මේ ඉලව් වලව් තමා ලොකුම හෙණේ | Page 2 | සිළුමිණ

මේ ඉලව් වලව් තමා ලොකුම හෙණේ

“මොකද බං... පාර්ලිමේන්තුව රැස්වුණාද? උඹට උඹේ අභියාචනේ පාස් කරගන්න පුළුවන් වුණාද?....”

“තාම ස්ථිර තීන්දුවක් දුන්නේ නෑ බං.. මං මේ හරිම අප්සෙට් එකෙන් ඉන්නේ.. ඒ අස්සේ ඔන්න අම්මා මගේ කේන්දරෙත් අරගෙන කොහෙදෝ ගියා කරුණාදසත් එක්ක..”

“අයියෝ.. අයියෝ.. වෙන මිනිස්සු තමුන්ගෙ දරුවට උසස් අධ්‍යාපනයක් දෙන්න හිතාගෙන කේන්දර බලනවා.. කෝමහරි උන්ව පාස්කොර ගන්න.. උඹට නම් මාර වැඩේ වුණේ... බලපං...”

“ඒ ගැන කතාකරලා වැඩක් නෑ මේක මම ලබා උපන් හැටි.. ඒත්.. මම සටන අතාරින්නෙ නෑ.. උපවාසයක් හරි පටන් ගන්නවා.. හහ්..”

“ආන්න හරි.. බං... එහෙම තමා වෙන්න ඕනැ. බලපං.. අපි මේ කැම්පස් යන්න ලකුණු මදිවෙලා ඉන්නවා.. උඹ ලකුණුත් අරන් හූල්ල හූල්ල ඉන්නවා..!”

“ඒක මගේ ලැබීම.. කවද හරි අපේ මල්ලිටත් මේ සෙතේම තමා!”

“ආ.. හිටපං.. උඹට මම ඊළඟ ආරංචිය කියනකං..”

“හිටපං.. මං පොඩ්ඩක් මේ පේර අත්ත උඩට නගිනකං.. මට එතකොට ගේ පැත්තත් පේනවා..”

ශ්‍රීමාල් හෙමිහට පේර ගහක් උඩට නගින්නේ උද්දාමයෙන්.

“බලාගෙන මේක ඇහුවාම උඹ පේරඅත්ත කඩාගෙන බිම වැටෙයිද දන්නෙ නෑ! උඹ දන්නවද මේඛලා දැන් කැම්පස් යන්න ලෑස්තිපිට ඉන්නේ.. එයා ශ්‍රීමතී එක්ක යම් යම් දේවල් වගයක් ආයෙ කියලා තියෙනවා උඹ ගැන.. බොහොම සීරියස් දේවල්..”

“ශ්‍රීමතී කිව්වෙ..”

“ශ්‍රීමතී කිව්වෙ.. කෝසල... කෝසලගෙ කෙල්ල බං.. උඹ මහම මහ ටියුබ් ලයිට් එකක්නෙ.. අහපං ඉතිං.. පස්සෙ ඉතිං ශ්‍රීමතී ටිකක් උඹ ගැන හැඳින්වීමක් කරලා.. ඒ කිව්වෙ උඹ කාගෙ කවුද.. කොහේද.. කින්ද මන්ද කියලා..”

“ඉතිං...?”

දැන් ශ්‍රීමාල් ගේ කටහඬත් ගොරෝසුය.

“ඉතිං ශ්‍රීමතී ටිකක් දළ වශයෙන් කියලා.. උඹ රත්නසේකර වලව්වෙ ලොකු පුතා කියලා...!”

ඊළඟට දිලුම්ගේ කටහඬ බාලවෙයි. ශ්‍රීමාල්ගේ කන් තීව්‍ර වෙයි.

“මචං.. උඹ කලබල වෙන්න එපා... ඒක ඇහුවා විතරයි... කෙල්ලට මා..ර අප්සෙට් ගියාලු..!”

ශ්‍රීමාල් කලබල වී පේර අත්තෙන් පහළට පනින්නේ කෑගසමින්.

“අයියෝ.. මේ ඉලව් වලව්... තමා මට තියෙන ලොකුම හෙණේ.”

ඒ එක්කම ඇමතුමත් විසන්ධි වෙද්දී වත්ත පහළට දුවගෙන එන ජන්තුවාය.

