අප්පච්චි ගියේ දෙන්නා කුදලාගෙන එන්න | Page 2 | සිළුමිණ

අප්පච්චි ගියේ දෙන්නා කුදලාගෙන එන්න

“මල්ලී... අපි සමන්ති අක්කාට කෝල් එකක් අරගෙන බලමු...”
“වැඩක් නෑනෙ අයියෙ... එයාලා රට පැනලා නම්..!”
“රට ගිහිල්ලා කියලා කවුද කිව්වෙ..
ඕක දූෂමාන ආරංචියක් ද කියලා කවුද දන්නේ...
මට නම් මගේ හිත කියනවා සමන්ති අක්කලා රට ගිහිල්ලා නෑ කියලා..”

මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වලව්වේ එකම ගෝරණාඩුකාරයා වන දුරකතනය වෙත ජන්තු දිවයන්නේ අඩියට දෙකටය. ඒ පපුවත් ගැහෙන ගමන්ය. ලොකු හාමු බලාපොරොත්තුවෙන මොකක් හෝ මහා භයානක ආරංචියක් මේ තුළ තියෙනවා ඇත. ගැහෙන අතින් ජන්තු රිසිවරය ළඟට යද්දීම ලොකු හාමු එතැනය.

“හ්ම්... මෙහෙ දීපං...!”

ඇස් මහත් කරගත්තු ජන්තුවා දැන් පැත්තකය.

“...ඔව්... හා...ඔව්...ඔව්... කොහේද ඉන්නවා කියන්නේ...? හහ්! දෙණිපිටිය දිහාවෙ...!”

ඊළඟට එහා පැත්තේ දිගු කතාවකි. විල්ප්‍රඩ් හාමු ඒ කනින් මේ කණට රිසිවරය මාරුකරන්නේ අඩි දෙකත් මාරුවෙන් මාරුවට පොළොවේ ගසන ගමන්ය. ජන්තු ටිකක් එහාට වී සිටින්නේ මුවාවෙලා වගේය.

“මොකෝ ජන්තු මේ පස්සෙන් පස්සට යන්නේ...”

මැණිකෙ හාමුගෙ හඬින් ඔහු තිගැස්සී ඈතට යයි.

“ඒකට කමක් නෑ... ඒකට කමක් නෑ... හෙට ම... නෙමේ අදම... අදම... ගිහිල්ලා වටලන්න මල්ලි. කෙ.. කෙල්ලව අරන් එන්න. ඔය ඕකුන්ව බයගන්නන්න හොඳ ආවතේවකාරයො දෙතුන් දෙනෙකුත් දාගන්න... හ්ම්... අර භාණ්ඩෙකුත් තියෙනවා නේද මලයා ගාව. ඒකත්... ඔව්.. ඔව්... ලෑස්තිපිට.. කොයි දේත්...!”

ඊළඟට ආයෙත් ලොකු හාමු හයියෙන් හති හල හලා තවත් කෑමොර දෙයි.

මැණිකෙ හාමුගෙ අණින් ජන්තු හාමුට පුටුව ළං කරයි. නැත්නම් ඒ වෙව්ලන වෙව්ලිල්ලට හාමු බිම වැටෙතැයි මැණිකෙට හිතිලා වගේය.

“ඔව්... ඔව්... කුදලාගෙන ගෙනෙල්ලා... ගෙනෙල්ලා... වලව්වෙ හිර කරනවා... අනිත් වැඩ මං බලාගන්නං... හරි...! හරි... තිබ්බා... එහෙනං...!

නිර්මලා මැණිකෙ හාමු වෙත ළං වෙන්නේ බය බිරාන්තවය. තම ලොකු රවුම් ඇස් තවත් විශාල කරමින් බිරිය දෙස බලන විල්ප්‍රඩ් හාමු ‘මට වතුර එකක්’ කියද්දිම ජන්තු අතේ ඇති වතුර වීදුරුව ලොකු හාමුට පිළිගන්වා එකත්පස්වෙයි.

“උං ගිහිල්ලා දෙනිපිටියෙ පැත්තෙ... ඉන්වලු..”

