
• මනාලියගේ පියා පැපරාසින්ගෙන් මුදල් ගෙන සේයාරූවලට පෙනී සිටලා
• මංගල්‍යයේ වගකීම් ගැන මාලිගා සේවකයන් දන්නේ නැහැලු
• සැරසිලිවලට ස්වාභාවික පෙනුම දෙන්න මල් ලක්ෂ ගණනක්
• රජ පවුල මංගල්‍යයට වියදම් කළ මුදල අසා මන්ත්‍රී මණ්ඩලයට පෙත්සමක්. වියදම පවුම් මිලියන 30කට වැඩියි.
• ලංකාවේ වෙලාවෙන් සවස 6.30ට
එංගලන්තයේ රාජකීය මංගල්‍යය ගැන පසුගිය සති කීපය මුළුල්ලේ මුළු ලෝකයම පාහේ කතාබහ කළේය. ලෝකය පුරා ටැබ්ලොයිඩ් පුවත් පත් මෙන්ම විද්යුත් මාධ්‍ය ද ඒ ගැන වදනක් හෝ පළ නොකළ දිනයක් නොමැති තරම් විය. මුළු ලෝකයම කතා කළ ඒ රාජකීය මංගල්‍යය සිදු වන්නේ අදයි. අපේ රටේ වේලාවෙන් සවස හය හමාර පමණ වෙද්දීය. මංගල්‍ය ගැන සියලුම කතාබහ අතරතුර මාධ්‍ය අන්තිම මොහොතේ කතාබහ කරමින් තිබුණේ මේ රාජකීය මංගල්‍යයට මනාලියගේ පියා තෝමස් මර්ක්ලේ සහභාගි වන්නේද නැද්ද යන්න ගැනය. දැන් ඒ සියලු සැක සංකා දුරුකරමින් ඔහු මංගල්‍යයට සහභාගි නොවන බව දැනුම් දී තිබේ. ඉන් කම්පාවට පත් රාජකීය මනාලිය අන්තිම මොහොත දක්වාම උත්සාහ දැරුවේ සිය පියාගේ අතේ එල්ලී අල්තාරය කරා යෑමට ඔහු ගෙන්වා ගැනීමටය. මනාලියගේ පියා මංගල්‍යයට සහභාගි නොවීමට හේතු වශයෙන් දක්වා තිබුණේ ඔහු හෘදය සැත්කමකට ලක්වීමට නියමිත බවයි. එහෙත් සැබෑ හේතුව එයම පමණක් නොවන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සේයාරූවලට පෙනී සිටීම සඳහා පැපරාසීන්ගෙන් ඔහු මුදල් ගත් පුවතය.
අවසානයේ මංගල්‍යයට පෙරදින මෙගාන් ගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කෙන්සිංග්ටන් මාලිගය ප්‍රකාශ කළේ ඇගේ පියාගේ සහභාගි නොවීම ස්ථිර බවය.
මේ විවාහය ගැන දැන ගැනීමත් සමඟ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය පැපරාසීහු මෙගාන්ගේ පියා සොයා මෙක්සිකෝව කරා ද ගියහ. ඔවුන් තෝමස් මර්ක්ලේ පසුපස යමින් ඔහු ඇඳුම් මසන්නකු ළඟට ගොස් මිමි දෙමින් මංගල්‍යයට යෑමට ඇඳුම් සූට් පිළියෙල කර ගන්නා ආකාරය ටැබ්ලොයිඩ් පුවත් පත් හා විද්යුත් මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි. මෙගාන්ගේ විවාහයත් සමඟින් වඩාත් අපහසුතාවට පත් වූයේ ඇගේ පියාය.
ඔහු පත් අපහසුතාව ගැන බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකු හා එරට ඉතා ජනප්‍රිය ‘Good Morning Britain’ රූපවාහිනී වැඩ සටහන මෙහෙයවන පියර්ස් මෝගන් පවසා තිබුණේ හුදෙකලාව ජීවත්වීමට උත්සාහ දැරූ මිනිසකු එක්වරම ලොව පුරා අවධානයට ලක්වීමෙන් ඔහු පත්වූ අපහසුතාව ගැන තමා අනුකම්පා කරන බවය. දියණියගේ විවාහය තීරණය වීමත් සමඟ ඔහුගේ ජීවිත රටාව ද වෙනස් වූ අතර ඒ ගැන හාරා අවුස්සන මාධ්‍ය ගැන එංගලන්තයේ පළවන ‘ද ගාඩියන්’ පුවත් පත් ද අප්‍රසාදය පළ කරමින් “සගයිනේ, මේවා පෞද්ගලිකයි” යනුවෙන් පළ කර තිබිණි.
