
පැටවාගේ මුල්ම ආහාර වේල සිංහ ධේනුවගෙන්ම
ඇය ජර්මනියේ සිට ලංකාවට පැමිණියේ මීට පස් වසරකට පමණ පෙරය. මෙතෙක් ජීවත් වූ පරිසරයට බොහෝ සෙයින් නුහුරු නුපුරුදු පරිසරයකට පැමිණි ඇයට නවාතැන් ගන්නට සිදුවූයේ දෙහිවලය. එහෙත් වාසනාවකට මෙන් වැඩිකල් යන්නට මත්තෙන් සහකරුවකු ඇය සොයා පැමිණියේ කොරියාවේ සිටය. ඔහුද ඇය මෙන්ම පෙනුමෙන් නොවෙනස් ය. කොරියාවේ සිට පැමිණි ඒ සහකරු ඇයගේ සුපුරුදු චර්යාවට අපූරුවට ගැළපුණේය. ඒ දෙදෙනාම එකම වර්ගයේ අප්‍රිකානු සිංහයන් වූ නිසාය. දෙහිවල සත්ත්ව උද්‍යානය නවාතැන් කරගත් මේ සිංහ ජෝඩුව පසුගියදා මාධ්‍ය හරහා පුවත් මවන්නට සමත් වූයේ නව ජන්මීන් තිදෙනෙකුට ජීවය ලබාදුන් නිසා පමණක් නොව දෙහිවල සත්ත්ව උද්‍යානයේ සත්ත්ව අභිජනනය පිළිබඳ අලුත් වාර්තා රැසක්ද ලෝකයා හමුවේ තැබීමට සමත් වෙමිනි.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සත්ත්ව අභිජනනයන් වඩ වඩාත් සාර්ථක කරමින් අපේ රටට වඩාත් ආගන්තුක වූ මේ අප්‍රිකානු සිංහ පැටවුන් තිදෙනා මේ වන විට සිය මවුපියන් සෙවණේ උණුසුමට තුරුලු වෙමින් සිටිති. විටක සිය මවගේ ළයට ආදරයෙන් තුරුලු වෙමින් කිරි උරා බොති. මේ අපූරු දර්ශන සත්ත්ව උද්‍යානයේ සැරිසරන්නන්ට ගෙන එන්නේ නැවුම් අත්දැකීමකි. අප්‍රිකානු සිංහයන් පමණක් නොව අපේ රටින් වඳවී යන සතුන් රැක ගැනීමෙහිලා දෙහිවල සත්ත්ව උද්‍යානයේ මේ අභිජනන කාර්යයන් ඉටුකරන්නේ අපූරු මෙහෙයකි.
සත්ත්ව උද්‍යානවල සත්ත්ව අභිජනනයන් නිසා මේ වන විට ලෝකයාට ඉතිරි වූ සතුන් බොහෝ ය. ප්‍රෙසිවෝස්කිස් අශ්වයා, ඇරිබියන් ඔරික්ස් මෙන්ම සිමිටාෆෝ ඔරික්ස් ආදි වඳවී යන අති දුර්ලභ ගනයේ වටිනා සතුන් වත්මනේ ලොවට ඉතුරු වී ඇත්තේ මෙවැනි සත්ත්ව අභිජනනය නිසාය. මෙයින් දෙහිවල සත්ත්ව උද්‍යානයේ ඇරිබියන් ඔරික්ස් මෙන්ම සිමිටාෆෝ ඔරික්ස් යන දුර්ලභ සතුන් පමණක් නොව පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ එක්තරා ගමක ඇළ පාරකින් හමු වූ වඳවී යන බන්දුල පෙතියා නම් මාළු විශේෂය මෙන්ම බර්ඩ් වින්ග් නමැති වඳවී යන ලංකාවේ ලොකුම සමනල්ලු විශේෂය ද පරිසරයට මුදාහළේ මෙම සත්ත්ව අභිජනනයන්හි සාර්ථකත්වය නිසාය.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සතුන්ගේ අපූරු අත්දැකීම් අතර පුංචි පැටවුන් බිහිකිරීමේ රසමුසු අත්දැකීම් බොහෝය.
අපේ රටට පමණක් නොව අපේ දේශගුණක තත්ත්වයන්ට කිසිසේත්ම නුහුරු නුපුරුදු පරිසරයක හැදුණු වැඩුණු ආගන්තුක සතුන්ද දෙහිවලදි පැටවුන් බිහිකළ ආකාරය අපූරුය. ඒ හා ගෙතුණු රසබර කතාවල මිනිස් අපට ඉගෙන ගන්නට බොහෝ දෑවෙයි.