“ඉතිං අපෙ මහත්තයා උන් දැන් නීතියෙන් කසාද බැඳලා නේද ඇත්තෙ...?” නිර්මලා මැණිකෙ යාප්පු වෙයි.

“හහ්... එක සැරේට දෙසැරයක් බැන්දත් අපට මොකෝ.. අපි අපේ එකීව ගෙනැත් දාගන්නවා... අපේ මහ අප්පොච්චිල වළදාපු තැන්වලින් නැගිටලා අපිට සාප කොරාවි... මේ වලව්වෙ නම්බුව කාබාසිනියා කොරනවට... ඒකි පැනලා ගිහිල්ලා තියෙන්නෙ තේ වත්තෙ කංකානමගෙ පුතා එක්ක.. මං නම් ඇත්තට... දනී කොරන වැඩේ.. අපේ නගාලගෙ පල් මෝඩ තකතීරුකං... තමුන්ගෙ එකම දෝණියන්ද බලාගත්තු හැටිනෙ ඔය.. ඒකිව විශ්වවිද්‍යාලෙ යැව්වෙත් නෑ.. එහේ හැසිරීම් ගැන තක්සේරු ‍කොරන්න බෑ කියලා.. හඃ මදෑ කොරගත්තු වැඩේ...!”

ඒ වරුවම ගතවෙන්නේ ඒ කතාබහ ඔස්සේය. තේ මේසය කෑම මේසය සාලය මිදුල... ආලින්දය හැම තැනකම බොහොම භයානක ගාම්භීර කතා ය.

***********

උදේ පාන්දර කාමරේ ජනේලය අරින ගමන් ශ්‍රීමාල් හැරී, මල්ලීගේ නිදන ඇඳ දෙස බලයි.

පොරෝනයෙන් හිස මෑත් කරගෙන ජයමාල් සිටින්නේ හිනාවේගනය.

“කොහොමද ඒ කාමරේට වඩා මේ කාමරේ සැපද මල්ලි?” අයියාගේ ඔලොක්කු කතාවට මල්ලිට හිනා ය. අම්මාගේ කාමරයෙන් මේ කාමරයට මාරුවෙන්නට උවමනාව තිබුණේ අවුරුදු දෙක තුනක ඉඳන්ය. ඒත් එය කරගත හැකිවූයේ නැත. කොහොම වුණත් පාඩම් කිරීමේ පහසුවට අමතර විශාල මානසික නිදහසක් අයියාගේ කාමරයේ ඇත.

“බේබි හාමු...ලා... තේ ලෑස්තියි....”

දොරට ගසන ජන්තුගේ කටහඬත් එක්ක ජයමාල් වහා නැගිට දොර අරියි.

“පාඩම් කොරලා මාන්සිත් නැතෑ... මේං මං කාමරේටම අරගෙන ආවා බේබි මහත්තුරු දෙන්නාගේම තේයි වතුරයි...”

“අයියෝ... මං ජන්තුට කියලා තියෙනවා නේද කාමරේට තේ ජෝගු උස්සාන එන්න එපා කියලා... ඕක කෑම කාමරෙන් තියන්න... අපි එන්නම්..”

“කමක් නැද්ද බේබි හාමු... කමක් නැද්ද පොඩි බේබිහාමු...”

“හරි හරි... ජන්තු... අයියා කියන විදියට කරන්නකො...” ජන්තු හැරී යද්දි ශ්‍රිමාල් තව ප්‍රශ්නයක් මල්ලිගෙන් අසයි.

“මල්ලි අප්පච්චි සමන්ති අක්කාව ගේන්න චරපුරුෂයො යවලා නේද? මොකද දන්නෙ නෑ ඒකට වුණේ...,”

“අපි ඕක ගැන හෙමිහිට අහමු... කුමාරගෙන් මිසක් වෙන කාගෙන්වත් හරි ආරංචියක් ලැබෙන එකක් නෑ.!”

සුළු වේලාවකට පසු තේ පානයෙන් පස්සේ විපරම් කරද්දී වැටහුණේ ලොකු හාමු උදේ පාන්දරින් ම කොහේ හෝ ගිහින් බව මුළුතැන්ගේ පැත්තෙන් කසුකුසුවක් ඇසෙනවිටය.

