
නිකිණි මස පුන් පොහෝ දා එනම් ඊයේ දිනය මෙවර මහනුවර දළදා පෙරහරේ අවසාන රන්දෝලි පෙරහර හෙවත් මහ පෙරහර වීථි සංචාරය කළ දිනයයි. ඊයේ දිනයේ පෙරහර නැරැඹූ බොහෝ දෙනා ආපසු ගම් රට බලා යන්නට ඇත්තේ මහනුවර ඇසළ උත්සවය “අවසාන රන්දෝලි පෙරහරෙන්” නිමා වූවා යැයි සිතමිනි.
එහෙත් සත්‍යය එය නොවේ. මහනුවර ඇසළ පෙරහර හා බැඳුණු බොහෝ වැදගත් සිදුවීම් ගණනාවක් තවදුරටත් ඉතිරි වී තිබේ.
අතීත රජ දවස රාජකීයයන් පවා අවසාන රන්දෝලි පෙරහරේ ගමන් කළ ද, නිදහසෙන් පසු මෙරට රාජ්‍ය නායකයා හෝ පවුලේ පිරිස පෙරහරේ ගමන් කොට නැත. එහෙත් ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය අධිකාරීන් අවසාන රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණීම සාමාන්‍යයෙන් සිදු වේ. ඉන්පසුව ජනාධිපතිවරයා සිය මන්දිරයේ පසුදා සවස් වන තුරු රැඳී සිටින්නේ නිල වශයෙන් පෙරහර අවසන් වූ බව “දියවඩන නිලමේවරයා” දැනුම් දෙන තුරුය.
කුඹල් පෙරහර පහත්, පූර්ව රන්දෝලි පෙරහර හතරත් නියමිත මාර්ග ඔස්සේ වීථි සංචාරය කොට අවසානයේ දළදා කරඬුව ප්රමුඛ දළදා පෙරහර යළි දළදා මැදුරට ඇතුළු වුවද, අවසාන රන්දෝලී පෙරහර අවසානයේ දළදා පෙරහර දළඳා මැදුරට ඇතුළු වන්නේ නාමිකවය. මන්ද මහ පෙරහර අවසානයේ දළඳා කරඬුව නියමිත ස්ථානයේ තැන්පත් කිරීමක් එදින සිදු නොවේ. ඒ වෙනුවට සුළු මොහොතකින් යළි ඇරඹෙන දළදා පෙරහර කෙළින්ම ගමන් කරන්නේ දළදා මැදුරට කිලෝමිටරයක් ඊසාන දෙසින් පිහිටි අස්ගිරි මහා විහාරයට අනුබද්ධ අදාහන මළුව ගෙඩිගේ විහාරයටය. සිවු දේවාල පෙරහරද දළදා පෙරහර පසුපසින් ගෙඩිගේ විහාරය වෙත ගමන් කරයි.
![]() |
දිය කැපීම |
![]() |
දිය කැපීමේ පෙරහර |
![]() |
වලි යක් මංගල්‍යය |
අස්ගිරි විහාරය එවකට සිරිවර්ධනපුරය යනුවෙන් හැඳින්වූ මහනුවර ඉදි කර ඇත්තේ කරුණෑගල යුගයේ දීය. ඒ දෙවැනි පරාක්‍රමබාහු රජු (රා. ව. 1236 - 1270) ගේ සමයේදීය. අස්ගිරි මහා විහාරයටම සම්බන්ධව, ඊට ආසන්නව අදාහන මළුව ගෙඩිගේ විහාරය ඉදි කර ඇත්තේ ගම්පොළ යුගයේ තුන්වන වික්‍රමබාහු රජු විසිනි. ගෙඩිගේ විහාරය යනු එතුමාගේ මැණියන් වූ චන්ද්‍රාවතී බිසව ආදාහන කළ ස්ථානය සිහිවීම පිණිස ඉදි කළ විහාරයයි. ඒ අනුව එම භූමිය ගම්පොළ සහ මහනුවර යුග වල රාජකීය ආදාහන භූමිය ලෙස භාවිතා කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොන පවා ඉදිව තිබී ඇත්තේ මේ බිමෙහිය.
