
පෙරහරට තියන්නම ලක්ෂ ගණන් වටිනා ගොන්නු
පෙරහරක අසිරිය ගැන කතා කරන විටෙක පෙරහරේ ගමන් කළ අලි සංඛ්‍යාව කොපමණ දැයි විමසන්නේ පෙරහරේ අලංකාරත්වය සහ ගාම්භීරත්වය එයින් තීරණය කෙරෙන නිසාය. එහෙත් අලින් වෙනුවට ගොනුන් ගමන් කරන පෙරහරක් පිළිබඳව අසන්නට, දකින්නට ලැබේ නම් එය කෙනකු පුදුමයට පත් කරවන කාරණයක් වනවා නිසැකය. එළ ගවයන් හැට, හැත්තෑ ගණනකින් සමන්විත මෙම සුවිශේෂී පෙරහර නැරඹිය හැකි වන්නේ නවගමුව සිද්ධ පත්තිනි දේවාල පෙරහරේදී ය. පසුගිය සඳුදා පැවැති මෙම පෙරහරට එක් කළ ගවයන්ගේ ගණන හැත්තෑවකට අධිකය. ගොන්පිට පෙරහර නමින් හැඳින්වෙන මෙම පෙරහර දින 3 ක් පැවැත්වේ.
නවගමුවේ සිද්ධ පත්තිනි දේවාල පෙරහර ඇරැඹෙන්නේ කුඹල් පෙරහරෙනි. එය පැවැත්වෙන්නේ එක් දිනක් පමණි. ඉන්පසුව පාවඩ පිට පෙරහර දින 3 ක් මුළුල්ලේ පැවැත්වේ. පාවඩ පිට පෙරහරට ගවයන් හෝ අලින් සම්බන්ධ කර ගැනෙන්නේ නැත. එම පෙරහරේදී කපු මහතුන් ඇතුළු සැමගේ ගමන පයිනි. මෙම පෙරහර දෙකම ගමන් ගන්නේ නවගමුව දේවාල භූමියේ ඇතුළත ය. පිටතට පැමිණ වීදි සංචාරය කෙරෙන්නේ නැත. ඉන් අනතුරුව දින තුනක් පුරා පැවැත්වෙන්නේ ගොන්පිට පෙරහර ය. එය ගොන්පිට රන්දෝලි පෙරහර ලෙස හැඳින්වේ. වීදි සංචාරය කරන්නේ ගොන්පිට රන්දෝලි පෙරහර ය.
නවගමුව රජමහ විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇරැඹෙන ගොන්පිට පෙරහර, ශ්‍රී සුමනතිස්ස මාවත ඔස්සේ විහාර මාවතට පිවිස දේවාල පිටුපස මාර්ගයට අවතීර්ණ වී නැවතත් රජමහ විහාරස්ථානයට පැමිණීම මෙම පෙරහරේ ගමන් මාර්ගය ලෙස දැක්විය හැකි ය. ගොන්පිට පෙරහර අවසන් වූ පසුව අලි ඇතුන් සහිත පෙරහර ආරම්භ වේ. මෙම අලි ඇතුන් සහිත අවසාන රන්දෝලි පෙරහර දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහරට පමණි. එහෙත් නවගමුවේ සිද්ධ පත්තිනි දේවාල පෙරහරේ සුවිශේෂිත්වය පළ වෙන්නේ ගොන්පිට පෙරහරෙනි. ලංකාවේ ගොන්පිට පෙරහරක් පැවැත්වෙන එකම තැන නවගමුවේ සිද්ධ පත්තිනි දේවාලය ලෙස හැඳින්වීම වරදක් නොවේ.
නවගමුවේ සිද්ධ පත්තිනි දේවාල පෙරහරට ගොන්පිට පෙරහරක් ඇතුළත් වීමට බලපෑ නිධාන කතාවක් තිබේ. ක්‍රි.ව. 114 - ක්‍රි.ව. 135 අතර කාල වකවානුවේ රජ කළ 1 වැනි ගජබා රජතුමා පත්තිනි දේවිය උදෙසා නවගමුවේ දේවාලයක් ඉදි කරවූ බව පොත පතෙහි සඳහන් වේ. නවගමුව, කඩුවෙල යන ප්‍රදේශ කෘෂිකර්මාන්තයට අයත් ප්‍රදේශ වේ. එදා ගොවිතැනට, කිරි වෙළෙඳාමට මෙන් ම කරත්තවලට ගවයන් යොදා ගැනීම බහුල වශයෙන් සිදුවූයේ අතීතයේ කෘෂිකර්මාන්තය මෙන් ම දියුණුම ප්‍රවාහන මාධ්‍ය කරත්ත වූ නිසා ය. මීට සියවස් ගණනකට පෙර මෙම ප්‍රදේශයේ ජීවත්වූ ගවයන් කුර රෝගයට ගොදුරු වීමෙන් ගවයෝ මිය ගියහ. වසංගතයක් ලෙස කුර රෝගය පැතිර ගිය බැවින් එදා විසූ අයට සිය ජීවනෝපාය කරගෙන යෑමට හැකිවූයේ නැත. ගවයන් මිය යද්දී කෘෂිකාර්මික කටයුතු, කිරි ගොවිතැන අඩපණ විය. කරත්තවලට බැඳීමට ගවයන් නැති විය. ගම්වාසීන් නවගමුවේ සිද්ධි පත්තිනි දේවාලයට ගොස් පත්තිනි මෑණියන්ට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ එබැවිනි. ගවයන් බිලි ගන්නා වසංගතය දුරු කළහොත් දේව දානයක් දී සධාතුක කරඬුව සහ වස්ත්රාභරණ ගවයන් පිට වැඩම කරවන බවට පත්තිනි දේවිය ඉදිරියේ මෙම ගම්වාසීහු පොරොන්දු වූහ. අවසානයේදී ගවයෝ සුවපත් වූහ. වසංගතය පහ විය. ගව අයිතිකරුවෝ ඇතුළු ගම්වාසීහු පොරොන්දු වූ ආකාරයට ම ගොන් පිට පෙරහරක් පවත්වමින් සධාතුක කරඬුව සහ වස්ත්රාභරණ ගොන් පිට වැඩම කරවීම වාර්ෂිකව සිදු කළහ.
