පරිසරය නිදහස් කරමු | Page 2 | සිළුමිණ

පරිසරය නිදහස් කරමු

මේ සති අන්තයේ ප්‍රධාන මාතෘකාව නිදහසයි. නිදහස පිළිබඳ බොහෝ කරුණු කතා කරන මොහොතේ සිළුමිණ අප පරිසරයේ නිදහස පිළිබඳ ඔබේ අවධානය යොමු කරමු. හේතුව අප මේ සියලු කතාබහ, තර්ක විතර්ක, යුතුකම් වගකීම් ඉටු කරන්නටත් ඉටුකරගන්නටත් අපේ පැවැත්ම තහවුරු කරගත යුතු බැවිනි. මිනිසාගේ මෙන්ම සියලුම ජීව අජීව සංඝටකයන්ගේ පැවැත්ම තහවුරු වන්නේ පරිසරය පැවතුණොත් පමණි. දිය රත් වන තුරු කකුළුවා හැලියේ නටන්නාක් මෙන් පරිසරයේ පැවැත්ම ඇති තුරු අන් සියල්ල ගැන කියමින් අපට ‘නැටීමට‘ හැකිය. එහෙත් ඒ වේදිකාව රැක ගැනීම සිදු නොවුණ හොත් සියලු නැටුම් හමාර වන්නේ මිනිස් සංහතියද ලොවින් තුරන් කරමිනි. අපේ රටට සීමා වූ නිදහස් දිනයේ වුවද අපට සීමා නොවූ පරිසරය පිළිබඳ නිදහස් මතවාදයක් සහිතව සිතීම එයට යහ මඟක් වනු ඇත.

ලෝකයා දියුණුවේත්, සංවර්ධනයේත් නාමයෙන් පරිසරය විනාශ කළ පසුය එය සංරක්ෂණය කළ යුතු බවට හඬක් නැඟීම විශේෂ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන්නේ. ලාල් හේවාපතිරණ විසින් සම්පාදිත විද්වත් කියමන් පොතේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී මහත්මා ගාන්ධිගේ පරිසර දර්ශනය මෙසේ සටහන් වන්නේ එබැවිනි. 'පරිසරය සුරැකීමට මට අවශ්‍ය නැත. මට අවශ්‍ය වනුයේ සුරැකීමේ අවශ්‍යතාවයෙන් තොර වූ පරිසරයක් සහිත ලෝකයක් නිර්මාණය කර ගැනීමටය.'

පරිසරය හා නිදහස වචන ලෙස ගත් කල බොහෝ සෙයින් එකට යාවී ඇතැයි විටෙක සිතේ. ඒ අපට නිදහස දැනෙන්නේ හෝ නොදැනෙන්නේ ඒ මොහොතේ අප රැඳී සිටින පරිසරය මත නිසා බැවිනි. මිහිරි විහඟ ගී සවන් පත් සනහන හිමිදිරි උදෑසනක වන දෙව්ලිය පිරිවරා සිටින තුරුලතා සිඹිමින් ඇදෙන මද නළ පිියන් පත් හැර දැමූ කවුළුවේ යකඩ කූරු අතරින් රිංගා නාස් පුඩු සිප ගන්නා විට දැනෙන නිදහස පිළිබද අපි අපේ උපරිම නිපුණතාවයෙන් සෞන්දර්යාත්මක වචන ගළපා කියන්නට උත්සාහ කරමු. එසේම සැඩ හිරු රැසින් ගිනියම් වූ කර්කශ තාර පාරේ අඩිය ගෙවුණු සෙරෙප්පු දෙකින් පිළිස්සෙන පතුල්වල දිය පොක්කලම් මතුවන තුරු ඇවිද යන අතර බ්ලූ මැන්ඩල් කුණු කන්ද හරහා ඇදී ආ උණුසුම් සුළං පහර නිසා නහය හැකිළී යන ආකාරය අප පවසන්නේද කඨෝරත්වය පිළිබඳ උපරිම නිපුණත්වයකින් වචන ගළපමිනි.

එහෙත් මොහොතක් විවේකීව සිතුව හොත් මේ අවස්ථා දෙකෙන් වඩා නිදහස් කුමක්ද? එය තීරණය වන්නේ අප අවට පරිසරය මඟින් පමණක් නොව අපේ ප්‍රියතාව, අපේ අභ්‍යන්තර පරිසරයේ එනම් මිනිස් සන්තානයේ පවතින නිදහස මත බව පැහැදිලි වනු ඇත.