මනාලියගේ පියා පැපරාසී ජායාරූප ශිල්පීන්ගෙන් මුදල් ගෙන ඔවුන්්්‍ට තමා සේයාරුවට නැඟිමට ඉඩ දී ඇති බව පසුගිය සතියේ මාධ්‍ය හෙළි කළේ මේ අතරය. තෝමස් මර්කල් තමා සේයාරුවට නැගීමට අවසර දෙමින් ජෙෆ් රේනර් නමැති සුප්‍රසිද්ධ පැපරාසියාගෙන් ඉලක්කම් හයක මුදලක් ලබා ගෙන ඇති බව පසුගිය 13 වැනිදා හෙළි කරනු ලැබුවේ එංගලන්තයේ සුප්‍රසිද්ධ ඉරිදා පුවත් පතක් විසිනි. තෝමස් මර්කල් ඇඳුම් සූට් මසන්න මිමි දෙන අන්දම හා අන්තර් ජාල කැෆේ එකකට වී රාජකීය යුවළ ගේ සේයාරූ නරඹන අන්දම සේයාරුවට නඟා ලොව පුරා බෙදා හැර ඇත්තේ එම පැපරාසී ජායාරූප ශිල්පියාය. ඒ බව ජෙෆ් විසින්ම පුවත් පතට හෙළි කර තිබිණි. වෙනකක් තබා සූට් මැසීමට තෝමස් මර්කල්ගේ මිමි ගැනීම රඟපෑමක් බවත් ඒ සැබෑ ඇඳුම් මසන්නකු නොව අල්ලපු කඩයක සිටි 17 හැවිරිදි සිසුවකු බවද ඔහු හෙළි කර ඇත්තේය.
අවසානයේ දී මෙගාන් ගේ පියා තමා පැපරාසීන්ගෙන් මුදල් ගෙන ඒ සේයාරූවලට පෙනී සිටි බව පිළිගැනීමත් සමඟ මෙගාන් වඩාත් අපහසුතාවට පත්වූවාය.
තමා ඒ ගැන එතරම් දුර නොසිතූ බවත් එහෙත් කළේ මෝඩ ක්‍රියාවක් බව පසුව තේරුම් ගිය බවත් තෝමස් මර්ක්ලේ පවසා තිබුණි. තමා මේ ගැන පෙලඹවීම ගැන ඔහු සිය පළමු විවාහයේ දියණිය සමන්තාට චෝදනා කළේය.
ඔබ මුදලට පැපරාසින් ඉදිරියේ පෙනී සිටීම ගැන මහ රැජන කුමක් සිතයිද යනුවෙන් තෝමස් ගෙන් මාධ්‍යවේදීහූ විමසූහ.
“මං මොනවා කරනවාද කියා රැජන හිතනවා යැයි හිතීම විහිළුවක්” තෝමස් ගේ පිළිතුර විය.
තමා නොඑන බව පවසමින් දියණිය අල්තාරය කරා කැටුව යෑමට සුදුසුම කෙනා මෙගාන්ගේ මව ඩෝරියා රැග්ලන්ඩ් බව තෝමස් ප්‍රකාශ කළේ පසුගිය 14වැනිදාය. පියා මෙලෙස පවසද්දී වුව මෙගාන්ට අවශ්‍ය වූයේ සිය මංගල දිනයේදී පියාගේ අතේ එල්ලී අල්තාරය වෙත පිය නැඟීමටය. ඒ වෙනුවෙන් ඕ දිගින් දිගටම පියාට අායාචනා කළාය. එහෙත් පසුගිය අඟහරුවාදායින් පසු මෙගාන් හා වදනක් දෙඩීම හෝ තෝමස් මඟ හැරියේය.
