‘මම දැන් පෙම්ව­තෙක් සර්’ කිව්වම ඒ බව පේන්නේ නැහැ කියලා සර­ච්චන්ද්‍ර මහ­ත්තයා කිව්වා | සිළුමිණ

‘මම දැන් පෙම්ව­තෙක් සර්’ කිව්වම ඒ බව පේන්නේ නැහැ කියලා සර­ච්චන්ද්‍ර මහ­ත්තයා කිව්වා

මෙතෙක් පසු­කර ආ ගමන් මඟ මෙන් ම, ඒ ඔස්සේ ඉදි­රිය දකි­මින් අද සංවා­ද­යට එක්වන්නේ ප්‍රවීණ කලා­වේදී ආචාර්ය ජය­ලත් මනෝ­ර­ත්නය.

• ඔබ ඉප­දෙ­න්නෙම නාට්‍ය­මය පසු­බි­මක් ඇති සුන්දර ගමක...?

මම ඉප­දුණේ නුව­ර­එ­ළියේ දිස්ත්‍රි­ක්කයේ, හඟු­ර­න්කෙත කොට්ඨා­සයේ දෙහිපෙ කියන ගමේ. ඒක පුංචි ගමක්. අපේ ගම කඳු වළ­ල්ල­කින් වට­වෙලා තිබුණා. ඉහ­ළින් තේ වගාව ඊට පහ­ළින් කුඹුරු වගාව. මගේ තාත්තා ලොරි රියැ­දු­රෙක්. අම්මා ගෙවි­ලි­යක්. මට අයි­යලා අක්කලා හිටියා. මං තමයි පවුලෙ බාලයා. තාත්තා මම කුඩා කාලෙම මිය ගියා. මම මුලින් ම ගියේ දෙහිපෙ ප්‍රාථ­මික පාස­ලට. ඒ අපේ ගමේ ඉස්කෝලෙ.

• කලා­වට නැඹු­රු­වක් ඇති වෙන්නෙ පුංචි සන්දියේ පටන්මද?

අපේ ගමේ ගැමි නාටක තිබුණා. දෙහිපෙ මේ නාට­ක­ව­ලට ප්‍රසි­ද්ධයි. සොකරි කතා, කිඳුරු කතා වගේ නාට්‍ය මේ විදි­හට රඟ දැක්වුණා. කුඹුරු කපලා අව­සන් වුණාම කමතෙ තමයි මේ නාට්‍ය පෙන්නුවේ. අස්වනු නෙළා­ගෙන කමතෙ විනෝද වුණා. ගොවි­යො­මයි නළුවො. මේ නාට්‍ය­වල රඟ­පෑවෙ අපේ නෑදෑයො. අස­ල්වැ­සියො. ඔවුන් ආයෙම හෙට කුඹුරු වැඩට ගියා. මේවා හරි ම ආශ්වා­ද­ජ­නක අත්දැ­කීම්. ලෝකයේ වුණත් නාට්‍ය කලාවේ ආර­ම්භය වෙලා තියෙන්නෙ මේ වගේ. මේක ගොවි­තැන හා අස්වනු නෙළී­මත් සමඟ සම්බ­න්ධයි.

මේ නාට්‍ය බලලා ඉතා ම කුඩා සන්දි­යෙ­දිත් අපි මේ නාට්‍ය අනු­ක­ර­ණය කළා. ඒ යාළු­වොත් එක්ක ගෙද­රදී මට මත­කයි සීයා අපට කෝට් එකක් අන්ද­වලා සොකරි කර­පන් කීව හැටි. එත­කොට මොනව හරි කරන්න ඕනෑ නිකම් ඉන්න බෑ. ඉතින් මොනවා හරි කළා.

• ඔබ පොර­ම­ඬුල්ල මධ්‍ය මහා විද්‍යා­ල­යට එන්නෙ?