ලෝක බලවතුන් දේශපාලන අවියක් ලෙස මැතිවරණවලදී යොදා ගන්නා ප්‍රමුඛ වචනය පරිසර සංරක්ෂණය සහ පාරිසරික නිදහසයි. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යාවශ්‍ය මූලික අංගයක් ලෙස දක්වන්නටද ඔවුහු අමතක නොකරති. එය පෙරළා ප්‍රශ්න කරන ඇතැම් 'නිදහස්වාදීන්' පාරිසරික නිදහස අර්ථ ගන්වන්නේ තමන්ට ඇති තරම් පරිසර දූෂණය කිරීමට, බඩ කට පිරෙන තුරු සම්පත් පරිභෝජනයට සහ ප්‍රතිනිෂ්පාදනයට යොදා ගැනීමට ඇති අයිතිය පාරිසරික නිදහස වශයෙනි. එය කාගේ පාරිසරික නිදහසද? යන්න මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණයි. සැබැවින්ම නිදහස, වහල්බව ආදී සියලු සංකල්ප අර්ථ දක්වා ගන්නේ මිනිසාම බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නම් මිනිසාගේ අවශ්‍යතා අනුව කැමති කැමති ලෙස අප අවට ඇති භූමිය, ජලය සහ වාතය ප්‍රයෝජනයට ගැනීම, විකෘති කිරීම, නාස්ති කිරීම හෝ දූෂණය කිරීමට ඉඩ සලසා ගැනීම නිදහස් අයිතියක් ලෙස මිනිසාට පවසන්නේ ද වෙන කිසිවකු නොව මිනිසාමය. භාෂාවක් භාවිත කොට තමන්ගේ අදහස් අනුනට සන්නිවේදනය කිරීමේ හැකියාව මත මිනිසා එසේ අයිතීන් පිළිබඳ කතා කළද තමන්ගේ නියම නිදහස කුමක්ද යන්න පෙරළා මිනිසා වෙත දැනුම් දීමට පරිසරයට එනම් සතා, සීපාවාට ගහට කොළට වචන නැත. එහි අරුත මිනිසා හැරුණු කොට පරිසරයේ අනෙක් සංඝටක සියල්ල සංවේදනයෙන් තොරය යන්නද?

නැත. සතා සීපාවා පණ ඇත්තවුන් ලෙස ගැනෙතත් උන්ගේ නිදහස පිළිබඳ අදටත් දියුණු යැයි පවසන මිනිසාට හඳුනාගත නොහැකි වූ තරමේ සංවේදී බවක් උන් සතුව ඇත. එපමණක් නොව පණ නැතැයි සිතන ගස්වැල්වලට පවා සංවේදී පටක ඇති බව විවිධ විද්‍යාඥයන් කළ පර්යේෂණවලින් තහවුරු වී තිබේ. තලල්ලේ ධම්මානන්ද නාහිමියන් විසින් හැත්තෑව දසකයේ අග භාගයේ සංගෘහිත ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්ෂණ නම් පර්යේෂණ ග්‍රන්ථයේ ඒ පිළිබඳ සටහන් වන්නේ මෙසේය.

'ඉන්දීය භෞතික විද්‍යාඥ සර් ජග්දීශ් සී බෝෂ් ගේ පර්යේෂණයකට අනුව නිපදවා ගත් ක්‍රෙස්ක්‍රෝග්‍රාෆ් නම් උපකරණය භාවිතයෙන් පැළෑටි ජීවිතයේ ක්‍රියාකාරීත්වය ලක්ෂ ගුණයකින් විශාලනය කර ප්‍රකෘති ඇසින් නැරඹීමට හැකි විය. එසේ වැඩෙන පැළෑටියට බෝෂ් අතින් තට්ටුවක් දැමූ විට වැඩීම නතර විය'

එහිම සඳහන් තවත් සිදුවීමකදී සර් බෝෂ් එක් පැළෑටියක කඳ සියුම් පිහියකින් තුවාල කළ විට මිනිසකු මෙන් වේදනාවෙන් ඇඹරෙන්නට වී තිබේ. කඳ දෙබෑ කළ විට දැඩි දැඟලීමකින් පසු නිසොල්මන් වී තිබේ.

