
කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් රණවීරය. ඔහු වෙඩිතබා ඝාතනය කරනු ලබන්නේ ඉකුත් සිකුරාදා (08) රාත්‍රී 10.15ට පමණය. උපසභාපතිවරයා ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී තමාට අයත් හයිලුක්ස් වර්ගයේ කැබ් රියෙන් ආපසු නිවෙස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මේ වෙඩි තැබීම සිදු කර තිබිණි.
ඝාතනයට ලක් වන විට 48 හැවිරිදි වියේ පසු වූ ඩොනල්ඩ් දරුවන් තිදෙනකුගේ පියෙකි. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට 2006 වසරේ තේරී පත් වූ ඔහු පළමු ජයග්‍රහණයෙන්ම එහි උපසභාපතිවරයා බවට පත් වූයේය. ඔහුට ඒ සඳහා පාර කපා දුන්නේ කරන්දෙණියේ දේශපාලන නායකයා වූ හිටපු ඇමැති ගුණරත්න වීරකෝන්ය. 2011 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන්ද ජයග්‍රහණය කළ ඩොනල්ඩ් එවරද උපසභාපතිවරයා ලෙස තේරි පත් වූයේය. ගියවර පැවැති මැතිවරණයේදී ගුණරත්න වීරකෝන්ගෙන් මිදුණු ඩොනල්ඩ් පොහොට්ටු අපේක්ෂකයකු ලෙස තරග වැදී, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ලෙසම තුන්වන වතාවටත් තේරී පත් වූයේය.
ඩොනල්ඩ්ගේ සමාජ ජීවිතය ආරම්භය සම්බන්ධව ගැටලු සහිත තැන් තිබිණි. නැඟෙනහිර ප්‍රදේශයේ හිටපු එල්ටීටීඊ සන්නද්ධ නායකායව සිට, පසුව දේශපාලනයට පැමිණ නියෝජ්‍ය ඇමැති ධුරයක් දැරූ දේශපාලකයකු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර සමීප සබඳතා පැවති බව හෙළි විය. විටෙක ආයුධ සඟවා තබාගැනීමක් ගැන ලද තොරතුරකට ඩොනල්ඩ්ගේ නිවෙසත් ඔහුගේ සොහොයුරාගේ නිවෙසත් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂාවට ලක් විය. එදින ඩොනල්ඩ් සම්පත්ගේ බාල සහෝදරයකු වූ කරන්දෙණිය කැටවල පදිංචිව සිටි ඩොනල්ඩ් කුමාර රණවීර සිය නිවෙසේ සඟවා තිබූ ගිනිඅවි 03ක් සමඟ අත්අඩංගුවට පත් විය. ඒ අතර බෝර 12 ගිනිඅවි දෙකක් සමඟ විදේශීය රටක නිෂ්පාදිත පෑනක ස්වරූපය ගත් මයික්‍රෝ පිස්තෝලයක්ද විය. එල්ටීටීඊ සංවිධානය භාවිත කළ සඟරා කිහිපයක්ද මේ නිවෙසේ තිබී සොයාගැනීමට මෙහෙයුම කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි විය.
ඝාතකයාගේ ඉලක්කය
ඝාතකයා ඉලක්ක කරගෙන තිබුණේ උපසභාපතිවරයා රෝහලකටවත් ගෙන යන්නට ඉඩක් ලබා නොදී සිය කටයුත්ත අහවර කිරීමය. යතුරුපැදියකින් පැමිණි ඝාතකයා හා ඝාතන සහායකයා කොරකීන හන්දියේදී උපසභාපතිවරයාගේ කැබ් රිය ඉස්සර කර ඊට මඟ හරස් කරමින් නැවැත්වීය. අනතුරුව ගිනි අවියක් ගත් ඝාතකයා රියැදුරු අසුන පැත්තෙන් පැමිණ කැබ් රියට වෙඩි වරුසාවක් එල්ල කළේය. ප්‍රහාරය එල්ලවන විට කැබ්රථයේ රියදුරුත් පිටුපස අසුනේ උපසභාපතිවරයාගේ යහළුවෝ දෙදෙනෙකුත් වූහ. උපසභාපතිවරයා සිටියේ රියැදුරු අසුනට යාබද අසුනේය. ඝාතකයා වෙඩි තබමින්ම පැමිණ කැබ් රිය තුළට ගිනි අවිය ඇතුළු කළේය.
සිදු වන්නේ කුමක්දැයි වැටහීමකින් තොරව සිටි රියැදුරු වහාම සිය හිස පහත් කරගත්තේය. කණ ළඟින් ඇදෙන වෙඩි උණ්ඩ උපසභාපතිවරයාගේ සිරුර පසාරු කරගෙන ගොස් නැවතිණි. සිය කටයුත්ත අහවර කළ ඝාතකයා දිව ගොස් යතුරු පැදියට නැඟගන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුට යතුරුපැදියට ගොඩවන්නට ඉඩක් නොලැබිණි. යතුරු පැදියේ දෝෂයක් ඇති වී පණගැන්වීම ප්‍රමාද විය. එහෙයින් ඔහු ගිනි අවියත් රැගෙන අඳුරේම පලා ගියේය.
