ජීවිතය ගැන නොතකා ‘ආලෝක පූජාව’ කළ මගේ තාත්තා | Page 2 | සිළුමිණ

ජීවිතය ගැන නොතකා ‘ආලෝක පූජාව’ කළ මගේ තාත්තා

ප්‍රේමසිරි අබේසිංහ මහතාට කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් දීර්ඝ සේවා ගෞරව සම්මාන ප්‍රදානය සිදු කළ අවස්ථාව

බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතා අභාවප්‍රාප්ත වී පෙබරවාරි 10 වැනිදාට තෙමසක් සපි‍ෙර්. මේ ලිපිය ඒ වෙනුවෙනි.

මෙරට ප්‍රථම වරට මල්වතු මහා සංඝ සභාවෙන් පුවත්පත් කර්තෘවරයකුට සම්මානයක් ලැබුණේ මගේ පියාණන්ට ය. ඒ බෞද්ධ පත්‍ර කලා සූරී සම්මානයයි. ඊට පසු එතුමාට කලා භූෂණ, කිවිපති, ආචාර්ය ඇතුළු නම්බු නාම සම්මාන රැසක් ලැබිණි.

ඒ 1985 වසරයි. උතුරේ නැ‍ඟෙනහිර එල්.ටී.ටී.ඊ. ප්‍රහාර දරුණු වෙමින් පැවැති සමයයි. ඒ වසරේ මැයි 18 වැනිදා අනුරපුරයෙන් වාර්තා වූයේ ඉතා කනගාටුදායක සිදුවීමකි.

ඒ අනුරාධපුරය බස් නැවතුම හා ශ්‍රී මහා‍ බෝධිය අසල සිටි වන්දනා කරුවන්ට උපාසක උපාසිකාවන්ට එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රහාර එල්ල කර 146 දෙනෙකු මරණයට පත්කර තවත් ගණනාවකට තුවාල සිදු කිරීමේ ඛේදජනක සිදුවීමයි.

මේ තත්ත්වය මත අනුරාධපුරය මිහින්තලය ආදී ප්‍රදේශවල මෙන් ම සමස්ත ලෙස අටමස්ථානයේ ම වන්දනා කිරීමට අපේ බෞද්ධ ජනතාව බිය සැක පහළ කළහ.

කෙසේ වුවත් 1985 දී ලේක්හවුස් ආයතනය ද සිය මිහින්තලා ආලෝක පූජාව ඊළඟ මාසයේ එනම් පොසොන් මස මිහින්තලේදී සුපුරුදු පරිදි පැවත්වීමට තීරණය කර තිබිණි. ඒත් අනුරපුර මිහින්තලේ ප්‍රදේශවල පැවැති කොටි භීෂණ තත්ත්වය නිසා ලේක්හවුස් ආයතනයේ සමහර ඉහළම නිලධාරීන් පසුවූ‍යේ මිහින්තලේ අලෝක පූජාව පවත්වනවාද නැද්ද යන්න දෙගිඩියාවෙනි. මේ අතර මගේ පියාණන් වූ එවකට බුදුසරණ පත්‍රයේ ප්‍රධාන කර්තෘවූත් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ප්‍රධාන හා ආරම්භක ලේකම්වූත් ප්‍රේමසිරි අබේසිංහ මහතා එකහෙළාම පැවසුවේ වසර 20 – 25 ක් එක දිගට පැවැත්වූ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව දිගටම පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. කොටි භීෂණය පවතින නිසා ම වැඩිපුර විදුලි බල්බ් දමා ආලෝක පූජාව පැවැත්වුවොත් සිල් ගන්න අයට බය නැති වෙන බවත් මගේ පියා ලේක්හවුස් පාලනාධිකාරියට පෙන්වා දී තිබිණි. අවසානයේ වූයේ 1985 ලේක්හවුස් අලෝක පූජාව මෙහෙයවන්නට පියාණන් ඇතුළු කිහිප දෙනෙකුට සිදුවීමයි. ඒ අනුව පිරිසක් සමඟ මිහින්තලාවට ගිය මගේ පියාණන් ඇතුළු පිරිස මිහින්තලේම කඳවුරක් ගසාගෙන සිය ජීවිතය පිළිබඳ නොසිතා අ‍ෑතින් කොටි බෝම්බ පුපුරද්දී ද මිහින්තලා ආලෝක පූජාව වෙනදා අයුරින් පැවැත්වූයේ ය‍. යුද හමුදාව හා විශේෂ කාර්ය බළකාය පූර්ණ ආරක්ෂාව ලබාදී තිබුණි.

පසුව දින 4 කින් පසු තාත්තා ගෙදර පැමි‍ණියේ ය. මගෙත් අම්මාගේත් ඇගට ලේ ඉනුවේ එවිට ය. එදා මිහින්තලාවට යන විට මගේ පියා මගේ මවටත් මටත් ලබාදී ගිය ලේක්හවුස් ආයතනයේ රුපියල් ලක්ෂ 5 ජීවිත රක්ෂණ සහතිකය මෑතදී මගේ මවගේ අල්මාරියේ තිබී හමුවූ විට මගේ පියා මතක් වී මට ඉබේම කඳුළු කඩා වැටිණි.

මගේ තාත්තා තම රාජකාරිය දේවකාරියක් ලෙස තම පාලනාධිකාරියට අත්‍යවශ්‍ය පරිදි සිදු කළේ එලෙස ය. මගේ තාත්තා වසර 18 ක් බුදුසරණ කර්තෘ ලෙස ද වසර 15 ක් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් හා සභාපති ධූර දරමින් ආයතනයේ ප්‍රතිරූපය ඉහළ නැංවීය. මෙලෙස තම රාජකාරිය උපරීම ලෙස කළ මගේ තාත්තා මුලින් ම පොදුජන සේවයට පැමිණ ඇත්තේ කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දොරකඩ අස්න කී දරුවා ලෙස වයස අවුරුදු 12 දී ය.

