
දැනටත් අක්කර පහක අපේ පැරැණි වී වර්ග වගා කරලා
ජපන් අන්තර් ජාතික විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය එන්. එස්. කුරේ සිය අතීත මතක හා වත්මන් අත්දැකීම් පෙළගස්වමින් මෙලෙස අප හා සංවාදයට එක්වේ.
• ඔබේ කුඩා කල තොරතුරු කොහොමද?
මගේ ගම තුඩුවෙගෙදර. එතරම් දියුණු ගමක් නොවෙයි. පාරම්පරික ගමක්. මගේ අම්මා තාත්තා දෙදෙනාමත් ඒ ගමේ. ජීවතුන් අතර නෑ. අපේ පවුලේ අයියලා හය දෙනයි, අක්කයි, මමයි. මම මුලින් ගියේ ගමේ පාසලට, හීන්කෙන්ද විද්‍යාලයට. සාමාන්‍ය පෙළ කරන තුරුම ඒ පාසලේ ඉගෙන ගත්තේ. අපි පුංචි කාලයේ අද වාගේ ටියුෂන් ගියේ නෑ. සාමාන්‍ය පෙළ විභාගයට ලියද්දිත් සෙල්ලම් කළා. ප්‍රතිඵල ආවාම අපේ විදුහල්පතිතුමා සෙබස්තියන් සර් කොස්ගහයට රැස්වීමක් පවත්වලා ප්‍රතිඵල දුන්නා.
සමතුන්ගේ නාම ලේඛනයට එන්. එස්. කුරේ කියල මගේ නමත් කියැවුණා. මට මේක විශ්වාස නෑ. ඉතින් මම ආයෙමත් විදුහල්පතිතුමාගෙන් ඇහුවා. ඔව් ඔව් තමුන් තමයි කිව්වා. අඩුම ප්‍රතිඵලය මගේ. ඒත් මට සතුටුයි. ඒ පාසලේ කලා අංශයෙන් උසස් පෙළ කරන්න පස් හයදෙනෙක් හිටියා. ඔය අතරවාරයේ ළමයි අඩු නිසා පාසලේ උසස් පෙළ පංති නතර කරන්න නියෝගයක් ලැබිල තිබුණා. අපට කිව්වා වෙනත් කැමැති පාසලක් සොයා ගන්න කියලා.
• ඉතින් ඔබ මොකද කළේ?
මම යාළුවෙකුත් එක්ක ගලහිටියාව සෙන්ට්‍රල් එකට යමු කියලා කතා වෙලා විදුහල්පතිතුමා දුන් ලිපියත් අරන් ගිහින් එහෙ විදුහල්පතිතුමා මුණ ගැසුණා. අපට කැපවීමෙන් ඉගෙන ගන්න දැඩි අධිෂ්ඨානයක් තිබුණා.
ගලහිටියාව විදුහල්පතිතුමා අපට කිව්වා අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හමුවන්න කියලා. අපි කලාප කාර්යාලය තියෙන තැන අහගෙන අධ්‍යක්ෂතුමා හමුවෙන්න ගියා. පාසල් ඇඳුමෙන්මයි ගියේ. අධ්‍යක්ෂතුමා හමුවෙලා මේ ගැන කීවාම මේ ළමයි දෙදෙනා බාරගන්න කියල එතුමා ලිපියකින් අනුමැතිය දුන්නා.
මුලදි මම පන්තියේ 25 වෙනියා වගේ වුණේ. 38 ක් විතර හිටියා. ඉගෙනීමත් එක්ක ක්‍රීඩාත් කළා. පසුව ක්‍රමයෙන් ඉගෙනීමට වඩාත් නැඹුරු වුණා.
මම පන්තියේ දෙවැනියා වුණා. මම ආර්ථික විද්‍යා විෂයට හුඟක් ආසයි. උසස් පෙළදි මට ඉලක්ක තිබුණා. හොඳින් විභාගය සමත්වීම හා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. ආර්ථික විද්‍යාව පී.එච්.ඩී. එකක් කිරීම හා මහාචාර්යවරයකු වීම. උසස් පෙළ හොඳින් සමත් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා.
• විශ්වවිද්‍යාල ජීවිතය කොහොමද?
මම ආර්ථික විද්‍යා විශේෂ උපාධිය කළේ. උසස් පෙළ කාලෙ ආර්ථික විද්‍යා විශ්ලේෂණය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්ගෙ පොත්වලින් ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලයෙදිත් සර්ගෙන් ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. ඒත් ඉන්නෙ කොහෙද කියල දැනගෙන සිටියෙ නෑ. අපේ වෙලාවට සර් පේරාදෙණියෙ ඉඳල කොළඹට ආවා ආර්ථික විද්‍යා අංශයේ අංශාධිපති හැටියට. සර් අපට ඉගැන්නුව මුල්ම දවසත් මතකයි. මගේ බිරිය හිල්ඩා එදා අපි එක බැච් එකේ හිටියෙ. එයා මොනව හරි ලියනවා සර් දැක්කා. ඔතන කුරේ ළඟ ඉන්න ළමයා මොකද කරන්නෙ කියල සර් ටිකක් සැරෙන් ඇහුවා.