ඝාතන සහායකයා
හිස එසවූ රියැදුරු දුටුවේ යාබද අසුනේ ලේ විලක් මැද වැටී සිටි උපසභාපතිවරයාය. තුවාලකරු කැබ් රිය තුළ සිටයදීම රියාැදුරු තැන රථය හැරවූයේය. අනතුරුව ඔහු පලායන්නට උත්සාහ කරන ඝාතන සහායක යතුරුපැදිකරු සිය කැබ් රියේ හප්පා දැම්මේය. විසි වූ යතුරුපැදිකරු අනතුරින් බරපතළ තුවාල ලැබීය. වාහනයෙන් බට තිදෙනා යතුරුපැදිකරුට පහර පිට පහර දුන්හ.
අනතුරුව වෙඩි ප්‍රහාරයට ලක්වූ සභාපතිවරයා කරන්දෙණිය බෝරකන්ද රෝහලට ඇතුළු කරනු ලැබිණි. බරපතළ වෙඩි වරුසාවකට හසු වී සිටි උපසභාපතිවරයාගේ හිස, මුහුණ, උදරය හා පපු ප්‍රදේශය සිදුරු කරගෙන ඇතුළු වූ වෙඩි උණ්ඩ අටක් සහිතව ඒ යනවිට මිය ගොස් සිටියේය.
බරපතළ තුවාල ලද ඝාතන සහායක යතුරුපැදිකරු ඌරගස්මන්හන්දියේ අයකු විසින් රෝහලට ඇතුළත් කරනු ලැබ තිබිණි. රෝහලේදී සැකකරු පොලිස් අත්අඩංගුවට පත් විය.
සැකකාර ඝාතන සහායකයා පහළවෙල උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි පත්තිනි හකුරු අසේල රණසිංහ (22) නමැත්තෙකි. ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ විසින් ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.
මේ සැකකරු ප්‍රදේශයේ අපරාධවලට සම්බන්ධ වන මුල්ම අවස්ථාව මෙය නොවේ. ඔහුගේ පියාත් දකුණේ නම ගිය අපරාධකරුවෙකි. දකුණේදී ඔහු හඳුන්වනු ලබන්නේ 'ගවරා' නමින්ය. නම පත්තිනි හකුරු රංජිත් රණසිංහ (49) ය. 2018 මැයි 13 දින ඌරගස්මන්හන්දිය, කළුවලගොඩ ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමට ගොස් පොලීසිය සමග ගැටුමක් ඇති කරගත් සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා වන්නේද රංජිත් රණසිංහය.
පොලීසිය ඝාතන සහායකයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. මේ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු කීවේ තමන් මේ ඝාතකයා නොදන්නා බවත්, සුජී අයියා කී නිසා ඔහුව අදාළ තැනට රැගෙන ආ බවත්ය. සුජී අයියා ලෙස හඳුන්වා තිබුණේ දකුණේ නමගිය පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජීය. ඒ අනුව මේ ඝාතන සහායකයා කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් බව තහවුරු විය. ඒ සමගම ඝාතනය සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය සොරකම් කරන ලද එකක් බවත් යතුරුපැදියේ අයිතිකරු සිය යතුරුපැදිය නැතිවීම සම්බන්ධව මීට මාස තුනකට පෙර පොලිස් පැමිණිල්ලක් දමා ඇති බවත් හෙළි විය.
ඝාතකයා අත්අඩංගුවට
ඝාතන සහායකයාගේ තොරතුරු හා ඇසින් දුටු සාක්ෂි මත පොලිස් මෙහෙයුම් ආරම්භ විය. ප්‍රධාන සැකකරුවා වූ සැකකාර ඝාතකයා අවසානයේදී පොලිස් අත්අඩංගුවට පත් වූයේය. ඒ පසුගිය සිකුරාදා (15) පෙරවරුවේය. සැකකරු අම්බලන්ගොඩ, වතුගෙදර, විහාරගොඩ, අංක 12 ලිපිනයේ පදිංචි 28 හැවිරිදි මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර නොහොත් චූටිය.
ඔහු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මීටියාගොඩ පොලිස් වසමේ කහව, වේරගොඩ සිය ඥාති සහෝදරයකුගේ නිවෙසක සැඟවී සිටියදීය.
ඇල්පිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී නිහාල් තල්දූවගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ඇරඹිණි. ඝාතකයා සිය පාපෝච්චාරණය ආරම්භ කළේ මේ ප්‍රශ්න කිරීම්වලදීය.
