
විවිධ රටවල සිට ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් සංක්‍රමණය වෙද්දී ආරක්ෂක බලධාරීන්ට හසුවන පවුල් රඳවා තැබෙන සරණාගත කඳවුරුවල සිටින දරුවන් මුහුණ දෙන ඛේදවාචකයයි මේ.......
සිය දිවි නසා ගැනීමේ චර්යාව වර්ධනය වූ කුඩා දරුවන් පිරිසක් නවුරු රාජ්‍යයේ දිවි ගෙවන බැව් ලෝක මාධ්‍ය මේ දිනවල දිගින් දිගටම වාර්තා කරයි. සිය දිවි නසා ගැනීමේ චර්යාව හෝ තමන් තමන්ටම හානිකර ගැනීමේ චර්යාව හෝ දැකිය හැකි වන්නේ වයසින් මුහුකුරා ගිය අය අතරෙහි ය. එසේ වුවත් අප කියන මේ පිරිස වයස අවුරුදු අටත් දහයත් අතර වයස් ඛණ්ඩයේ පසුවන දරුවන් වීම විශේෂත්වයකි.
මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටින්නේ විවිධ රටවල සිට ඔස්ට්‍රේලියාවට සරණාගතයන් ලෙස බෝට්ටුවලින් පැමිණි පිරිසකගේ දරුවන් ය. මේ සරණාගතයන් ඕස්ට්‍රේලියා වෙරළ සීමාවේදී එරට ආරක්ෂක බලධාරීන් අතට පත්ව තිබේ. ආරක්ෂක අංශ භාරයට පත් එම අනවසරණ සංක්‍රමණිකයන් සරණාගත කඳවුරු වෙත පිටත් කර හරින්නට ඕස්ට්‍රේලියා රජය පියවර ගෙන ඇත. එකී සරණාගත කඳවුරු ස්ථාපනය කර තිබෙන්නේ නවුරු සහ පැපුවා නිව් ගිනියා රාජ්‍යවල ය. එම සරණාගත කඳවුරු පවතින්නේ එකී රටවල පාලනය යටතේ බැව් සඳහන් වේ.
--සෙල්ලම් කිරීමත් අරහං--
සරණාගත කඳවුරු අභ්‍යන්තරයේ පවත්නා තත්ත්වය මෙන්ම ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති රීති මඟින් රැඳවියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. අයහපත් තත්ත්ව හේතුවෙන් කුඩා දරුවන් තුළ මානසික සෞඛ්‍ය අර්බුද ප්‍රබල ලෙස පැන නැඟෙමින් තිබෙන බව විද්වත්හු පෙන්වා දෙති. වඩාත් කනගාටුවට කාරණය, මේ කර්කෂ පරිසරයෙහි ඉවක් බවක් සහ තේරුමක් බේරුමක් නැතිව වසර ගණන් එක දිගට ගත කරන්නට ලොකු පොඩි කාටත් සිදුවීම ය. ලොකු අයට කෙසේ වෙතත් පොඩ්ඩන්ට කඳවුරු ජීවිතයේ බැරෑරුම කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නැත.
“එහි සිටින අවුරුදු අට සහ දහය වැනි වයස්වල දරුවන්ගෙන් පවා සිය දිවි නසා ගැනීමේ චර්යා දකින්න පුළුවන් වෙලා තිබෙනවා. ඒක අතිශයින්ම භයානක අර්බුදකාරී තත්ත්වයක්.” යැයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලුයිසී නිව්මන් පවසයි.
කුඩා දරුවන් අඳින චිත්රවලින් පවා නිරූපණය වන්නේ ඔවුන් පෙළන කෘර වේදනාවන් බැව් රැඳවියන් සමඟ කටයුතු කරන සහන සේවා කණ්ඩායම් පවසති. එයට හේතුව කඳවුරුවල රඳවා ගැනීම හේතුවෙන් ඒ පොඩිත්තන් තුළ දිගින් දිගටම ඇතිවන ඉච්ඡාභංගත්වයයි. පොඩ්ඩන්ගේ අවශ්‍යතා අඛණ්ඩවම ඉටු නොවීම බරපතළ ඛේදයකි. එනිසා දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ මං ඇහිරී තිබේ. ඔවුන් ඉතාමත් සාහසික ලෙස අත්හැර දැමීමකට ලක්ව ඇත. එනිසා දරුවන්ට ආහාර පාන පවා එපා වී තිබේ. සෙල්ලම් කරන වයසේ පසුවන සුරතල් දරුවෝ සෙල්ලමෙන් වින්දනයක් නොලබන්නෝ ය. එනිසා සෙල්ලමත් ඔවුන්ට කරදරයක්, සහ බරක් වී තිබේ. බොහෝ දරුවෝ කිසිදු සෙල්ලමකට හවුල් නොවෙති. කිසිවකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ද ඇතැම් දරුවන් කෙරෙන් දැන් ගිලිහී ගොස් හමාර ය. එනිසා සමහරුන් බලාගත් වනම බලාගෙන සිටිනවා විනා කතා කිරීමක් නැත. මේ ආදී තත්ත්වවලින් පෙළෙන කුඩා දරුවන් තිස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කඳවුරු තුළ සිටින බව සහන සේවකයෝ පවසති.
