සාහිත්‍ය විචාර මතවාද හා මහාචාර්ය ඒ.වී. සුරවීරගේ දායකත්වය | Page 3 | සිළුමිණ

සාහිත්‍ය විචාර මතවාද හා මහාචාර්ය ඒ.වී. සුරවීරගේ දායකත්වය

 සාහිත්‍යකලා විෂයයෙහි මහාචාර්ය ඒ.වී. සුරවීර සූරීන්ගේ දායකත්වය කාලප්‍රමාණ වසයෙන් ගත් කල වසර දශක සයක් පුරා පැතිරුණකි. මේ දායකත්වය ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විග්‍රහ කළ හැකි ය. පළමුව නිර්මාණාත්මක ලේඛකයකු වසයෙනි. ඒ දායකත්වය නවකතා පහකටත් කෙටිකතා සංග්‍රහ සතරකට හා ළමා සාහිත්‍ය කෘති තුනකටත් සීමා වුව ද, එමඟින් සිදු වූ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි නව දිශානතියක් හා මතවාදාත්මක නම්නතාවක් සලකුණු කිරීම ඉතිහාසගත වන්නකි. දෙවනුව සාහිත්‍යකලා විචාරකයකු වසයෙන් ඔහු දැක්වූ දායකත්වය යි. 1957දී ප්‍රකාශිත ‘විචාර ප්‍රවේශය’ කෘතියෙන් එහි පළමු පියවර තබනුයේ සාහිත්‍ය විචාරයේ මූලිකාංග සරලව හඳුන්වමින් ඒවා ප්‍රායෝගික විචාර කාර්යය සඳහා යොදාගැනීම සම්බන්ධ නිදර්ශන දක්වමිනි. වර්ෂ 1966දී පළ කෙරුණු ‘සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය’ චිරන්තන සිංහල සාහිත්‍යය සම්බන්ධ ඓතිහාසික විග්‍රහයකි. සංස්කෘත කාව්‍ය විචාර සම්ප්‍රදායයෙන් මෙන් ම අද්‍යතන අපරදිග විචාර ක්‍රමවලින් ද පරිබාහිර විචාර සම්ප්‍රදායයක අවශ්‍යතාව එහි ලා අවධාරණය කොට තිබේ.

1973දී ‘නවකතා නිර්මාණය හා අවබෝධය’ පළ කරමින් නවකතාව ප්‍රමුඛ නව ප්‍රබන්ධ අධ්‍යයනයට අදාළ න්‍යායාත්මක පදනම මෙන් ම තත් සාහිත්‍යාංගයන්හි ශිල්පීය පක්ෂය හා අදාළ මූලධර්ම සවිස්තරව සාකච්ඡා කරනුයේ ‘සාහිත්‍ය නිර්මාණය යනු හුදු ලේඛකයකුගේ සහජ කුසලතාව මත පමණක් බිහි වන්නක් නො ව, විධිමත් ශික්ෂණයකින් ප්‍රගුණ කළ මනා ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක අභ්‍යාසයක ප්‍රතිඵලයක් ය’ යන්න අවධාරණය කරමිනි. එය වර්ෂ 1967දී විද්‍යෝදය (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයනාංශය මඟින් ආරම්භ කෙරුණු සාහිත්‍ය නිර්මාණ පාඨමාලාව හා තදනුබද්ධ කාර්ය සාධනයේ සන්ධිස්ථානයක් සේ හැඳින්විය හැකි ය. මේ පාඨමාලාව දිවයිනේ පමණක් නො ව, සමස්ත දකුණු ආසියා කලාපයෙහි ම විශ්වවිද්‍යාලයයකින් ආරම්භ කරන ලද ප්‍රථම සාහිත්‍ය නිර්මාණ පාඨමාලාව වශයෙන් ද ඉතිහාසගත වෙයි. අද වන විට කලාපයේ රටවල් කිහිපයක ම විශ්වවිද්‍යාලයයන්හි මෙබඳු පාඨමාලා පවත්වනු දැකිය හැකි ය.

