මට විඳිනු බැරි ඒ සුවඳ පොද... | සිළුමිණ

මට විඳිනු බැරි ඒ සුවඳ පොද...

ජීවිතය යනු හරි පුදුම එකකි. දවසින් දවස කාලය ගෙවී යයි. කල දවස ගෙවී යන්නේ කොයි කවර ලෙසක දැ යි හිතාගන්නත් බැරි තරම් ය.එය එතරම් ම වේගවත් ය. එසේ ගෙවීයන කාලය කෙනකුගේ ජීවිතය ජීවත්වීම යනුවෙන් ද අර්තකථනය කළ හැකිය. ජීවන ගමනේ දෛනික ව මගතොට මුණ ගැසෙන ඇස් මානයට හමුවන සිද්ධි මාලාව හා ජීවිතය පිළිබඳ කල්පනා කරන විට ඇතැම්විට එය වැටහෙන්නේ තාමත් අධ්‍යක්‍ෂණය නොකළ චිත්‍රපටයක් වගේ කියා ය. ජීවිත රේඛාවේ හට ගන්නා ඇතැම් යම් යම් ලප දුර්වර්ණයෙන් ද ඇතැම් ඒවා පැහැබර වර්ණයෙන් ද සටහන් වෙයි. පූර්ව සැලසුම් සහගත තන්වැසි නුවණින් ඇතැම් සන්සිද්ධිවලට මුහුණ දුන්න ද පෙර සූදානමකින් තොර ඇතැම් ඒවා විමසා බලනවිට දැනෙන්නේ මහ රැ දුටු සිහින යායක් වගේ ය කියා ය.

ජීවිතයේ ඇතැම් මුහුණදීම් ගැන හිතන විට ඒ ඒ වෙලාවේ එසේ කටයුතු කරනු ලැබුවේ තමාමදැයි හරිහැටි නිනව්වක් නැත්තා වගේ ය. ඔහේ පාවී යන කිසියම් ඡායාවක් සේ සිතිවිලි යායක අතරමංවූ විරාමයක කල්පනාවට මතුවී නැඟෙන්නේ මේ ලෝකයේ භෞතික අභෞතීක සියල්ල සමුහගත වී ඇත්තේද පිරීඇත්තේ ද, ශූන්‍ය බවින් ය කියා ය. මිනිසා කරන කායික ක්‍රියා ද, වාචසික ක්‍රියා ද, ඒවාට බලපෑ හේතුසාධක ද සොයා විමසන විට සියල්ලෙහි සමාරම්භය නිමා වන්නේ කිසියම් චින්තන මාත්‍රයක් මත ය. හිතට නිරන්තරයෙන් සිතුවිලි මතුවී මතුවී එයි. මඳ විරාමයකින් හිතේ මතුවන ඒ සිතිවිලි සියල්ල හිත බවට පත් වේ.

සිතට සිතුවිලිවලින් තොරව පැවතීම කළ නොහැක්කා සේම සිතිවිලිවලට ද සිතත් නැතුව ජීවත්විය හැක්කේ කෙසේද? හිතන කෙනෙකුට එකවර දැනෙන්නේ ද කල්පනා වන්නේ ද, සිතත් සිතිවිලිත් යනු දෙදෙනකු නොව එක් කෙනෙක් බව ය. එය එසේ වීමට හේතුව වන්නේ අසුබ වෛරී සිතිවිලි හිතට නැ‍ඟෙන විට සිතත් නිරන්තරයෙන් ම ඒ පැහැය ගන්නා නිසා ය. සර්ව සුබ මෛත්‍රි සිතිවිලිවලින් සිත සරසා ගන්නා විට හිතත් එහි වර්ණය ම අරගනු ලබන නිසා ය. හිතට නැඟෙන ගුණ හෝ දෝස සිතිවිලිවල බරපතල කම කොපමණ ද? වාචසික ශබ්ද ඇති කිරීමට තරම් මනසේ ජනිත වන සිතිවිල්ල ප්‍රබල වන හැටි. කායික ක්‍රියා සිද්ධ කිරීම දක්වා මානසික සිතිවිල්ල බලසම්පන්න වන හැටි. මිනිසා කරන සියල්ල අධ්‍යයනය කර බලන කල්හි වැටහී යන්නේ මේ ලෝකය එක්තරා විදිහක සිතිවිලි යායක් බව ය. ඒ යාය සුකොමල සුවඳ පිරුණු සුන්දර ප්‍රමුදිතයෙන් වර්ණවත් වූ විට පරාර්ථය පිණිස වූ උත්තුංග සිතිවිලි අසුන්දර බවින් අවර්ණ වූ කල්හී අත්මාර්ථය වු සිතුවිලිවලින් ද පුද්ගල මනස පිරී යයි. ඉතිරී යයි.

