
ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙනා පළමු සහ එකම ක්‍රීඩිකාව ඇය ය. වරකාපොල නගරයේ උඩුවක ග්‍රාමයේ ඉපදී අන්තර්ජාතික තලයට ගිය ඇයගේ ජීවිත කතාව මීටර් 100, මීටර් 200 තරගයකටත් වඩා අති දුෂ්කර ය. සංවේදී ය.
• අපි ඔබේ ළමා කාලය ගත වූ හැටි ගැන කතා කරලම කතා-බහ අරඹමු...
මගේ ගම කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොළ උඩුවක. අපට කිට්ටුම ප්‍රාදේශීය නගරය අල්ගම. ඒ කාලෙ උඩුවක එතරම් දියුණු ප්‍රදේශයක් නෙමෙයි. කෑගල්ලට යන්න තිබුණෙ එක බස් රථයක් විතරයි.
අපේ පවුලෙ අම්මයි, තාත්තයි, අක්කලා තුන්දෙනයි, අයියයි. මම පවුලෙ බාලයා. මගෙ තාත්තා මනන්නලාගේ ජයසිංහ. අම්මා මැණික්පුරගේ බේබිනෝනා. තාත්තා රියැදුරෙක් හැටියට තමයි කටයුතු කළේ. අන්තිමට තාත්තා කොහේ හරි කුලී වැඩක් කරලා තමයි අපිව ජීවත් කළේ. අපේ පවුලේ වැඩි බරක් වගකීමක් අරන් කටයුතු කළේ මගෙ අම්මා. අම්මා ගන්න වෙහෙස මම පුංචි කාලෙ ඉඳන්ම දැක්කා. ගෙදර උයන්න හාල් ටික නොතිබුණත්, පොතක්-පතක් නෑ කිව්වත්, තාත්තා කවදාවත් ඒවාට ඉදිරිපත් වෙලා නෑ. අම්මා තමයි හෙට දෙන්නම් කියපන් නැත් නම් තව සතියකින් දෙන්නම් කියපන් ඒත් නැත්නම් ඉස්කෝලෙ නොගිහින් ඉඳපන් කියල හරි කිව්වෙ. අම්මා ගමේ රබර් කට්ටියක් කපල තමයි පවුලේ ජීවන වියදම දරාගෙන අපව ශක්තිමත් කරගෙන හිටියේ.
අපේ ගේ පොල් අතු සෙවිලි කළ එක සාලයක් තිබුණු ගෙයක්. කාමරයි, සාලෙයි, කුස්සියයි සේරම එකයි. අපි ඔක්කොම හිටියෙ ඒකෙ. මට මතකයි එක ඇඳක් තිබ්බා. ගෙබිම ගොම මැටි ගාලා කණු හතරක් අටවපු පැලක් වගේ කුස්සියක් තිබුණා. ඉස්කෝලෙ ඇරිලා එන ගොඩක් දවස්වල අපට කන්න තිබුණෙ කොස්. බත් ටිකක් වෑංජනයක් එක්ක හරි කන්න අපි හුඟක් ආසයි. මට මතක ඇති කාලෙක ඒ දවස්වල උදේට කිරි එකක් බීල නෑ. කහට ටිකක් තමයි බිව්වෙ. ඒත් සීනි කාලා. අපේ ගෙදරට ගෙනාවෙ සීනි 100යි, තේ කුඩු 150යි, තොණ්ඩයො ග්‍රෑම් 100යි. ඔය ටික ගේන්න කඩේ යන්නෙත් මම. මම කඩේට ගියාම රුපියල් 100 බිල පැනලා නම් මුදලාලි කියනවා ‘රුපියල් 100 පැනලා, දැන් තව ණයට දෙන්න බෑ’ කියලා. ‘අනේ මුදලාලි, අම්මා කොහොම හරි හාල් ටික ගේන්න කිව්ව...’ කියල කඩේ අනෙක් මිනිස්සුන්ට බඩු දීල ඉවර වෙන කල් බලාගෙන ඉඳල හරි මම බඩු අරගෙන ගියා.
• ඒ අත්දැකීම්වලින්ද ඔබ කුඩා අවධියේ සිටම පන්නරය ලැබුවේ?
