
දැන් චන්ද්‍රලතා වැඩිපුර සිටින්නේ ජයේන්ද්‍ර පුතාලාගේ නිෙවසේය. මාලිගාවක් වගේ අලුත් නිවස එහෙ මෙහෙ දුව පනින සිඟිති සුරතලාගෙන් ඒකාලෝක වෙලාය. දැන් ජයේන්ද්‍රත් හරි හරියට වතුවල වැඩ කටයුතුවලට සම්බන්ධ වෙයි. වත්තේ ඇති වන සේවක ප්‍රශ්නවලට ජයතිස්සට වඩා බුද්ධිමත්ව මැදිහත් වීමට පුතාට ඇති දක්ෂතාව ඇයට ආඩම්බරයකි.
වත්තේ මේ ප්‍රශ්න තියෙනව නේද මල්ලි, දැන් දැන් ඒවා මතුවෙන්නෙ අමුතු ම තැන්වලින්..”
ඩග්ලස් හාමු මස්සිනා සමඟ කියවන්නේ හිතේ ඇතිවන අමාරුව නැති කර ගන්නට වගේය.
විල්ප්‍රඩ් රත්නසේකර හිස වනන්නේ තමුන් දෙගොල්ලන්ටම මේ ප්‍රශ්නය පොදු නේදැයි කල්පනා කරමින් ය.
“කාලය මොනතරම් ඉක්මනට ඉගිළිලා යනවද කියනවා නම් එහෙ බලලා මෙහෙ බලන කොට ප්‍රශ්නත් ඇතිවෙලා ඒවා පැටව් ගහලත් ඉවරයි. බලන්නකො.. ඒ එක්කම අපේ දරුවොත් දැඩි මේනි වෙලා අපි නාකිත් වෙලා ඉවරයි...!”
“ආ... ඒක නම් ඇත්ත තමා මලේ... දරුවො නම් දැන් අපේ ඉහටත් උඩින් ගිහින්... බලන්න අපේ මලින්ද පුතා.. දැන් එයාගෙ කතා බහ චර්යාවල් ඔක්කෝම වෙනස්.. අපේ සමන්ති දුවගෙ කටයුත්තට... එකඟතාවෙ පළ කළ එක තමා බලාගෙන ගියාම හෙනේට හිටියෙ...”
“අයියා ඔය මට නේද ඇඟිල්ල දික්කරන්නෙ...?...ම.. මම... කිව් නිසානෙ...”
ඩග්ලස් ඇඟිල්ල දික්කර විල්ප්‍රඩ් ගේ කතාව නතරකරවයි.
“මම කොහොමද මලේ උඹට ඇඟිල්ල දික් කරන්නෙ.. මගේ ඇහේත් රොඩ්ඩ තියාගෙන.. ඕවා අපේම වැරදි නෙව...”
‘මොකක්...? මට තේරෙන්නෙ නෑ.. අයියා කියන කිසිදෙයක් මට ගනිච්චියක් නෑ...”
“මං මීට... ඉහත දොහකත් මේ විලම්බෑස්ස මලයට කියන්න ගියා.. බැරි වුණා... මේක අපි අතර රහසක්...!”
දැන් විල්ප්‍රඩ් රත්නසේකර අසුනින් නැඟී සිට මිදුලේ සක්මන් කරයි. ඩග්ලස් බැරෑඩි හඬින් කතා කරයි.
“මල්ලි... ඔය... චන්ද්රලතාගෙ දුව... චන්ද්‍රානි.. එයා මගේ දරුවෙක්...!”
********
ශ්‍රීමාල් දේශන ශාලාවෙන් පිටව එන අතරමඟ පුරුදු විදියටම හමුවන මේඛලා දිහා බලන්නේ චකිතයෙනි.
“ඇයි ඔයා මගේ කෝල් එකට ආන්සර් කළේ නැත්තේ...?”