මෙවැනි පර්යේෂණවලින් සාක්ෂි සපයන්නේ නිශ්චල බැවින් ප්‍රාණයක් නැතැයි සිතන ගහ කොළවලට ද අපට මෙන්ම හැඟීම් ඇතිවන බව නොවේද? එසේ නම් එවැනි ජීව කොටස් නිදහස ලෙස බලාපොරොත්තු වනු ඇත්තේ කෙබඳු තත්ත්වයක්ද? එය මිනිසා ඉල්ලන නිදහස ම ද? කොන්ෆියුසිියස් නම් චීන දාර්ශනිකයා මෙය පවසා ඇත්තේ නිදසුනකිනි. 'රෝස මලේ නටුවෙ කටු ඇති බව පවසමින් තැවෙන්නේ එමල් කඩාගන්නට තැත් දරන්නාය'.

මිනිසා පාරිසරික නිදහසින් අපේක්ෂා කරන්නේ කටු නැති රෝස ගස්ය. තමන්ට අවශ්‍ය ලෙස එයින් මල් නෙලා ගන්නටත් එවිට අතේ කටු ඇනී රිදුම් නොදීමටත් සොබා දහම සූදානමින් සිටිය යුතුය. එහෙත් එහි දී රෝස මල හෝ සොබා දහමේ අවශ්‍යතාවට, නිදහසට ඇති හඬ කුමක්ද? රෝස ගසේ නිදහස එයට අවශ්‍ය නම් කටු තබා ගැනීමය. සොබා දහම යම් දිනෙක රෝස නටුවට කටු එපා යැයි තීරණය කළ හොත් මිනිසා කටු අවශ්‍ය යැයි කීවද කටු ඉවත් කිරීමේ නිදහස ඇත්තේ ද සොබාදහමටමය. අප කෙතරම් පරිසරයට බලපෑම් කළද, ජාන විකෘති කරමින් නව ජීවීන් බිහිකරමින් සොබා දහමේ නිදහස උදුරා ගැනීමට තැත් කළද හෘදය සාක්ෂියට එකඟව බැලුව හොත් අප තවමත් පරාජිතයන් බව පිළිගත යුතුව තිබේ. හේතුව මිනිසාගේ නිදහසට වඩා බෙහෙවින් පුළුල් නිදහසක් සොබා දහම භුක්ති විඳීමයි. ඒ කෙතරම්ද යත් අවශ්‍ය නම් මිනිස් සංහතියේ කරදරයෙන් මිදෙන්නට වුවද එයට නිදහස තිබේ. එහෙත් සොබා දහම් මවගේ සාධාරණත්වය වන්නේ තමන්ට කෙතරම් හානි කළ ද ඒ ජීවි විශේෂයට සමාව දෙමින් පවත්වාගෙන යෑමයි.

බුදු දහමේ රුක්ඛ ධර්මය පිළිබඳ කියැවෙන විග්‍රහයකින් මෙය මැනවින් පැහැදිලි වේ. යමෙක් ගසක් කපා හෙළන විට ඒ ගස නොකිපෙන්නා සේම ඒ ගසේ වෙසෙන රුක් දෙවියාද නොකිපිය යුතුය. එය රුක්ඛ ධර්මයයි. යම් දේවතාවකු මේ ධර්මයේ නොපිහිටිිය හොත් හිමවත්හි පැවැත්වෙන දේව සභාවට සහභාගී වීමට අවස්ථාව නොලැබෙන බව සමන්ත පාසාදිකා නාම විනයට්ඨ කථාවේ දැක්වේ. එහි සැඟවුණු අරුත නම් මිනිසා නැමැති අඳ බාලයා විසින් දෙවියන්ගේ නිදහසට පවා කරන අකටයුතු කම් ඉවසා සිටින්නට සොබා දහම කටයුතු කර ඇති බව නොවේද?

