
මහා බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සුරතල් දඟකාර ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ තනි නොතනිය මකා දැමීම සඳහා තවත් සමාජිකයෙකු එක් වීමට නියමිතව තිබේ. ඒ අනුව ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන් වීමට යන බව වර්තමානයේ බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ ප්‍රචලිත පුවතක් බවට පත් ව තිබේ. මුළු ලොවක් කේට් දෙස අවධානයෙන් බලා සිටින්නේ නුදුරු දිනයකදීම මෙළොවට බිහි වීමට නියමිත දරුවා කෙබඳු ස්වරූපයක් ගනී ද යන්න පිළිබඳව ය. ඒ පිළිබඳව ලෝකයේ සුප්‍රකට වෙබ් අඩවි මේ වන විට විවිධ තොරතුරු වාර්තා කර ඇත.
උපත බක් මාසයේ
ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරියගේ තුන් වන දරුවා මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රසූත කිරීමට සුදානම්ව සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි. තුන්වන වරටත් ගැබිණියක් වු බව දැනගත් මුල් කාලසීමාවේ දී කේට් කුමරියහට උදෑසන කාලයේ දී විවිධ සංකූලතා ඇති විය. සාමාන්‍යයෙන් ඹ්නෑම ගැබිණි කාන්තාවකට මෙම අවධියේ දී සංකූලතාවයන් ඇති වුවත් කේට්ගේ තත්ත්වය තරමක් ප්‍රබල වී ඇත. ඇයට ඇති වු සංකූතාවන් මුල් කාල සීමාවේ දී වැඩිවන්නට පටන් ගත් හෙයින් නියමිත නිල කටයුතුවලින් මඳක් ඈත්ව සිටීමට තීරණය කර ඇත.
බ්‍රිතාන්‍යයේ මහ රැජිනගෙන් පසුව රජ පවුලේ කිසිදු යුවළකට දරුවන් දෙදෙනෙකුට වඩා සිට නැත. එහෙයින් බිහි වීමට නියමිත කේට්ගේ දරුවා වඩාත් සුවිශේෂී බව රාජකීය පවුලේ මාධ්‍ය වාර්තා කරනු ලබයි.
විලියම් කුමරුගේ අදහස
පසුගිය පෙබරවාරි 11 වන දින රාත්‍රියේ දී කෙන්සිංටන් මාළිගයේ පැවති උත්සවයකදී විලියම් කුමරු සිය පවුල් ජීවිතය ගැන විවෘතව කතා කර ඇත. එහිදී ඔහු අමුත්තන්ට පවසා සිටියේ “අපේ තුන්වන දරුවා අප්‍රේල් මාසයේදී අප අතර එන්නට නියමිත බවත් මේ වන විට මට හැකි තරම් නින්දක් ලැබෙනවා.” යනුවෙන් ය.අලුතෙන් පවුලට එක්වීමට සිටින සාමාජිකයා ගැන බලාපොරොත්තු සහිතව සිටියත් විලියම් කුමරු තව දුරටත් කියා සිට ඇත්තේ, “දෙදෙනෙක් හොඳයි. තුන්දෙනා සමඟ සාර්ථකව කටයුතු කරන්නේ කෙසේදැයි මම දන්නේ නැහැ. මම ස්ථිරවම වෙහෙසට පත්වේවි.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන ආකාරයට කේට් රාජකීය සම්ප්‍රදාය බිඳ දැමීමට සූදානම්ව සිටී. ඒ මන් ද යත් ඇය තම තුන්වන දරුවා කෙන්සිංටන් මාළිඟාවේ හෝ සැන්රින්ගම් වත්තෙහි ප්‍රසූත නොකර නිවසේ දී සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිසාවෙනි. ජෝර්ජ් කුමරා සහ චාලට් කුමරියගේ උපත සිදු වුයේ ලන්ඩනයේ ශාන්ත මරිය රෝහලේ දී ය. එහෙත් කේට් කුමරිය තම තුන් වන දරුවාගේ උප්පත්තිය ලබන ස්ථානය වෙනස් කිරීමට සුදානම් වීම මේ වන විට මුළු ලෝකයේම කුතුහලයට බඳුන් වී ඇත. ඒ කෙසේ වුවත් රාජකීය පවුලට පැමිණීමට නියමිත අමුත්තාගේ උපත කුමන ස්ථානයේ සිදු වේද යන්න පිළිබඳව නිශ්චිතව ම කිව නොහැකි බව මාධ්‍ය වාර්තා කරයි.
