‍වෙල්ලස්සේ වීරයා මඩුගල්ලේ ද? කැප්පෙටිපොළ ද? | සිළුමිණ

‍වෙල්ලස්සේ වීරයා මඩුගල්ලේ ද? කැප්පෙටිපොළ ද?

1818 ඌව වෙල්ලස්ස පෙදෙසින් ඇරැඹෙන නිදහස් අරගලය බොහෝ දෙනා හඳුන්වන්නේ සිංහලේ සැබෑ ජාතික සටන ලෙස ය. මේ වන විට වසර 200 සපිරෙන අරගලයේ තීරණාත්මක තැන් සොයා සිළුමිණ කළ සංචාරයක අත්දැකීම් මෙසේ දිග හැරේ. මේ එහි සවැන්නයි.

නිවෙසේ කාන්තාවක් වතුර ගෙන එන්නට යන බව සිතූ ඉංග්‍රීසීන් ඇය ගැන එතරම් තැකීමක් කළේ නැත. ඔවුන්ගේ ඇස් ඇරුණේ, ළිඳ ළඟට ගිය කාන්තාව කළය පැත්තක තබා, ඇඳ සිටි සාරිය ඔසවා "මම තමයි මඩුගල්ලේ" කියමින් කැලයට පැන දුවන විට ය.

ලද අවසරයෙන් පැනගත් මඩුගල්ලේ උඩගබඩා නිලමේ ඒ මහ කැලයේ නොපෙනී ගියේය. ඔහු‍ගේ ඒ ගමන නතර වූයේ සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි දැවැන්ත කුඹුක් ගහක් අසල ය. කුඹුක් ගහේ වූ දැවැන්ත බෙනය නිවෙස කරගත් හෙතෙම කාලයක් එහි නැවැතී සිටියේය‍‍.

අද ‍අපේ ගමන ද මඩුගල්ලේ නිලමේ පැන ගිය මාවතේ පිහිටි කුඹුක් ගහ කරා යෑම ය. ගමන පහසු නැත. අවදානම් ය. යා යුත්තේ හිසටත් උඩින් වැඩුණු මානා පඳුරු පීරමිනි.

"කන්ද විතරක් නොවේ මල්ලි‍, අලියා, කොටියා විතරක් නොවේ. පොළඟා, පිඹුරා පවා ඉන්නවා" ගමන ගැන පෙර දවසේ ඇසූ අයෙක් කීවේය. කුමන බාධක ආව ද මේ සැතපුම් තුන හතරක ගමන ස්ථිර වශයෙන් ම යන බව අපි තීරණය කර සි‍ටියෙමු. එයට සහය දෙන්නට වීරේ හෙවත් ඒ.ජී. වීරසේකර ද ඉදිරිපත් විණි.

මඩුගල්ලේ නිලමේ කළය තබා ගිය ළිඳ තවමත් තිබේ. අලුත් වැඩියා කිරීම් කිහිපයකට සියවස් දෙකක කාලය පුරාවට ලක්වූව ද එහි ජලය බොහෝදෙනා තවමත් භාවිතයට ගනී. අපිත් සමඟ ගමනට එක්වන බව කී වීරේ අපට ‍එන්නට කීවේ මේ ළිඳ අසලට ය.

අප එහි යනවිටත් ඔහු එතැනට පැමිණ තිබිණි. වෘත්තියෙන් පෙදරේරුවකු වුවත්, අපටත් වඩා මේ ගමන ගැන ඔහුගේ උනන්දුව වැඩි බව පෙනෙන්නට තිබිණි. ළා හිරු රුස් පතිතවත්ම අපේ සංචාරය ඇරඹිණි. අඩියක් පමණ වූ තණකොළ වැඩුණු පාරේ මෑතකාලීනව කිසිවකු ගිය බවක් සිතිය නොහැකිය. එපමණට ම ඒවා ගණකම් ය. මිනිස් වාසයෙන් ටිකෙන් ටික ඈත් වෙන්නට විය. අඩියක් පමණ වූ තණකොළ දැන් අඩි දෙක, තුන, හතර වෙයි. වාසනාවකට ඒවා මඟ හැර යෑමට මඟක් තැනී තිබිණි. ඒ දුම්කොළ වතුවලට යන මාර්ග ඔස්සේ ය. ක්‍රමයෙන් තඹලකැටිය කන්දට පිවිසියෙමු. ඈතින් ජලාශයකි.