මෙම පුරාවෘත්තයම මඳක් වෙනස් ආකාරයකට ද ජනප්‍රවාදයෙහි පවතී. එහි සඳහන් වන්නේ පත්තිනි දේවිය රැක බලා ගනිමින් පත්තිනි දේවිය වෙනුවෙන් පෙනී සිටි වන්නි දේවි දේවතාවන් විසින් ගොවිතැන් කටයුතු සශ්‍රීක කර ගැනීම උදෙසා ප්‍රදේශයේ ගොවි පිරිසට ගවයන් දුන් බව ය. එමෙන් ම පත්තිනි දේවිය උදෙසා පුද පූජා පැවැත්වීමට ද උපදෙස් දී තිබිණි. අඛණ්ඩව එම පුද පූජා පවත්වාගෙන එනු ලැබූව ද කාලයක් යන විට ගම්මුන්ට එය මඟ හැරිණි. මේ අතරවාරයේදී ගවයන් වසංගත රෝගයකට ගොදුරු වී මිය යෑමෙන් ගම්වාසීන්ගේ ආර්ථිකය කඩා වැටිණි. ගොවියන් විසින් ගවයන්ගේ මරණයට හේතුව කුමක්දැයි කියමින් සාකච්ඡා කරන විට පත්තිනි දේවියට පුද පූජා කටයුතු නොපැවැත්වීම ඊට හේතුව ලෙස සැලකිණි. එබැවින් මහා පරිමාණයේ දානයක් පිරිනමා, ගමේ විසූ ගවයන් කැලණි ගඟෙන් නහවා කහ දියර ඉස ශුද්ධ පවිත්‍ර කර පත්තිනි දේවියගේ වස්ත්රාභරණ ගවයන්ගේ පිට මත තබා දේවාලය වටා යමින් පත්තිනි දේවියගෙන් සමාව ඉල්ලූ බවත් ඉන්පසුව ගවයන් වසංගත රෝගයෙන් මිදී නිරෝගීව වාසය කළ බවත් එකී ජනප්රවාදයේ සඳහන් වේ. මෙම පෙරහර වාර්ෂිකව පැවැත්වෙන්නේ ඉන්පසුව ය.
පෙරහරේ ගමන් කරන සෑම ගවයකුගේම පිට සතර මහා දේවාලයේ දේවාභරණ තැන්පත් කරන්නේ ගවයන් හැට හැත්තෑ ගණන ගැන නොතකමිනි. ගවයන්ගේ සංඛ්‍යාව කොපමණ වුවද සෑම ගවයකුගේම පිට මත දේවාභරණ තැබෙනු ඇත. මෙම පෙරහරට ගවයන් පමණක් යොදා ගැනෙන අතර එළදෙනුන් සහභාගි නොකෙරේ.
ගොන්පිට පෙරහරේ ගමන් ගන්නා ගවයන් නහවා පිරිසුදු කර මල්මාලා පළඳා, අංවලට කොපු ගසා අලංකාර සළුවකින් සිරුර වසාගෙන යන්නේ මහත් උජාරුවෙනි. දිගු අං සහිත හොඳින් වැඩුණු පුෂ්ටිමත් ගවයන් මේ සඳහා තෝරා ගැනෙයි. ඒ නිසා ම අද වනවිට මෙම ප්‍රදේශය සහ ඒ අවට ගම්වල ගවයන් ඇති කරන්නේ පෙරහරට සහභාගි කරවීමේ චේතනාවෙනි. කොහොම නමුත් වර්තමානයේ ගොවිතැන් කටයුතු සහ කරත්ත සඳහා ගවයන් යොදා ගැනෙන්නේ නැති තරම් ය. ගවයන් ඇති කිරීම විරල යුගයක මෙම ප්‍රදේශයේ පෙරහරක් වෙනුවෙන් පිටරටින් ගෙන්වූ ලක්ෂ ගණන් වටිනා ගවයන් ඇති දැඩි කිරීම ද අපූරු කතාවකි.
හර්ෂා සුගතදාස
ඡායාරූප - චමින්ද නිරෝෂණ