5 ශිෂ්‍යත්ව විභා­ගය සමත් වෙලා. පොර­ම­ඬුල්ලෙ හොස්ටල් ජීවි­තය අපේ ජීවි­ත­වල පිළි­වෙ­ළක් ඇති කළා. හැම­දේම වුණේ කාල­ස­ට­හ­න­කට. ක්‍රීඩාත් කරන්න තිබුණා. හොස්ටල් එක භාරව සිටියෙ වික්ටර් පීරිස් සර්. ඔහු ඉතා ම සැල­සුම් සහ­ගත කාල­ස­ට­හ­න­කට අනුව අපව මෙහෙ­ය­වූවා. විදු­හ­ල්ප­තිව සිටියෙ සෙන­රත් සර්. ඔහු ඉතා දක්ෂ පාල­ක­යෙක්. ශිෂ්‍ය­ත්වය සම­ත්වී­මට විශේෂ කාරණා දෙකක් බල­පා­නවා. පළ­මු­වැන්න ආසාව. දෙවැන්න ආර්ථික දුෂ්ක­රතා. මේ නිසා ගමේ බොහෝ දෙනෙක් උන­න්දු­වෙන් නොක­ළත් අපි, පවුලේ හැමෝම උන­න්දු­වෙන් ඉගෙන ගත්තා. විභාග සමත් වුණා.

• ඔය අතර ක්‍රීඩා­ව­ලත් යෙදුණා ද?

ඔව්, ඒක­ටත් විශාල රුකු­ලක් වුණේ හොස්ටල් ජීවි­තය. වෙලාව වගේ ම ක්‍රීඩා පිටි පහ­සු­ක­මත් හෝස්ටල් ඉන්න නිසා තිබුණා. ඉතින් ක්‍රීඩා කළා. ඉසව් ගණ­නා­වක් ම කළා. මට ජ්‍යෙෂ්ඨ විශි­ෂ්ට­තම ක්‍රීඩ­කයා හැටි­ය­ටත් සම්මාන ලැබුණා. එස්.බී. දිසා­නා­ය­කත් ඒ කාලයේ දක්ෂ ක්‍රීඩ­ක­යෙක්. මට වඩා ඉහළ පන්ති­වල හිටියෙ.

• ක්‍රීඩා කරන අතර කලා කට­යු­තුත් කළා?

හොස්ටල් ඩේ එකට ප්‍රසංග තිබුණා. ගීත කෙටි නාට්‍ය වගේ අංග­ව­ලට අපිත් සම්බන්ධ වුණා. එච්.එස්.සී. පන්ති­ව­ලදි අපිට සුනිල් කියලා ගුරු­ව­ර­යෙක් හිටියා. සුනිල් සර් හේවුඩ් එකේ සිටි­යදී සනත් නන්ද­සිරි මහ­ත්ම­යගෙ සම­කා­ලී­න­යෙක්. ජාතික පාසල් ළමා නාට්‍ය තර­ගා­ව­ලි­යට අපිත් ‘අශ්වගුඩුන්’ කියලා නාට්‍යක් ඉදි­රි­පත් කළා. මේ නාට්‍ය ලංකාවේ පළාත් 9 ක් එක්ක තරග කරලා මධ්‍යම පළාතේ පළමු ස්ථානය ලැබුවා. ඊළ­ඟට ජාතික තර­ග­ව­ලට කොළඹ ආවා. තරග තිබුණෙ හොරණ විද්‍යා­රත්නෙ. විශි­ෂ්ට­තම රංග­නය සඳහා වන සම්මා­නය මට ලැබුණා. මේක අපේ පාස­ලට ලොකු ආඩ­ම්බ­ර­යක්, අභි­මා­න­යක් ගෙන ආ අව­ස්ථා­වක්. මට ඉහළ ම පිළි­ගැ­නී­මක් ලැබුණා.

• ඔබ උසස් අධ්‍යා­ප­න­යට යොමු වෙන්නෙ...?

මට හීන තුනක් තිබුණා. එක: විශ්ව­වි­ද්‍යා­ල­යට යාම. දෙක: පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට අැතුළත්වීම. තුන: සර­ච්ච­න්ද්‍ර­යන් හමු­වීම. මේ හීන තුන ම සැබෑ වුණා.

මහා­චාර්ය සර­ච්චන්ද්‍ර ඇමෙ­රි­කාවෙ සිට ලංකා­වට ඇවිත් හිටියෙ. එතු­මාගේ “පේමතෝ ජායතී ෙසා්කෝ” නාට්‍යයේ ප්‍රධාන නළු­වාගේ චරි­තය කළේ මම. ඒක මගේ නිර්මාණ ජීවි­තයේ වගේ ම පෞද්ග­ලික ජීවි­ත­යේත් කඩ­ඉ­මක් වුණා. මනමේ, සිංහ­බාහු නාට්‍ය­ව­ලත් රඟ­පෑවා.