“උදේම කෝල් එකක් ආවා... එක සීරුවට ලොකු හාමු බැණගෙන බැණගෙන ගියා... කතා කළා... කරුණාපාලට... හා... අද බේබි හාමුලාට ඉස්කෝලෙ නෑනේ යමං ගමනක්” කියලා මෙන්න විනාඩි පහළොවෙන් වා‍හනේට නැගලත් ඉවරයි.”

සිරියා හුස්මක් කටක් නොගෙන කියන්නේ ජන්තුවාටය.

“පුදුමෙ කියන්නෙ මං දොට්ට පහළියට ගිය වෙලාවෙ මෙච්චර දෙයක් සිද්ධ වෙ ච්ච එක නෙවැ... කෝ එතකොට මැණිකෙ හාමු...”

“මැණිකෙ හාමු අඬ අඬා ඉන්නවා කාමරේ...”

ජයමාල් අයියාට කලින් ම අම්මාගේ කාමරයට දිව්වේ හිතේ කරදරයෙනි. ඊළඟට ශ්‍රීමාල්ය. ඊටත් පස්සේ සිරියාය. කුමාරත් ඒ එක්කම හොරගල් අහුලයි. ජන්තුට හොඳටම දුකය. මැණිකෙ හාමු අඬනවා කියන්නේ මහා විලම්බෑසියක් වෙලාය.

“අම්මේ... අම්මේ....”

“ඇයි අම්මෙ මේ... අඬන්නේ...”

“අප්පච්චි කඩා බිඳ‍‍ගෙන ගියා රත්නපුරේ... සමන්ති අක්කගෙ වැඩේ නිසා අප්පච්චි පිස්සුවෙන් වගේ ගියේ.. මොකින් මොකක් වෙද දන්නෑ පුතේ...”

“මොකකින් මොකක් කියන්නෙ... සමන්ති අක්කා කවුරුහරි එක්ක ගිහිල්ලා නේද? ඉතිං ඒකට අප්පච්චි මොකක්ද කරන්න හදන්නෙ...”

කිසිත් නොදන්නා ගානට ශ්‍රීමාල් අසන්නේ හැමෝම දිහා බලා සංඥාවක් ද දෙමින්ය.

“සමන්ති අක්කාව ඉන්නා තැනකින් කුදලාගෙන එන්නයි කියලා අප්පච්චි විධාන කළා. දෙණිපිටියෙ පැත්තෙ ජෝඩුව ඉන්නවා කියලා ආරංචියක් ආවා. උදේ ආරංචියක් ආවා. ඒ දෙන්නාම රට පැනලා කියලා!”

එසේ කියා අම්මා එක දිගටම හඬද්දි පුතුන් දෙදෙනාට ම කියැවුණේ “අපොයි දෙයියනේ” කියලා නොව නියමයි වැඩේ කියා හිතින් හිතලා පිට කළ ‘ආ.. ඇත්තද...’ යන වචන දෙකය. ජන්තුවා බිරිය සිරියා එක්ක මුළුතැන්ගේ දිහාට ගෑටුවේ මුළු හදවතින්ම “හපොයි දෙයියනේ වෙච්චි විලම්බෑසියක්” කියමිනි.

“මටත් දැන් බයයි ලොකු හාමු ‍මහා විනාශයක් කොරාවිද කියලා. කුමාරට ඇහිලා තිබුණ කරුණාදාස එක්ක ලොකුහාමු කියනවා සමන්ති බේබි හාමු පැනලා ගියේ සුදු හාමුලගෙ වත්තක සුපිරින්ටන්ඩ් කෙනෙකුගෙ පුතා එක්කය... ඕකාව බාවලා තමා පස්ස බලන්නේ කියලා.. අයියෝ මේවට අහුවෙලා අපේ ‍ලොකුහාමු හිරේ යාවිද කියලා මැණිකෙ හාමුට බය ඇති...”

ජන්තුගේ ඒ කතාව මුළුතැන්ගෙයි පිලේ සිටිය ශ්‍රීමාල්ට ඇසුණි. ඔහුගේ හිස ගිනිගත්තේ එනිසාය.