"ඔය තියෙන්නේ රන්දෙණිගල ජලාශය" වීරේ කියයි. හාත්පස ඇත්තේ විස්මය දනවන පරිසරයකි. නිල්ල වතුයාය, දේවහන්දිය කන්ද, මෙන්ම තවත් පසකින් දුම්කොළ වතු රැසකි. ගමන අරඹා හෝරාවක් පමණ ගෙවී තිබිණි. එක දිගට කන්ද නැඟී මෙන් අපි මහත් විඩාවකට පත්ව සිටියෙමු.

"බලාගෙන, කරන්ට් වැට" රන්දෙණිගල රක්ෂිතයෙන් වන අලින් ගම් වැදීම වැළැක්වීම සඳහා ඉදිකර තිබූ අලි වැට පසු කරත්ම වීරේ කීවේ ය. ඒ සමඟ ම නැවැතත් මහ කැලෑ බිමකි. ගහකින් අතු කැබැල්ලක් කඩා ගත් වීරේ අතු දෙබලක එල්ලීය.

"අපි ඇතුළු වුණේ උණගොල්ල කැළේටයි"

මහ රූස්ස ගස් අතරින් ඉදිරියට ඇදෙන විට හමුවුණු විශාල පා සලකුණ, අප මහත් කැලඹිල්ලට ලක් කෙරිණි.

"යාළුවෙක් ගිහිල්ලා. පොඩි එකෙක් නම් නොවෙයි" පා සලකුණ දිහා බැලූ වීරේ මුමුනන්නට විය. හෝරාවකටත් වැඩි කාලයක් මහ කන්දක් නැඟි අප යන්තම් පල්ලම් බැහීමට සූදානම් වූ විටම පැමිණි බාධකය සිත් සලිත කළේය.

"දැන් ආපහු යන්නත් බෑනේ. කෝකටත් පරිස්සම් වෙමු"

කෙමෙන් ඉදිරියට යන අපට කුරුලු වර්ගයක යැයි සිතිය හැකි බිත්තර කිහිපයක් හමුවිය.

" මං හිතන්නේ වටු කුරුලු බිත්තර" සමන්ත කීවේය. මහ වැලක එල්ලී ඊළඟ පල්ලම බැසගත් අපි දිය කඩිත්තක් අසල නතර වුණෙමු. වීරේ වටපිට බලන්නට විය. අපගේ ‍ඇස් ද ඔහු අනුගමනය කළේ නිරායාසයෙනි. කුඹුක් ගස් හත අටක් තිබේ. ඈතට වෙන්නට අත්හැර දමන ලද කුඹුරකි.

"මේක තමයි හොයාගෙන ආව කුඹුක් ගහ" කුඹුක්ගස් අතර වූ දැවැන්ත කුඹුක්ගහ පෙන්වූ වීරේ කීවේය. ගස අසලට ගිය වීරේ ගහ දිගේ අමාරුවෙන් අඩි කිහිපයක් උඩට ගියේය.

"මේ බෙනේ තමයි මඩුගල්ලේ නිලමේ තුමා හිටියා කියලා කියන්නේ" අමාරුවෙන් වීරේ අනුගමනය කරමින් ගහට බඩගෑ අපි ගසේ වූ බෙනයට දෙස බැලුවෙමු‍. තුන් හතර දෙනකුට පමණ සිටිය හැකි විශාල බෙනයක් වූ එහි ඇතුළේ දැන් කොළ රොඩු පිරී තිබේ. මඩුගල්ලේ නිලමේ ජීවත්වූයේ දැනට වසර 200කට කලිනි. එසේ නම් මේ කුඹුක්ගහ ඊටත් වසර 200-300ක් පමණ එහා ගිය ගහක් විය යුතුය.