“හපොයි.. දෙයියනේ.. අපෙ ලොකු බේබි හාමුට මොකෝ මේ වුණේ.. වැටිලා නේද.. හත්දෙයියනේ.. ඔය... කකුලකුත් ඇමැට්ටි වෙලා.. මදෑ කොලුකමට ගස් නැගලා කොරගත්තු දේ... හයියෝ...!”

“මේ ජන්තු... කරුණාකරලා ඔය ගෝසාව නවත්තගන්නවද ආ.. හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ නේ... ජන්තුගෙ මර විලාපෙ..”

ශ්‍රීමාල් කියන්නේ තරහින්ය. ඇමතුම විසන්ධි වෙලාය.. ඒ මදිවාට කකුලකුත් ඇමැට්ටි වෙලාය. දැන් ඔහු බිම වාඩිකරගෙන ජන්තුවා ඇමැට්ටි වුණු දකුණ කකුල පිරිමදියි. ශ්‍රීමාල් වේදනාවෙන් කෑගසයි. ඒ අතරේ ජන්තු තව කතාවක් කියයි.

“හරි වැඩේනේ වුණේ.. හාමු.. දැන් ආවා ලොකු හාමු හම්බවෙන්න අර කොළඹ ඉන්න විජේනායක හාමු.. මතකද.. අපෙ මැණිකෙ හාමුගෙ මලයා කෙනෙක් ඉන්නෙ.. එයා සෑහෙන වෙලාවක් කතාකර කර හිටියානෙ.. ලොකු බේබි හාමු ගැන...!”

“මං ගැන..”

“ඔව්.. ලොකුබේබි හාමුව කොහොම හරි විස්ස විද්‍යාලෙ යවන්න කීවා.. වගකීම එයා බාරගන්නං කීවා..!”

එකවරම ශ්‍රීමාල් නැගිටියි. දැන් කකුල ඇමැට්ටි හිතේ අමාරු මොකවත් නැත.!

“ෂා...!” ඔහු ජන්තුවා අල්ලාගෙන වටයක් ම කරකවන්නේ සිනාසෙමින්ය.

උපතින් ම එක කකුලක් ටිකක් කෙටිව පිහිටා ඇති ජන්තුට එය හරිම වේදනාකාරි සෙල්ලමකි. හොඳට ඇඟපත හයිහත්තිය ඇති ලොකු බේබි හාමු එක්ක ඔහුට කොහොමත් ඔට්ටු වෙන්නට බැරිය.

“හති දාගෙන මෝලක් වගේ කැරකෙන ජන්තු දැකලා ශ්‍රීමාල්ට හොඳට ම හිනාය. උසට උසේ ඉඳගෙන කොට කකුල අද්දමින් කැරකෙන ඔහු ගැන ඊළඟට ශ්‍රීමාල්ට දුකය..!

හිතට ආපු සතුටේ ගැම්මට ඒ දුක තමුන්ට දැනුණේ නැති හැටි. ජන්තුවා කැරකිල්ල වගේ හැදිලා පේරගහමුල වාඩි වුණේ හති දමමින්ය. ශ්‍රීමාල් බේබි හාමු හිනාවෙවී ජන්තුගේ කරට අතක් දාන විට ජන්තුට හොඳටම සතුටුවෙන්න ඒ කාරණාව ඇති.

“මටත් හරි සතුටුයි ලොකු බේබි හාමු... හරිම.. සතුටුයි. ලොකු බේබිහාමුට හරියන්න ඕනෑ.. අපේ කොල්ලා ඉස්කෝලේ යවලා ඇහැපාදන පිනම ඇති..!”

ජන්තු කඳුළු පිරිච්ච ඇස්වලින් කියයි.

ඒ එක්කම වලව්වේ මිදුල පැත්තෙන් කටහඬවල් කීපයක් ඇසේ.

“හා.. අන්න බේබි හාමු.. බේබි හාමුව හොයනවා.. අර හාමු යන්නද කොහේද ලෑස්තිවෙලා විගැහිං යමු.. යමු.. දැන් කකුලත් හොඳයිනේ..”

ජංගම දුරකතනය නිශ්ශබ්ද කර සාක්කුවට ඔබාගන්නා ශ්‍රීමාල් දැන් ජන්තුගේ පස්සෙන් වැටිලා වලව් මිදුලට සේන්දුවෙන්නේ රටක් රාජ්ජයක් දිනූ ගානටය.