එතුමා අපේ සිංහල ගුරු­තුමා. හවස් කාලයේ නාට්‍ය කළා. එතු­මාගේ නාට්‍ය­ව­ලට සම්බන්ධ වීමත් හරි­යට තව විශ්ව­වි­ද්‍යා­ල­ය­කට ගියා වගේ. අපි විශාල දැනු­මක් අත්දැ­කීම් සම්භා­ර­යක් ලැබුවා. මේ කාලයේ මම කෙටි­කතා පොත­කුත් ලිව්වා.

• “පේමතෝ ජායතී ෙසා්කෝ” ඔබේ පෞද්ග­ලික ජීවි­ත­යේත් කඩ­ඉ­මක් වූ බව ඔබ කිව්වා. ඒත් ඒ කොහො­මද කිව්වෙ නෑ?

මේ නාට්‍යයේ ප්‍රධාන නිළි චරි­තය කළේ, තමරා ජයන්ති. ඇය සිංහ­බාහු නාට්‍යයේ සුප්පා දේවි­යගේ චරි­තය කළ මාලනී රණ­සිං­හගේ නැඟ­ණිය. නාට්‍ය පේමතෝ ජායතී ෙසා්කෝ වුණාට ප්‍රධාන නිළිය මගේ බිරි­ය‍. තවම ගෙදර සිටි­නවා!

අපි ප්‍රේම­යෙන් බැඳුණා. මම ඇයට ආද­රය කරන බව සර්ට කිව්වා ම සර් කිය­නවා වෙන්න ඇති ඒත් අපට එහෙම පෙනෙන්නෙ නෑනෙ කියලා. හැබැයි නාට්‍ය­යෙදි නම් එහෙම බෑ. ප්‍රේමය හොඳින් ම ප්‍රකාශ වෙන්න ඕන කියල ඊළ­ඟට කිය­නවා.

• විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිට­වෙලා ඔබ රැකි­යාව වශ­යෙන් තෝරා ගත්තේ කුමක් ද?

හඟු­ර­න්කෙත පිරි­වෙ­නක භූගෝල විද්‍යාව ඉගැ­න්වීම කළා. මාස 6 - 7ක් විතර. ඔය අතර රජයේ අනි­යම් ලිපි­කරු පත්වී­මක් ලැබුණා නුව­ර­එ­ළි­යට. මං නුව­ර­එ­ළියෙ නතර වුණා. ඒ කාලයේ හව­සට කරන්න දෙයක් නෑ. චිත්‍ර­පට බැලුවා. පොඩි නාට්‍යත් කළා. ‘සිංහ­බාහු’ නුව­ර­එ­ළි­යට ආ වෙලා­වක මට ‘දිගා’ (නිශ්ශංක දිද්දෙ­ණිය) හමු­වුණා. මෙහෙ ඉඳල මොකක් කර­න්නද උඹ කොළඹ වරෙන් කිව්වා. මං කොළඹ එනවා. ඇවිත් එයා­ගෙම කාමරේ නතර වුණා. හෙන්රි ජය­සේ­න­යන්ගේ ‘මකරා’ නාට්‍ය­යට සම්බන්ධ වුණා. මගෙන් ගම් පළාත ගැන විම­සද්දි දෙහිපෙ කීවාම එතුමා පුදුම විදි­හට සතුටු වෙලා ගමේ විස්තර ඇහුවා. හෙන්රි ජය­සේ­න­යන්ට පළමු ගුරු­ප­ත්වීම ලැබිල තියෙන්නෙ මං ඉගෙ­න­ගත්ත අපේ ගමේ පුංචි ඉස්කෝ­ලෙට. අවු­රුදු තුනක් විතර එතුමා එහි සේවය කළා. පළමු නාට්‍ය “ජාන­කී­හ­ර­ණය” කළේ එහෙ ඉඳිද්දී. කොළඹ ආවට පසුව මම චිත්‍ර‍සේන කලා­ය­ත­න­යෙන් නර්ත­න­යත් හැදෑ­රුවා. චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­ය­කත් ඒ කාලෙ නර්ත­නය ඉගෙන ගන්න ආවා, මට මත­කයි. මේ කාල­යෙදි හුඟාක් දෙනෙක් හමු­වුණා. ධර්ම­සිරි බණ්ඩා­ර­නා­යක එක්කෙ­නෙක්.