මහාචාර්යවරයකු වීමට මට තිබුණු සිහිනය සැබෑ කරගන්න පදනම දැම්මෙ මහාචාර්ය ලක්ෂ්මන් බව මං ගෞරවයෙන් සිහිපත් කරනවා.
• විශ්වවිද්‍යාලයෙදි දේශපාලනය, බාහිර වැඩ කළේ නැතිද?
දේශපාලන පක්ෂයකට නැඹුරුවක් තිබුණේ නෑ. අපට ස්වාධීන අදහස් තිබුණේ. ඒ නිසා දේශපාලනය නම් කළේ නෑ. අනෙක මගේ අදහස සිසුන් ඉගෙනීමට කැපැවිය යුතු බවයි. දේශපාලන මතයක් දැරුවාට ප්‍රශ්නයක් නෑ. ඒත් ඉගෙනීමට මුල් තැන දිය යුතුයි. ඒක කඩාකප්පල් කර ගත්තොත් දෙමවුපියන්ගේ බලාපොරොත්තු සුන්වෙනවා. නිදහස් අධ්‍යාපනය නිසා ලබපු වරප්‍රසාදය අපතේ යනවා.
හැබැයි මම විශ්වවිද්‍යාලයෙදි ක්‍රීඩා කළා. ක්‍රීඩා සංගමයේ උප සභාපතිත් වුණා. තරගවලට ගියා ජයග්‍රහණත් ලැබුවා. ස්ටේඩියම් එකේ කෘත්‍රිම ධාවන පථයේ ස්පයික්ස් දාලා දිව්ව හැටි මතකයි. අපි මීටර් 1500 රිලේ එක දිනුවා. මැරතන් කරු දිව්වෙත් මේ කාලෙ. මම මීටර් 1500 - 3000 කරද්දි කරු මැරතන් කළා. එයාට හොඳට දුර දිවීම පුළුවන්. මේ කාලෙ සුනිල් ජයවීර සර් අපට පුහුණුවීම් කළා.
• විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා මොකද කළේ?
ඒ කාලෙ ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීමට විශේෂ වැඩසටහනක් තිබුණා. සමස්ත ලංකා ජයග්‍රහණත් සුදුසුකමක්. මමත් ඉල්ලුම් පත්‍ර දැම්මා. ඉන්ටවීව් එකට ගියාම සුනිල් ජයවීර සර්ත් හිටියා. මෙහෙ මොකද? තෝරා ගත්තොත් එනවද? කියල ඇහුවා. මම කිව්වා එනවා කියලා.
ක්‍රීඩා ගුරුවරයෙක් හැටියට මට මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයට පත්වීමක් ලැබුණා. ඒ මගේ පළමු රැකියාව. ක්‍රීඩා ගුරුවරයෙක් වීම ගැන මහාචාර්ය ලක්ෂ්මන් පවා කැමැති වුණේ නෑ. මොකද මගේ ක්ෂේත්‍රය ආර්ථික විද්‍යාව. කොහොම නමුත් මම අවුරුදු 3 ක් ගුරු වෘත්තිය කළා. පඩිය රු. 100/- පමණ ඇති. මගේ වෘත්තිය හරියට කළා. ඔය අතර මං ආර්ථික විද්‍යා විශේෂ උපාධිය කළ බව විදුහල්පතිතුමා දැන සිටි නිසා මගෙන් ඉල්ලීමක් කළා. උසස් පෙළ ළමයින්ට ආර්ථික විද්‍යාව උගන්වන්න. මං ඉතා කැමැත්තෙන් බාර ගත්තා. වැඩ වැඩි වුණා. ඒත් මේ දෙකම කළා.
• ඔබට ජපානයට යෑමට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
සතොස කළමනාකරුවන් වශයෙන් උපාධිධාරීන් බඳවා ගන්නවා කියලා දැන්වීමක් දාලා තිබුණා. මමත් අයදුම් කළා. රැකියාව ලැබුණා. වාප්පු කළමනාකාර හැටියට රැකියාව කරන අතර මරදාන ටෙක්නිකල් කොලීජියෙ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කළා. ඔය අතරෙ එම් ඒ උපාධිය කරන්න පිටරට ශිෂ්‍යත්ව දෙන්න පත්තරේ දැන්වීමක් පළ වුණා. මාත් අයදුම් කළා. මම ජපානයත් ඇමෙරිකාවත් ඇතුළුව විශ්ව විද්‍යාල 15 කට විතර අයදුම් කළා. කලින් ලැබුණේ ජපානය. මං ඒ අවස්ථාව තෝරා ගත්තා. මේක මගේ ජීවිතේ කඩ ඉමක්. මේ 1990 දී.