ඝාතකයාට උපසභාපතිවරයා ඝාතනය කිරීම සඳහා උපදෙස් දී තිබුණේ කොස්ගොඩ සුජී සමඟ ඩුබායිහි සිටින මයිකල් නමැත්තෙකි. මයිකල් යනු සුජීගේ ප්‍රධානම ගෝලයෙකි. ඔහුද මිනීමැරුම් ගණනාවකටම පොලීසියට අත්‍යවශ්‍ය කෙනෙකි. සුජීගේ සහ තම කණ්ඩායමේ වැඩ කටයුතුවලට උපසභාපතිවරයාගෙන් එල්ල වන පීඩනය නිසා ඔහු ඝාතනය කරන්නැයි කියා සිටි බව අත්අඩංගුවට පත් සැකකරු පොලීසියට කියා තිබිණි.
ඝාතනය සඳහා සියලු සැලසුම් සකස් කර තිබුණේ ඩුබායිහි සිටින මයිකල්ය. ඔහු උපසභාපතිවරයාගේ තොරුතුරු සොයාගැනීම සඳහා තොරතුරු ජාලයක් ක්‍රියාත්මක කර තිබිණි. ඩුබායිහි සිට ඝාතකයාට සියලු උපදෙස් ලබා දී තිබෙන්නේ මයිකල්ය. සභාපතිවරයා මඟුල් ගෙදරින් පිටත් වූ අවස්ථාවේ සිට මොහොතින් මොහොත ඔහු තොරතුරු යාවත්කාලීන කළේය.
“බලන් ඉඳපන්... දැන් එන්න පටන් ගත්තා. හතර දෙනෙක් එනවා මෑන් එක්ක. මිනිහා ඉන්නේ ඉස්සරහ සීට් එකේ. උඹට ඕනැ නම් හතර දෙනාටම තියලා දාපන්.” ඒ මයිකල් ඝාතකයාට ලබාදුන් උපදෙස්ය.
“උපසභාපතිට වෙඩි තියලා ඉවර වෙනකොට වෙපන්-එකේ මැගසින්-එක ගලවලා මාරු කරන්න ඕන වුණා. එතකොට මැගසින්-එක ගැලවිලා බිම වැටුණා. ඒ හින්දා අනික් අයට තියන්න බැරිව ගියා. මම එතැනින් ඉක්මනින්ම යන්න ගියේ ඒ නිසා. එහෙම දුවනකොට ෆෝන්-එක වැටුණා. ඒ හින්දා බයික්-එක අරන් ආපු අසේලට පණිවිඩයක් දෙන්න බැරි වුණා.” ඝාතකයා පොලිසිය ඉදිරියේ සම්පූර්ණ පාපෝච්චාරණයක් කළේය. ඝාතනය සිදු කළ ස්ථානය අසල වැටී තිබූ ජංගම දුරකථනය උපසභාපතිවරයාට වෙඩි තැබූ දිනේෂ්ගේ බව සනාථ විය.
ඝාතනය සිදු වී සතියක් යන්නට පෙර ඝාතකයා, ඝාතන සහායකයා අත්අඩංගුවේය. සැලසුම් කළ අපරාධකාරයා හෙළිදරව් වී ඇත්තේය. මීට පෙරත් දකුණේ සිදු වූ සමූහ මිනීමැරුම්වලට සැකකාර අපරාධකරුවෝ පොලිස් අත්අඩංගුවට පත් වූහ. සමහරෙක් මේ වනවිටත් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. එහෙත් මේ මිනීමැරම් මෙහෙයවන අපරාධකාරයන් ඉන්නේ විදේශගතවය. ඔවුන්ගේ බළල් අත් තවමත් මිනී මරමින්ය.
කොස්ගොඩ හා ඌරගස්මන්හන්දිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් මිනී මරාගන්නේ කලක සිටය. මේ එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ කොස්ගොඩ සුජීය. ඔහු මේ වන විට ඉන්නේ ඩුබායි රටේය. ඔහු පදිංචිව සිටියේ කොස්ගොඩ, හෑගල්ලේය. අනෙක් කල්ලිය මෙහෙයවන්නේ කොස්ගොඩ තාරකය.
සිකුරාදා (08) ඝාතනයට ලක් වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර මේ පාතාලයන් හා කළ ගනුදෙනුවක බිල්ලක්දැයි තවමත් පැහැදිලි නැත. දකුණේ මිනිසුන් පෙළන්නේ තවමත් නිමාවට පත් නොවූ භීෂණය හා බිහිසුණු ඝාතන වැලක යාවත්කාලීන වීම්ය. මේ බිහිසුණු සංස්කෘතිය රටින් තුරන් වනු දැකීම මේ රටේ පුරවැසියන්ගේ අපේක්ෂාවය.