මේඛලා බිම බලාගෙන හෙමිහිට ශ්‍රීමාල් සමඟ ගමනේ යෙදුණා මිස කිසිවක් කියන්නේ නැත. ඇගේ මුහුණ අඳුරුය.
“වලව්වලින් මඟුල් කතා කරලා තියෙද්දි අපි මොකදට නිකං මාන්සි වෙන්නෙ. හහ්...”
“මොකක්...? හා... දැන් කාටද මේ මඟුල් කතා කරලා තියෙන්නෙ.”
“ඔයා මට කිව්වෙ නැතිවට මට ඒවා ඔක්කොම ආරංචි වුණා. අපේ අයියත් එක්ක කියලා තියෙන්නේ අගෝරිස් කපුවා!”
ශ්‍රීමාල් මහ හයියෙන් හිනාවෙයි. ඒ හිනාවට අසලින් ගිය කීප දෙනෙක්ම හැරී බලනවා පෙනී මේඛලාට දුක හිතෙයි.
“දුප්පත්කම්වලට හිනාවෙන්න එපා... ශ්‍රීමාල්!”
ඇගේ හැඬුම්බර හඬට ශ්‍රීමාල් ගේ හිත රිදෙයි.
“මොකක් හරි ඔයා පටලවාගෙන... මේඛලා මට කතා කරපු මඟුලක් නෑ.. ඔය අගෝරිස් කපුවා අපේ වලව්වලට මඟුල් කතා කරනවා තමා... ඒත් ඔය මිනිහා මොකද ඔයාලගෙ අයියත් එක්ක මෙහෙම කතාවක් කිව්වෙ...?”
“අගෝරිස් කපුවා හරිම ඉරිසියයි.. මමත් ඔයා යන කැම්පස් එකටම සිලෙක්ට් වෙච්ච එකට... ඒක වෙන්න ඇති.. මං හිතුවෙ ඒක ඇත්ත කියලා...”
“මේඛලා ඔයා උගත් ගෑනියෙක්.. දැන් ලබන අවුරුද්දෙ උපාධිය අරගන්නවා අපි.. මෝඩ විදියට හිතන්නෙ නැතිව ටිකක් මොළේ කල්පනා කරලා වැඩ කළේ නැත්නම් අපේ ඉලක්කවලට යාගන්න පුළුවන් වෙන එකක් නෑ!”
ශ්‍රීමාල් කීවේ ස්ථිරවම ය. මේඛලා ඔහුගේ අත තදින් අල්ලා ගත්තේ සැහැල්ලුවට සිනාසෙමින්ය.
“සොරි ශ්‍රීමාල් ආයෙ මම කවදාවත්ම ඔයා ගැන මේ තරම් පටු විදියට හිතන්නෙ නෑ ඔන්න ජීවිතේටම...!”
මේඛලා එසේ කීවේ ගමේ පෙත්තරේ ළඟ ඉඳගෙන රෙදි කඳු හෝද හෝදා කාලයක් නැහිච්ච තම අම්මාගේ රූපය මතක් කරගෙනය. ඇගේ දෑසට කඳුළු ආවේ ඒ හින්දාය.
********
“දැන් මොකක්ද පුතේ ඔයා කරන්න බලාපොෙරාත්තු වෙන්නෙ...”
නිර්මලා මැණිකේ ජයමාල්ගෙන් ඇසුවේ හිත කරදර වෙමිනි. ජයමාල් විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු ලබා නොතිබීම එක අතකින් තමාගේත් සැමියාගේත් සතුටට හේතු වන බව ඇය දනී.
“මම තව පාරක් එක්සෑම් කරලා මට ඕනෑ නම් කැම්පස් යනවා... ඒත් ඉතිං අම්මයි අප්පච්චියි කැමති නෑනෙ මම කැම්පස් යනවට.. මම නොතේරිච්ච එකටත් ඔයාලට සතුටුයි නේද දැන් හහ් හා...!”