සතොස ඉතිහාසයේ මෙවැනි ශිෂ්‍යත්වයකට විදේශගත වුණු පළමු සේවකයා මම. ජපානයේ අන්තර් ජාතික විශ්වවිද්‍යාලයෙන් (IUJ) ශාස්ත්‍රපති උපාධිය කළා. ඒ වෙද්දි මං විවාහ වෙලා දුවට මාස දෙකයි. ඒ කාලෙ අද වගේ සන්නිවේදන පහසුකම් දියුණු නෑ. මාස 2 කින් විතර බිරියත් දුවත් ගෙන්වා ගත්තා. මේ විශ්වවිද්‍යාලයේ රටවල් රාශියකින් ආ ළමයි හිටියා. එම්.ඒ. එක කළාට පස්සෙ පී.එච්.ඩී. එක කරන්නත් අවස්ථාවක් ලැබුණා. නගෝයා විශ්වවිද්‍යාලයේ එම්.ඒ. උපාධි නිබන්ධනය කළේ ආර්ථික මිනිත මොඩලයක් ගැන. ඒක බලලා IUJ එකේ සභාපතිතුමා මට පී.එච්.ඩී. එක කරන්න කිව්වා. ලංකාවට ඇවිත් සතොසේ මාස 2 ක් විතර වැඩ කර පසුව ජපානයට ගියා. අපි 18 දෙනෙක්ගෙන් නියමිත කාලය තුළ පී.එච්.ඩී. එක සම්පූර්ණ කළේ මම විතරයි.
• ඉන්පසුව ඔබට රැකියාවක් ලැබෙනවා?
ඔව්. ඒ මගේ තුන්වැනි රැකියාව. හැමදෙයක් ම වගේ අවුරුදු 3 න් 3 ට වෙනස් වුණා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රැකියාවක්. දකුණු ආසියානු රටවල් ගණනාවක සංචාරය කරමින් ආර්ථික මොඩල ඇසුරින් ප්‍රතිපත්ති විශ්ලේෂණ කළා. පර්යේෂණාත්මක දැනුමක් වගේම අත්දැකීම් ලැබුවා. මේ අතරවාරයේ එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයට පර්යේෂකයකු හැටියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
මම ඉන්දුනීසියාවට අදාළව පරිසර හානිය අවම කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති කිරීම ගැන අධ්‍යයනය කළා. මේ විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව අවුරුදු 6 ක් වගේ කාලයක් රටවල් 40 ක විතර ඇවිදිමින් මේ ගැන හැදෑරුවා. පර්යේෂණ කළා.
මේ අතර IUJ එකේ බාහිර කථිකාචාර්යවරයකු හැටියට සාර්ව ආර්ථික විද්‍යාව ඉගැන්වූවා. ඉන්පසුව දිගටම දැන් මම සේවය කරන අන්තර් ජාතික විශ්වවිද්‍යාලයත් (IUJ) සමඟ එක්වුණා. දැන් මේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු හා සම පීඨාධිපති වශයෙන් සේවය කරමින් සිටිනවා.
• විදේශගතව සිටිමින් වුණත් මවුබිමට සේවයක් කිරීමටත් ඔබට හැකිවුණා?
හැකි සෑමවිටම. විශේෂයෙන් රටේ දරුවන්ට එහෙ ගිහින් ඉගෙන ගන්න ජයිකා ආයතනයේ අනුග්‍රහයෙන් ශිෂ්‍යත්ව 15 ක් ලබා දෙන්න මම මුල් වුණා. ඒ ගැන විශාල සතුටක් තියෙනවා. මේ ශිෂ්‍යත්වවලට තවමත් ළමයි යනවා. එවක තානාපතිව සිටියෙ රංජිත් උයන්ගොඩ මහත්මයා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සම්බන්ධව එහි සිටින ලාංකික විවිධ වෘත්තිකයන් එක්වී ශ්‍රී ලංකා ඇකඩමික සංසදය පිහිටුවා ගත්තා. ඇකඩමික සංසදයේ ආරම්භක සභාපතිවරයා මම. මේ හරහාත් විශාල සේවයක් සිදුවෙනවා.
ජපානයෙන් අපේ රටට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. අපට ගැළපෙන පරිදි ඒවා ක්‍රියාත්මක කිරීමට එහෙ ඉගෙනගෙන මේ රටට එන අයට හැකියාව තිබෙනවා. එහිදී ප්‍රතිපත්ති සම්පාදකයන්ගේත් වුවමනාවක් උනන්දුවක් තිබිය යුතුයි.