මීට පෙරද එනම් මැයි 08 වැනිදාද හෘදයාබාදයක් නිසා තෝමස් සිය දියණියගේ මංගල්‍යයට පැමිණීම සැක සහිත බවට මාධ්‍ය තොරතුරු පළ කළේය. එවරද තෝමස් පසුපස පන්නමින් තොරතුරු හෙළි කළ මාධ්‍ය හෘදයාබාධයක් යැයි පැවසුවද තෝමස් මෙක්සිකෝවේ සිය නිවෙසේම සිටින බවත් ඔහුම මෝටර් රිය පදවාගෙන ගොස් මැක්ඩොනල්ඩ් අවන් හලකින් ආහාර ගත් අන්දමත් පළ කර තිබිණි. එපමණක් නොව ඔහු මල් සාප්පුවකට ගොස් මල් කලබක් හා සුබ පැතුම් පතක් මිලදී ගෙන එය මෙක්සිකෝ දේශ සීමාව ආසන්නයේ පදිංචි සිය දික්කසාද බිරිය ඩෝරියා රැග්ලන්ඩ් පදිංචි නිවෙස ඉදිරිපිට තබා එන අන්දමද පැපරාසීහූ ජායාරූප ගත කළහ.
දැන් සියලු කුකුස් සිත් පහ කරමින් ඔහු සිය දියණිය අල්තාරය කරා කැටුව යෑමට නොඑන බව සහතික කර ඇත්තේය. ඒ පැපරාසීන්ගෙන් තමා මුදල් ගත් බවද තහවුරු කරමිනි.
“මෙගාන් තවදුරටත් අපහසුතාවට පත් කරන්න මට අවශ්‍ය නැහැ.” යනුවෙන්ද ඔහු පවසා තිබිණි.
සිය පෙර විවාහයේ පුතා මෙගාන්ට අපහාස කරමින් යැවූ ලිපි නිසා ඇති වූ සිත්තැවුල නිසා තමාට හෘදයාබාධය හටගත් බවත් ඔහු පැවසීය. තෝමස්ට අවශ්‍ය වූයේ දියණියගේ විවාහයට පෙර ඩෝරියා සමඟ යළි මිත්‍රවී දෙදෙනා එකට මංගල්‍යයට සහභාගි වීමටය. එහෙත් සියල්ල ව්‍යර්ථ වී යද්දී අවසානයේ හෘදයාබාධය පිටදමා ඔහු සියල්ලෙන්ම කර ඇර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. ඔහු කුමක් පැවසුවද මෙගාන් හා හැරී යළි යළිත් උත්සාහ කළේ ඔහු ගෙන්වා ගැනීමටය. එහෙත් දියණියගේ ඇමතුම්වලට පිළිතුරු දීමට ඔහු දුරකථනය අසලකට හෝ නොපැමිණියේය. අවසානයේ මෙගාන් ඔහුගේ දුරකථනයේ පණිවුඩයක් තැබුවාය.
“ඩැඩී මං ඔයාට ආදරෙයි. ඔයාගේ සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න” එසේ පවසමින් මෙගාන් තවමත් සිය පියා වෙනුවෙන් පෙනී සිටින්නීය. එහෙත් මේ ගැන සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රකාශ වන්නේ මෙගාන් පියා ගැන තැකීමක් කරන්නේ නම් ඔහු ගැන මීට වඩා සොයා බැලිය යුතු බවයි. සැබැවින්ම මෙගාන් ගේ පියා මුලදී දුප්පතකු වූ බවත් පසුව ඔහුට ඩොලර් මිලියන ගණනක ලොතරැයියක් ඇදුණු බවත් ඔහු මෙගාන්ට ඉගැන්වූයේ ඒ මුදලින් බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
“මගේ දුවගේ මේ ලස්සන අවස්ථාවට වගේම මේ ඉතිහාසගත දිනයට සහභාගි වීමට නොලැබීම ගැන මට කනගාටුයි” තෝමස් ද පවසා තිබිණි.
මේ අතරේ මෙගාන්ට අපහාස කළ සහෝදරයා මෙගාන්ගෙන් සමාව අයැදිමින් තමාට විවාහයට ආරාධනා කරන ලෙසට ආයාචනා කර ඇත්තේය. “මින් දෙවසරකට පෙර හැරී හා ඇගේ සම්බන්ධය හෙළි වීමත් සමඟ අපගේ ජීවිත වෙනස් වුණා. රාජකීයන් මේ ගැන අප දැනුම්වත් කළ යුතුව තිබුණා. නමුත් එසේ වූයේ නැහැ” යනුවෙන් ද ඔහු පැවසීය. තවත් සමහරුන් පවසන්නේ හැරී කුමරු මේ වනතුරු මනාලියගේ පියා මුණ ගැසී නොමැති බවත්ය. එක් වරක් පමණක් දුරකථනය ඔස්සේ කතා කර ඇති බවත්ය.