"එදා මඩුගල්ලේ වලව්ව සුද්දෝ වටකරලා තියෙනවා. මඩුගල්ලේ නිලමේ ගෙදර හිටපු ගෑනු කෙනෙක්ගේ සාරියක් ඇඳගෙන කළෙත් අරන් ළිඳට ගිහිල්ලා, ළිඳ ගාව කළේ තියලා කැලේට පැනලා ගිහින් තියෙනවා. එහෙම පැනලා ආව නිලමේ මේ කුඹුක් ගහේ තමයි ගැංහිලා ඉඳලා තියෙන්නෙ. අර පල්ලෙහා තියෙන වෙල්යාය මඩුගල්ලේ නි‍ලමේ වගා කරපු වෙල්යායක් කියලයි කියන්නේ" කුඹුක් ගහට අඩි සියයක් පමණ දුරින් පිහිටි වෙල්යාය පෙන්වමින් වීරේ කියන්නේ ගමේ කා අතරත් තිබෙන පොදු විශ්වාසයකි.

කුඹුක්ගහ සොයා ඒමට පෙර දින මඩුගල්ල නිලමේ ජීවත්වූ බවට විශ්වාස කරන වලව්ව පිහිටි ඉඩමේ බොහෝ තැන්වල අපි ඇවිද ගියෙමු. තාප්ප වැනි බිත්තිවලින් යුත් නිවසක් ද, ගරා වැටුණු ‍ගෙයක් අසල ඉදිකළ නවීන නිවෙසක් ද, පදනම පමණක් ඉතිරි නිවෙසක් ද ඒ ඉඩමේ තිබේ. ඒ අසලම තවත් කුඩා ගෙයකි. මේ නිවෙස මඩුගල්ලේ නිලමේ ජීවත්වූ වලව්ව බව විශ්වාස කෙරේ‍. මෑතක් වනතුරුම තමා එහි ජීවත්වූ බව එම්. ඩබ්ලිව්. ටිකිරි කුමාරිහාමි පැවසුවා ය.

" මඩුගල්ලේ නිලමේ තුමා හිටපු වලව්වේ තමයි අපි මේතාක් කල් හිටියේ. ඒත් අපිට දැන් ඒකේ ඉන්න බැහැ. මගේ මහත්තයා දැන් අවුරුදු දෙකකට කලින් නැතිවුණේ. එයාගේ මළ ගෙදර ගත්තෙත් මෙහෙ තමයි. එයා මළාට පස්සේ මට තනියම ඒ ගෙදර ඉන්න බැහැ. ගේ හොඳටම තෙමෙනවා. තෙමි තෙමී ඒ ගෙයි ඉන්න බැරි නිසා මම දුවලගේ ගෙදරට වෙලා ඉන්නවා‍. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා හදලා දෙන්නෙත් නැහැ. උළු කැටයක් වත් වෙනස් කරන්න එපා කියලයි කියන්නේ. අපිට හදා ගන්න දෙන්නෙත් නැහැ. උරුමය කියලා මේවා රැකගන්න ඒ අය මහන්සි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉන්න පුළුවන් විදිහට ජීවත්වෙන්න අයිතිය දෙන්න ඕනේ"

වර්තමානයේ එම භූමිභාගයේ ජීවත්වන්නේ එම්. ඩබ්ලිව්. සරලාවතී කුමාරිහාමි සහ ඇයගේ දරුවන් ය.