සුසාන භුමියක් වූ ආදාහන මළුවට, දළඳා කරඬුව වැඩමවීම සිදුකරන්නේ ඇයි දැයි යන්න බොහෝ දෙනෙකුට කුකුස දනවන පැනයක් වුවද, කෙළෙහි ගුණ දැක්වීමේ හෙළ පුරුද්ද අනුගමනය කරනු පිණිස දළඳා මැඳුරෙන් පිටත ස්ථානයක වසරේ එක් දිනකට සධාතුක කරඬුව රැඳවීම සිදු කෙරේ.
ඊට අදාළ කථාව මෙලෙසය. කෝට්ටේ යුගයේ අවසාන සමයේදී දළදාව රඳවා තැබෙන්නේ සබරගමුවේ දෙල්ගමු විහාරයේය. පසුකාලීනව පොල්ගස්අංගේ හිමියන් විසින් සීතාවක රාජසිංහ රජුට බියෙන් වනාන්තරගතව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් මැදමහනුවරට වැඩම කරවා උන්වහන්සේගේ උදවුවෙන් දළදා වහන්සේ ද දෙල්ගමුව වෙහෙරින් මැදමහනුවරට වැඩමවාගෙන එන ලදී. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහනුවර යුගයේ මුල්ම රජු වූ පළමුවැනි විමලධර්මසූරිය රජුය.
එසේ දන්ත ධාතුව මහනුවරට වැඩමවාගෙන ආවද කිසියම් නොදන්නා හේතුවක් නිසා පළමු දින රැයෙහි නාථ දේවාලය ආසන්නයේ ඉදිවූ පැරැණි දළඳා මාලිගයේ දළඳාව තැන්පත් කර නැත. ඒ වෙනුවට එදින රැය දළඳාව තැන්පත් කර ඇත්තේ අස්ගිරි ගෙඩිගේ ආදාහන මළු විහාරයේ ධර්ම ශාලාවෙහිය. දළදා වහන්සේට එක් රැයක් නවාතැන් දීමේ උපකාරය සිහිකරනු වස්, සෑම දළදා පෙරහරකම මහ පෙරහර දා රාත්‍රියෙහි දළදාව තැන්පත් කරන්නේ ගෙඩිගේ විහාරයේය.
ගෙඩිගේ විහාරයට ගමන් කරන දළදා මහ පෙරහරෙන් කරඬුව භාර ගැනීමට සූදානමින් සිටින්නේ අස්ගිරි මහනායක හිමියන් වහන්සේත්, ගෙඩිගේ විහාරාධිකාරී හිමියනුත් ඇතුළු මහා සංඝරත්නයයි. උන්වහන්සේට දළදා කරඬුව භාර කරන්නේ දියවඩන නිලමේ වරයාය. එම අවස්ථාවේදී කරඬුවේ අන්තර්ගතය පිළිබඳ පරීක්ෂාවක් ද දෙපාර්ශ්වය අතර සිදු වේ. අනතුරුව දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ නිමවා ඇති විශේෂ පීඨිකාවක තැන්පත් කෙරේ. ඉන්පසු යළිත් හිස් රන්සිවිගෙය සහිත දළදා පෙරහර පෙරටු කොටගත් සිවු දේවාල පෙරහර දළදා චතුරස්‍රය වෙත පැමිණේ. දේවාල පෙරහර දේවාල වෙතට පිවිසෙන අතර දළදා පෙරහැර දළදා මාලිගාවට පිවිසේ.