සිය මනාලියගේ පවුලේ උදවිය ගැන මාධ්‍ය දිනෙන් පළ කරන පුවත් නිසා හැරී කුමරු කනස්සල්ලෙන් පසුවන බවද මාධ්‍ය වාර්තා කළේය. විවාහ උලෙළට දින තීන්දු වූ දා පටන් මෙගාන්ගේ පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ ඊර්ෂ්‍යා සහගත හැසිරීම් ද ඔහුගේ අසතුටට හේතුවී ඇත.
අනවශ්‍ය ප්‍රසිද්ධියට අකැමැති පුද්ගලයකු වන හැරී කුමරු මේ ගැන අප්‍රසාදය පළ කරන්නේ පැපරාසීන් නිසා සිය මවට වූ විපත්තිය සිහිපත් කරමිනි. හැරී පමණක් නොව විලියම් කුමරුද පැපරාසීන් එලෙස ඩයනා කුමරිය පසුපස පන්නා නොගියේ නම් තවමත් සිය මව ජීවතුන් අතර සිටින බව විශ්වාස කරයි.
රාජකීය මනාල යුවළ පත්ව ඇති මේ අසීරුතාව පිළිබඳ තොරතුරු හෙළි කරන දෙදෙනාගේ මිතුරකු මාධ්‍යයට පවසා තිබුණේ, හැරී හා මෙගාන් දෙදෙනාම මේ තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙස මහජනතාවට ආයාචනා කරන බවයි.
“විවාහයට සතියක් තිබියදී සිය මනාලිය පත්ව ඇති තත්ත්වය ගැන හැරී කුමරු සිටින්නේ කනගාටුවෙන්.” යැයිද ඔහු පවසා තිබිණි. එපමණක් නොව හැරී කුමරුගේ පියා චාල්ස් කුමරු ද මේ රාජකීය විවාහය කඩපිලක ඕපාදූපයක් බවට පත්වූ බව පිළිගත් බව ද වාර්තා විය.
මෙගාන්ගේ පියා පසුගිය 16වැනිදා හෘද සැත්කමකට ලක්වූ බවද මේ අතර මාධ්‍ය වාර්තා කළේය. මෙගාන් ගේ ඊර්ෂ්‍යාකාර සහෝදරිය සමන්තා ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ සිට අවලාද නැගීමට යළිත් මෙය අවස්ථාවක් කරගෙන ඇත්තේය.
“ඩැඩී ඉස්පිරිතාලයක තනිවී දුකින් සිටිනවා. ඔහුට මෙහෙම වුණේ මෙගාන්ගේ විවාහය නිසයි.” එපමණකින් නොවැතුණු ඇය තම පියාට කෙන්සිංග්ටන් මාලිගයේ උදව් උපකාර අවශ්‍ය නොවන බවද පවසන්නීය.
පියා නොඑන්නේ නම් දියණිය අල්තාරය කරා කැටුව යන්නේ කවුරුන් විසින්ද යන්න දැන් මාධ්‍යයට ප්‍රශ්නයක් වී ඇත්තේය. එංගලන්ත බුකිකරුවෝ ඒ ගැනද දැන් ඔට්ටු අල්ලති. වැඩියෙන්ම ලන්සු තබා ඇත්තේ චාල්ස් කුමරු මනාලිය අල්තාරය කරා කැටුව යනු ඇති බවටය. මීළඟට පිළිවෙළින් විලියම් කුමරු කැටුව යනු ඇතැයි හා මනාලිය තනියම අල්තාරය කරා පිය නගනු ඇති බවටය.
කිසියම් ලෙසකින් මෙගාන්ගේ මව දියණිය අල්තාරය කරා කැටුව යන්නේ නම් එය රාජකීය මංගල්‍ය ඉතිහාසයේ පළමු අවස්ථාව නොවන බවද පැවසේ. මීට පෙර වික්ටෝරියා මහ රැජන ද සිය දියණියන් දෙදෙනකු අල්තාරය කරා කැටුව ගොස් විවාහප්‍රාප්ත කරනු ලැබ තිබේ.