දැනට අපි කොළඹ විශ්වවිද්‍යාලයත් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා එය ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙහෙන් ආචාර්ය මහාචාර්යවරු කිහිප දෙනකුම එහි ගොස් තිබෙනවා.
• ඔබ අතින් පොත පතත් ලියැවුණා?
දේශපාලන ආර්ථික විද්‍යාව ගැන මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ කෘතියක් සම්පාදනය කළා. තවත් කෘතියක් මේ යටතේ ම සිංගප්පූරුවෙදි පළවුණා. ඉදිරියේදීත් තවත් කෘතීන් කිහිපයක් සම්පාදනය කිරීමට අපේක්ෂාවක් තියෙනවා.
• පවුලේ තොරතුරු ගැනත් අපි කතා කරමු?
අපට දරුවො දෙදෙනයි, දුවයි පුතයි. දුව මෙහෙ ඉපදුනේ. පුතා ඉපදුනේ එහෙදි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා බිරිය ඒ දෙන්නාත් සමඟ ලංකාවට ආවා. ඒ අය හොඳින් අධ්‍යාපනය කළා. ඉගෙනීම වගේම ක්‍රීඩා වගේ බාහිර කටයුතුත් කළා. පුතා ලයිසියම් පාසලේ සෑම අංශයකින් ම දක්ෂ ශිෂ්‍යයා බවට පත්වුණා. දුව NIBM එකෙත් ඩබ්ලින් යුනිවසිටි කොලීජියේත් කළමනාකරණය හැදෑරුවා. දුව JUJ එකෙන් MBA එකත් පුතා MA උපාධියත් කරනවා. දැන් දෙදෙනාම ඉන්නෙ විදේශගතව. දුව අන්තර් ජාතික පාසලක ගුරුවරියක ලෙසත් සේවය කරනවා.
• නැවත මවුබිමට පැමිණ රටට සේවය කිරීමේ බලාපොරොත්තුවක් නැද්ද?
දැනටමත් වරින්වර ලංකාවට එනවා. විදේශයක ඉන්න නිසා උපන් රට ගැන දැනෙන හැඟීම වැඩියි. දැනුත් කරන්න පුළුවන් දේවල් කරනවා. මෙහෙ ආවම විශ්වවිද්‍යාලවල දේශන හා සම්මන්ත්රණ ආදියටත් සම්බන්ධ වෙනවා. අවුරුදු 65 වෙනකල් ජපානයේ මේ විශ්වවිද්‍යාලයේම සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව ලංකාවට එනවා. ලංකාවට ඇවිත් කාබනික ගොවිතැන කරන ගොවිපොළක් පවත්වාගෙන යෑමේ ආසාවත් මට තියෙනවා.
දැනටත් මම ඒ ක්ෂේත්රයට යොමු වෙලා ඉන්නේ. මේ වතාවෙ ගමේ කුඹුරු අක්කර 5ක කාබනික පොහොර භාවිත කරලා දේශීය වී වර්ග වගා කරනවා. ඒකට ගමේ අය සම්බන්ධ කරගෙන තියෙන්නෙ. වටිනා දේශීය වී වර්ග අපි මේ කුඹුරුවල වගා කරනවා. දැනට මේක සාර්ථකව කරගෙන යනවා. මම ජපානයට යද්දිත් ඒ සහල් අරගෙන ගියා. අපි කන්නෙ හෙළ හාලේ බත්.
මේ වගේ දේවල් කරන්න අපේ රටේ විශාල විභවයක් වගේම සම්පත් තිබෙනවා. ඒත් අපි ඒවායින් නිසි ඵල ප්‍රයෝජන ලබනවාද කියන එකයි ප්‍රශ්නය. උදාහරණයක් හැටියට වී වගාව හොඳින් කරන පළාත්වල බිම්මල් වගාවත් හොඳින්ම කරන්න පුළුවන්. ජපානය වගේ රටවල එය ඉතා සාර්ථකව කරනවා. හොඳ ආදායම් මාර්ගයක්. සමහර තැන් තියෙනවා සියලුම කෑම ජාති හදල තියෙන්නෙ බිම්මල්වලින්. ඒවායින් සුවඳ විලවුන් වර්ග පවා හදනවා.
අපි එකතුවෙලා නීගතාවල පන්සලක් හැදුවා. එහෙත් කඨින පින්කම් ආදිය කරනවා. මම ඉරිදාට පැය 2 ක් විශ්වවිද්‍යාලයේ ළමයින්ට භාවනා සහ යෝග කරනවා. බිරියත් ලංකාවට ඇවිත් වසර ගණනාවක් ම ගමේ පාසලේ ස්වේච්චාවෙන් ජපන් භාෂාව ඉගැන්වුවා. මේවායින් අපි තෘප්තියක් ලබනවා.
සේයාරූ :- සුමනචන්ද්‍ර ආරියවංශ