“ඔලමොට්ටල කතා කියන්න එපා දරුවා කට තිබුණු පලියට.. ඔයාලට තමුන්ගෙ දෙමවුපියන්ගෙ අගේ තේරෙන්නෙ නෑ. අපි කවද හරි නැතිවෙච්ච දාක තමා ඒක තේරෙන්නෙ.. දෙමවුපියො කැමති දරුවන්ට යහපතක් වෙනවා දකින්න.. දැන් අයියත් උපාධිය අරගෙන එයා ලබාපු දැනුමෙන් අප්පච්චිගෙ ව්‍යාපාර දියුණු කරන්න එකතු වේවි... ලබන අවුරුද්දෙ හිට...”
“මම නිදහස් ජොබ් එකක් හොයා ගන්නවා අම්මා.. මට ඒක දාහෙන් සැපයි.. ආ.. මට අප්පච්චි කීවා... අපේ කුමාරත් ඔන්න එස්ටේට් එකේ ඔෆිස් එකට ගන්නවා කියලා...”
“අනේ! ඔව් පුතේ අපේ ජන්තුවාටයි - සිරියටයිත් හරිම සන්තෝෂයි. කොල්ලා පාස් වුණාම... පව් දෙන්නා ම ඇඬුවා හොඳටම... පිං දුන්නේ අයියට තමා...!”
“හා.. හා... අපේ අයියා ඉතිං... පිං අතේ වැඩමනේ කොරන්නේ... හා.. හා... අම්මලාට හොඳයි එයාව වලව් බිස්නස් බලන්න.. ඒවා මැනේජ් කරන්න.. එයා හොඳයි.. මං ඒකෙන් නිදහස් කරන්නකෝ...”
නිර්මලා මැණිකේ තම බාල පුත්‍රයා දිහා බැලුවේ කුහුල් ඇසකිනි. අනේ ඇත්තට මේ ළමයාගෙ වේලපත්කඩේ වත් බලවාගන්න ඕනෑ දෙයියනේ.. ඇය නළලට අත තබාගෙන සිතුවේ හිත කරදරයෙන් ය.
“මොකේ අපෙ මැණිකෙ හාමු... ඉස කකියනවාවත්ද” කුස්සියෙන් එමින් සිටි සිරියා අසන්නේ කරුණාවෙනි.
“නෑ සිරියා” කියා කීවත් නිර්මලා මැණිකේට හිතුනේ ම සිරියාත් ජන්තුත් දුප්පත් කමට ඉපදුනත් තමුන්ගේ දරුවා නිසා සැනසිල්ලේ සිටිනා බවය. කුමාර සාමාන්‍ය පෙළ සමත්වීම ඔවුන්ට මහමෙරක් වගේය. වස්තුව මොනතරම් තිබුණත් අපිට අපේ දරුවන්ගෙන් ලැබෙන සතුට සැනසිල්ල මෙයාලට වගේ ලබන්න බැරි ඇයි.. ඇයට හිතුනේ එහෙමය.
********
දැන් චන්ද්‍රලතා වැඩිපුර සිටින්නේ ජයේන්ද්‍ර පුතාලාගේ නිවසේය. මාලිගාවක් වගේ අලුත් නිවස එහෙ මෙහෙ දුව පනින සිඟිති සුරතලා ගෙන් ඒකාලෝක වෙලාය. දැන් ජයේන්ද්‍රත් හරි හරියට වතුවල වැඩ කටයුතුවලට සම්බන්ධ වෙයි. වත්තේ ඇතිවන සේවක ප්‍රශ්නවලට ජයතිස්සට වඩා බුද්ධිමත්ව මැදිහත් වීමට පුතාට ඇති දක්ෂතාව ඇයට ආඩම්බරයකි. ඕවා පරිපාලනේට ඕනෑ කරන මොළේ හයිය හත්තිය ඉතින් උප්පත්තියෙන් ම එයාට ලැබෙන්න ඇතිනේ.. කට කොණට හිනාවක් නගාගෙන ඇය කල්පනා කරයි. ඇයට තම සැමියා ජයතිස්ස ගැන ඇතිවන්නේ දුකකි. එය දුකකට වඩා අනුකම්පාවක් වගේය.