ගෙඩිගේ විහාරයේ තැන්පත් කෙරෙන දළදා කරඩුවට, දළදා මාලිගයේ සිදු කෙරෙන සාමාන්‍ය තේවා සියල්ලම එහිදී ද ඉටු කෙරේ. එයට මූලිකත්වය ගන්නේ අස්ගිරි මහ නායක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේය. දියවඩන නිලමේ වරයා වෙනුවෙන් දළදා කරඬුවේ ආරක්ෂාව එදින රාත්‍රියට පැවරෙන්නේ මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වරයාටය. ඔහු විසින් මහනුවර අවට පිහිටි පිළිගත් පිටිසර දේවාල භාරකරුවන් නව දෙනෙකු හවුල් කරගෙන එම ආරක්ෂක වගකීම ඉටු කරයි.
ඒ අතරතුර සිවු දේවාල තුළ තවත් පෙරහරක් සූදානම් වේ. එහි මූලිකත්වය ගන්නේ මහනුවර විෂ්ණු දේවාලයයි. ඇසළ මස අමාවක දාට පසු දින සිදුකළ කප් සිටුවීමට යොදාගත් “කප” ඇහැළ ගෙයින් ගලවාගෙන එය සුදු රෙදි කඩකින් ඔතාගෙන දේවාභරණද රැගෙන සිවු දේවාල වල රාජකාරිකරුවෝ නැටුම් කණ්ඩායම් පෙරටු කොට ගෙන අලුයමින් පිටත් වන්නේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරීමටය. එය ‘දිය කැපුම් පෙරහර” ලෙසින් හැඳින්වේ. මෙයට දළදා මැදුර සම්බන්ධ වන්නේ නැත. නමුත් මේ පිටත්වීම සිද්ධ වන්නේ දළදා මැදුරේ නැකත් රාල විසින් ලබා දෙන නැකතකට වීම විශේෂත්වයකි.
දියකැපුම් තොට ඇත්තේ ගැටඹේ නව පාලම ආසන්නයේය. මෙම දියකැපුම් තොට පළමු වන විමළධර්මසූරිය රජු විසින් මහනුවර විෂ්ණු දේවාලයට ලබාදුන් ත්‍යාගයකි. ඒ නිසා මෙම කටයුත්තේදී අනෙක් දේවාල වලට වඩා විශේෂ වැදගත්කමක් සහ මූලිකත්වයක් විෂ්ණු දේවාලයට ලැබේ.
පැරැණි කටුකැලේ වීදිය හෙවත් පැරණි කොළඹ පාර ඔස්සේ ගැටඹේ තොටට ඇදෙන ‘දිය කැපුම් පෙරහර”ට එක්වීමට සුදු ඇඳුමෙන් සැරසුණු බැතිමත්හු පෙළ ගැසී සිටිති. එවැනිම සෙනඟක් දිය කැපුම් තොටෙහිද පෙරහර පිළිගැනීමට රැඳී සිටිති.
දියකැපුම් තොට පිහිටි ස්ථානයේ වූ බෝ මළුවේ සිවු දේවාලවල දේවාභරණ තැන්පත් කිරීමට විශේෂ පීඨිකාවන් ඇත. දේවාභරණ එහි තැන්පත් කර සිවු දේවාල වල ‘කප’ත්, පැන් කෙණ්ඩිත් රැගෙන මහවැලි ගඟ කරා යන දේවාල භාරකරුවෝ දිය කැපිමට සූදානම් වෙති.
අතීතයේදී “දිය කැපුම්” රාජකාරිය පවරා තිබි ඇත්තේ මේ තොටට යාබදව පිහිටි ගන්නෝරුව ගමටය. එය අදටත් මහනුවර විෂ්ණු දේවාලයේ ගම්වරයකි. නමුත් අද වන විට දියකැපීම සිදු කරන්නේ වෙනත් ඔරු කුලී පදනම මත ලබාගෙනය. නියමිත වේලාවට ඔරුවෙන් ගඟ මැදට ගොස් ‘කප” ගඟේ හෙළා, පසුගිය වසරේ පැන් කෙණ්ඩියට පුරවාගත් පැන්ද ඉවත හෙළා, විශේෂිත කඩුවකින් දිය දෙබෑ වෙන්නට ගඟට ගසා එම ස්ථානයට එක්රැස් වන වතුරෙන් කෙණ්ඩිය නැවැත පුරවා ගනී. යළි එය ද රැගෙන ගොඩබිමට විත් තම දේවාල වලට අදාළ දේවාභරණ අසලතැන්පත් කරයි.