අප රටේ කිසිදු වනාන්තරයක සිංහයන් දක්නට නොමැති බව මේ වන විට සනාථ කොට ඇත්තේ ය. ලංකාවේ සිංහයන් ඇත්තේ නම් ඒ මෙසේ විතැන් කළ සත්ත්ව උද්‍යානවල පමණි. ඉන්දියාවේ ‘ගිර්’ වනාන්තරයේද අප්‍රිකාවේ වනාන්තරවලද මෙම පැන්තරා ලියෝ නම්වූ වර්ගයේ අප්‍රිකානු සිංහයෝ වෙති. බොහෝ විට මෙම සතුන් අප සත්ත්ව උද්‍යානවලට සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ ගෙන්වා ගැනේ. මේ සඳහා ගතවන්නාවූ කාලය, වෙහෙස හා වැයවන අධික මුදල හා සසඳද්දී අප සත්ත්ව උද්‍යාන තුළම අභිජනනය සිදුකිරීම බොහෝ සෙයින් ඵලදායිවේ.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනූෂා මානවඩු මහත්මිය සත්ව උද්‍යානයේ සතුන්ගේ අපූරු චර්යා රටා ගැන අප හා තොරතුරු පැවසුවාය.
“සිංහයන් ජීවත් වන්නේ කණ්ඩායම් වශයෙන්. ඒ නිසා අපිට සිංහ පැටවුන් බිහිකිරීම අවශ්‍යම දෙයක්. සත්ත්ව හුවමාරුව යටතේ මේ අය ගෙන්වා ගැනීම තරමක් වියදම් යන දෙයක්. මේ නිසා තමයි අපි සිංහ අභිජනනයන් අපේ සතුන් වත්තේ ආරම්භ කළේ. මේ වෙද්දී මෙම අප්‍රිකානු සිංහ යුවළ පස් වතාවක් පැටවුන් බිහිකරලා තියෙනවා. ඒ තරමට මේ දෙන්නා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ. මුල් වතාවේ මේ දෙන්නා බිහි කළේ එක පැටියයි. ඒ වෙද්දි සිංහ අභිජනනය ගැන අපේ අත්දැකීම් අඩු නිසා ඒ පැටියා හැදුවේ අපි. දෙමවුපියන්ගෙන් පැටියා වෙන් කළේ පැටියට හානියක් වෙයි කියන බයට. දෙවැනි තුන්වැනි වතාවේ මේ දෙන්නා පිළිවෙළින් පැටවුන් දෙන්නෙක්, එක්කෙනෙක් බිහිකළා. ඒ දෙන්නා හැදුවෙත් එහෙමයි. ඒත් හතරවැනි වතාවේ පැටවුන් තුන්දෙනෙක් බිහිකළා. අපි ඒ පැටවුන් දෙන්නා අම්මා ළඟ හැදෙන්න ඉඩ දුන්නා. ඒත් පස්වැනි වතාවේ බිහිවූ මේ පැටවුන් තුන්දෙනා අපි අම්මයි තාත්තයි දෙන්නා ළඟම හැදුවා. මෙවර විශේෂත්වය වුණේ එයයි. තාත්තා පැටවුන්ට හානියක් කියලා හිතුවත් එහෙම වුණේ නැහැ. මේ තාත්තයි අම්මයි ඉතාම හොඳ මවුපියන් වුණා. මේ අම්මා හොඳට පැටවුන් බලා ගන්නවා. දරුවන්ට බඩ පිරෙන්න කිරි දෙනවා. මාස තුනක් යන තෙක් මේ විදියට සිංහ අම්මා පැටවුන්ට කිරි දෙනවා. මුලින්ම දරුවන්ට කෑම හුරු කරන්නේත් අම්මයි. අම්මා කන දෙයින් වමාරලා තමයි මේ පැටවුන්ට මුලින්ම කන්න දෙන්නේ.”
සතුන්ගේ ආරක්ෂාව හා පෝෂණය ගැන සත්ත්ව උද්‍යාන නිලධාරීන් කටයුතු කරන්නේ බොහෝ ප්‍රවේසමෙනි. සිංහ පැටවුන් අල්ලන්නට හෝ අතගා සුරතල් කරන්නට දෙහිවල සත්ත්ව උද්‍යානයේ නිලධාරීන් කටයුත් නොකරන්නේ මේ පැටවුන්ගේ ම ආරක්ෂාව නිසාය.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයන් බලා කියා ගැනීමට බාරකරුවන් තිදෙනෙක් සිටිති.