මම රතු හැට්ට­කාරී නාට්‍ය­යේත් රඟ­පෑවා. ඒ රංග­නය වෙනු­වෙන් මට හොඳම නළු­වාට හිමි සම්මා­න­යත් ලැබුණා. ලිපි­ක­රු­වෙක් ලෙස කට­යුතු කරන අතර සිවිල් සේව­යට බඳවා ගැනීම සඳහා තිබුණු තරග විභා­ග­යට ලිව්වා. 3000ක් පමණ විභා­ග­යට ඉදි­රි­පත් වුණා. 300ක් පමණ සමත් වුණා. මමත් ඒ සමත් පිරිස අතර සිටියා. ඊළ­ඟට එතැ­නින් 115 - 120ක් පමණ සංඛ්‍යා­වක් සම්මුඛ පරී­ක්ෂ­ණ­යට තෝරා ගත්තා. ඒ කණ්ඩා­ය­ම­ටත් ඇතු­ළත් වුණා. එතැ­නින් තෝරා­ගත් 80 දෙනාගේ කණ්ඩා­ය­මට මම තේරුණේ නෑ. දිසා­ප­ති­ව­ර­යකු වීමේ ගමන එතැ­නින් නතර වුණා. මේ සිද්ධිය යම් කඩා වැටී­මක් වුණා. මගේ නෑදෑයෝ යාළුවෝ පවා කඩා වැටුණා. ඒත් මගේ ජීවිතේ දෙවෙනි ගමන එතැ­නින් ඇරැ­ඹුණා. මේකත් මගේ ජීවිතේ සන්ධි­ස්ථා­න­යක්.

• ඔබ කලාව තෝරා ගන්නවා?

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝ­ගා­මීන් පස්දෙනා සමඟ ම කට­යුතු කරන්න ලැබීම මගේ වාස­නා­වක්. මේ මුල් පද­නම මම රැක ගත්තා. ඒ නිසා රංග­න­යෙදි මට යම් ප්‍රමි­ති­ය­කුත් හදා­ගන්න පුළු­වන් වුණා. තෝරා බේරා ගෙන රංග­නයේ යෙදුණා. වේදි­කාවේ පුරෝ­ගා­මීන් යටතේ රඟ­පෑ­මෙන් පසු ධර්ම­සිරි බණ්ඩා­ර­නා­යක, සුනන්ද මහේන්ද්‍ර, ප්‍රේම රංජිත් තිල­ක­රත්න, සයි­මන් නව­ග­ත්තේ­ගම, ලූෂන් බුල­ත්සිං­හල, කේ.බී. රත්නා­යක, කපිල කුමාර කාලිංග, චාමික හත්ල­ග­වත්ත වගේ දක්ෂ නාට්‍ය­ක­රු­වන්ගේ නිර්මා­ණ­ව­ලත් මම චරිත නිරූ­ප­ණය කළා.

• ඔබ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මා­ණ­යට යොමු වුණේ?

1980 දී “මහ­ගි­රි­දඹ” කළා. පළමු ස්වතන්ත්‍ර නාට්‍ය ඒ. ඊට පසුව ‘පුත්‍ර සමා­ගම’. ඔය විදි­හට නාට්‍ය 15ක් පමණ කළා. මගේ නාට්‍ය­වල පිට­පත ලිව්වේ මම. මම ම අධ්‍ය­ක්ෂ­ණය කර මම ද රඟ­පෑවා. බොහෝ දුරට මේවායේ ඉන්නෙ එකම පිරි­සක්. අවු­රුදු 30ක් තිස්සේ ‘තල මල පිපිලා’ අදත් පෙන්ව­නවා. පුත්‍ර සමා­ග­මට අවු­රුදු 35ක් විතර. මේ නාට්‍යත් සමඟ විදේශ සංචාර ගණ­නා­ව­කත් යෙදුණා.

• ඔබ ලේඛ­න­ය­ටත් යොමු­වුණා?

“දවස තව­මත් තරු­ණයි” සහ තවත් කෙටි­කතා පොත් දෙක­කුත් කවි­පොත් 3කුත් ළමා පොත් 2කුත් කළා. අනෙක්වා නාට්‍ය පිට­පත් කෘති වශ­යෙන් පළ කළා. මේ කෘති­ව­ලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන පස්ව­තා­වක් ම හිමි­වුණා. ඒක විශේ­ෂ­යක්.