පව් ජයතිස්ස... ඉවසීම පාරමිතාවක් වගේ පුරන බෝධිසත්වයෙක් වගේ එයාට ඉන්න වුණේ එයැයිගෙම තියෙන උත්පත්ති දුර්වලකම හින්දනෙ...අතීතයට මොහොතකට යමින් ඇය කල්පනා කරයි. අවුරුදු ගාණක් තිස්සේ ම ආදරය වෙනුවෙන් දහදුක් වින්ද ඔහු කෙසේ හෝ තමාව අයිති කරගත් හැටි... කසාද බැන්ද දවසේ රාත්‍රිය... මොන තරම් මූසල රාත්‍රියක් වුණාද? ඉතා ම දැඩි ආදරයකින් උණුසුමකින් තමාව වැලඳගත් ඔහු ඊළඟ මොහොතේ සර්පයෙකු ග්‍රහණය ලිහිල් කරන්නාක් සේ සීතල වී පසෙකට වුණු හැටි.. ඔහු මහා හඬින් හඬා වැටුණු හැටි.. තමා මුහුණ දුන්නේ කලාතුරකින් ගැහැනියකට මුහුණ පාන්නට සිදුවන දේකට බව තේරුම් ගනිමින් සිටිද්දී ශ්‍රී ජය වලව්වේ විල්ප්‍රඩ් හාමු තමා කෙරේ දැක්වූ ඇල්ම බැල්ම පවා ජයතිස්ස ඉවසා සිටියේය. පළමු දරුවා... ජයේන්ද්රට විල්ප්‍රඩ් හාමු පියා වුණේ එහෙමය! ඊළඟට... රත්නපුර වලව්වේ ඩග්ලස් හාමු... චන්ද්‍රලතා ගේ ඇස්වල කඳුළු පිරිලාය. එකට ජීවත් වූ අවුරුදු ගණනාව පුරාම ජයතිස්ස තමාව ආදරයෙන් රැක බලා ගත්තේය. දරුවන්ට ද ආදරය කළේය.
“අම්මේ... මොකෝ... මේ ඇස්වල කඳුළු පුරෝගෙන...?”
සමන්තිගේ කටහඬින් චන්ද්‍රලතා තිගැස්සෙයි.
“නංගි කැම්පස් ගිය හින්දා අම්මට පාළුයි නේද? එහේ ගේ වහල දාලා ඔන්නොහෙ අම්මා මෙහාටම වෙලා ඉන්නකෝ...!”
තම හිස අතගාමින් එසේ කියන ලේලිය ගේ දෑත බදාගෙන චන්ද්‍රලතා ඉකිබිඳියි...!
********
ජයමාල් ශ්‍රී ජය වලව්වේ මිදුලට වෙලා බලා සිටින්නේ නිවාඩු පාඩුවේය. කරුණාදාස ඔහුගේ පසෙකිනි. ජන්තු නොන්ඩි ගසමින් ඇවිත් කුරුල්ලන්ට ලේනුන්ට කෑම දමන්නේ පුරුද්දටය.
“බේබි හාමු අදත් කොහේවත් යනවද?”
කරුණාදාස වාහනය සෝදන්නට පටන් ගන්නේ ද පුරුද්දටමය.
“ඔව් කරුණාදාස... මට ගමනක් තියෙනවා... කරුණාදාස අදත් ටිකක් විවේක ගන්නකො... මම වාහනේ අරගෙන යන්නම්....
“අනේ... ඇයි... බේබි හාමු...”
කරුණාදාස ගේ මුහුණ නරක් වෙයි.
“ආ... ආයි... මොකද මේ... තනියෙන් රෝන්ද ගහන්න තියාගත්තෙ.”
අප්පච්චිගේ ගොරෝසු කටහඬින් ජයමාල් මොහොතකට සැලෙයි.
ලබන සතියට...