මම දැක්කා මගෙ අම්මා උයන-පිහන විදිහ; අම්මගෙ අරපිරිමැස්ම; පිළිවෙළ. වළඳක් සේදුවත් මිදුල අතුගෑවත් පිළිවෙළක් තිබුණා. ගෙදර උයලා ඉස්සෙල්ලම බත් හැන්ද බෙදුවෙ තාත්තට. මුදුන් හැන්ද අපට දෙන්නෙ නෑ. එළවළු ගෙනාවම ලූනු 250න් අත දාලා ගන්න දුන්නෙ නෑ. නරක් වෙන්න යන ගෙඩිය තෝරලා ගත්තෙ. ඒ විදිහට ජීවත් වෙන්නෙ කොහොමද, පවුලක් ගෙනියන්නෙ කොහොමද කියල මගෙ අම්ම මට කියලා දුන්නා.
• ඔබේ පාසල් ගමන කොහොමද?
ඉස්කෝලෙ ගියාට කවදාවත් විෂයයන් 8ට පොත් 8ක් තිබුණෙ නෑ; ටයි-එකක් ඇඳල නෑ. කවදාවත් සපත්තු 2ක් දාගෙන යන්න තිබුණෙත් නෑ. අංග සම්පූර්ණ නිල ඇඳුමෙන් ඉස්කෝලෙ යන්න මට ආසාවක් තිබුණත් ඒක වුණේ නෑ. හැබැයි මට මොකක්දෝ හයියක් තිබුණා.
ඒ කාලෙත් මට ගස් නඟින්න පුළුවන්. සමහර වෙලාවට මං ගෙදර තනියම ඉන්න වෙලාවට හාල් ටිකක් ළිපේ තියපන් කියල අම්ම කිව්වොත් මම ඒකත් කරල ගෙදරටම තිබුණු එකම පොල්ගහට නැඟලා කලටි ගෙඩියක් හරි කඩලා පොල් සම්බලයකුත් කොටල තියනවා.
• ක්‍රීඩාවට නැඹුරුවක් ඇති වෙන්නෙ මොන විදිහටද?
ගම් කොල්ලො, එල්ලෙ ගහද්දි මමත් එල්ලෙ ගහන්න ගියා. ඒ කාලෙ මට කිව්වෙ ‘රට කොල්ලා’ කියලා. මට හොඳට දුවන්නත් පුළුවන්කම තිබුණා. පාසලේ දිවීමේ තරගවලින් හැමදාම පළමුවැනියා. පුදුම විදිහෙ ඉසිලීමේ හැකියාවක් මට තිබුණා.
• ඒ දක්ෂතාව සහ හැකියා ඔලිම්පික් තරම් දුරක් රැගෙන යාවි කියල ඔබට සිතුණාද?
නෑ, ඒ කාලෙ එවැනි අවබෝධයක් තිබුණෙ නෑ. අපේ ගෙදරට පත්තරයක් වත් ගෙනත් නෑ; ටීවීඑකක් තිබුණෙත් නෑ. හැබැයි රේඩියෝ එකක් තිබුණා. ඒකෙන් සින්දුවක්, ප්‍රවෘත්තියක් ඇහුවා. ඔය නිසා මම කියැවීමටත් එතරම් හුරු වෙලා නෑ. පුංචි කලෙ ඉඳන්ම හුරු වුණේ හම්බ කරන්න. ගෙදර අපි හත්දෙනාට කන්න හාල් ග්‍රෑම් 500 ගේන පසුබිමක සිටි නිසා හැමවෙලාවෙම බීඩියක් ඔතලා හරි ගෙදරට අවශ්‍ය දෙයක් ගේන්න තමයි බැලුවෙ. වැඩිපුරම නාලා තියෙන්නෙ සන්ලයිට් ගාලා.
ක්‍රීඩාව ගැන කියද්දි, අපේ පවුලම ක්‍රීඩාවට දක්ෂයි. අයියලා අක්කලා විවිධ මට්ටමින් ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඒ සහජ දක්ෂතාව මටත් ලැබිල ඇති. පාසලේදී මම විවිධ මට්ටමේ තරගවලට සහභාගි වුණා. දිනුවා; ඊළඟට ක්‍රීඩා සමාජවලින් එද්දි වරකාපොළ ක්‍රීඩා නිලධාරිනියක් හිටියා ධම්මිකා වනිගසිංහ කියල. ඇය තමයි, මගෙ දක්ෂතා දැකලා මාව කොළඹට එක්කගෙන ඇවිත් හරි මාර්ගයට යොමු කළේ.