• දැන් ඔබ පුංචි තිරයේ දකින්න නෑ?

මුලදි ආසා­වට වගේ රූප­වා­හිනී මාධ්‍ය­ටත් යොමු­වුණා. විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය කිහි­ප­යක රඟ­පෑවා. එයින් පසුව පුංචි තිර­යෙන් ඈත් වුණා. දැන් අවු­රුදු 5 - 6 ක් තිස්සේ මම ටෙලි­නා­ට්‍ය­වල නෑ.

• ඔබ සින­මාවේ මතු වෙන්නේ හුඟාක් පසු­වෙලා. මේ පමා­වට හේතුව මොකක්ද?

මං වේදි­කාවෙ හිටියෙ. ටයි­ටස් තොට­ව­ත්ත­යන්ගේ “හඳයා” චිත්‍ර­ප­ට­යේත්, “සිරිබො අයියා” චිත්‍ර­ප­ට­යේත් රඟ­පෑවා. ඉන්පසු සිනමා නිර්මා­ණ­ව­ලට දාය­ක‍වෙන්න ලැබුණේ මෑතදී. සහාය හා උප ප්‍රධාන චරිත වගේ කරලා ප්‍රධාන චරිත නිරූ­ප­ණය කළ චිත්‍ර­පට දැන් තිර­යට එමින් තිබෙ­නවා. මේ දින­වල ‘ගෝල්’ චිත්‍ර­ප­ටය යනවා. ඉදි­රි­යට ඒමට නිය­මිත “සුවිසි විව­රණ” චිත්‍ර­ප­ට­යට ජාත්‍ය­න්තර සම්මා­නත් හිමි වුණා. තව චිත්‍ර­පට 6 - 7ක් ම එන්න තියෙ­නවා. මේ වය­සත් එක්ක අධ්‍ය­ක්ෂ­වරු දැන් තමයි චිත්‍ර­ප­ට­ව­ලට කතා කරන්නෙ.

• චරිත සමඟ ජීවත් වීමේදි ඔබ ලබා ඇති අත්දැ­කීම් ගැන යමක් කිව හැකිද?

චරිත එකි­නෙ­කට වෙනස්. වේදි­කා­වෙත් එහෙ­මයි. සැබෑ ජීවි­ත­යෙත් එසේ­මයි. පුද්ගල චරිත ඇසුරු කිරී­මේදී අත්දැ­කීම් රැසක් ලැබෙ­නවා. ඒ හඳු­නා­ගැ­නීම වැද­ගත්. නාට්‍ය අධ්‍ය­ක්ෂ­වරු ගත්තොත් විවි­ධයි. විවිධ අව­ශ්‍යතා, විවිධ මට්ටම්, විවිධ දේශ­පා­ලන මති­ම­තා­න්තර. එක් එක් කණ්ඩා­යම්වල වැඩ කිරී­මේදී ඒ ඒ වයස් කාණ්ඩ­වල පිරිස් සමඟ වැඩ කරද්දී ගරු කළ යුතු අයට ගරු නොක­ළොත් එතැන ගැටුම් ඇති වෙනවා. ඒ වගේ­මයි විවිධ ශෛලීන්. කලාව කියන්නෙ ම නව අද­හස් ප්‍රකාශ කරන සෞන්ද­ර්යා­ත්මක මාව­තක් බව අපට පිළි­ගන්න වෙනවා. අපට ප්‍රකාශ කරන්න ඕන දේට ගැළ­පෙන ශෛලිය අපට හඳු­නා­ගැ­නී­මට සිදු­ව­නවා. මට මතක් වෙනවා මම සයි­මන් නව­ග­ත්තේ­ගම “සුබ සහ යස” නාට්‍යයේ සිටි කාලය. දව­සක් සයි­මන් මට කිය­නවා තමුසේ මේක හරි­යට කරන්නෙ නෑ. දාලා යනවා කියලා. මට කන­ගා­ටු­ව­කුත් ඇති­වුණා විත­රක් නෙවෙයි මාව වික්ෂිප්ත වුණා. ඒත් කල්ප­නා­වෙන් තේරුම් ගත්තා. ඊට පස්සෙ නාට්‍ය­යෙන් අයින් වුණා. සිදු­විය යුත්ත එය බව වැට­හුණා. මම සයි­මන් ගැන ද්වේෂ­යක් ඇති කරගත්තේ නෑ. ඒ තේරුම් ගැනීම මට වැද­ගත් වුණාය කියල හිත­නවා.

• අද කලා ක්ෂේත්‍රය දිහාව බලද්දි ඔබට දැනෙන්නෙ?

ඕනෑම රට­කට තමන්ගේ රටේ උරු­මය සංස්කෘ­තිය සමඟ ගොඩ­නැ­ඟුණු ආවේ­ණික කලා­වක් තියෙ­නවා. ජර්ම­නිය, ඉතා­ලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඇමෙ­රි­කාව, ඉතා­ලිය ගත්තොත් ඒ ඒ ශෛලීන් ඔවුන්ට ආවේ­ණි­කයි. හැබැයි ලංකාවේ මෙහෙම තත්ත්ව­යක් නෑ. අපේ දේ සොයා යෑම පවා අඩු­වෙන් වෙන්නෙ. පිටින් එන දේ ‍හොඳයි කියල බාර ගන්නවා.

මම නම් හිතන්නේ අපි අපේ මුල් සොයා ගත යුතුයි. පසට පොහොර එකතු කළ හැකියි. නවී­ක­ර­ණය වෙන්නත් ඕන. හැබැයි මුල් සිඳ­ගන්නෙ නැතිව. මහා­චාර්ය සර­ච්චන්ද්‍ර වැනි අය යාතු කර්ම, ගැමි නාටක ආදිය හදා­ර­මින් මේ දේ කළා. බීජ­යක් මහ ගසක් වුණාම එතැන බීජය නෑ. හැබැයි ඒ ගස තවත් බීජ නිප­ද­ව­නවා. ඒවාත් මහා ගස් වෙනවා. මහා ගස් ලෙස වැඩෙන්න නම් ඒවා හොඳින් ඒ පසට මුල් අල්ලා ගත යුතුයි. නැති­නම් ඉදිරී වැටෙ­නවා.

නිස­ඳැස් කවිය සිරි ගුනසිංහ, අම­ර­සේ­කර වගේ අය හඳුන්වා දීලා විකා­ශ­නය වෙද්දි විශේ­ෂ­යෙන් අම­ර­සේ­කර වගේ අය නිසා අපේ කවි මඟ ගොඩ­නැ‍‍ඟෙ­නවා.

• ප්‍රේක්ෂක ප්‍රති­චාර සිහි­පත් කරද්දි...?

විවිධ ප්‍රති­චාර ලැබෙ­නවා. විවිධ කලා මාධ්‍ය අත­රින් වේදිකා නාට්‍ය විශේෂ වෙන්න එක් ප්‍රධාන කාර­ණ­යක් තමයි ‍ප්‍රේක්ෂක ප්‍රති­චාර ඍජුව ඒ මොහොතේ ම දැන­ගන්න ලැබීම. බුද්ධි­මත් ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් සිටීම නිර්මා­ණ­ක­රු­වා­ටත් බොහොම ප්‍රයෝ­ජ­න­වත්, ප්‍රති­පෝ­ෂ­ණ­යක් ලැබෙ­නවා. හැබැයි එන්න එන්නම රස­ඥ­තා­ව­යෙන්, දැනු­මෙන් පිරි­හෙ­මින් යන ප්‍රේක්ෂ­කා­ගා­ර­යක අත්දැ­කීම අප ලබ­නවා. ඒක කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක්. අපි දියු­ණුයි කිව්වට අලු­තින් සිත­නවා කිව්වට ඒ වගක් පෙනෙන්නේ නෑ.

සරල විනෝ­දය සොයා යන තත්ත්ව­ය­කුත් තියෙ­නවා. ඒ නැඹු­රුව අඩුයි. බර­සාර නිර්මාණ අඩු­ව­කුත් තියෙ­නවා. නිර්මා­ණ­ක­ර­ණ­යෙදි ප්‍රමි­ති­යක් පවත්වා ගත යුතු බවයි මගේ නම් අද­හස. මිනිස්සු ඉල්ලන දේ දිය යුතුය කියන කතාව බොරු­වක්. අපි හොඳ දේ ගුණා­ත්මක දේ දෙනවා නම් මිනිස්සු ගන්නවා.