" මේවා කැලෑවට ගිහින්ලා බලා ගන්න විදිහක් නැහැ. පුරා විද්‍යා එකෙන් අපිට කියනවා කිසිම දෙයක් කරන්න එපා කියලා. ඒත් අපි කොහොමද මේ කැලේ ඉන්නේ. පරණ ගේ ලොකු ගෙයක් දැන් ඒක අවුරුදු ගාණකට කලින් කඩාගෙන වැටුණා. ඉස්සර වගේ මිනිස්සුත් දැන් ශුද්ධ කරගන්න හොයන්න බැහැ. අපිට තෙමි තෙමී ඉන්න බැරි හින්දා අපි මේ ඉස්සරහා කෑල්ල හදාගෙන පදිංචි වෙලා ඉන්නවා"

අද කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරමින් ජීවන සටනට උරදී සිටින මඩුගල්ලේ 8 වැනි පරම්පරාවට අයත් බව කියන එම්.ඩබ්ලිව්. චන්ද්‍රිකා කුමාරි මඩුගල්ලේ තම උරුමය ගැන මෙසේ කියයි.

"මේ වලව්ව‍ට ඉස්සර කාමර 13ක් විතර තිබිලා තියෙනවා. ඊ‍ට පස්සේ ලොකු අත්තලා මේක තමන්ගේ පුතාලට බෙදලා දෙනවා. මගේ අප්පච්චිගේ පරම්පරාවට අයිති කොටසෙ තමයි, මඩුගල්ලේ නිලමේට අයිති වෙලා තිබිලා තියෙන්නේ. ඔය මිදුලට තමයි සුද්දෝ ඇවිත් වට කරලා තියෙන්නේ.

පැරණි නිවෙස් දෙස ඇස ගසාගෙන සිටින පිරිසක් රටපුරා සිටති. ඒ නිධන් හොරු ය. මේ නිවෙස ද ඒ ගැටලුවට මුහුණ දී සිටී.

"මෙතැන නිධානයක් තියෙනවා කියලා ඒක ගන්නත් කට්ටියක් බලන් හිටියා. දවසක් තාත්තයි, අම්මයි මළ ගෙදරක ගිහින් එනකොට වහලේ උළු ගලවලා ඇතුළට ඇවිත් කට්ටිය කාමරය ඇතුළේ වළක් හාරනවලු. අන්තිමට තාත්තටත් හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වුණා." චන්ද්‍රිකා කුමාරි පවසයි‍.

මඩුගල්ලේ නිලමේ දැරූ තනතුර උඩගබඩා නිලමේ තනතුර ය.

"උඩගබඩා නිලමේ කියන්නේ රජ්ජු‍රුවන්ගේ මුදල් හැර, රන් අසිපත, ඔටුන්න, රාජමුද්‍රාව, ධජය, ලියකියවිලි බාරව ඉන්න කෙනායි. මේ තනතු‍ර දෙන්නේ වඩාත් විශ්වාසවන්ත අයකුටයි. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේත් මේ තනතුර දැරුවේ මඩුගල්ලේ නිලමේ තුමා"

පුරාවිද්‍යා ගවේෂක, මානව වංශ විද්‍යා ජනශ්‍රැති පර්යේෂක කථිකාචාර්ය විරාජ් නිරංජන් බාලසූරිය ප්‍රකාශ කරයි.

1815 ඉංග්‍රීසීන් විසින් උඩරට රාජ්‍යය අල්ලා ගැනීමෙන් පසුව, උඩරට ගිවිසුම අස්සන් කෙරිණි. එහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ සිටි බොහෝ නිලමේවරු ගිවිසුම අස්සන් කළහ. එහෙත් මඩුගල්ලේ නිලමේ උඩරට ගිවිසුම අස්සන් කිරීමට යොමු නොවේ. ඒ සඳහා හේතු දෙකක් බලපෑ බව කථිකාචාර්ය විරාජ් නිරංජන් බාලසූරිය ප්‍රකාශ කරයි.