ඉන්පසු මගේ තාත්තා කහතුඩුවේ පිහිටුවූ සියලු සමාජ සේවා සංවිධානවල විවිධ නිලතල දැරීය. ඊට අමතරව උඩුගහපත්තු අලුත් අවුරුදු උලෙළේ ප්‍රධාන සංවිධායක හා කහතුඩුව ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති ලෙස ද කහතුඩුව ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ලෙස ද මගේ පියා ගමට ප්‍රදේශයට මෙහෙයක් කළේ ය.

මගේ පියා කහතුඩුව බන්දුල ප්‍රජා මණ්ඩලයේ ආරම්භක ලේකම්ය. කහතුඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයේ ආරම්භක සභාපති ය.

කහතුඩුව ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රථම ලේකම් ය.

කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ විහාරාධිපති කාර්ය සාධක සමිතියේ සභාපති ලෙස එහි විහාර මන්දිරය ප‍ූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමට නායකත්වය දුන් මගේ පියා ශ්‍රී නන්දනාරාමයේ ධර්මශාලා පියස ප්‍රතිසංස්කරණයට මගේ මව සමඟ පූර්ණ මූල්‍යාධාර ලබා දුන්නේ ය.

ඊට අමතරව ශ්‍රී නන්දනාරාමයේ චෛත්‍ය ආරක්ෂක ප්‍රාකාරය ඉදි කිරීමටත් මගේ පියා නායකත්වය ගත් අතර ඒ සඳහා එතුමා පෞද්ගලිකව විශාල මූල්‍ය ආධාරයන් ද ලබාදුන්නේ ය.

88 – 90 ජනතා විමුක්ති පෙරමුණ භීෂණ සමයේ පොදු ප්‍රවාහනය නවතිද්දී මගේ පියාත් මමත් ලේක්හවුස්හි සේවයට ආවේ අපේ පුංචි මෝටර් සයිකලයෙන් ජීවිත පරිත්‍යාගයෙනි.

මට මුලින් ම අකුරු කියවූයේ අතුරුගිරියේ ශ්‍රී ඥානවිමල හිමිපාණන් ය. නමුත් මට මාධ්‍ය කලාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ ‘අ’ යන්න ‘ආ’ යන්න කියාදුන්නේ මගේ පියාණන් වූ ප්‍රේමසිරි අබේසිංහ මහතා විසිනි.

“පුවත්පතක වැඩ කරන විට සියලු රාජකාරි කළ යුත්තේ ප්‍රධාන කර්තෘගේ හෝ නියෝජ්‍ය කර්තෘගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් අනුව පමණයි.” එදා එතුමා දුන් වටිනා උ‍පදේශයයි.

මට පමණක් නොව මගේ පියා මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු කළ අංකුර පුවත්පත් කලාවේදීන් ගණනාවකට මෙම උපදේශය දුන්නා මතකය.

මගේ තාත්තා බුදුසරණ පුවත්පතේ කර්තෘවරයා ලෙස එලොව මෙලොව දෙකටම පින් සිදු කර ගත්තේ ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි උතුම්ම දානය වූ ධර්මදානය බුදුසරණින් වසර 18 ක් රටටම බෙදාදුන් නිසා ඒ පින ඉමහත් ය. ඒ අනුව මගේ තාත්තා රැකියාවක් ලෙස නොව ජීවිත ගමනේ පින් සිදුකරන්නට ලැබුණු අත්වැලක් සේ සලකා බුදුසරණ කර්තෘ තනතුර හෙබවීය. තාත්තා බුදුසරණේ සමහර ලිපි ගෙදර ගෙනැවිත් මහ රෑ දක්වා නැවත ලිවීය.

ලේක්හවුස් ආයතනයේ මුලින් ම අන්තර්ජාලයට එක් කරන පුවත්පත ලෙස බුදුසරණ පත් කිරීමටත් ලේක්හවුස් ආයතනය මඟින් පසුගිය වසර ගණනාව තුළ ගෙනා අලුත් මුද්‍රණ යන්ත්‍ර හැම එකක් ම මඟින් මුලින් ම බුදුසරණ පුවත්පත මුද්‍රණය කිරීමටත් මගේ තාත්තා පාලනාධිකාරියේ සහාය ඇතිව කටයුතු කළේ එමඟින් ආයතනයේ හැමටම බුදුසරණ ලැබෙන බැවිනි.

මෙරට ප්‍රථම වරට මල්වතු මහා සංඝ සභාවෙන් පුවත්පත් කර්තෘවරයකුට සම්මානයක් ලැබුණේ මගේ පියාණන්ට ය. ඒ බෞද්ධ පත්‍ර කලා සූරී සම්මානයයි. ඊට පසු එතුමාට කලා භූෂණ, කිවිපති, ආචාර්ය ඇතුළු නම්බු නාම සම්මාන රැසක් ලැබිණි. බුදුසරණ පුවත්පත මඟින් වසර 18 ක් ඊට පසු සිංහල බෞද්ධයා පුවත්පත මඟින් වසර 4 ක් බුදු දහම රටටම බෙදාදුන් පිනෙන් හා කළ සමාජ සේවය පිහිටෙන් මගේ පියාණන්වූ ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ සූරීන්ට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

Comments