“අම්මේ අපි රත්නපුරේ වලව්වට කෝල් එකක් දීලා බලමුද අප්පච්චි එහේ ගිහිල්ලා මොකද කරන්නෙ කියලා!”

මැණිකෙ හාමු කඳුළු පිහදාගෙන නැඟී සිටියේ ඒ කතාවටය. ඒ වනවිටත් ශ්‍රීමාල් රත්නපුර වලව්වට දුරකතන අමතුම දෙන්නට අංකනය කරලාත් ඉවරය.

“හෙලෝ... සුදු නැන්දා... මේ ශ්‍රීමාල් පුතා කතා කරන්නෙ.. කෝ අපේ අප්පච්චි ඔය පැත්තට ආවාද...”

“හ.. හා.. පු.. පුතේ... ශ්‍රීමාල් පුතේ... අප්පච්චි මෙහේ එනවයි කිව්වද උදේ කතා කරලා අපට හොඳටම බැන්නානෙ පුතේ... සුදු මාමාගේත් ඔළුව තවත් අවුල් වුණා ඒ කතාවට... අනේ පුතේ... අම්මා ඉන්නවද ළඟක? අම්මට දෙන්නකො... ඕක...” දැන් මැණිකෙ හාමු ටෙලිපෝන් රිසිවරය අතට ගන්නේ ඉකි ගසගසා හඬමින්ය. “අනේ බුදු නංගියේ...!” කියාගෙන කතාව පටන් ගත්තත් වැඩිපුර තිබුණේ වචනවලට වඩා කඳුළු සැලීමකි... ශ්‍රීමාල්ගේ පිරිමි කොලු සිත කැලඹෙන්නේ අම්මා මේ හැටි හඬනවා දුටුවාමය.

“අපේ අම්මාට තිබුණෙ ටිකක් තදින් අප්පච්චිට කතා කරන්න. ඔය වගේ දේවල්වලට මිනීමරාගෙන දඟලන්න පිස්සුද ඇත්තට අප්පච්චිලාට මේ... මොළේ නැද්ද...”

හිතේ තරහා වැඩිකමට ශ්‍රීමාල් බේබි හාමු සාලයේ එහා මෙහා ඇවිද ඇවිද කෑගහන හැටි දැකලා ජන්තුට පුදුමය.

“පුදුම වෙන්න දෙයක් නෑ.. දැන් බේබි හාමුලා පුංචි උන් නෙමේ නෙ... ඕක තමා... ඉලන්දාරිකම... එයාලා දෙන්නාට දැන් ලෝකෙ රටේ දේවල් හොඳට පුරුදුයි...”

ඔහු සිරියාට කීවේ එහෙයින්ය.

අම්මා කතාකර රිසිවරය තැබූ පසුව ශ්‍රීමාල් අම්මාට කීවේ කලබල වෙලා හිත කරදර කරගෙන අසනීප නොවී සිටිනා ලෙසය.

මැණිකෙ හාමු බුදු කුටිය පැත්තට ඇදුණේ පඬුරක් ගැට ගසන්නට බව සිරියාට තේරුණි.

“මල්ලි... අපි යමුද ටිකක් වත්තෙ පහළට... ඇවිදලා එන්න...” ශ්‍රීමාල් ඊළඟට ඇමතුවේ මල්ලිටය.

“හා... හා... බේබි හාමුලා කොහේ යන්නද... හිටින්න මාත් එන්න...!” ජන්තු කෑ ගසයි.

“ජන්තු තියෙන වැඩක් බලාගන්න... අපි ඉක්මනට එන්නම්. අනික පස්සෙන් වැටිලා එන්න තරම් අපි ‘බේබිලා’ නෙමේ දැන්... අපි ලොකු කොල්ලො.. දැන් හරිද...”

ශ්‍රීමාල් බේබි හාමුගේ ඒ කතාවට ජන්තුගේ හිත හොඳටම රිදිලාය.

“එයැයිලගෙ ඉලන්දාරිකං තිබුණට... මමයි මොනවා හරි වුණොත් ලොකු හාමුගෙන් මැරුං කන්නෙ...”