" එකක් තමයි මෙයා ඉහළම පෙළේ නායකයෙක් ‍නොවීම. අනික ඉංග්‍රීසි රජයකට කැමැති නොවීමයි. නමුත් ඩොයිලි වත්, බ්‍රවුන්රින්ග් වත් මොහුව තනතුරින් පහ කරන්නේ නැහැ. එහෙම වුණොත් පරිපාලනය කඩා වැටෙනවා"

ගිවිසුම අස්සන් කෙරී වසරක් ඉක්ම යද්දී ඉංග්‍රීසීන්ගේ ගමන සුබවාදී නොවන බව පළමු අවබෝධ කරගන්නේ මඩුගල්ලේ නිලමේ තුමා ය.

"කාලයක් යද්දී මෙතුමාට තේරෙනවා, ඉංග්‍රීසීන් දළදාවට අවශ්‍ය පුද සත්කාර කරන්නේ නැහැ කියලා. පස්සේ මල්වත්තේ නායක හාමුදුරුවෝ හම්බවෙලා කියනවා, දැන් දළදාව මාලිගයෙන් පිටමං කරන්න කාලේ හරි කියලා".

ඉංග්‍රීසීන්ට එරෙහිව සටනකට යායුතු බව පළමුවෙන්ම සිතන්නේ මඩුගල්ලේ උඩගබඩා නිලමේ ය. එහෙම හිතලා විතරක් නොවේ, ඔහු ඒකට අනුව ක්‍රියා කරනවා"

ඒ අනුව කටයුතු කළ ඔහු කතරගම සහ මයියංගණ දේවාල වලට ඉංග්‍රීසි ආණ්ඩුව විනාශ වී යන ලෙසත්, සිංහල රජකු පහළවන ලෙසත් පඬුරු පාක්කුඩම් යැවුවේ ය. මෙය ඉංග්‍රීසීන්ට හසුවීමට වැඩි කලක් ගත නොවීය. පසුව ඔවුහු මඩුගල්ලේ උඩගබඩා නිලමේට එරෙහිව නඩු අසති. අවසානයේ නිලමේගේ නිවෙස රාජ සන්තක කෙරෙන අතර බිරිය සහ දරුවන් සිවු දෙනා කළුතරට පි‍ටුවහල් කෙරේ. මඩුගල්ලේ නිලමේට පිටුවහල් කෙරෙන්නේ යාපනයට ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මහ රජතුමාගේ උපන් දිනය හේතුවෙන් නිදහස ලැබීමට මඩුගල්ලේ නිලමේට හැකියාව ලැබිණි.

" නිදහස් වෙලා ආවට පස්සේ මඩුගල්ලේ නිලමේට ඉන්න තැනක් නැහැ. ඒ නිසා එයා ගෙයක් හදා ගන්නවා. ඒ ඉතිරි‍වෙලා තියෙන ගෙදරට තමයි ඔයලා ගිහින් තියෙන්නේ. ඒ ගෙදර ඉදන් කැරලි ගහන කොට තමයි සු‍ද්දො ගේ වට කරන්නෙ. ඊට පස්සේ තමයි මෙයා ඔය කුඹුක් ගහට ගිහින් ජීවත්වෙන්නෙ"

මහ වනයක සැඟවී සටන් කටයුතු සූදානම් කිරීමට මඩුගල්ලේ උඩගබඩා නිලමේ කටයුතු කරයි.

" සටන උච්චතම තැනට එද්දී පස්සර මල්ලියා තමයි සටන පාවලා දෙන්නේ. ඒ පගෝදි පන්සියකටයි. අරක්කු බෝතල් දෙකකටයි. මෙහෙම සටන දියා‍රු වෙනකොට කැප්පෙටිපොළ, මඩුගල්ලේ, පිළිමතලාවේ ඇතුළු පිරිසක් ගිහින් තමන්කඩුවේ පරවාගහ කාගල්ලේ වලව්වේ හැංගෙනවා. පස්සේ ඉංග්‍රීසීන්ට ලැබුණු ඔත්තුවකට අනුව මෙතැන වටලනවා. එතෙන්දි මඩුගල්ලේ පැනගන්නවා. නමුත් ‍කැප්පොටිපොළයි, පිළිමතලාවෙයි අහුවෙනවා."