• අද ඔබේ අම්මා තාත්තා?
දැන් මගෙ අම්මට අවුරුදු 75ක්; තාත්තට අවුරුදු 80ක්. ඒ දෙන්නා ගෙදර තියාගෙන, මගෙ දරුවො දෙන්නත් එක්ක රැක-බලාගන්නවා. ඒ දෙන්නත් දැන් දරුවො වගෙයි.
• ඔබ ළමා වියේදි ලබපු අත්දැකීම් හා පන්නරයත් එක්ක අද ඔබ ඔබේ දරුවො ගැන බලන්නෙ කොහොමද?
මට ඉන්නෙ පුතයි, දුවයි. සමහර වෙලාවට මං තරහ ගන්න වෙලාවල් තියෙනවා. එයාල කරන හැම වැඩක් ම මට ගැළපෙන්නෙ නෑ. මොකද: මගෙ මවුපියො මට සැර දාලා හැදුවට මගෙ දරුවන්ට සැර දාන්නෙ නෑ.
මගෙ අම්ම මට මේ වගෙ පුංචි කාලෙ බත් කැව්වෙ නෑ. බත් පිඟාන බෙදල ‘අන්න බත් බෙදල තියෙනවා, කාපං!’ කිව්වා. කවදාවත් අපේ උපන්දින ගැන මතකයක් තිබුණෙ නෑ. මාර්තු 31ට මගෙ පුතාට අවුරුදු 9ක්. එයා අහනවා අම්මෙ මගෙ උපන්දිනේ උත්සවයක් ගන්නෙ නැද්ද කියලා. මොකද: එයා හොඳ පාසලකට යන්නෙ, මගෙ දෙපාවල වාරුවෙන්. වරකාපොළ දුප්පත් ගමක ඉපදිලා අද අපි ඉන්නෙ කොළඹ 8. පුතා හොඳ පාසලකට යනවා. ඉතින් එයා උපන්දින පාටියක් ඉල්ලනවා. මම එයාට අඩුවක් කළේ නෑ. මගෙ පුතා වාසනාවන්තයි. මේ වයසෙදි මට ඒ කාලෙ බෝනික්කෙක්වත් ඉඳල නෑ. ලී කොට කෑල්ලක් හරි, ප්ලාස්ටික් වතුර බෝතලයක් හරි මං බෝනික්කෙක් වගේ නැළෙව්වා.
ශීඝ්‍රයෙන් දියුණු වෙලා යන ගමනත් එක්ක අපත් යා යුතු වුණත් මම හිතන්නෙ අපට හැකි පමණින් අපේ දරුවො ස්වභාව සෞන්දර්යත් එක්ක වැඩෙන්න ඉඩහැරිය යුතුයි කියලා. අවශ්‍ය අවස්ථාවලදී මම නම් දරුවන්ට තරවටු කරනවා. තැනකට ගිහින් ඉන්න හැටි වගේම කළ යුතු නොකළ යුතු දේ ගැනත් දරුවන්ට ඉගැන්විය යුතුයි. දරුවකු වරදක් කළා නම් අම්ම ඒකට අකැමැතියි කියලා මට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. මම හෙට මැරුණත් ‘අනේ අපේ අම්මා අපට මේ මේ දේවල් පෙන්වලා දුන්නා’ කියලා දරුවන්ට දවසක වැටහේවි.
• ජීවිතේ අභියෝගවලදී අම්මා ඔබට ශක්තියක් වෙලා ඇති?
අනිවාර්යෙන්ම... මගේ ජීවිතේ මට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මං ඒ හැම අභියෝගයක්ම දරාගෙන පුළුවන් විදිහට කටයුතු කරගෙන යන්නෙ අම්ම තාත්ත දුන්න ඒ ශක්තිය නිසා.
• ක්‍රීඩා ක්ෂේත්‍රයට අද ඔබෙන් ලැබෙන දායකත්වය ගැන ඔබ මොකද සිතන්නෙ?
ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මං මට කළ හැකි උපරිමය කරන්න වෑයම් කරනවා. සමහර වෙලාවට ක්‍රීඩකයන් අතරත් අද එකමුතුවක් නැති තත්ත්වයක් වගේ ම ක්‍රීඩාවේ යම් පසුගාමි බවකුත් මම දකිනවා. ඒ තත්ත්වයෙන් ක්‍රීඩාව ගොඩ ගන්න නම් කුඩා කාලයේ ඉඳන්ම අපේ දරුවන් පෝෂණය කළ යුතු වෙනවා. ඒක කෑමෙන් විතරක් කරන්න බෑ. මනසිනුත් පෝෂණය කළ යුතුයි.
• ඔබේ ජීවිතයේ ඉලක්කයක් අරමුණක් තිබුණා. අද ක්ෂේත්‍රයේ ඉන්න අයට ඔබට කුමක්ද කියන්න තිබෙන්නෙ?
ඕනෑම අයකුට ජීවිතයේ අරමුණක් තිබිය යුතුයි. ක්‍රීඩාවෙදි විතරක් නෙවෙයි, ජීවිතයටම අරමුණක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ හිස් මනුස්සයෙක්.
• එදාට වඩා අද ඔබ ජීවිතය ගැන, සමාජය ගැන බලන විදිහ වෙනස් වගේයි පේනේනේ?
අවුරුදු 40ක් ගත වුණාට පස්සෙ තමයි මට එවැනි අවබෝධයකින් මේ දේවල් දකින්න ජීවිතය දිහා බලන්න පුළුවන් වුණේ. එතකොට මමත් ප්‍රමාද වෙලා වැඩි අවස්ථා තියෙනවා. සමහර දේවල් ආපහු හරිගස්සගන්න බෑ. එහෙත්, ඉදිරි කාලයේදී මම කල්පනා කරන්නෙ බෞද්ධයෙක් හැටියට පිනක් කරලා, යහපත් දෙයක් කරලා රටට වැඩක් වන විදිහට, මගෙ දරුවො දෙන්නත් හොඳට හදාගෙන, දෙමවුපියන්ටත් සලකගෙන සතුටින් ජීවත් වෙලා මැරිල යන්න.
• විශේෂයෙන් ලොව දිනූ ක්‍රීඩිකාවක හැටියට ආ ගමනෙදි ඔබට ආපසු හැරෙන්න සිතුණු අවස්ථා තිබුණෙ නැතිද?
නැත්තෙ නෑ. දුක හිතුණ අවස්ථා තිබුණා. ගමකින් ඇවිත් ලෝකයක් දිනුවට පස්සෙ මට තහනම් උත්තේජක භාවිත කළා කියලා චෝදනා කළ අවස්ථා වගේ තැන්වලදි මං හුඟක් දුක් වුණා. ඒත් ඒ එක්කම මට ශක්තියකුත් ආවා. මොකද: මං දැනගෙන හිටියා මං වරදක් කරලා නැති බව. සොරකමක් කළා නම් තමයි බය වෙන්න ඕන. මට එහෙම බියක් නම් දැනුණෙ නෑ. පෞද්ගලික ජීවිතයෙදි මං බොරු කියපු අවස්ථා එක්ක ඒකෙ ප්‍රතිඵල මං දන්නවා. හැබැයි ක්‍රීඩාවෙදි මං කවදාවත් හොරයක්, බොරුවක් කරලා නෑ. ඉතින්, මං අධිෂ්ඨාන කරගත්තා වැටුණත් නැඟිටලා මං මේ මිනිස්සුන්ට මම කවුද කියල පෙන්නනවා කියලා.
• ඔබට කිව්වෙ ‘ආසියාවේ කළු වෙළඹ’ කියලා. අයෝමය ශක්තියක් ඇති ගැහැනියක තුළ සිටින සංවේදි චරිතය දැන් අපි දකිනවා. ‘ආදරය’ පිළිබඳ හැඟීම ඔබට දැනෙන්නෙ කොහොමද?