එහෙම කොඳුරමින් ඔහු වත්ත පහළට ඉව අල්ලන්නට ගත්තේ හිතේ චකිතෙටමය.

මහා හුළඟක් හමාගෙන ඇවිත් වලව් වත්තේ ගස් කොළන්වල මුදුන් ටික එක සිරූවට නවාගෙන හමා ගියේය. කන්ද බැහැගෙන යද්දී ශ්‍රීමාල්ට මතක් වුෙණ් පුංචි කාලේ මේ කන්ද දිගේ පහළට දුවපු විදියය. පස්සට පයින් ගසගසා එහෙම දුවද්දී අම්මාත් අප්පච්චිත් මිදුලේ ඉඳන් කෑගැසුවේ බයටමය.

අප්පච්චි බස්තම උස්සමින් කෑ ගසද්දී මල්ලිත් එක්ක පහළට දිවූ දිවිල්ල නතර කළේ පල්ලෙහා කොට්ටන් ගහ යට ඇති ගල්තලාව උඩට නැගලා හයියෙන් හූවක් කියමින්ය. දෙන්නා එකතු වෙලා කටවල්වලට අත් ළං කරගෙන තැබූ හූව දෝංකාර දීපු හැටි දෙන්නාටම මතකය. ඊළඟට හූ කිය කියා හිනාවෙන්නට තව කාරණයක් එයි. ඒ ජන්තුවා සට සට ගගා කෑ ගගහා කන්ද පල්ලෙහාට රූටන හැටි දැකලාය. උත්පත්තියෙන් ම එක කකුලක් කොට ජන්තුවා පැද්දි පැද්දී කන්ද පහළට එන්නේ නිකම් නොවේ මහා ‘යාං හෑල්ලක්... කියාගෙනය..

“හානේ... අපෝ... මේ බේබිලා දෙන්නට මූණ කට සාප්පුවෙන් ගේන්න වෙයි ඔහොම දුවලා රූටලා ලිස්සලා වැටුණොත්... කාරිය.. හහ්... මේ ලොකු බේබි හාමු තමා පොඩි බේබි හාමුත් නරක් කොරන්නෙ.. හානේ අම්මපා.. මයෙ කකුල හිටං රිදෙනවා අප්පා..!”

ශ්‍රීමාල් මල්ලිට මේ සිද්ධිය මතක් කරද්දි දෙන්නාටම හිනාය. හයියෙන් හූවක් කියන්නට තරම් හිනාය. ගස්කොළන් උඩ බටිති මලිති සද්දෙට ලේනුන්ගේ ටිං ටිං හඬ මුහු වෙලාය. ගිරව් රෑනක් අඹ ගස් මුදුන්වලට පියඹලා එනවාය. පරිසරයේ චමත්කාරයෙන් මත්වෙන්නට එත් මේ වෙලාව නෙමේ. ශ්‍රීමාල් වටපිට බලා කලිසම් සාක්කුවෙන් ජංගම දුරකතනය එළියට ගන්නේ යමක් මතක්වෙලාය.

“මල්ලී... අපි සමන්ති අක්කාට කෝල් එකක් අරගෙන බලමු...”

“වැඩක් නෑනෙ අයියෙ... එයාලා රට පැනලා නම්..!”

“රට ගිහිල්ලා කියලා කවුද කිව්වෙ.. ඕක දූසමාන ආරංචියක් ද කියලා කවුද දන්නේ... මට නම් මගේ හිත කියනවා සමන්ති අක්කලා රට ගිහිල්ලා නෑ කියලා..”

දැන් ජයමාල් කට ඇරගෙන අයියා දිහා බලාගෙනය. මේ තරම් දියුණු මොළයක් අයියාට තිබීම ගැන පුදුම වෙලා වගේ ඔහු බලා සිටියි.

දුරකතනය අංකනය කරන ගමන් ඔහු මල්ලිගෙන් ‘ඇයි’ කියා අසන්නේ ගොළු භාෂාවෙනි.

“අයියෙ මං මේ කල්පනා කළේ ඔයාගෙ මොළේ තමා මොළේ... ආ... ඔන්න ඔන්න ජන්තු එනවා මේ පැත්තට...”