පවුලේ මේ සියලු අලකලංචි මැද්දේ මෙගාන්ගේ මව ඩෝරියා ද මුල සිටම සිය දියණිය අල්තාරය කරා කැටුව යෑමට ඉතසිතින් කැමැත්තෙන් පසු වන්නීය. ඩෝරියා මානසික සෞඛ්‍ය හා යෝග අභ්‍යාස උපදේශිකාවක ලෙස සායනයක රැකියාව කළ අතර එම රැකියාවෙන් ඉවත්වී පසුගිය සතියේ ලන්ඩනයට පැමිණියේ දියණියගේ මංගල්‍යයට සහභාගි වීමටය. පියා සමඟ කෙසේ වෙතත් මෙගාන් හා මව යෙහෙළියන් දෙදෙනකු මෙන් සමීපය. දැන් ඇය මව සමඟ අල්තාරය කරා යෑමට සූදානම් වී සිටින්නීය.
කෙන්සිංග්ටන් මාලිගය මේ අතරේ රාජකීය යුවළගේ මල් කුමර කුමරියන් සංඛ්‍යාව 10ක් බව නිවේදනය කළේය. ඒ සියලු දෙනාම වයස අවුරුදු හතෙන් පහළ දරුවන්ය. මල් කුමරුන් සිවු දෙනෙකු හා මල් කුමරියන් හයදෙනෙකි. එහෙත් ඔවුන් අඳින ඇඳුම් ගැන කිසිවක්ම මෙතෙක් හෙළි කර නොමැත.
මේ රාජකීය මංගල්‍ය තනිකරම හැරී කුමරුගේ හිතුමනාපය අනුව ලකලැහැස්ති කෙරුණක් බවද මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි. බොහෝ රාජකීයයන් ද තමන්ට ආරාධනා නොකිරීම ගැන කනස්සල්ලෙන් පසුවන බවද වාර්තා වේ. එපමණක් නොව මාලිගයේ රැජනගේ කාර්ය මණ්ඩලය 140ක් පමණ සේවයට යෙදවුවද ඔවුන්ට හිමි වගකීම් තවමත් දැනුම් දී නැතැයි ද කියයි. වෙනත් මංගල්‍යයවලදී බකිංහැම් හා ක්ලැරන්ස් මාලිගාවල සේවකයනට වගකීම් පැවරුණද මෙවර සියලු වගකීම් පවරා ඇත්තේ හැරී කුමරු පදිංචිව සිටින කෙන්සිංග්ටන් මාලිගය බවද පැවසේ.
“වෙනදා අපට සියල්ල ලිඛිතව දැනුම් දෙනවා. එහෙත් මේ වනතුරු කිසිම නියෝගයක් ලැබී නැහැ. එපමණක් නොවෙයි මනාලිය මුල සිටම අපට හඳුන්වා දෙනවා. ඒත් අප කවුරුත් තවම මේ මනාලිය හඳුනාගෙන නැහැ.” යනුවෙන් මාලිගා සේවකයෝ පවසති.
කවුරුන් කුමක් කීවත් රාජකීය මංගල්‍යය සඳහා ලක ලැහැස්ති වීම් දැන් ජයටම සිදුවේ. එදින සැරසිලි සඳහා මල් සැපයීමට හයිඩ් පාර්ක් හි පිහිටි රාජකීය පැළ තවාන සූදානම් වූයේ කලක සිටමය. හෙට දිනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය මල් පැළ 200කින් හා මල් ලක්ෂ ගණනකින් සරසනු ඇත. මේ සඳහා සුදු මැයි මල්, ජෙරනියම්, සුදු රෝස, පියෝනි සහ ෆොක්ස්ග්ලෝබ්ස් වැනි මල් වර්ගද සැරසිලි සඳහා රාජකීය උද්‍යානවල වැවෙන බීච්, බර්ච් හා හොර්න් බීම් වැනි අතු යොදා ගැනේ. රාජකීය යුවළට අවශ්‍ය වී ඇත්තේ සිය විවාහ දිනයේ සැරසිලි ස්වභාවික පෙනුමකින් ලබාදීමටය.
රාජකීය මංගල්‍යයේ උණුසුම ළංවත්ම එයට සහභාගි වන තවත් ජනප්‍රිය පුද්ගලයකු ගැනද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන්ස්ය. ඩයනා කුමරියගේ අවමඟුලේදී සුප්‍රසිද්ධ ‘Candle in the wind’ ගීතය ගායනා කිරීමෙන් වසර 21කට පසුව ඔහු රාජකීය මංගල්‍යයකට සහභාගි වන්නේ මෙවරය. ඩයනා කුමරියගේ සමීප මිතුරකු වන ඔහු මේ මංගල්‍යයේදී ගීත ගායනා කරනු ඇත. ඒ අතරේ ‘ස්පයිස් ගර්ල්ස්’ කණ්ඩායම නිවේදනය කර ඇත්තේ ඔවුන්ට ගී ගායනා සඳහා ආරාධනා නොලැබුණු බවයි.