ඒත් ඒ එක්කම... දිලුම්ගෙන් බාගෙට අසන ලද ආරංචිය. ඒක හරිම හිත රිදවන.. ආරංචියක් නොවේද? ඔහු තමුන්ටම කියාගනියි.

රත්නපුර වලව්වේ ගොඩලියද්ද හාමුට දැන් ටිකක් සනීපය. ඒත් සුදුමැණිකේ හාමුට තමුන්ගේ ස්වාමියා ගැන දුකය. තේවත්තෙ කංකානම ජයතිස්ස දැන් වැඩට එනවා ඇත්තය. ඒත් ජයතිස්සත් දැන් එක විදියක්ය. ඒ තමුන්ගේ හාම්පුතාලට තමා ද්‍රෝහිවුණාය කියන හෘද සාක්ෂියේ සිතුවිල්ල හින්දාය. නමුත් මොනතරම් දරුණු හිතක් තිබුණත් ඩග්ලස් ගොඩලියද්ද හාමු මේ ප්‍රශ්නය ගැන හිතපු සාධාරණ විදිය ගැන සුදුමැණිකෙ හාමුට පුදුමය. දරුවන් අතින් වෙන පුංචි පුංචි වරදවල්වලට පවා ගස් බැඳ දිමිගොටු කඩා දාපු තම සැමියා මේ තරම්ම සාධාරණ විදියට හිතන එක මොනතරම් පුදුමද? ඒ අතින් නම් ඔහු විල්ප්‍රඩ් හාමුට වඩා දියුණුය.

“අපේ එවුන්ගෙ වැරැදිවලට පිට එවුන්ට දොස් කියලා වැඩක් නෑ සුදුමැණිකෙ.. ජයතිස්සයාගෙ පුත්තරයා අපේ එකීව බලෙන් අරන් ගියෙ නෑ නෙව.. ඒකි ගියෙ ඒකිගෙ තියෙන ඔලමොට්ටල කමට.. ජයතිස්සවත් එයාගෙ ගෑනිවත් මේකට සම්බන්ධ නෑ. උන්ගෙ ගෙදර තුන්වේලක් තිස්සෙ බතක්වත් උයලා නෑ.. මේ වෙච්ච සංගෙදිය නිසා.. මීහරකා වගේ අඬාගෙන ඇවිත් ජයතිස්සයා මගෙ පය පාමුල වැටුණම මට දරාගන්න බැරිවුණා.. මැණිකෙ..”

සැමියගේ හඬ තාමත් ඇගේ දෙසවන්වල දෝංකාර දෙයි. ටික දවසක් තිස්සේ ජයතිස්ස වහං වෙලා සිටියේ විල්ප්‍රඩ් අයියාගේ මරණ තර්ජනය හින්දා බව සුදුමැණිකේ දනියි.

එදා තරහා ගිය වෙලාවේ තමා ජයතිස්සගේ බිරිය චන්ද්‍රලතාට කෑගැසූ හැටි මතක් වී ඇයටම දැන් ලැජ්ජාය.

“පුළුවන්නම් උඹේ දෝණියන්දත් එල්ලපං.. හාමු මහත්තයෙකුගෙ පුතෙකුගෙම කරේ..!”

තමා එසේ කියා චන්ද්‍රලතාව තල්ලුකර දැමූ හැටිත්.. ඇය විසිවී ගොස් බිම වැටුණු හැටිත් ත්‍රාසජනක දර්ශනයක් සේ මතක් වෙනවාය. එවෙලේ චන්ද්‍රලතා ගේ දුව චන්ද්‍රානි දිව ඇවිත් තමා වත්තම් කර පුටුවක වාඩි නොකළා නම් කේන්තියෙන් වෙව්ලා තමාත් ඇද වැටෙන්ට ඉඩ තිබුණි.

මේ ඔක්කොම ලේ රත්වෙන දේ‍වල් වුණේ විල්ප්‍රඩ් අයියගෙ ඕනැවට වඩා වැඩි තර්ජන හින්දමයි. නැත්නම් මං මේ විදියට තිරිසන් විදියට කවදාවත් හැසිරෙන කෙනෙක් නෙවෙයි. ඇස්වලින් වැගිරෙන කඳුළු බිංදු ඔසරි පොටෙන් තෙත මාත්තු කරන ගමන් ඇය බලන්නේ තම පියාගේත් සැමියාගේ පියාගේත් විශාල ඡායාරූප දෙක දිහාය.

