
ඔබ මට ආදරය දක්වනවා. මා කෙරෙහි විශ්වාසය තබා සිටිනවා. ඒ නිසා මා කියන ඕනෑ ම දෙයක් ඔබ විශ්වාස කරාවි. නමුත් මා යළි යළිත් අවධාරණය කර සිටින්නෙ තමන්ට අද්දැකීම් නැති දෙයක් කල්පිතයක් ලෙස භාරගන්නා හැටියටයි. සමහර අවස්ථාවලදි මා උදාහරණ දෙනවා නම් එසේ දෙන්නෙ “ඔබ බිලිඳු වියේදී ම ඔය තරම් ධෛර්ය සම්පන්න වුණේ කොහොමද? තියුණු වුණේ කොහොමද?” කියා පුද්ගලයකු අසා ඇති නිසයි.
පෙර භවයේ කළ දේ ඉදිරියට ගෙන ගියා ඇරෙන්න මා කිසි දෙයක් කර නැහැ. ඒ නිසයි ළමා වියේදි මට පිස්සුවක් තිබුණා ය, අසාමාන්‍ය විදියට හැසිරුණාය කියල සමහරු හිතල තිබුණෙ. මං කරපු දේවල් කළේ ඇයි කියල හේතු නො දක්වපු එකත් ඒකට බලපාන්න ඇති. “මට ඒ වැඩේ කරන්න ඕනැ. ඒ ඇයි කියන එක මං දන්නව. ඒක ඔයාට කියන්න අවශ්‍ය නෑ. කිව්වයි කියල ඔයාට තේරෙන්නෙ නෑ” අන්න එහෙමයි මං ළමා කාලෙ කිව්වෙ.
මං ඉපදුණු පුංචි ගම ගැන ආයෙත් මට මතක් වෙනව. මේ විශ්ව පැවැත්මට මාව එහෙ උපද්දන්න හේතු වුණේ මොකක්ද කියන එක පැහැදිලි නෑ. ඒක එහෙම වුණේ වෙන්න ම ඕනැ දෙයක් නිසයි.
ඒ ගම හරි ම ලස්සනයි. මං මේ ලෝකෙ ඕන තරම් ඇවිදල තිබුණත් ඒ ගමේ තිබුණ ලස්සන වෙන කොහෙදිවත් මට දැක ගන්න ලැබිල නෑ. ලැබුණු යමක් ඒ ලැබුණු විදියට ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ. නොයෙක් දේවල් සිද්ධ වෙනව. ඒත් එකම විදියට නෙමෙයි.
මට තාමත් ඒ ගම මැවිල පේනව. වැවක් ළඟ පුංචි පැල්පත් ටිකක්. මං සෙල්ලම් කළ හරියෙ උස ගස් ටිකක්. ගමේ ඉස්කෝලයක් තිබුණෙ නෑ. තිබුණෙ නැති එකත් හරි වැදගත්. ඒ නිසා මං අවුරුදු නවයක් වෙනතුරුත් අකුරක්වත් ඉගෙන ගෙන තිබුණෙ නෑ. යමෙකුගෙ චරිතෙ හැඩ ගැහෙන හොඳ ම කාලෙයි ඒක. ඉන් පස්සෙ කොච්චර උත්සාහ කළත් ඉගෙන ගන්න බෑ. මං උපාධි බොහොමයක් ලබාගෙන තිබුණත් එක අතකින් බලනකොට මං අනධ්‍යාපනිකයි. නූගත්. ඕනෑ ම නූගතතෙකුට ඕනෑම උපාධියක් ගන්න පුළුවන්. පළමු පන්තියෙ ශාස්ත්‍රපති උපාධියක් වුණත් ගන්න පුළුවන්. ඒ දේ ඕනෑ ම මෝඩයෙකුට කරන්න පුළුවන් වැඩක්. අවුරුදු පතා ම හුඟක් මෝඩයො ඒව ලබා ගන්න නිසා ඒකෙ ඇති වැදගත්කමකුත් නෑ.
මගෙ ජීවිතේ මුල් අවුරුදුවල තියෙන විශේෂත්වය තමයි අධ්‍යාපනය ලැබීමෙන් තොරව පසුවීම. ගමේ ඉස්කෝලයක් තියා, මහ පාරක්, රේල් පාරක්. තැපැල් කන්තෝරුවක් තිබිච්ච නැති එක කොච්චර ලොකු ආශිර්වාදයක් ද? ඒ පුංචි ගම ඒකට ම ආවේණික ලෝකයක් වෙලයි තිබුණෙ. මම ඒ ලෝකෙ නූගතෙක් විදියට ඔහේ හිටිය.