සාහිත්‍ය විචාර සංකල්ප හා සම්බන්ධ මූලග්‍රන්ථ ස්වභාෂක පාඨකයා වෙත ඉදිරිපත් කිරීම හා සාහිත්‍ය විචාරයට අවශ්‍ය පාරිභාෂික වචන මාලාවක් සම්පාදනය සාහිත්‍යකලා විචාරය සම්බන්ධයෙන් සුරවීර සූරීන්ගේ ඉහළ ම දායකත්වය ලෙස හැඳින්වීම යුක්ති යුක්ත ය. මේ කාර්යාවලිය ආරම්භ වන්නේ ‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ (1984) කෘතියෙනි. එසේ වුව ද කාලානුපිළිවෙළ නොසලකමින් මෙහි ලා මේ කාර්යාවලිය විග්‍රහ කිරීම යෝග්‍ය වනුයේ සාහිත්‍ය විචාරයට අවශ්‍ය පාරිභාෂික ශබ්දමාලාවක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් නූතන සිංහල සාහිත්‍ය විචාරය ඇරඹී සියවසකට ආසන්න කාලයක් ගත වන තෙක් ප්‍රමුඛ සාහිත්‍යධරයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ බවක් නොපෙනෙන හෙයිනි.

මහාචාර්ය සුරවීර ‘සාහිත්‍ය විචාර ප්‍රදීපිකා’ (1992) සම්පාදනය කරන තෙක් අපේ සාහිත්‍යධරයන්ගේ කාර්යය වූයේ සාහිත්‍යකලා විචාරයට අදාළ ඉංගිරිසි පාඨ හා යෙදුම් සඳහා තම තමන් අභිමත සිංහල (හෝ සංස්කෘත/ පාලි) යෙදුම් භාවිත කිරීමයි. නිදසුනක් වශයෙන් දක්වතොත් ඉංගිරිසියෙන් story හා plot යනුවෙන් හැඳින්වෙන සංකල්ප සඳහා කථාව/ කතාව, කථාවස්තුව, කතාන්තරය, වස්තුබීජය, කතා රටාව, කතා මෝස්තරය ආදි යෙදුම් සිංහල සාහිත්‍යධරයන් විසින් නිශ්චිත අර්ථ නොසලකමින් භාවිත කෙරිණි.

මහාචාර්ය සුරවීර ‘සාහිත්‍ය විචාර ප්‍රදීපිකා’ පළ කිරීමෙන් සිංහල සාහිත්‍ය විචාරය සඳහා විශ්ව සාහිත්‍ය විචාරයේ මූලවචනවලට යෝග්‍ය පාරිභාෂික පද මාලාවක් සම්පාදනය කරමින් පළමු වරට නිශ්චිතාර්ථවත් සාහිත්‍ය විචාර වාක්කෝෂයක් සිංහල සාහිත්‍යයට එක් කිරීමට සමත් වෙයි.

මහාචාර්ය සුරවීරගේ සාහිත්‍ය නිර්මාණ මෙන් ම සාහිත්‍ය විචාර ග්‍රන්ථ ද ඒවා ප්‍රකාශිත කාලවකවනුව හා ගළපමින් විමර්ශනයේදී පැහැදිලි වන වැදගත් කරුණක් වන්නේ ඒ හැමෙකක් ම ඒ වන විට ඒ එක් එක් ක්ෂේත්‍රයෙහි වූ ඌනතා සපුරා ලමින් සම්පාදනය වී ඇති ආකාරය යි.

නවකතා හා කෙටිකතා නිර්මාණය හා විචාරය ව්‍යාකුලව අයාලේ යමින් පවතිද්දී නිර්මාණකරණය විධිමත්ව හදාරා සිය ප්‍රතිභාව මෙන් ම ව්‍යුත්පත්තිය ද ප්‍රකට කරමින් නිර්මාණකරුවන්ට නිසි මංහසර පාදා දුන් මහාචාර්ය සුරවීර ‘නවකතා නිර්මාණය හා අවබෝධය’ මඟින් නව ප්‍රබන්ධ විචාරය හා නිර්මාණය සඳහා න්‍යායාත්මක මඟ පෙන්වීම සිදු කළ ආකාරය ඉහතින් දක්වන ලදි. සාහිත්‍ය මතවාද අන්ධානුකරණය කරමින් අවිචාරය කර පින්නාගෙන සිටි විචාරකයන්ට සාහිත්‍ය න්‍යායයන් විධිමත්ව හැදෑරීමේ හා ඒවා පදනම් කරගනිමින් සාහිත්‍ය අධ්‍යයනයෙහි නිරත විය යුතු ආකාරය පැහැදිලි කෙරෙමින් සමාජීය සාහිත්‍ය අධ්‍යයනය එළි දැක්වීම විසි වන සියවසෙහි සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයෙහි වැදගත් සන්ධිස්ථානයකි.

මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ මෙන් ම සංස්කෘතිය පිළිබඳ සමාජවිද්‍යාවේ ප්‍රශාඛාවක් සේ සැලකෙන සමාජීය සාහිත්‍ය අධ්‍යයනය හෙවත් සාහිත්‍ය සමාජවිද්‍යාව නමැති නව ක්ෂේත්‍රයේ දොරටු සිංහල පාඨකයාට විවර වනුයේ මේ කෘතියෙනි. සාහිත්‍යය හා එහි සමාජීය අගය සම්බන්ධයෙන් අපරදිග සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයෙහි සිදු වූ බුද්ධිමය සංවාදය හරවත්ව ග්‍රහණය කරගනිමින් හා ඒවා පෙරදිග මතවාද හා තුලනය කරමින් ද සිංහල සාහිත්‍යයේ ප්‍රගමනයට අදාළ කරුණු රාශියක් නිදසුන් සහිතව විශ්ලේෂණය කරමින් මේ කෘතිය සම්පාදිත ය.

සාහිත්‍යය හා එහි සමාජීය වැදගත්කම සම්බන්ධයෙන් අපරදිග සාහිත්‍යධරයන් අතර පැවති සංවාදය මෙතෙක් නිශ්චිත පදනමකින් තබා නාමමාත්‍ර වශයෙනුදු දේශීය සන්දර්භයෙහි සාකච්ඡාවට ලක් නො වූ පසුබිමක ප්‍රධාන සාහිත්‍ය විචාර මාර්ගයෙහි වූ ඌනතා හේතුවෙන් විසි වන සියවසේ පූර්වභාගයෙහි පටන් න්‍යායාත්මකව වර්ධනය වෙමින් ආ මාක්ස්වාදී සාහිත්‍ය විචාර සම්ප්‍රදාය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් තදනුබද්ධ වැදගත් තේමා රාශියක් සංයුක්තව ග්‍රහණය කර ගනිමින් සුබෝධවත් ආකාරයෙන් හා දේශීය/ චිරන්තන සාහිත්‍යාශ්‍රිත නිදසුන් දක්වමින් විවරණය කර තිබීම මෙහි ලා විශේෂයෙන් දැක්විය යුතු වෙයි.

සිංහල සාහිත්‍ය ලෝකයා මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ මූලිකාංග පළමු වරට විධිමත්ව ග්‍රහණය කරගනුයේ ද සමාජීය සාහිත්‍ය අධ්‍යයනය මඟින් බව පැවසිය යුතු වෙයි. මේ වන විට මාක්ස්වාදී සාහිත්‍ය විචාරය සම්බන්ධ නාමමාත්‍රික සංවාදයක් ඇරඹී තිබුණ ද තදීය න්‍යායික පදනම හා තදනුබද්ධ බුද්ධිමය සම්ප්‍රදායයන්ගේ වර්ධනය සමඟ සම්බන්ධ කරමින් විවරණය කිරීමක් හෝ තදාශ්‍රිත මූලික සංකල්ප හඳුන්වා දීමක් හෝ සිදු වී නො තිබිණි.

මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ න්‍යායික පදනම ද එහි පශ්චාත්කාලීන වර්ධනයන්හි ප්‍රධාන ධාරා නියෝජනය කරන ප්ලෙහනොව්, ලෙනින්, ගෝර්කි, ලුනචරස්කි, ට්රොට්ස්කි, වෝල්ටර් බෙන්ජමින්, ජෝර්ජ් ලූකාශ්, ශන් පෝල් සාත්‍රෙ, රේමන්ඩ් විලියම්ස්, ලූශන් ගෝල්ඩ්මාන්, ඩේවිඩ් ක්රේග්, රොබට් එස්කාර්පිට් හා ටෙරී ඊගල්ටන් ආදීන්ගේ මත වාද හා විවරණ සිංහල පාඨකයා පළමු වරට හැඳිනගන්නේ මේ කෘතියෙනි. මේ ඇතැම් විද්වතකුගේ මතවාද සිංහලයෙන් සාකච්ඡා කෙරෙන එක ම අවස්ථාව වනුයේ ද මහාචාර්ය සුරවීරගේ මේ කෘතිය වීම ද විශේෂත්වයකි. මෙහි ලා කතුවරයා යම් මතවාදයක් කෙරෙහි පක්ෂග්‍රාහී නො වී ඒවා ආශ්‍රයයෙන් පැන නඟින ගැටලු සාකච්ඡා කිරීමට එළඹී තිබීම මේ කෘතියෙහි ශාස්ත්‍රීය අගය තීව්‍ර කිරීමෙහි හේතු වන බව ද සඳහන් කළ මනා ය. නිදසුනක් වසයෙන් සාහිත්‍ය නිර්මාණයේදී මෙන් ම විචාරයේදී ද සාකච්ඡාවට බඳුන් වන නම්නතාව හා කැප වීම (alignment/ tendency and commitment) යන සංකල්පය සමාජීය සාහිත්‍ය අධ්‍යයනයේදී සාකච්ඡාවට හා විමර්ශනයට ලක් වී තිබීම දැක්විය හැකි ය. මාක්ස්වාදී සාහිත්‍යධරයන් අත සාකච්ඡා වූ මේ සංකල්පයට එරෙහි මතවාද රාශියක් ද දැක ගත හැකි ය. නම්නතාව හා කැපවීම ඕලාරික ප්‍රචාරක සංකල්පයක් නො වන බව පහදා දෙන මහාචාර්ය සුරවීර සමාජවාදී සමාජ තත්ත්වයක් නොපැවති සමාජ සම්බන්ධයෙන් පවා එය අදාළ වන ආකාරය ප්‍රංස හා අප්‍රිකානු සාහිත්‍යයන් ආශ්‍රයෙන් පහදා ඇති ආකාරය විශේෂ අවධානයට ලක් කළ යුතු වෙයි. සාහිත්‍යකලා හා ආර්ථික සමෘද්ධිය අතර පවත්නා සම්බන්ධතාව විවරණය කිරීමේදී මාක්ස්වාදී මතයෙහි යම් පරස්පර විරෝධයක් ඇති බව ඇතැම් විචාරකයන්ගේ අදහස වෙයි. මේ සම්බන්ධ සාකච්ඡාවේදී මහාචාර්ය සුරවීර චිරන්තන හා අද්‍යතන සිංහල සාහිත්‍යය පදනම් කොටගනිමින් එම සංකල්ප වටහා දීමට තැත් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