එම අවස්ථාවේදී බැතිමතුන් විසින් එකිනෙකාට විවිධ දානයන් ලබාදීම සිදු වේ. කැවිලි, පලතුරු, කිරිබත් ආදිය ඒ අතරට ඇතුළත්ය. එසේම පෙරහරේ ගිය ඇතුන් ට තුටු පඬුරු පිදීම අරමුණු කරගෙන උක්දඬු, කොමඩු අන්නාසි ආදිය ලබාදීම ද සිදුවේ.
අනතුරුව බැතිමතුන්ට දේවාශිර්වාද කිරීම් සිදු වන අතර හිරු උදා වන මොහොතේ දී “දිය කැපුම් පෙරහර” ආපසු ගමන් අරඹයි. නමුත් එම පෙරහර යන්නේ මහනුවර නගරයට බටහිරෙන් පිහිටි ගණදෙවි කෝවිල දක්වා පමණි. ගණදෙවි කෝවිල ඉදිව ඇත්තේ 1840දිය. එයට පෙර කිර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට මෙම ස්ථානයේ පැවත ඇත්තේ ශිව ලිංගයක් පමණි.
දළදා මාලිගාවෙන් දහවල් පෙරහර ඇරඹීම සංකේතවත් කෙරෙන තුරු සිවු දේවාල දේවාභරණ සහ පැන් කෙණ්ඩි ආදිය තබාගෙන ගණදෙවි කෝවිල අසල රැස්ව සිටින සිව් දේවාල භාරකරුවන්ගෙන් ආශිර්වාද ගැනීමට ජනතාව පැමිණිම ද සිදුවේ.
එදින දළදා දවල් පෙරහර ඇරඹෙන්නේ ආදාහන මළුව ගෙඩිගේ විහාරයෙනි. පෙරදින භාරගත් දළදා කරඬුවේ සියලු අන්තර්ගතයන් නිසි පරිදි දියවඩන නිලමේවරයා වෙත භාරදීමෙන් පසු දළදා කරඬුව රන්සිවිගෙයි තැන්පත් කර නැටුම් සහ සංස්කෘතිකාංග පෙරටු කොටගෙන දළදා දවල් පෙරහර මාලිගාව බලා පිටත් වේ. එයට සිවු දේවාල පෙරහරද එක්වන අතර, දේවාල චතුරස්‍රය වටා තෙවරක් දක්ෂිණාවෘතව ගමන් කිරීමෙන් අනතුරුව දහවල් පෙරහර අවසන් වේ.
ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහරේ ‘දළදා මාලිගාව’ සම්බන්ධ වන සියලු කටයුතු අවසන් වන නමුදු සිවු දේවාල වලට අදාළ කටයුතු ගණනාවක් තවදුරටත් සිදු වේ. එ්වාට මත්තෙන් එදින සවස් වරුවේ දී දියවඩන නිලමේ වරයා ප්රමුඛ සිවු දේවාල බස්නායක නිලුමේවරු චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයා බැහැදකිති. දළදා මැඳුරේ පෙරහර ප්රමුඛ කොටගෙන මහනුවර ඇසළ උළෙල පැවැත්වූ බව එහිදී ජනාධිපතිවරයාට දැනුම් දේ. ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා නිර්දේශ කරන ශිල්පීන්ට තුටු පඬුරු ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු වේ.