“අපි කවදාවත් මේ පැටවුන් අතගාන්නට යන්නේ නැහැ. මේ අම්මත් තාත්තත් පැටවුන් හඳුනා ගන්නේ සුවඳින්. එනිසා අපි අතගෑවොත් වෙන්නේ මිනිස් සුවඳ මේ සතුන්ගේ ඇඟට වදිනවා. එහෙම වුණොත් මේ අම්මයි තාත්තයි පැටවුන් ප්‍රතික්ෂේප කරනවා. අපි පිටත සිටයි මේ පැටවුන් නිරීක්ෂණය කරන්නේ. මේ අය බලා ගන්නා කීපර්ට සිංහයන් හරිම කීකරුයි. ඒත් එහෙම කියලා අපි මේ සතුන්ට ළං වෙන්න යන්නේ නැහැ. හැමදේම කරන්නේ ආරක්ෂිතව. මේ පැටවුන් ලොකු මහත් වූ පසු අපි පැටවු කූඩුවෙන් වෙන්කරනවා. එහෙම වුණොත් තමයි මේ අය නැවතත් පැටවුන් බිහි කරන්නේ. මේ සතුන් පැටවුන් එක්කම ඉන්න කැමැත්තක් දක්වනවා. එහෙම වුණොත් තවත් පැටවුන් බිහි කරන්න මැලි වෙනවා. ඒ වගේම පැටවුන් බිහි කරන කාලයට ඒ අය රංචු විදියට තියන්න බැහැ.” සිංහ බාරකරුවන් වන රංජිත් ප්‍රනාන්දු හා කේ. ඩී. චමින්ද පැවසූහ.
එසේ වුවද ඇතැම් අවස්ථාවල සිංහ පැටවුන් බිහිවීම පාලනය කිරීමට සිදුවන අවස්ථාද වෙයි. එයට හේතුව වන්නේ සත්ත්ව උද්‍යානයේ සිංහ ගහනය වැඩි වුවහොත් උන් කැලෑවලට මුදා හැරීමට ඇති නොහැකියාවය. සත්ත්ව අභිජනනයෙන් බිහිකළ සතුන් අපේ වනාන්තරයකට මුදා හරින්නේ නම් ඒ අපේ වනාන්තරවල දැනට ජීවත් වන සත්ත්ව විශේෂ පමණි. මේ වෙද්දී අපේ වනාන්තරවල සිංහයන් නොමැති නිසා අපේ කැලෑවල රජ කරන්නේ ලෙපර්ඩ් නම්වූ වර්ගයට අයත් දිවි විශේෂය පමණි. මේ නිසා දිවිගහනය පාලනය කිරීමටත් ජෛව විවිධත්වය පාලනය කිරිමටත් සත්ත්ව උද්‍යාන බලධාරින්ට සිදුවෙයි.
‘අකි’ අම්මාත්, ‘යුෆෝ’ තාත්තාත් ලංකාවට ගෙනාවේ ඉන්දුනීසියාවේ රගුනන් සත්ත්ව උද්‍යානයෙනි. මෙහි ගෙන එන විට මේ දෙදෙනා කුඩා පැටවුන් වුවත් අද තරමක් නාඹර වියේ පසුවන බොහෝ දෙනකුගේ නොමද ආකර්ශනයට ලක්වූ සත්තු වෙති. මේ වෙද්දී ඉන්දුනීසියානු වනාන්තරවලින්ද මේ සත්ත්වයා වඳවීමේ තර්ජනයට ලක්වෙමින් පැවැති යුගයක ඉතා දුර්ලභ ඔරං ඔටන් පැටවුන් දෙදෙනකුම අභිජනනය කරන්නට දෙහිවල සත්ත්ව උද්‍යාන බලධාරීන් සමත් වී ඇත. සත්ත්ව උද්‍යානයේ මුලින්ම බිහිවූ පිරිමි පැටියා ‘අකිෆෝ’ ය. දෙවැනි පිරිමි පැටවා බිහිවූයේ පසුගිය වසරේ මැයි මාසයේය.