සිංහල පාඨකයා අපරදිග සාහිත්‍ය විචාරයෙහි සන්ධිස්ථාන නියෝජනය කරන කෘති සියල්ල පාහේ හඳුනාගන්නේ මහාචාර්ය සුරවීරගේ සිංහල පරිවර්තන පදනම් කොට ගනිමින් යැයි පැවසීම අතිශයෝක්තියක් නො වේ. නාට්‍ය කලා න්‍යාය සම්බන්ධ අවිනෂ්ට පුරාණතම කෘතිය ද අපරදිග සාහිත්‍ය විචාර න්‍යාය කෘති මාලාවේ සමාරම්භය ද සේ සැලකෙන ඇරිස්ටෝට්ල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ මහාචාර්ය සුරවීර විසින් සිංහලයට පරිවර්තනය කොට පළ කෙරෙනුයේ 1985දී ය. මෙය තත් විෂයය සම්බන්ධ ප්‍රාමාණික පරිවර්තනයක් පමණක් නො ව, පරිවර්තනවේදය සම්බන්ධ විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනයකට නිදර්ශනයක් ද වෙයි. ඒ වන විට ඇරිස්ටෝටල්ගේ කෘතිය විද්වතුන් කිහිප පළක් අතින් අවස්ථා කිහිපයකදී ඉංගිරිසියට පරිවර්තනය වී පැවති අතර මහාචාර්ය සුරවීර සිය පරිවර්තනය සම්පාදනය කරනුයේ ඉන් කෘති පහක් සංසන්දනය කිරීමෙනි. ඇරිස්ටෝට්ල්ගේ කාව්‍ය ශාස්ත්‍රය ඇරිස්ටෝට්ල් විසූ අවධියට හෝ අපරදිග කලා විචාරයට හෝ ග්‍රීක සාහිත්‍යයට හෝ පමණක් අදාළ වන්නක් නො ව, අද්‍යතන සාහිත්‍යකලා විචාරයට ද මහෝපකාරී වන න්‍යායාත්මක සංග්‍රහයක් සේ පිළිගැනෙන බැවින් මේ පරිවර්තනය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ද සන්ධිස්ථානයක් සලකුණු කරන බව සඳහන් කළ යුතු වෙයි. ඇරිස්ටෝට්ල්ගේ කෘතියේ පරිවර්තනයට පූර්විකා වසයෙන් මහාචාර්ය සුරවීර ඉදිරිපත් කරන දීර්ඝ හා සවිස්තර හැඳින්වීම දීර්ඝත්වය අතින් මුල් කෘතිය තරම් වන අතර, ශාස්ත්‍රීය වටිනාකම අතින් අපරදිග කලා න්‍යායය සම්බන්ධ ස්වාධීන කෘතියක් සේ අගය කළ යුත්තකි. ඇරිස්ටෝට්ල්ගේ කෘතිය අපරදිග සාහිත්‍යකලාවන්හි ගමන් මඟ කෙරෙහි බල පෑ ආකාරයෙන් ම පෙරදිග සාහිත්‍යකලා විචාරය සම්බන්ධයෙන් බල පෑ ප්‍රමුඛතම හා ආදිතම කෘතිය වන භරතමුනිගේ ‘නාට්‍ය ශාස්ත්‍රය’ මේ සමඟ සංසන්දනය කිරීම මේ පරිවර්තනයෙහි සංඥාපනයේ අගය තවත් වැඩි කිරීමෙහි හේතු වී ඇති බව කිව මනා ය.

ඇරිස්ටෝට්ල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ අපරදිග සාහිත්‍යය කෙරෙහි උපස්තම්භක වූ සේ ගැනෙන පරිදි ම භරතගේ නාට්‍ය ශාස්ත්‍රය පෙරදිගු සාහිත්‍යකලා විචාර චින්තනයේ සමාරම්භය සේ සැලකෙයි. මහාචාර්ය සුරවීර සිය කෘතියේදී භරතගේ හා ඇරිස්ටෝට්ල්ගේ මතවාද සම්බන්ධයෙන් සංක්ෂිප්ත එහෙත් තුලනාත්මක විග්‍රහයක නිරත වීම ද මෙහි ලා විශේෂ අවධානයට ලක් කළ මනා ය. අපරදිග සාහිත්‍යකලා විචාරයේ මුල් කෘතිය ස්වභාෂකයන්ට පිරිනමමින් මහාචාර්ය සුරවීර මෙසේ අවධාරණය කරනුයේ අද්‍යතන සාහිත්‍යකලා විචාරය සඳහා පෙරපර දෙදිග විචාර මතවාද සම්බන්ධ තුලනාත්මක අවබෝධයක් අවශ්‍ය බව යි. ග්‍රීක හා භාරතීය සම්ප්‍රදායයන්හි පුරෝගාමීන් දෙපළගේ කෘති විධිමත් ව අධ්‍යයනය කරමින් ආචාර්ය ඒ.ආර්. සිංගල් විසින් සම්පාදිත Aristotle and Bharatha කෘතිය 2001 වසරේදී මහාචාර්ය සුරවීර විසින් සිංහලයෙන් පළ කරනුයේ මේ අවශ්‍යතාව යම් පමණකට සපුරා ලීමේ ප්‍රයත්නයක් වසයෙන් බව පෙනේ.

රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි සාහිත්‍යකලා විචාරය සම්බන්ධයෙන් අදහස් දක්වනුයේ තත්කාලීන ආස්වාදනීය කලාවන් ප්‍රතික්ෂේප කරමින් සමාජ අර්ථසිද්ධිය කලාවේ අරමුණ විය යුතු බව දක්වමිනි. මේ වූකලි එකුන් විසිවන සියවසේ කලා විචාරය සම්බන්ධ නව චින්තනයක් සේ හැඳින්විය හැකි ය. කලාව කලාව සඳහා හෝ ආස්වාදනය සඳහා හෝ නො ව, මනුෂ්‍යයාගේ යහපත උදෙසා විය යුතු බව තොල්ස්තෝයිගේ විචාර චින්තනයේ සාරය සේ ගත හැකි ය. මේ අදහස් සංග්‍රහ කරමින් තොල්ස්තෝයි විසින් රුසියන් බසින් ‘ච්තෝ තකොයි ඉස්කූස්වා’ මැයෙන් සම්පාදිත කෘතිය ඉංගිරිසියට පරිවර්තනය වීමෙන් අනතුරුව තොල්ස්තෝයිගේ විචාර මතවාදය කෙරෙහි සාහිත්‍ය ලෝකයේ අවධානය යොමු විය. ‘කලාව කලාව සඳහාය’ යන සංකල්පය ප්‍රචලිත වෙමින් පැවති සමයක කලාවේ අර්ථවත්භාවය හා මානව ප්‍රගතිය විෂයයෙහි එහි බලපෑම විවරණය කරමින් තොල්ස්තෝයි නිර්භය පියවරක් තබනුයේ එතෙක් විශිෂ්ට කලා නිර්මාණ වසයෙන් සැලකුණු කෘති ගණනාවක් එසේ නොවන බව පෙන්වා දීමෙනි. මේ කෘතිය 1963 දී ඇස්.ජී. සමරසිංහ විසින් සංක්ෂිප්ත ව සිංහලයෙන් පළ කර ඇතත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වූ බවක් නො පෙනේ. මාර්ටින් වික්‍රමසිංහගේ මතවාද කෙරෙහි ද තොල්ස්තෝයිගේ කලා න්‍යාය දැඩි සේ බල පා ඇති බව කිව හැකි ය. මේ පසුබිමෙහි මහාචාර්ය සුරවීර තොල්ස්තෝයිගේ කෘතිය එහි ඉංගිරිසි පරිවර්තනය ඇසුරෙන් ‘කලාව යනු කුමක්ද’ මැයෙන් 1987 දී සිංහලයට නඟා පළ කරනුයේ මේ වන විට සිංහල සාහිත්‍යවිචාර කතිකාවෙහි වූ ඌනතාවක් සපුරා ලමිනි. පූර්වෝක්ත ඇරිස්ටෝට්ල් පරිවර්තනයේදී මෙන් ම මෙහිදී ද අදාළ කෘතිය හා විෂයක්ෂේත්‍රය අලළා සවිස්තර විවරණාත්මක ප්‍රස්තාවනාවක් සපයන මහාචාර්ය සුරවීර විසි වන සියවසේ කලා විචාරය කෙරෙහි තොල්ස්තෝයිගේ බලපෑම මෙන් ම මාර්ටින් වික්‍රමසිංහගේ මතවාද හා මේ කෘතියෙහි අන්තර්ගතය අතර ඇති සාම්‍යය ද විවරණය කරයි.