තේජවන්ත මුහුණුවල ඇති පෞරාණික කීර්ති කදම්භය වීදුරු රාමු තුළින් එළියට ඇවිත් තම හදවත පාරනවා වගේය. ඇ‍ෙහ් මූ‍ෙණ් තියාගෙන හැදූ සමන්ති දුව දැන් වලව්ව හැර ගොසින්ය. ඊට අවුරුද්දක් බාල මිලින්ද පුතා ඒ විදියට හිතුවක්කාර වෙන එකක් නැති බව හිත කියයි. පුංචි කාලේ ඉඳලාම ඉතා දැඩි විනයක් ඇතිව හැදුණ තම දරුවන් දෙදෙනා ඇස්දෙක වගේය.

එතකොට දැන් තමුන්ගේ එක ඇසක් අන්ධ වෙලාද?

වලව්වේ වැඩ කරන මැගී පවා තමුන්ට වඩා සතුටින් සිටිනවා යැයි සිතෙයි. මේ සියලු සුඛ විහරණ මැද තම තමුන් හරිම දුප්පත්ය. ඒක නම් ඇත්තක්ය.

“අම්මේ.. මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්..” එකවරම ඇය තිගැස්සෙන්නේ ඇද පැලඳ ගෙන තමා ළඟට ආ මිලින්ද පුතා දැකලාය.

“කොහේ යන්නද මේ ‍වෙලාවෙ? පුතේ... අප්පච්චි දන්නවද?”

“ආ අප්පච්චිට අම්මා කියන්නකො... නිදි.. මං හිතන්නෙ.. මට කොළඹ යන්නත් තියෙනවා.. මගේ ජොබ් එක ගැන බලන්න.. ඒ එක්කම මට ශ්‍රීමාල් මල්ලිලාව හම්බවෙන්නත් තියෙනවා..!”

සුදු මැණිකෙ තම පුත්‍රයා දිහා බලන්නේ පුදුම වෙමින්ය. ඉස්සර වගේ බැණ අඬ ගසා දැන් මොවුන්ට තරවටු කරන්ට බැරිය. දැන් කර දඬු උස්වෙලාය. උන්ගේ හිතුත් වෙනස් වෙලාය. වෙනස් වෙන ලෝකෙක තමුන් විතරක් වෙනස් නොවී දුක් විඳී.

“හා.. ඔච්චර කල්පනා කරන්න ඕන නෑ අම්මේ මං පරිස්සමින් ගිහින් එන්නම්.”

“පුතා ඩ්‍රයිවර් එක්ක නේ යන්නේ..”

“නෑ අම්මේ එයා හිටපුදෙන්.. මම ඩ්‍රයිව් කරන් යන්නම්..!”

අඩියට දෙකට පුත්‍රයා ගිහිල්ලාත් ඉවරය.

සුදුමැනිකෙගෙ හිස කකියාගෙන එයි. සමන්ති දුව ගැන මතක් වෙලා ඇයට හැඬුම් එයි.

“අනේ.. ඒකිට කන්නවත් හරියට තියෙනවද දන්නෙ නෑ!”

හිත මුරගා කියද්දී ඈ ඉක්මණින් මුළුතැන්ගේ පැත්තට යන්නේ මැගී එක්ක කතාකරලා හරි හිත ටිකක් හදාගන්නටය. ඒ යද්දී රියැදුරා ඩේවිඩ් මැගී එක්ක කරමින් සිටිය කතාව ඇයට ඇසුනේ හදිස්සියෙන් වගේය.

“අපේ පොඩි බේබි හාමුයි ශ්‍රී ජය වලව්වෙ පොඩි බේබි හාමුයි එක්කාසුවෙලා මට හිතෙන විදියට මුළු වලව් සංහතියම සමතලා කරාවි වගේ..!”

ඒ වැකිය ඇසෙද්දී සුදුමැණිකෙ එහෙමම නතර වුණි. ඇගේ දෙතොල් වෙව්ලද්දී ආපිට හැරෙන්නට බැරිව ළතැවෙද්දි හති දාගෙන දුවගෙන ආවේ ෆැක්ටරියේ කාර්යාලයේ වැඩකරන තරුණයෙකි.

*******

“හප්පා... බලාපල්ලකො.. දැන් හාමු මහත්තයාගේ උජාරුව...!”