“කමක් නෑ අපි නරක වැඩක් නෙමේනෙ කරන්නෙ...” ජංගමයා කනට කරගෙන කියන ශ්‍රීමාල්ගේ තොල් කණපිට පෙරළෙයි.

“මං හිතුවා හරි ඕෆ් කරලා..!”

දුරකතනය ආයෙත් සාක්කුවට දාගන්නා ගමන් ශ්‍රීමාල් එසේ කියද්දී ජන්තු ද එතැනට සමීප වෙලා.

“මොකද ජන්තු... මේ තකහනියෙ.. අපිව මුර කරන්නද ආවෙ... හති දානවා මැෂිමක් වගේ..”

ජයමාල් ඔලොක්කුවට කියයි. ඒත් ජන්තුට හිනා නැත.

“ගොඩාක් දවසකට පස්සෙනෙ ජන්තු අපි වත්ත පල්ලෙහාට ආවෙ.. බලන්න මේ පරිසරය මොන තරම් ලස්සනද... අර බලන්න අර දිය පාර... අපරාදෙ නෙ අපි මේවා මගෑරලා ගේ අස්සට වැදිලා ඉන්නේ...”

“ඒක ඇත්ත බේබි හාමු.. මේ බලන්න පොල් වැටිලා... අපේ සිරියාටත් දැන් වෙලාවක් නෑ මේවා අහුලන්නවත්... අපේ කුමාර කොලුවාවත් එවන්න ‍ඕනෑ මේ වැඩවලට...”

“හා... හා.. එහෙනම් ජන්තු ඔය පොල් ගෙඩි ගැන බලන්නකො අපි තව පොඩ්ඩක් විතර ඇවිදින්නම්කො... ටිකක් එහාට....”

“අර ගුරු පාර මොකක්ද... ජන්තු...”

ඈත හීනි දිග පාරක් පෙන්නලා ශ්‍රීමාල් අසන්නේ කුහුලෙනි.

“ඕක මේ වලව් වත්තෙම ඇතුළෙ පාරක් බේබි හාමු. පහුගිය කාලෙ මේ ග‍ෙම් කට්ටිය ඔතැනින් පාරක් හදාගෙන තිබුණා ලේසියට එහා පැත්තෙ ගම්සභාවට යන්න.. පස්සෙ අපේ ලොකු හාමු තමා ඒ පාර වහලා දැම්මෙ...”

“ඇත්තට... ඉතිං ගමේ මිනිස්සු ඒකට මොකද කිව්වෙ?”

“අනේ.. ගමේ උන් කියන ඒවා කවුද ගණන් ගන්නේ බේබි හාමු. උන්ට හරි කේන්තියි... මොකෝ හැතැප්මක් විතර රවුමෙන් යන්න ඕනෑ ඒ පැත්තට මේ පාර නැතිවුණාම... මේක ඉතිං වලව් ඇත්තන්ගෙ වත්ත මැදින් තියෙන පාරක්නේ...”

“එත‍කොට සීයා ඉඳිද්දි ඒ පාර තිබුණද ජන්තු...?”

දැන් ජන්තුගේ ඇස් ලොකු වෙයි. හොලවමින් සිටිය පොල් ගෙඩියක් ද විසිවෙලා යයි.

“ඔ.. ඔව්... ලොකු අප්පො හාමුලගෙ... හිත හොඳ වැඩිකමට දීපු බුරුලනෙ ඕවා... ඕවා පස්සට තමා කරදර කියලා තමා අපේ හාමු මේ පාර වහලා දැම්මෙ...”

“අප්පච්චි හරි වැරදි වැඩක් කරලා තියෙන්නෙ..”

ශ්‍රීමාල් එලෙස කියක්දිම ඔහුට සාක්කුව ඇතුලෙන් ජංගම දුරකතනය සලිත වෙනවා දැනෙයි.. එය අතට ගන්නා ශ්‍රීමාල්ට ඉබේටම කෑගැසෙයි.

“සමන්ති අක්කා කෝල් කරනවා..,!”

ලබන සතියට

Comments