පසුදින සිට සිවු දේවාලවල විශේෂ චාරිත්‍ර කිහිපයක් සිදු කෙරේ. ඉන් ප්‍රධානම චාරිත්‍රය සිදු කෙරෙන්නේ මහා විෂ්ණු දේවාලයේය. එය හැඳින්වෙන්නේ “වලි යක් මංගල්‍යය” ලෙසයි. උඩරට සහ පහතරට යන නර්තනාංග සහ ඇදුම් පැලඳුම් මිශ්‍රව යොදාගනිමින් කෙරෙන ශාන්තිකර්මයක් වන මෙය පුරා සත් දිනක් විෂ්ණු දේවාල පරිශ්‍රයේදි පැවැත්වේ. එයට දියවඩන නිලමේ වරයාද, සිවු දේවාල බස්නායක නිලමේවරුද, සිවු දේවාල රාජකාරිකරුවෝ ද’ සමස්ත පෙරහරට දායක වූ කලාකරුවෝ ද සහභාගී වී ආශිර්වාද ලබාගනිති .
නාථ දේවාලයේ සහ කතරගම දේවාලයේ පැවැත්වෙන්නේ පිරිත් පින්කම්ය. පත්තිනි දේවාලයේ සිදු කෙරෙන්නේ කිරි අම්මාවරු වෙනුවෙන් වූ දානමය කටයුත්තකි. මේ සෑම කටයුත්තකින්ම බලාපොරොත්තු වන්නේ “ඇස්වහ කටවහ දොස්” දුරුකිරීමය.
මේ කටයුතු අවසන් වීමෙන් පසු “මහනුවර ඇසළ පෙරහර” නිල වශයෙන් අවසන් වේ. වෙසක් මස අවසානයේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයෙන් ඇරැඹි මහනුවර ඇසළ උත්සවයේ කටයුතු දින අනූවකට පමණ පසු අවසන් වන්නේ එලෙසය. ඒ මහ පෙරහර අවසන් වී සතියකට පසුවය.
මෙම කටයුත්තෙන් පසුව ඇරැඹෙන්නේ පිටිසර දේවාල උත්සවයි. පිටිසර දේවාල යනු මහනුවර සිවු මහා දේවාල වලට අනුබද්ධව මහනුවර දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ පිහිටි පුරාණ දේවාලයි. ඒ අනුව යටිනුවර දොඩංවල නාථ දේවාලය, උඩුනුවර ගඩලාදෙණිය විෂ්ණු දේවාලය, වේගිරිය නාථ දේවාලය, ලංකාතිලක විෂ්ණු දේවාලය, ඇම්බැක්ක කතරගම දේවාලය, ගඟඉහළ වල්ලහගොඩ කතරගම දේවාලය, දොළුව ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලය, පාතහේවාහැට පස්ගම නාථ දේවාලය, අකුරණ අලවතුගොඩ සමන් දේවාලය වන්දනා ගමන් ආඥාපනත යටතේ ගැසට් කොට ඇති මහනුවර දිස්ත්‍රික්කයේ පුරාණ පිටිසර දේවාල වේ.
පසුකාලීනව තවත් දේවාල හතරක් පිටිසර දේවාල ලෙස පිළිගෙන ඇත. ඒවා පිහිටා ඇත්තේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලය. පිටිසර දේවාලවල පෙරහර උත්සව පවැත්වීමෙන් පසුව, ඒ වසරට අදාළව සිරිලක පුරා පැවැත්වෙන සියලුම ඇසළ උත්සව අවසාන වේ. ඒවන විට නිකිණි මහ පමණක් නොව බිනර මාසයද ගෙවි අවසන්ය.
(විශේෂ ස්තූතිය තොරතුරු සැපයීමේදී සහය වූ මාවනැල්ල, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාරකාර, දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතාට, සිවු දේවාල බස්නායක නිලමේ තුමන්ලාට සහ තේවාව භාර කපු මහත්වරුන්ට සහ දළදා මාලිගයේ බෞද්ධ කටයුතු පිළිබඳ ලේකම් කේ. මීගහකුඹුර මහතාට)
ඡායරූප - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ/ දළදා මාලිගය මාධ්‍ය අංශය