--වෛද්‍යවරුන් පළාතක නෑ---
“මේක මොන විධියකින්වත් බලාපොරොත්තු නොවුණු තත්ත්වයක්. දරුවන් මහ විශාල කම්පනයකට මුහුණ දීලා ඉන්නේ. ඔවුන් බලාපොරොත්තු රහිත තත්ත්වයක පසුවෙන්නේ. ඔවුන් අත්හැර දමලා. ඔවුන්ට තමන් ගැන අනාරක්ෂිත බව දැනෙන්න පටන් අරන්” යනුවෙන් මහාචාර්ය නිව්මන් පවසයි. සරණාගත කඳවුරු තිබෙන්නේ නවුරු රාජ්‍යයෙහි ඉතාමත් දුෂ්කර පෙදෙස්වලය. වෛද්‍ය, උපදේශන ආදී කාර්යයන්හි නියැළෙන වෘත්තිකයන්ට කඳවුරුවලට ළඟාවීම මේ නිසා බෙහෙවින් දුෂ්කර වී ඇත. එවැනි වෘත්තිකයන් කඳවුරු වෙත ළඟාවීම සීමා කිරීමටත් බලධාරීහු වග බලාගෙන සිටිති. මානසික සෞඛ්‍ය අතින් දුර්වල තැනකට වැටුණු කඳවුරු දරුවන්ගේ තත්ත්වය බාහිර ලෝකයට අනාවරණය නොවන්නට එය විශාල වශයෙන් බලපා තිබේ.
නවුරුහි සරණාගත කඳවුරුවල ජීවත්වන වැඩිහිටියන් පවා දැඩි මානසික කම්පනවලින් පීඩා විඳින බව “ඩොක්ටර්ස් ෆෝ රෙෆියුජීස්” වැනි රාජ්‍ය නොවන ආයතන පෙන්වා දෙයි. මේ නිසා සිය දිවි නසා ගැනීමේ සහ තමන් තමන්ටම හානිකර ගැනීමේ චර්යාව වැඩිහිටියන් අතර සුලභ බව එම නිලධාරීහු පවසති. අඩු තරමින් එක් වැඩිහිටියකුවත් දිනකට සිය දිවි නසා ගැනීමට උත්සාහ දරණ බව වාර්තා වේ. රැඳවියන් දැඩි මානසික කම්පනයන්හි ගිලී ජීවත්වන බැවින් කඳවුරු තුළ ලිංගික හිංසන සහ ශාරීරික අපයෝජන ඕනෑ තරම් සිදුවන දැකිය හැකිය. එවැනි සැහැසිකම් ගැන වාර්තා වන්නේ ද ඉඳ හිටය. කෙසේ වෙතත් මේ නොපනත්කම් දකින දරුවන්ගේ මනස විකෘති වන බව නම් මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. මේ නිසා අවුරුදු තුනක් පමණ වයසැති දරුවන් පවා වයසට නොගැළපෙන ලිංගික හැසිරීම් පෙන්වන අවස්ථා මතුව ඇති බව වාර්තා වේ. මෙවැනි කවර හේතුවක් නිසා හෝ දරුණු අසනීප තත්ත්වවලට වැටෙන රැඳවියන්ට නවුරු දූපත තුළදී ප්‍රතිකාරයක් ලැබිය නොහැකිය. එවැන්නවුන් තායිවානයට, පැපුවා නිව් ගිනියා රාජ්‍යයට හෝ ඔස්ට්‍රේලියාවට හෝ ගුවන් මඟින් පිටත් කර හරින්නට සිදු වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ රාජකාරි කටයුතු ඉක්මනින් සිදු වන්නේ නැත. කවදා කොයි වෙලාවක හෝ එම පහසුකම් ලැබෙන තුරු බලාසිටින්නට රෝගීන්ට සිදුව ඇත.
නවුරු සරණාගත කඳවුරුවල දැනට ජීවත් වන පිරිස් අතර ඉරාණය, ඉරාකය, ලෙබනනය ආදී රටවලින් පැමිණි පිරිස් බහුල ය. රෝහින්ග්‍යා ප්‍රජාව නියෝජනය කරන පිරිස් ද කඳවුරුවලට පැමිණීම මෑතක සිට වැඩිවෙමින් ඇත. සරණාගත කඳවුරුවල කුමක් සිදුවුවත් ඕස්ට්‍රේලියා රජයේ බලධාරීහු තවමත් මුනිවත රකිති.