අපරදිග සාහිත්‍යකලා විචාර මතවාද සිංහලයට හඳුන්වා දෙමින් මහාචාර්ය සුරවීර විසින් සම්පාදිත මීළඟ කෘතිය වන ‘සම්ප්‍රදාය, නිර්මාණය හා විචාරය’ (1989) විසි වන සියවසේ සාහිත්‍යකලා විචාරය කෙරෙහි විශාල බලපෑමක් කළ හෙන්රි ජේම්ස්, ටී.එස්. එලියට්, රේමන්ඩ් විලියම්ස් හා ජෝර්ජ් ලුකාශ් යන ලේඛකයන්ගේ ශාස්ත්‍රීය ලේඛන සතරක් පරිවර්තනයෙන් සම්පාදනය වූවකි. මේ ලිපි සාහිත්‍යකලා විචාරය සම්බන්ධයෙන් වැදගත් වන්නේ ඒවා සංස්කෘතික, දාර්ශනික හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටීන්ගෙන් සාහිත්‍යකලා විමර්ශනයට යොමු වන බැවිනි. මේ ලේඛකයන් අතුරින් එලියට් හැරුණු විට අනික් තිදෙනා ම සිංහල සාහිත්‍ය ලෝකයෙහි එතෙක් අවධානයට ලක් නො වූ විචාරකයන් වීම ද විශේෂත්වයකි. මේ පරිවර්තන සඳහා ද එක් එක් ලේඛකයාගේ සාහිත්‍ය විචාර න්‍යාය සම්බන්ධ විවරණාත්මක හැඳින්වීම් ඇතුළත් කර තිබීමෙන් අපරදිග කලා විචාරයේ ප්‍රවණතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති පාඨකයකුට වුව ද ඒවා ග්‍රහණය කරගැනීමට මඟ පාදන බව කිව යුතු ය.

අපරදිග සාහිත්‍යකලා විචාර මතවාද සිංහලයෙන් ඉදිරිපත් කිරීමේ සුරවීර ප්‍රයත්නයේ මී ළඟ පියවර ග්රැහැම් හෆ්ගේ An Essay on Criticism කෘතිය ‘සාහිත්‍ය විචාර රචනා’ (2009) මැයෙන් සිංහලයට නැඟීම යි. සාහිත්‍යකලා විචාරය සම්බන්ධයෙන් ඒ වන විට විවිධ සාහිත්‍ය න්‍යායධරයන් විසින් සාකච්ඡා කෙරුණු කරුණු නව ස්වාධීන පදනමකින් විග්‍රහ කරන මේ කෘතිය හුදු සිද්ධාන්තාවලියක් නො ව ඒ ඒ කාල වකවනුවල පහළ වූ විචාර සිද්ධාන්ත ආශ්‍රය කර ගනිමින් විචාර කාර්යය සඳහා මාර්ගෝපදේශ සපයාගන්නා ආකාරය පිළිබඳ අත් පොතකි. ග්රැහැම් හෆ් ද ඉහත තොල්ස්තෝයි අනුගමනය කළ මාර්ගයට සමාන ව යමින් සාහිත්‍යකලා මතවාද ආකෘතික මතවාද හා සදාචාරාත්මක මතවාද යනුවෙන් ද්විභේද කොට දක්වමින් අර්ථවත් කලා විචාරය මේ මාර්ග ද්වයයේ සංකලනයක් විය යුතු ආකාරය පෙන්වා දී තිබීම අද්‍යතන සිංහල සාහිත්‍ය විචාරයේ අර්බුදයෙන් ගොඩ ඒමට මඟක් කොට ගත හැකි බව කිව මනා ය.

2012දී සම්භාව්‍ය විචාර උද්දීපන මැයෙන් පළ කළ කෘතියෙහි ලා ගී ද මෝපසාං, ඇන්තන් චෙකොව් යන නිර්මාණාත්මක ලේඛකයන් නවකතාව හා කෙටිකතතාව සම්බන්ධයෙන් දැක්වූ විවරණාත්මක අදහස් ද ජෝර්ජ් ලුකාශ්, රිචඩ් හෝගාට් හා බර්ග් එසන්වීන් යන විචාරකයන් සමකාලීන සාහිත්‍ය ප්‍රවණතා සම්බන්ධයෙන් දැක්වූ අදහස් ද සංග්‍රහ කරමින් සම්පාදිත පරිවර්තනයකි. විශේෂයෙන් ම මෙහි ලා සංගෘහීත ලූකාශ්ගේ නිබන්ධය ‘නව්‍යවාදය’ සම්බන්ධ විවේචනාත්මක විග්‍රහයකි. නව්‍යවාදය මිනිස් ඕපපාතික සත්ත්වයකු සේ සලකමින් ඔහු ඓතිහාසික පරිසරයෙන් පරිබාහිර ව නිරූපණය කිරීම දෝෂ දර්ශනයට ලක් කරන ලුකාශ් නව්‍යවාදය කලාවේ නිෂේධනාත්මක අංශය නියෝජනය කරන බව මෙහි ලා පෙන්වා දෙයි. ආකෘතිය හා ශෛලිය කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමු කරමින් අද්‍යතන සිංහල සාහිත්‍යයේ නාමයෙන් විවිධ ආකෘතික හා භාෂා හරඹ පාන්නන්ගේ මෙබඳු කෘති හැදෑරීමට යොමු වෙතොත් එය සිංහල සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු වන බව ද පැවසිය යුතු ය. මේ කෘතියෙහි ලා සංගෘහීත රිචඩ් හෝගාර්ට්ගේ ලිපි දෙක සාහිත්‍යය නිර්මාණාත්මක වීම මෙන් ම තදනුබද්ධ සමාජ පරිස්ථිතියෙහි ප්‍රතිෂ්ඨාව ලැබීම ද අතිශයින් වැදගත් වන ආකාරය සාකච්ඡාවට ලක් කරයි. බර්ග් එසන්වීන්ගේ කෙටි නිබන්ධය කෙටිකතාව නම් සාහිත්‍යාංගය සම්බන්ධයෙන් විසි වන සියවස ද ආරම්භයේදී සම්පාදිත අගනා ශාස්ත්‍රීය විවරණයක් සේ සැලකෙයි.