මම රස්කින්ගෙ Unto this Land (මෙබිමට) කියන ප්‍රසිද්ධ පොත කියවල තියනව. ඒ පොත කියවද්දි මට මේ ගම ගැන සිහිපත් වෙනව. රස්කින්ගෙ ගම වෙනස් වෙලා නෑ. මාර්ග සම්බන්ධතා නෑ. කෝච්චි පාරක් වැටිල නෑ. අවුරුදු 50 ක් ගතවෙලා තිබුණත් තැපැල් කන්තෝරුවක් හැදිල නෑ. පොලිස් ස්ථානයක් නෑ. දොස්තර කෙනෙක් නෑ. ඒත් පුදුමෙ කියන්නෙ කිසි ම කෙනෙකුට ලෙඩක් හැදිල නෑ. ඒක ඒ තරමට ම පිරිසිදු ගමක්. දූෂ්‍ය නොවිච්ච ගමක්. ඒ ගමේ මිනිස්සු කෝච්චියක් කියන්නෙ කොහොම එකක්ද කියල හිතාගන්න බැරුවයි ඉන්නෙ. ඒ අය බස් එකක්, කාර් එකක් දැකල නෑ. ඔවුන් කවදාවත් ගමෙන් පිට ගිහිල්ල නෑ. ඒ අය ඉතා ම සතුටින් නිස්කලංක ජීවිතයක් ගත කරනව.
මම ඉපදුණු කුච්වාඩා ගමෙත් රේල් පාරක් තැපැල් කන්තෝරුවක් නෑ. ඒකෙ පුංචි පුංචි කඳු තියනව. හරියට ම කියනව නං ඒව ගොඩැලි. ලස්සන පොකුණකුයි පුංචි පැල්පතුයි තිබුණ. ඒව පිදුරු හෙවිලි කරපුව. ගමේ තිබුණු ගඩොළින් හදපු එකම ගේ මං ඉපදුණු ගේ. ඒකත් මහ ලොකු ගෙයක් නෙමේ. නිකං පුංචි ගෙයක්.
මට දැන් ඒක පේනව. ඒකෙ තිබුණු හැම දෙයක් ම විස්තර කරන්න මට පුළුවනි. ඒත් ඒ ගෙටත් වඩා, ඒ ගමටත් වඩා මට මතක ඒ ගම්මුන්වයි. මට මිලියන ගණන් පුද්ගලයො මුණ ගැහිල තියනව. නමුත් මේ ගමේ හිටිය මිනිස්සු තරම් අහිංසක මිනිස්සු කවදාවත් මුණ ගැහිල නෑ. මොකද ඒ ගොල්ලො හුඟක් ම ප්‍රාථමිකයි. ඔවුන් ලෝකෙ ගැන කිසි ම දෙයක් දැනගෙන හිටියෙ නෑ. එකම එක ප්‍රවෘත්ති පත්තරයක්වත් ගමට ආවෙ නෑ, ගමේ ප්‍රාථමික ඉස්කෝලයක්වත් නොතිබුණේ ඇයි කියන එක දැන් ඔබට හිතා ගන්න පුළුවන්නේ. ඒක කොච්චර ලොකු ආශිර්වාදයක් ද? නූතන දරුවකුට ඒක ලැබෙන්නෙ නෑ.
මං අනධ්‍යාපනිකව ඒ ගමේ ගතකරපු කාලෙ තමයි ලස්සන ම කාලෙ. ගම කඳුවලින් වටවෙලා තිබුණ කියල මං කිව්වනේ. පුංචි පොකුණක් තිබුණ කියලත් කිව්වනේ. බෂෝ ඇරෙන්න වෙන කෙනෙකුට ඒ පොකුණ වර්ණනා කරන්න බෑ. (බෂෝ හෙවත් මත්සුඔ බෂෝ යනු 17 වැනි සියවසෙහි මුල් අවධියේ ජපානයේ සිටි ශ්‍රේෂ්ඨතම හයිකු කවියා ය. කැලෑබද පෙදෙසක පිහිටි පැරැණි පොකුණකට මැඩියකු පැනීමෙන් අවට නිහඬතාව බිඳී ගිය අයුරු චිත්‍රණය කැරෙන ඔහුගේ සුපතළ කවියක් තිබේ. ඒ මෙසේ ය.)
“පරණ පොකුණකට
මැඬියෙක් පනියි
ජබොක්!”
(පරිවර්තක)
ඔහුට වුණත් ඒ පොකුණ වර්ණනා
කළ නොහැකියි. ඔහු මෙහෙම කවියක් ලියාවි.
“පරණ පොකුණ
මැඬියෙක් ඊට පනියි
ජබොක්!”