දොළදුකට අච්චාරු
කේට් කුමරිය ජෝර්ජ් කුමරු කුස තුළ සිටිය දී හත් වන මාසය වන විට දී නිර්මාංශ ආහාර ගැනීමට කැමැත්තක් දැක්වු බව හෙලෝ වෙබ් අඩවියෙහි සඳහන් වේ. එමෙන් ම ඇය අමු එළවළු වර්ගවලින් සකසන ලද සලාද වර්ග ආහාරයට ගැනීමට කැමැත්තක් දැක්වුවත් පසු කාලයේ දී කුළුබඩු යොදා සකස් කර ගත් ( Spicy curry) වලට දැඩි කැමැත්තක් දක්වන ලදී. දරු ප්‍රසූතිවලට පෙර කාල සීමාව තුළදී ඇය නිවසේ පිසින ලද එළවළු ව්‍යංජන ආහාරයට ගන්නට ප්‍රියතාවක් දැක්වු බව හෙලෝ වෙබ් අඩවියෙහි තවදුරටත් සඳහන් කර තිබේ. වරෙක කේට් කුමරිය තම මාළිගාවට රැගෙන ආ අච්චාරු වර්ගයකට ප්‍රියතාවක් දැක්වූවාය. ඒ අනුව ඇය තමන්ට අච්චාරු කෑමට අවශ්‍ය බව මාළිගයේ තම පෞද්ගලික සේවකයෙකුට දැනුම් දී තිබේ. අවසානයේ දී ඇගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අච්චාරු කෑමට ඇයට අවස්ථාවක් නොලැබී ඇති බව ස්ටා සඟරාවේ සඳහන් විය.
මානසික සුවය
තම තුන්වන දරු පිළිසිඳ ගැනීම පිළිබඳව දැන ගත් දිනයේ සිට කේට් කුමරිය තම මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම කෙරෙහි දැඩිව ආසක්ත විය. ඒ අනුව ඇය මුළු ලෝකයේම ජනයා දැනුවත් කිරීම පිණිස මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ වැඩසටහනකට සහභාගී විය. කුඩා, තරුණ සහ වැඩිහිටි ජනයාගේ මානසික සෞඛ්‍ය මනාව රඳා පවත්නා ආකාරය කෙසේ ද? යන්න පිළිබඳව වීඩියෝ පටයක් ආශ්‍රියෙන් දැනුවත් කිරීම සදහා කේට් කුමරිය තම උපරිම දායකත්වය දැක්වූවාය.
මේ මානසික සෞඛ්‍ය වර්ධන වැඩසටහන ට බ්‍රිතාන්‍ය යේ තරුණ සහ වැඩිහිටි ජනයා යහපත් ප්‍රතිචාර දක්වන ලදී.මානසික සෞඛ්‍ය පිළිබඳව අප දිනපතා සිතා බලා කටයුතු කළ යුතු ය යන්න කේට් කුමරිය විසින් සිදු කළ ප්‍රකාශය මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වු බව වුමන් හෙල්ත් වෙබ් අඩවිය සඳහන් කර තිබේ. විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයේ රජ පවුලේ කුමරියක් මානසික සෞඛ්‍ය කෙරෙහි දැක්වු ආකල්පය පිළිබඳව වර්තමානයේ දී මිනිසුන් විවිධ අදහස් පළ කරනු ලබයි.
මෙම වසරේ පෙබරවාරි මාසයේ මුල් සතියේ දී කේට් කුමරිය සහ විලියම් කුමරු නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝහි රාජකීය පවුල සමඟ දිවා ආහාරය භුක්ති විඳ පිළිසඳරේ යෙදුණි. පෙබරවාරි පළමුවන දින නිල් පැහැති Séraphine නමැති ඇඳුම ඇගේ සිරුරේ නම්‍යශීලීබව වඩාත් ඉස්මතු කරන ලදී. ඉන් පසු ඇය Bebe coat,MaxMara coat,
Max Mara Studio coat, යනාදී ඇයට ආවේණික වු විලාසිතාවන්ට අනුව නිර්මාණය කරන ලද කෝට් ඇඳුම් වර්ගවලින් සැරසී සිටියා ය. අනෙකුත් රාජකීය කුමරියන්ට සාපේක්ෂව කේට් කුමරිය සතුව පවතින විලාසිතා මුළු ලෝකයේම කාන්තාවන්ගේ අවධානයට ලක්ව තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
අන්තර්ජාලය ඇසුරිණි.