දිලුම් සුපුරුදු විහිළුවක් කළේ තම සගයා ශ්‍රීමාල්ගේ මුහුණේ ස්වරූපය වෙනස්කරන්නටය.

සරසවියට යාමට සුදුසුකම් ලද සිසුන් වෙනුවෙන් පැවැත්වෙන හමුවට පැමිණි අය පිට්ටනියේ අඹ ගහයටට එකතු වෙන්නේ අතීත මතකවලට සමු නොදී ඒවා අලුත් කරගන්නට වගේය.

“බලපං අපේ ක්ලික් එකේ තුන්දෙනෙක් ම පාස්. ඒ සතුට අපට ඇති...”

“අනුන්ගේ ඒවා ගැන සතුට ප්‍රකාශ කරන එක වගේ ම උඹත් කොහොම හරි ඊගාව සැරේට කැම්පස් යන්න ට්‍රයි කරපං...” ශ්‍රීමාල් දිලුම් ගේ පිටට තට්ටු කරන්නේ හදවතේ උපන් ළෙන්ගතුකමින්ය. සිරිනාතත් සරසවි වරම් ලබා තිබීම ශ්‍රීමාල්ට සතුටට කාරණාවකි. ශ්‍රීමාල් පිට්ටනිය සිසාරා බලා විසල් පාසල් ගොඩනැඟිලි දිහා බැලුවේ කඳුළු පිරි දෑසින්ය.

“හා.. හා.. අඬන්න එපා ඉතිං.. මේඛලා.. කලබල වුණේ උඹ හාමු කෙනෙක්ය කියලා අහපු හින්දා මිසක් උඹට අකැමැතිකමට නෙමේනේ..”

“ඒක නෙමේ දිලුම්.. මේඛලාගෙ පවුලේ තත්වය කොහොමද?”

සිරිනාත එහෙම අහද්දී ශ්‍රීමාල් එතැනින් මඳක් ඉවතට ඇදෙන්නේ හිතට කනගාටුවක් ඇතිවීගෙන එන නිසාය. ඊළඟට ශ්‍රීමාල් තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ කතාවක පැටලෙද්දී දිලුම් සිරිනාතට ළංවී බැරෑරුම් මුහුණක් හදාගෙන හෙමිහිට කොඳුරයි.

“ඒක තමයි බං.. මටත් තියෙන අප්සෙට් එක.. එයා බොහොම සාමාන්‍ය ම පවුලක කෙනෙක්. මම ටිකක් හොයලා බැලුවා අපේ එකා වෙනුවෙන්.. නැතිව මම ඔය අනම්මනම් බහුබූත හොයන එකෙක් නෙමේනේ..”

“ඉතිං..”

“ඉතිං බං මොනම විදියකින්වත් මුන්ට ගැළපෙන කෙනෙක් නෙමෙයි මේඛලා.. එයාගෙ එක මාමා කෙනෙක් විතරක් ඉන්නවා ටිකක් සල්ලිය බාගෙ තියෙන.. මේඛලාගෙ තාත්තා වත්තක මුරකාරයෙක්. වත්ත කෙළවරේම අටවාපු පොඩි ගේක තමා ඒකිලා ඉන්නේ.. පවුලෙ පස් දෙනෙක්..!”

“හා.. ඇති.. ඇති ඕක නවත්තගනිං.. අන්න ශ්‍රීමාලයා එනවා!”

“මොකක්ද මං එද්දි උඹලා නතර කරගත්තු සතරකන් මණ්ත්‍රනේ?” දැන් මිත්‍රයන් දෙන්නා නිශ්ශබ්දය.

“මචං.. මෙහෙමයි.. අපි මූද හත්ගව්වක් තියෙද්දි පිට පට ගහන්න ඕන නැහැනේ..”

“ඒ මොකක්ද ඒ හරුපෙ..?”

“නෑ.. ඉතිං.. තාම උඹයි මේඛලායි යාළුවෙලාවත් කැමැත්ත පළකරගෙනවත් නෑනේ.. නිකම් පොඩි පහේ ලයින් එකක් ගියා විතරයිනේ.. ඕවා අති සාමාන්‍ය දේවල් බං.. අති සාමාන්‍ය දේවල්..”

දැන් ශ්‍රීමාල්ට කේන්තියක් ඇතිවෙයි. මිත්‍රයන් දෙන්නාගේ සතරකන් මන්ත්‍රණය පැහැදිලිය.