ප්‍රති­චාර ගැන කියන ‍කොට සම­හ­ර­විට අපෙන් යම් ප්‍රමා­ද­යක් අත­ප­සු­වක් වුණොත් ප්‍රේක්ෂ­කයො මුදල් නොදී යන අව­ස්ථාත් තියෙ­නවා.

• විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය ජීවි­ත­යෙදි දේශ­පා­ල­නය ආද­රය වගේ අත්දැ­කීම් නැති ද?

71’ සමයේ සම­කා­ලී­නයො ජවි­පෙට අනු­ග­තව සිටියා. වැඩි අව­ධා­න­යක් තිබුණේ ඒ දෙසට. මම සිංහල සංග­මයේ සභා­පති. අපේ ක්‍රියා­කා­ර­කම් එක්ක කමි­ටුව හිටියෙ ජවිපෙ. ඒ කාලයේ ශිෂ්‍ය­යන් අතර කොමි­යු­නිස්ට් පක්ෂ­යට බල­යත් නැඹු­රු­වත් තිබුණු සමා­ජ­වාදී අද­හස් ඔස්සේ සමා­නා­ත්ම­තාව ඔස්සේ අපත් වැඩිය ආක­ර්ෂ­ණය වුණේ ඒ දෙසට. සෝවි­යට් නව­කතා එහෙම හුඟක් කියෙව්වා.

ඒ කාලයේ දැන් වගේ නෙවෙයි, උද්ඝෝ­ෂණ, පෙළ­පාළි අඩුයි. වැද­ගත් ම කාර­ණ­ය­කට විත­රයි ඒවා තිබුණේ.

ආද­රය පැත්තෙන් ගත්තොත් ඒ අව­දියේ පසු­ගාමී බවක් තිබුණා. ප්‍රේම කරන්න පටන් ගත්තෙ පේමතෝ ජායතී ‍ශෝකෝ නාට්‍ය­යේදි.

• ඔබ කලා - නිර්මාණ ක්ෂේත්‍ර­යන්ට කළ මෙහෙ­වර, දාය­ක­ත්වය පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ අගැ­යී­මට ලක්වුණා?

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය මට සාහි­ත්‍ය­සූරී (Dlit) උපා­ධිය පිරි­නැ­මුවා. මම ශාස්ත්‍ර­පති උපා­ධිය (MA) ලැබුවෙ ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යෙන්. දර්ශ­න­ශූරී (Phd) උපා­ධි­යත් එම විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ම ලැබුවා.

මම ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යේත්, සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ල­යේත් බාහිර කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙසත් කට­යුතු කර­නවා.

• පවුලේ තොර­තුරු?

මගේ බිරිය තමරා. අපට දුවයි - පුතයි. පුතා බානුක, විවා­හ­කයි ‍ඕස්ට්‍රේලි­යාවෙ ජීවත් වෙන්නෙ. දුව, උත්පලා බැංකු නිල­ධා­රි­නි­යක්. ලංකාවේ ජීවත් වෙනවා. ඇයත් විවා­හ­කයි. අපට මුනු­පුරු මිනි­බි­රියෝ සිටි­නවා.

• මේ දින­වල ඔබ අලුත් නිර්මාණ කාර්ය­යක නියැ­ළෙ­නවා නේද?

ඔව්, මගේ අලුත් ම නාට්‍ය “වන ළැහැබ”. ‘රෂො­මොන්’ තිර රච­නය අනුව ඒකෙ පිට­පත ලියැ­වුණේ. මේක නෘත්‍ය නාට්‍ය කියන වර්ග­යට අයිති නාට්‍යක්. සංගී­තය හා නර්ත­නය වැඩි­පුර යොදා ගන්නවා. මේ දින­වල මේ නාට්‍යයේ කට­යු­තු­වල යෙදෙ­නවා. අනෙක් කලා කට­යු­තුත් කරන අතර. මේකෙ නර්තන නිර්මාණ රවි­බන්දු විද්‍යා­ප­තිගෙ. සංගී­තය නව­රත්න ගමගේ. පද රචනා රත්න ශ්‍රී විජේ­සිංහ ගෙ. “වන­ළැ­හැබ” නොවැ­ම්බර් මාස­යේදී විතර වේදි­කා­වට ගෙන එන්න හැකි­වේවි කියල බලා­පො­රොත්තු වෙනවා.

සේයාරුව - සුදම් ගුණසිංහ

Comments