මේ දිනවල වින්ඩ්සර් ප්‍රදේශයේ සිටින නිවෙස් නොමැති පුද්ගලයන්ගේ බඩු මලු පොලිසිය විසින් ඉවත් කරන බව වාර්තා විය. ඒ පුද්ගලයන්ට ඉඳුම් හිටුම් දීමට පුණ්‍යාධාර ආයතනයක් මගින් ‘ඩබල් ඩෙකර්’ බස් රථයක් යොදා ඇත. එහි නිවාස නොමැති දස දෙනකු සඳහා ඇඳන් හා මුළුතැන්ගෙයක් වෙයි.
මංගල්‍යය නැරැඹීම සඳහා ලක්ෂයකට අධික ජනතාවක් වින්ඩ්සර් මාලිගා පෙදෙසට ඇදී එතැයි අපේක්ෂා කරන අතර ඒ සැවොම පරික්ෂාවට ලක් කෙරෙනු ඇත. එපමණක් නොව පොලිසිය ගම්බද පළාත් පවා පරික්ෂාවට ලක් කරන්නේ ත්‍රස්තවාදීන් සැඟව ඇත්දැයි සෙවීමටය.
විවාහයෙන් පසු රාජකීය යුවළ ගමන් කරන මාර්ගයේ යුවළ හොඳින් දර්ශනය වන ස්ථාන පවා දැන් ප්‍රසිද්ධ කර තිබේ. එම ස්ථාන හඳුනා ගන්නා නරඹන්නෝ කලින්ම පැමිණ ඒ තැන්වල වාඩිලා ගනිති. මුල සිටම අවලාද නැගූ මෙගාන්ගේ නෑදෑයන්ද අනාරාධිතවම දැන් ලන්ඩනයට පැමිණ සිටින බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර ඇගේ පෙර විවාහයේ සැමියා හා නළුවකු වන පැට්‍රික් ඇඩම් හා ඔහුගේ බිරිය ද වෙයි.
රාජකීය මංගල්‍යයේ පෙරහුරුව සිකුරාදා වින්ඩ්සර් හිදී පැවැති අතර එය නැරැඹීමට ද දහස් ගණනක ජනකායක් සහභාගි වූහ. සමහරු පෙරදා රාත්‍රියේ සිටම පදික වේදිකාවල නිදන බෑග් අතුරාගෙන රැක සිටියහ.
මේ සංඛ්‍යාව හෙට වනවිට තවත් වැඩිවනු ඇතැයි මාධ්‍ය පවසයි. රාජකීය යුවළ මෙන්ම විලියම් කුමරු හා කේට් කුමරිය ද චාල්ස් කුමරු හා කැමිලා පාකර් ද පෙරහුරුව නැරැඹීමට පැමිණියහ.
මහ රැජනද සිය කුඩා මෝටර් රියේ නැගී වින්ඩ්සර් කරා ගොස් සිටියේ මංගල්‍යයේ කටයුතුවලට උදව් කිරීමටය. මෙගාන් ද පසුගිය සතියේ වූ කටකතා හා සිදුවීම් අමතක කර එහිදී සිනාමුසු මුහුණින් පෙනී සිටි බවද මාධ්‍ය වාර්තා කළේය. රාජකීය මංගල්‍යයේ පෙරහුරව සඳහා යොදා ගෙන සිටියේ වින්ඩ්සර් පාසලේ සිසු සිසුවියන්ය. මෙවන් අවස්ථාවකට සහභාගි වීමට ලැබීම ජීවිතයේ වරක් පමණක් ලැබෙන අවස්ථාවක් ලෙස සැලකේ.
රාජකීය මංගල්‍යයට ඔන්න මෙන්න කියා තිබියදී 32000ක පිරිසක් අත්සන් කළ පෙත්සමක් එරට මන්ත්‍රීවරුන්ට බාරදී තිබේ. ඔවුන් එමගින් ඉල්ලන්නේ එංගලන්ත රජ පවුල මේ රාජකීය මංගල්‍යයට වියදම් කළ මුදල එරට බදු ගෙවන ජනතාවගේ දැන ගැනීම උදෙසා ප්‍රසිද්ධ කළ යුතු බවය. මේ මංගල්‍යය සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 30කට අධික මුදලක් වැයවෙතැයි පැවසේ.