙන ලෙසයි.'' ඔවුහු පවසති.
මන්නාරම රෝහලේ මතුව ඇති මේ තත්ත්වය ගැන විස්තර සොයා බලද්දී තවත් තොරතුරක් දැන ගන්නට ලැබිණි. ඒ මන්නාරම රෝහලේ ප්‍රසූත වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයා නිවාඩු ලබාගෙන ගොස් ඇත්තේ වෙනත් පළාතකට මාරුවී යෑමේ අදහසින් බවයි. එයට හේතු වී ඇත්තේ මේ වෛද්‍යවරයාට දින කීපයකට පෙරදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහර දී ඇති බව කියන සිද්ධියකි. අලුත උපන් බිලිඳකු මිය යෑම සම්බන්ධයෙන් වියරු වූ පුද්ගලයන් දෙදෙනකු මේ පහර දීම සිදු කර ඇති බව පැවසිණි. එම දරු උපත මළ දරු උපතක් බවට තීන්දු වී තිබියදී වෛද්‍යවරයාට පහර දීම ගැන සිදුවූ පරීක්ෂණ පිළිබඳ ඉතා කනගාටුවකින් පසු වූ ඒ වෛද්‍යවරයා නිවාඩු ගොස් ඇත්තේ ආපසු මන්නාරමට පැමිණීමේ අදහසකින් නොවන බව කියැවේ. එය එසේ වුවහොත් මන්නාරමේ රෝහලට ඉදිරියේදී පැමිණෙන ගැබිනියන්ට ඇත්තේ දෙවියන්ගේම පිහිට බව තතු දත්තෝ පවසති.
රසුල දිල්හාර ගමගේ