එහෙත් වැඩිකල් සැඟවී සිටීමට මඩුගල්ලේට හැකියාව ලැබුණේ නැත. කෙටි කලෙකින් ඔහුද ඉංග්‍රීසීහු අල්ලා ගත්හ. පසුව 1818 නොවැම්බර් මස 25 වැනි දින උදේ 8.00ට බෝගම්බරදී හිස ගසා මරා දැමීමට නියම කෙරිණි. ‍

"මෙතෙන්දී මඩුගල්ලේ නිලමේ තුමාගේ වීරත්වය කෙලෙසන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා. දළදා වහන්සේ ළඟට ගිහින් ජී‍විතේ බේරලා දෙන්න කියලා අයැදුවාලු. මේ ඔක්කොම කියන්නේ ඉංග්‍රීසීන් විතරයි. හැබැයි සිංහල‍ ලේඛන වල එහෙම කතාවක් නැහැ. ඉංග්‍රීසීන් කැප්පෙටිපොළ නිලමේ දිහා බලපු විදිහට නොවේ, මඩුගල්ලේ දිහා බැලුවේ. සෝවර්ස් සහ ‍‍‍‍‍ඩොයිලි දෙන්නා බ්‍රවුන්රිග්ට ලියුම් තුනක් ලියලා තියෙනවා, කැප්පෙටිපොළ ව මරන්නේ නැතිව පිටුවහල් කරමු කියලා. මොකද මෙයා සුද්දන් යටතේ සේවය කරනකොට හොඳ කෙනෙක් නිසා. නමුත් සුද්දන්ට අවනත නොවුණු‍ කෙනා මඩුගල්ලේ ඒ හින්දා ඒ අයට ඕනේ වුණා, මඩුගල්ලේව පහතට දාන්න"

නමුත් මඩුගල්ලේ උඩගබඩා නිලමේට එල්ල‍වන ‍චෝදනාවක් තිබේ. එනම් ඉංග්‍රීසීන්ට වාසි වන ආකාරයට විල්බාවේ නම් රාජප්‍රතිරූපකයාව පාවා දීම ය.

"සටන හොඳ තැනකට එනවා නම් රජ්ජුරුවෝ කවුද කියලා රට දැනගන්නවා. එතකොට මොන රාජවංශිකයෙක් ද?, ප්‍රභූවරයෙක් ද? කියලා දැන ගන්නවා. අපේ රටේ ඉතිහාසය රාජ‍ ලේ මතයි තීරණය වෙන්නේ. ප්‍රභූවරයෙක් විදිහට මෙයාට ලේ නෑකමක් තිබුණේ නැත්නම් මෙයා නිකම්ම ප්‍රතික්ෂේප ‍වෙනවා. එතකොට සටන මැදදී ප්‍රතික්ෂේප වුණොත් ගැටලුවක් වෙනවා. ඒ නිසා තමයි සටන පටන් ගන්න කොටම කැප්පෙටිපොළටත් එහා ගිය රාජතාන්ත්‍රික ඥානයකින් මඩුගල්ලේ මේක හොයලා බලන්නේ"

වෙල්ලස්සේ සටන අවසන් වූයේ ඛේදජනක ලෙස ය. කෙසේ වෙතත් එහි විරුවන්ගේ මතක සැමරුම් රැසක් තවමත් ශේෂව පවතී. මඩුගල්ලේ වලව්ව මෙන්ම ස්වාභාවිකව වැඩුණු යෝධ කුඹුක් රුක ද එහි සදානුස්මරණීය සාධකයකි.

ලබන සතියට...

ඡායාරූප - සමන්ත වීරසිරි

Comments