එහෙත් අප සොබා දහමේ නිදහස රකින්නට මොහොතකටවත් අපේ නිදහස කැප කරන්නට කැමැති යැයි සිතන්නටවත් ඉඩ තැබුවාද? කාර්මික විප්ලවය, තාක්ෂණික දියුණුව, සංවර්ධනය ඈ මේ සියල්ලෙන් අප කරන්නේ තවතවත් පරිසරය අපට ඕනෑ ආකාරයෙන් සිර කර තැබීමට උත්සාහ දැරීමයි. මේ සඳහා නව ක්‍රම සොයා යන මනසට විවේකයක් අවශ්‍ය වූ විට පමණක් නිදහස් පරිසරයකට ගොස් රස විඳ ඒමට අපි පුරුදු වී සිටිමු. එහෙත් එයින් අප ලබන්නේ සැබෑ සුවයක්ද? අපේ අභ්‍යන්තර පරිසරය නිදහස් නොවී, එනම් අපේ මනස වියවුල්ව තිබියදී අප කැලෑවක වැදී සිටීමෙන් ඒ කැලයේ ගහකොළ සතා සීපාවාට හෝ අපට සහනයක් අත් නොවේ. ලෝකයා දියුණුවේත්, සංවර්ධනයේත් නාමයෙන් පරිසරය විනාශ කළ පසුය එය සංරක්ෂණය කළ යුතු බවට හඬක් නැඟීම විශේෂ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන්නේ. ලාල් හේවාපතිරණ විසින් සම්පාදිත විද්වත් කියමන් පොතේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී මහත්මා ගාන්ධිගේ පරිසර දර්ශනය ලෙස මෙසේ සටහන් වන්නේ එබැවිනි. 'පරිසරය සුරැකීමට මට අවශ්‍ය නැත. මට අවශ්‍ය වනුයේ සුරැකීමේ අවශ්‍යතාවයෙන් තොර වූ පරිසරයක් සහිත ලෝකයක් නිර්මාණය කර ගැනීමටය.'

මිනිසාගේ සාමාන්‍ය ස්වභාවය වන්නේ තමා අසල සිටින්නකු හෝ තමා සතුව තිබෙන දේ අගය කිරීමට නොව තමාගෙන් ඈත් වූ හෝ අහිමි වූ දෙය පිළිබඳ පශ්චාත්තාප වීමය. පරිසරය පිළිබඳ අද බොහෝ දෙනා කතාබහ කරන්නේද, පරිසර සංරක්ෂණය තිරසර ගෝලීය සංවර්ධන අරමුණු ලෙස ලොව පුරා අවධානයට ලක් කරන්නට සිදුව ඇත්තේද අපෙන් පරිසරය ඈත් වී ඇති නිසා හෝ අපට පරිසරය අහිමි වී යන නිසා බව මේ අනුව පෙනී යයි. මිනිසා සැබෑ නිදහස, සැබෑ දියුණුව සොයා ගියේ නම් සොබා දහමට එරෙහි වනවා වෙනුවට ඒ හා අත්වැල් බැඳගත් ස්ථිරසාර ගමනක යෙදෙන්නට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එය තවමත් නැත්තේ නොවේ. බෙංගාලි යෝගාචාර්ය ස්වාමි විවේකානන්ද වරක් පැවසූ පරිදි තමන් පාලනය කර ගැනීමට අපොහොසත් මිනිසා පරිසරයෙ අප්‍රමාණ සම්පත් පාලනයට ඉදිරිපත් වන්නේ කෙසේදැයි තේරුම් ගැනීම අපහසුය. එහෙත් තමන් පාලනය කරගත්, තම සිත පාලනය කරගත් සැබෑ දියුණුවට පත් වූවෝ පරිසරය පාලනයට නොව සොබා දහමේ සැබෑ නිදහස් රසය භුක්ති විඳීමට සමත් වූ බව ථෙර ථෙරී ගාථාවල පරිසර වැනුම් දෙස සිත යොමන්නකුට පැහැදිලිවේ.

මේ සියල්ලෙන් අප අවබෝධ කර ගත යුත්තේ කුමක්ද? බුදු හිමියන් දෙසූ හෝ සියැටල් පැවසූ දේ හෝ වෙනත් පරිසරවේදියකුගේ ප්‍රකාශ පිළිබඳ ප්‍රීති ප්‍රමෝදයෙන් කතා කරමින් විදුලි බුබුලුවලින් ඒකාලෝක කරන ලද වායු සමනය කළ විසල් මැදුරු තුළ, කාබන් පා සටහන වැඩිවන ආහාර බුදිමින්, එකිනෙකාට පරිසරය රකින්නැයි යෝජනා කරන සමුළු පැවැත් වීම නවතා ලිය යුතු බවය. කුරුලු කූජනයෙන් සවන් පත් පිනවන මහ වන මැද වේවා, කටුක හිරු රැසින් දෙපා දැවෙන තාර පාර මත හෝ වේවා තවදුරටත් මිනිසාට අවශ්‍ය නිදහස පිළිබඳ නොව පරිසරය ඉල්ලන නිදහස පිළිබඳ අවධානය යොමු කර එය උල්ලංඝනය නොකර සිටීමට තරම් දැමුණු අභ්‍යන්තර පරිසරයක් අප තුළ ගොඩ නඟා ගැනීම පරිසරයට නිදහස ලබා දීමේ ක්‍රමවේදය වන්නේය.

සේයාරුව - තුසිත ලොකුගේ 

Comments