“ඔරං ඔටන් අම්මා එයාගේ පැටියන්ට හරිම ආදරේ අම්මා කෙනෙක්. පුංචි පැටියා හැම වෙලාවේම එයාගේ තුරුලේ. දරුවා ඇස් මානයෙන් ගිලිහිලා ඉවතට යන්න දෙන්නේ නැත්තේ පැටියට කරදරයක් වෙයි කියලා. මේ පැටවුන් ලොකු වෙන්න කාලයක් යනවා. වර්ධනය අඩුනිසා අවුරුද්දක් ගියත් මේ පැටවුන් පේන්නේ කුඩාවට. ඒත් මේ අම්මා දරුවන්ට ආහාර දෙන්න හරීම කැමැතියි. ඒ වගේම නිතරම පැටියා පිරිසුදු කරනවා. මේ පැටවුන් ඉහළ මානසිකත්වයක් ඇති අය නිසා මිනිසුන් හා සමානවම සිය දරුවන් බලනවා. ගස්වල උඩ කොටසේ කූඩුවක් සාදාගෙන තමයි අම්මා දරුවන් බලා ගන්නේ. ඔරං ඔටන් අම්මා කියන්නේ සාර්ථක මවක්. මේ සතුන් ඉතා හොඳින් අපේ රටේ අභිජනනය කරන්න පුළුවන්. ඒ සඳහා මේ අයට හොඳ සහකරුවෙක් අවශ්‍යයි. සහකරුවා මතයි අභිජනනයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. පැටියකු ලැබෙන්න සුදුසු වයස එනවිට අපේ පශු වෛද්‍යවරුන් සතා නිතරම අධීක්ෂණය කරනවා. බර බලනවා. බර අඩුනම් සතාට වෙනමම ආහාර වේලක් ලබා දෙනවා. සමහර විට මේ කාර්යයේදි අපට විදේශ විශේෂඥයින්ගේ සහාය ගන්නත් සිදුවෙනවා. මේ සතුන්ගේ පිරිමි පැටවුන් කුඩා කල පියා සමඟ ඉන්නේ නැහැ. මේ නිසා මුලදි අපටත් සිදුවුණා පැටියාගේ ආරක්ෂාව සඳහා දෙමවුපියන්ගෙන් වෙන් කරන්න. ඒත් දෙමවුපියන්ගෙන් වෙන්කළාම අපට තේරුණා පැටියා දෙමවුපියන්ගෙන් ඉගෙන ගන්න තියෙන හැකියාව අඩු වන බව. මේ සතුන් ඉතා වටිනා සතුන් වුණත් වෙලාවකට හරිම දරුණුයි. පිරිමි සතා කලහකාරීයි. සමහර විට බෙලිත් කඩනවා. මේ බිය නිසා මුලදී අප විදේශ විශේෂඥයන්ගේ සහාය ගත්තා. ඒ උපදෙස් ඇතිව අපි ටිකෙන් ටික මේ පවුල එකතු කළා. අද හතර දෙනාම ඉන්නේ සතුටින්.” දෙහිවල සත්ත්ව උද්‍යාන පාලක නදුන් ඇතුලත්මුදලි මහතා පවසයි.
අපට බොහෝ සෙයින් ආගන්තුක කැලෑ මිනිසා නමින් ප්‍රචලිත මේ සත්ත්වයාගේ අභිජනන කටයුත්ත එතරම් පහසු දෙයක් නොවේ. එය දිවා රෑ නිරීක්ෂණය කරන්නට වෙනමම කණ්ඩායමක් වෙයි. පැටවුන් ලද පසු මේ නිරීක්ෂණ කටයුතු වඩාත් අපහසුය. කූඩු බාරකරු සත්ත්ව චර්යා පිළිබඳ දිවා රෑ වාර්තා තැබිය යුතුය. එහෙත් සමහර විට මේ සත්තු උපන්දා සිට කූඩු කර තැබීම නිසා දරුවන් බිහි කරන්නට නොදනිති. එවිට බලධාරින්ට සිදුවන්නේ වනයේදී ස්වභාවිකව සිදු කෙරෙන එම කාර්ය මෙහිදී වෙනත් සතුන්ගේ ක්‍රියාවලියන් පෙනෙන්නට සලස්වා අභිජනනය කරවීමටය.
කෙසේ දරුවන් වැදුවද සත්ත්ව වර්ගයාට උරුම මවු සෙනෙහස කොතැනත් සමානය. ගැහැනු සතුන් ඇතැම්විට පිරිමි සතා පවා ප්‍රතික්ෂේප කරන්නේ උතුම් මවු සෙනෙහස නිසාමය. ඔවුහු පැටවුන් තම ඇස් මානයෙන් ඔබ්බට නොයැවීමට වගබලා ගනිති. දවසේ විසිහතර පැය පුරාම නින්දත් නොනින්දත් අතර සිටිමින් දරුවන් රකිති.
සේයාරූ - තුෂාර පුනාන්දු
මීළඟ කොටස ලබන සතියේ
ලබන සතියේ - ගුවන් මඟින් ළඟදීම එන ජිරාෆ්, ගැබිනි අම්මාට පහර දෙන බ්ලැක් රයිනෝ, වැලහින්නකගේ ආදරය මෙන්ම චීස් කවා පෝෂණය කර අභිජනනයට සූදානම් කරන මැකෝ