වර්තමාන විචාරකයන් හෝ ඔවුන්ගේ විචාර හෝ පිළිබඳ තමන්ගේ විශ්වාසයක් නැතැයි යන්න මහාචාර්ය සුරවීර ‘නවකතා නිර්මාණය හා අවබෝධය’ කෘතියෙහිදී පවසා ඇත. මේ අදහස තවත් විද්වතුන් කිහිප දෙනකු විසින් ද වරින් වර අවධාරණය කොට ඇත.

සාහිත්‍ය විචාර මතවාද නිරවුල්ව වටහා දීමට මහාචාර්ය සුරවීර ගත් ප්‍රයත්නය ඉහත විස්තර කෙරිණි. එකී මතවාද ප්‍රායෝගිකව භාවිත කරමින් සිංහල සාහිත්‍යය විචාරයට ලක් කිරීමට ඉදිරිපත් වූ විද්වතුන් අතුරෙහි මහාචාර්ය සුරවීරට මුල් තැන හිමි වන බව අතිශයෝක්තියක් නොවනුයේ යට සඳහන් පරිවර්තන හා ශිල්ප වචන සංග්‍රහය සම්පාදනය කළ නිසා ම පමණක් නොවේ; විසි වන සියවසේ ජගත් සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රචලිත මතවාද අනුව සිංහල සාහිත්‍යය විමර්ශනයට ඉදිරිපත් වීම ද හේතු කොට ගෙන ය.

මේ යටතේ දැක්විය යුතු ප්‍රමුඛ ලේඛන කිහිපයකි. ‘මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා ශිල්පධර්ම’ (විද්‍යෝදය විද්‍යාකලා භාෂා ශාස්ත්‍රීය සංග්‍රහය, 6 කා., 2 කලා., 1978 ජූලි, 37-48 පිටු) හා ‘කෙටිකතාව හා මාර්ටින් වික්‍රමසිංහ කතා කලාව’ (මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව, I වැනි වෙළුම: කෙටිකතා, 1981, ix- xx පිටු.) මැයෙන් මාර්ටින් වික්‍රමසිංහගේ නිර්මාණ විමර්ශනය කරමින් ලිවන ලද ලිපි දෙක හා 1984දී විද්‍යෝදය විද්‍යා කලා භාෂා ශාස්ත්‍රීය සංග්‍රහය, විශේෂ රජත ජයන්ති කලාපය (130-151 පිටු) සඳහා සම්පාදිත "People and places in the Novels of Martin Wickramasinghe and K Jayathilake: A Literary-Geographic Study" නම් ලිපිය මේ යටතේ විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මෙහි අවසානයට දැක්වූ ලිපිය සාහිත්යික-භූගෝලීය අධ්‍යයනය යන ශික්ෂණ මාර්ගයට අනුකූලව සිංහල සාහිත්‍යය විමර්ශනය කරමින් සම්පාදිත එක ම ලේඛනය බව ද සඳහන් කළ හැකි ය.

Comments