එවිටම පාසල් ඇරෙන සීනුව නාදවෙයි. ගේට්ටුව ඇතුළට එන වාහනය දැක ශ්‍රීමාල්ගේ හිත නොසන්සුන්වේ. පුදුමෙකට වගේ කරුණාදාසගේ වම්පසින් අප්පච්චි ද සිටිනවා පෙනෙයි.

“අද අප්පච්චිත් ඇවිල්ලා.. මං යන්නම් එහෙනං.. මට කෝල් කරපල්ලා..”

බිඳී යන කටහඬත් එක්කම ශ්‍රීමාල් දිලුම්ව බදාගනියි. සිරිනාත ගේ සිත දුකින් පිරෙයි.

“හරි.. හරි.. ශ්‍රීමාල්.. ජයවේවා!”

වාහනය කරා ඇවිදගෙන යන මිත්‍රයා දිහා ඔවුන් බලා සිටියේ කනගාටුවෙනි.

“පව්.. බං... ශ්‍රීමාලයා..! බහුබූත සමාජතලයක ඉපදුණේ නැත්නම්.. ඌ ගමට රටට කොච්චර වටින කෙනෙක් වේවිද? උගේ ආකල්ප ඒ තරමට ග්‍රේට්..!”

සිරිනාත කීවේ සෙනඟ අතරට එක්වෙමින් පාසල් ප්‍රධාන ගේට්ටුවෙන් පිටවෙන ගමන්ය.

“මට දුක ඒක නෙමේ.. මෙච්චර ඉඳලා.. ඉඳලා.. උගේ හිත ගිය තැන.. මේ විදියෙ විලම්බෑසියක් තියෙන තැනක් වෙච්ච එක..”

“ඕවා ඔහොම තමා.. බං... වැඩිය ඕක ගැන එයාට නොකියා ඉඳිමු.. කැම්පස් ගියාට පස්සෙ.. ශ්‍රීමාල්ට ඕනෑ තරම් අය හම්බ වෙන්නෙ නැතැයි...!”

සිරිනාත අන්තිමට කී‍ෙව් අවංකවම හිත හදාගෙනය.

*******

සිංහ ඔළුව සහිත බස්තම ඉහළට පහළට දික්කරමින් විල්ප්‍රඩ් හාමු දිගු ආලින්දයේ එහාට මෙහාට යයි. තිත්ත කළුපාට බළලා ඔළුව එහාට මෙහාට කරකවමින් හාමු මහත්තයා යන එන ඉරියව්ව පි‍රික්සයි.

“මොකෝ බං උඹට බෙල්ලෙ ඇමැට්ටියක් ද.. එහාට මෙහාට බෙල්ල කරකවන්න ආ.. මේකෙ ඉන්නා එවුන් ඔක්කෝටම එක එක ඇමැට්ටි. හා... එකෙකුගෙ කකුල් ඇමැට්ටි.. තව එකෙකුගෙ... හහ් හා හා..!”

විල්ප්‍රඩ් හාමු සිහිවිකල්ලෙන් වගේ හිනාවෙද්දී නිර්මලා මැණිකේට හිතට අමාරුය. උදේ ඉඳන් හාමු, වලව්වේ හැමෝම එක්ක නොරොක් වෙලා බව ජන්තු, සිරියා විතරක් නොව කරුණාදසත් දනී.

ඒකට හේතු වුණේ විජේනායක මලයාගේ පැමිණීම බවත් ශ්‍රීමාල් පුතා විශ්වවිද්‍යාලයට යවන්නට සිදුවීම ගැන විල්ප්‍රඩ් හාමු සිත් තැවුලෙන් පසුවන බවත් නිර්මලා මැණිකේට රහසක් නොවේ. දරුවෙකු සරසවියට යැවීම වලව් ගර්වයට හානිකර දෙයක් වෙන්නේ කොහොමදැයි කියමින් විජේනායක මලයා සමච්චල් කතා කීම විල්ප්‍රඩ් හාමුට ඇල්ලුවේ නැත.

“අයියා.. අපි දැන් අපේ ඔළු උඩ තියාගෙන ඉන්නා මේ උද්දච්ච අංතට්ටු ඔටුනු බිම තියන්න ඕනෑ කාලේ.. හහ් හා!....”

මලයාගේ ඒ සමච්චලය විල්ප්‍රඩ් හාමුට ඇල්ලුවේ නැත!

ලබන සතියට

Comments