ආදරය ගැන කතා කරද්දි මට හරි දුකයි. ආදරය නිසා මම මගේ ජීවිතයේ ගොඩක් දුක් විඳලා තියෙනවා. ආදරය හරියට විඳින්න ලබන්න බැරි වුණු එක ගැන මං පෞද්ගලිකව දුක් වෙනවා. ඒත් මවක් හැටියට දරුවො දෙන්නත් එක්ක යන ගමනෙදි මට ඒ වේදනාව යටපත් කරල ධෛර්යයෙන් ඉදිරියට යන්න වෙනවා. දැන් තමයි ආදරයක වටිනාකම තේරෙන්නෙ. එතකොට විය යුතු දේවල් වෙලා. බෞද්ධයෙක් හැටියට උපේක්ෂා සහගතව මේවා දිහා බලන්න අද මං වෑයම් කරනවා.
අපි කවුරු කොහොම කිව්වත්, ආදරය කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යම, වටිනාම දෙයක්. සල්ලි කොපමණ තිබුණත් වැඩක් නෑ, කොපමණ තානාන්තර දැරුවත් වැඩක් නෑ, වටිනාම දේ ආදරය නැත්නම්. ඒක මවුපියන්ගෙ වෙන්න පුළුවන්; දරුවන්ගෙ, බිරිඳගෙ, සැමියාගෙ වෙන්න පුළුවන්; පෙම්වතාගෙ, පෙම්වතියගෙ වෙන්න පුළුවන්; සමාජීය වශයෙන් ගත්තාම මිනිස්සුන්ගෙ ආදරය වෙන්න පුළුවන්. එය හරිම වටිනවා. එතැන තමයි සතුට සැනසීම තියෙන්නෙ.
• මෙතෙක් ආ ගමන ගැන ඔබ තෘප්තිමත් ද?
මගේ පවුල් පසුබිම, අනවබෝධය, අධ්‍යාපන මට්ටම, ජීවත් වුණු පරිසරය වගේ මේ සියල්ල එක්ක ගත්තාම මට යම් දුකක් තියෙනවා. හේතුව: මේ මේ දේවල් ගැන දැනගත්තා නම් මං මෙහෙම කරනවා, මේ මිනිස්සු ගැන තේරුම් ගන්නවා කියලා දැන් හිතෙද්දි යම් පසුතැවීමක් තියෙනවා. අවුරුදු 18දී එහෙම හිතුණෙ නෑ. මං කසාද බැන්දෙ අවුරුදු 18න්. තේරුණා නම් බඳින්නෙ නෑ නෙ; තව ටිකක් ඉන්නවා. මං ඇමෙරිකාවෙ ගිහින් ග්‍රීන්කාඩ් එකටත් ඇප්ලයි කරලා ආයෙම මෙහෙ ආවෙ. ඒත් දැන් මට හිතෙනවා එහෙ ඉන්න තිබුණානෙ කියලා. හැමෝටම මේ වගේ අත්දැකීම් ඇති කියල මට හිතෙනවා. හැබැයි අපේ දරුවන්ට එහෙම වෙන එකක් නෑ. අපේ අත්දැකීම් ඔස්සේ අපි එයාලට මඟ පෙන්වනවා. ඒ අය පින්වන්තයි. අපේ අම්මලා එපා කියපු දේවල් අපි කළාට අපේ දරුවන්ට එහෙම බෑ. ඉතින් ආපහු හැරිල බලද්දි සතුට දුක මිශ්‍ර හැඟීමක් තියෙනවා. අන්තිමට ඒ දිහාත් බලන්න වෙන්නෙ බුදුදහමට අනුව. පින පව ගැන අවබෝධයෙන් ජීවිතය ගෙනියන්න දකින්න මං වෑයම් කරනවා.
• ඔබ ලෝකයක් දිනුවා; මවුබිමට කීර්තිය ගෙනාවා. ජීවිතයේ තවත් සපුරාගත යුතු ඉලක්ක, සිහින ඔබට තියෙනවාද?
නෑ. ඇත්තටම මං ඒවා ගැන හිතලා දුක් වෙන්නෙ නෑ. වැඩක් කරන්න මට අවස්ථාවක් දෙන්න. මගෙන් වැඩක් ගන්න කියල මම ආයෙ ඉල්ලන්න යන්නෙත් නෑ. පුළුවන් හැටියට කළ යුතු දේ කරනවා.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු