
පාතාල කල්ලි රටටම හිසරදයකි. මේ හිසරදයට විසඳුම් සොයන එක් කණ්ඩායමක් වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයයි. ඔවුන්ට පසුගියදා විශේෂ තොරතුරක් ලැබිණි. ඒ වැඩි අවධානයක් නැති මහනුවර ආශ්‍රිතව රටේ නම ගිය පාතාල කල්ලිවලට සම්බන්ධ සාමාජිකයන් එහෙ මෙහේ සැරිසරන බවය. පසුගිය 9 වැනිදා ලැබුණු තොරතුරට අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකාය එහි ප්‍රධානී එම්. ආර්. ලතිෆ්ගේ සහ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ උපදෙස් මත සූක්ෂ්ම මෙහෙයුමකට සැරැසිණි. ඔවුන්ගේ ඉලක්කය වූයේ මහනුවර සැරිසරන මේ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැන්මය.
තොරතුරෙන් ඔවුන්ට වැඩි අවධානයක් ලක්කළ යුතු ඉසව්ව ගැන අවබෝධයක් ලැබිණි. ඒ අනුව වත්තේගම තෙල්දෙණිය මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී ක්ෂණික මාර්ග බාධකයක් යෙදිණි. එම මාර්ගයේ යනෙන සියලුම වාහන සෝදිසියට ලක් කෙරිණි. වේලාව දහවල් 12.15ට පමණ වන්නට ඇත. නිල් පැහැති හයිබ්‍රිඩ් ස්පෝර්ට් වර්ගයේ නවීන මෝටර් රථයක් ඉගිළෙන වේගයෙන් මාර්ග බාධකය ඉදිරියට ආවේය. විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙතින් මෙම වාහනයටද නැවතීමට අණක් ලැබිණි. එහෙත් සෙබළුන් ඉදිරියේ රථය නැවතුණේ නැත. නිලධාරින්ගේ අණ නොතකා ධාවනය කළ රිය ඔවුන් පසු කර මඳ දුරක් ගොස් නැවැත්වූයේ විශේෂ කාර්ය බළකා සෙබළුන් අත වූ අවි හමුවේ වාහනයෙන් පලා යෑම මරු වැලඳ ගැනීමක් යයි මේ මෝටර් රථයේ සිටි දෙනොට සිතුණු නිසා විය හැකිය.කොහොමටත් විශේෂ කාර්ය බළකා සෙබළු මේ අමුතු ආකාරයට නැවතුණු මෝටර් රථය දෙස තියුණු අවධානයකින් පසුවූහ.
මෝටර් රථයේ දොරවල් විවර විය. රථයෙන් බැසගත් දෙදෙනා හිටිහැටියේම මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට දිගට හරහට වෙඩි තබන්නට වූහ. ඊට ප්‍රතිචාර දක්වමින් බිම දිගා වූ නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම අපරාධකරුවන් දෙදෙනාට ප්‍රති ප්‍රහාරයක් එල්ල කෙරිණි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළු කරද්දීත් මෙලොව හැරගොස් තිබිණි.
එදින මියගියේ සංවිධානාත්මක අපරාධ කල්ලි නොහොත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු වන පනාගොඩ, ප්‍රියදර්ශන මාවතේ පදිංචිව සිටි 30 හැවිරිදි රුමල්ෂ ඉරේෂ් මධුසංඛ නවගමුව නොහොත් බයිලා සහ 457/5, මුල්ලේරියාව උතුර අංගොඩ ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 46ක් වූ පොල්වත්තගේ උපාලි නොහොත් ජනා නමැත්තා බවට පසුව හඳුනා ගැනිණි. ඔවුන් සතුව තිබී පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ට හමුවී තිබිණි. ඔවුන් දෙදෙනාම පාතාලයේ ගෝඩ් ෆාදර් වීමට සිහින දකින මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්ගේ සහ දැනට රටින් පැන ගොස් සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයෝ දෙදෙනෙකි.
බයිලා සහ ජනා යන දෙදෙනාම මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට පත් ව සිට සිට ඇප මත නිදහස්ව පැමිණි අය බවට සඳහන් වේ. බයිලා පනාගොඩ, හෝමාගම, රණාල ආශ්‍රිත ව කප්පම් ගැනීම්, මංකොල්ල කෑම්, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙමින් සිටි අයෙකි. කලින් පසුපෙළේ සිටි ඔහු ට පාතාලයේ ඉදිරියට එන්නට පාර කැපෙන්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨයන් අත්අඩංගුවට පත්වීම සහ ඝාතනයන්ට ලක්වීම නිසාවෙනි. පනාගොඩ දී කලකට පෙර ඝාතනය වූ චානා නැමැති පාතාල සාමාජිකයාගේ ඝාතකයා ලෙසින් සැක කරන්නේද බයිලාය. එම ඝාතනය සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසවූ ඔහු ඇප ලබා සිටියේය. එසේම අධිකරණවල විභාග වෙමින් තිබූ තවත් එවැනි නඩු 15කට අධික ප්‍රමාණයකට අධිකරණය මඟහැර සිටීම නිසා වරෙන්තු ලබා සිටි අයෙක් ලෙසද බයිලා සැලැකේ.
බයිලා නිතර පුරසාරම් දොඩවන කටමැත කියවන පුද්ගලයකු ලෙස සැලකෙයි. තමන් විසින් කරන ලද සහ කරන්නට සිටින නොපනත්කම් මහ ලොකුවට පුරසාරම් දොඩන නිසාම ඔහු බයිලා කාරයකු ලෙස ඔහුගේ සමීප ඇසුරු කරන්නෝ සලකති. ඒ නිසාම ඔහුට කලකදී බයිලා යන නාමය පටබැඳී ඇත. ගුරුවරියකගේ පුතකු වන බයිලා නරක ඇසුර නිසා නොමඟ ගිය තැනැත්තෙකි.
බයිලා යනු ඩුබායි හි සිටින මධුෂ්ගේ මෙරට කුඩු ජාලයේ ප්‍රධානම මෙහෙයුම්කරුවා ලෙසින් සැලකෙන අතර ඔහු මධුෂ්ගේ විශ්වාසවන්තම ගෝලයකු ලෙසද සැලැකේ. ඔහු මත්ද්‍රව්‍ය කිලෝ ගණන් රැගෙනවිත් බෙදාහරින අයෙක් ලෙස කටයුතු කොට තිබේ. කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඉතාම සැපවත් ජීවිතයක් ගත කළ බයිලා මධුෂ්ගේ හැඩරුවට ම සමාන ලෙස රැවුල, කොණ්ඩය වවාගෙන ජීවත් වූවෙකි.
පොලිස් පරීකෂක නියෝමාල් රංගජීව පිළියන්දල ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ ප්‍රයත්නයටද මධුෂ්ගේ මෙහෙයවීම මත මොහු විසින් සිදු කරන ලද වැඩක් ලෙසින් සැලකෙයි. නිතර පුරසාරම් දොඩන බයිලා නුදුරේදීම මිනිස් ඝාතන පහක් සිදුකරන බවටද පවසා තිබූ බවට ද විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබූ බව එහි උසස් නිලධාරියෙක් කීවේය. එසේම පොලිස් නිලධාරින්ටද ඔහු මැර තර්ජන කරමින් තිබිණි.
තම සහෝදරයා සතු මඩවල පිහිටි ඉඩමක ඉදිවන නිවෙසකට බයිලා නිතර ආ ගියේය. ඒ අනුව ඔහු මහනුවර ප්‍රදේශයේ වැඩිපුර කරක් ගසා තිබේ. එම සහෝදරයාද මොහුගේ ක්‍රියාකාරකම් නිසා මහත් හිසරදයකින් සිටි බවත් ඒ හේතුවෙන්ම ඔහු කලක් විදේශගතව සිටි බවත් ආරක්ෂක අංශවලට පවසා තිබිණි.
මියගිය අනෙක් අපරාධ කල්ලි සාමාජිකයා වූ ජනා නමැත්තා අංගොඩ ලොක්කාගේ ප්‍රබල ගෝලයෙකි. ඔහුද මිනීමැරුම්, කොල්ලකෑම් නඩුවලට ඇප මත සිටි අයෙකි. එසේම ඔහු පාතාල සාමාජිකයන්ගේ විශ්වාසවන්ත ගෝලයකු ලෙස සැලැකේ.
මහනුවර ප්‍රදේශයේ මේ දෙදෙනා සමඟ තවත් තිදෙනෙක් සැරිසරා තිබේ. එම තිදෙනාද අත්අඩංගුවට ගැනීමට පසුගිය 13 වැනිදා මහනුවර පොලීසිය සමත් විය. ඒ සම්පත් රණවක, හර්ෂ අනුර සහ හර්ෂ ප්‍රදීප් කුමාර යන තිදෙනාය. සම්පත් මහනුවර උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හර්ෂ අනුර මීගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකි. ප්‍රදීප් කුමාර වස්කඩුවේ පුද්ගලයෙකි. එයින්ද පෙනෙන්නේ මධුෂ්ගේ පාතාල කණ්ඩායමේ නියෝජිතයන් මේ වනවිට රට පුරා විසිර ඇති බවට ඉඟියකි. කෙසේ වුවද මේ තුන්කට්ටුව කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත්තෙ ලැබුණු තොරතුරක් අනුවයි. මොවුන් තිදෙනා සමඟ මියගිය දෙදෙනාද මේ හෝටලයේ ම නවාතැන්ගෙන සිටි බවට අනාවරණය වේ. බයිලා සහ ජනාගේ මිය යෑමෙන් අනතුරුව මේ තිදෙනා හෝටලයෙන් එළියට නොගොස් හෝටලයේම සැඟවී සිට ඇත. මේ තිදෙනාගෙන් හර්ෂ අනුර යනු මියගිය බයිලාගේ ප්‍රධානම ගෝලයා වේ. එසේම සම්පත් රණවක යනු කොළඹ ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකටම සම්බන්ධ වූවකු ලෙසද සැලැකේ.
එසේම පසුගියදා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය කළ වැටලීමකදී මධූෂ්ගේ තවත් ප්‍රධානම ගෝලයෙකු වූ අකිල නමැත්තාද පිටකොටුව වරාය අසල විමලධර්ම ගොඩනැඟිල්ල අසලදී අත්අඩංගුවට ගත්තේ ඔහුගේ අනියම් බිරිය සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීය. එහිදී මෙම කාන්තාව ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ.
මේ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය, සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය, කොළඹ අපරාධ කොට්ඨාසය යන ඒකක කොළඹ සහ ඒ අවට පාතාල කල්ලිවල ක්‍රියාකාරකම්වලට එරෙහිව කරන විශේෂ මෙහෙයුම් නිසා පාතාල සාමාජිකයන් කොළඹින් පිටතට යමින් සැඟවී සිටීමට උත්සාහ දරන බවක් වාර්තා වේ. එම නිසා පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ තම පෙදෙස්වල සැරිසරන නාඳුනන පුද්ගලයන් ගැන අවධානයෙන් සිටින ලෙසය.
එසේ හෝඩුවාවන් සපයන සියලු දෙනාගේ අනන්‍යතාවන් සඟවා සිටීමට කටයුතු කරන බව පවසන එම නිලධාරීන් ජනතාව ලබා දෙන එවැනි හෝඩුවාවන් පාතාල මර්දනයට අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කොට සිටී.