මිනිසා විසින් තමාගේ සිතුවිලි සන්තතිය සකසා ගත යුත්තේ තමා හා සාපේක්ෂ ලෝකයේ ගහකොළ පමණක් නොව සතා සීපාවා කෙරෙහි ද සුන්දර බවින් පිරි ගිය මනසින් යුක්ත ව ය. අෙනකා කෙරෙහි ද මෙබඳු සුඛ නම්‍ය මෛත්‍රිය, කාරුණාව, දයාව, උපේක්‍ෂාව යන සිතිවිලි රාශි කරගත යුතුය. එසේ කළ යුතු වන්නේ අනෙකා පිළිබඳ සිතා කල්පනා කිරිම නිසාම නොව, තමා තමාට අතිශයින් ම ආදරය කරන හින්දා ය. තම මනසේ ජනිත මුදු මොළොක් සිතිවිල්ල ස්වකීය වචන මාත්‍ර බවටත් සමස්ත ශරීර තත්වයටත් හිතකර හා අර්ථවත් ලෙසින් බලපානු ලබයි. එසේ වීම තමාගේ මෙලොව ජීවිතයට මෙන්ම පරලොව ජීවිතයට ද එකසේ බලපානු ලබයි. සංසාරගත සංචාරය සංවරත්වයෙන් ගත කිරීමට හැකියාව ලබන්නේ එබඳු ලෙස ජීවත් වීමෙන් බව බණ දහමේ කියයි..

ජීවත්වීම නැමති ප්‍රපංච ක්‍රියාවලියේදී දෛනිකව මිනිසා විවිධ ජීවන අත්දැකීම් ලබයි. එසේ ලබන්නාවූ අත්දැකීම් සියල්ල අඩු වැඩි වශයෙන් ජීවිතයට එකතුවෙයි.. ඒ සියල්ල අධ්‍යාපනිකව ද ආගමිකව ද, සංසාරගතව ද, ආදී වශයෙන් එකතු වේ. එසේ ඒවා ගනු ලබනවා විනා අසුබ විදිහට හෝ සුබ විදියට නොගත යුතු වෙයි. සුබ සිතුවමින් සියල්ල ගත්තාට වඩා, අසුබවාදීව ගනු ලැබුව හොත් තමාට තම ජීවිතයේ එබඳු දේ විඳවන්නට සිදු වේ. එබඳු අයහපත් ඒවා අකුසල විපාක ලෙස බණපොතේ ඒවා දක්වා තිබේ.

මේ ලෝකය සාපේක්‍ෂබවින් පිරී ඇත. යමෙක් යමක් දුන්නා යැයි කිවද ඇත්තට ම එය දුන්නා නොව එය තමන් ලැබුවා යනු ධර්මානුකූල ගැඹුරු අර්ථයයි. ඉරිසියා සිතිවිලි මුලික කොට ගෙන යම් ක්‍රියා සන්තතියක් කරනු ලබන්නේ ද එකී ක්‍රියාවෙහි ප්‍රතිවිපාක ඒ ආකාරයෙන් ම විඳින්නට ලැබෙයි. ජීවිතයේ විවිධ අවස්ථාවල මිනිසා විසින් ඇති කරගනු ලබන්නා වූ බන්ධනයෝ බොහෝ ය. මූලික වශයෙන් එවා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, 1. මිත්‍රත්වය නිසා ඇතිවන බැඳීම් 2. ශාස්තෘත්වය නිසා ඇතිවන බන්ධනය යනුවෙනි. කෙනෙකුට තමාගේ හිතමිත්‍රයා වුව ද එක්තරා විධියක බන්ධනයකි. තම සතුරා ද බන්ධනයකි. මිතුරා ද නොවන සතුරා ද නොවන අෙනකා ගැන කිසිදු නිනව්වක ඇත්තේ නැත්තේ ඒ නිසා ය. මේ සියල්ලෙන් මිදී පසු දිනක යටගිය අතීතය ගැන සිතන විට මගේ ජීවිත ගමන තුළින් මා මතුවී මගේ ජීවිතය මටම පසක් වන හැටි.

මා එදා ඉරිසියාවෙන් දැවී විවිධ ගැරහුම් ඔබට කළා, අවමන් කළා, නින්දා කළා ඒ සියල්ල ඔබ නිහඬව දරා සිටියා. ඒවා බාරගන්නට හෝ පිළිකෙව් කරන්නට නොගොස් ඉර හඳ ගමන දෙස බලා සිටියා. කාලයට විසඳුම බාර දුන්නා. ඒ හින්දාම ඒ ගැරහුම් සියල්ල ඔබේ මූණත් ගෙලත් සරසන මල් දමක් වුණා. ඒ සැරසිල්ල ද මගේ හිතට අරගෙන ආවේ නොරිස්සුම් නොමනාපයක් බව අද මට වැටහෙන හැටි. ඔබ තුළ තිබූ උතුම් ගතිගුණ දැන හඳුනා ගැනීමට වත් එදා බොළඳ සුරතල් වියේ හිටි මගේ හසරැල් දුප්පත් වුණු හැටි. ඒ හින්දා ම අද පමණක් නොව මං ජීවත් වන මගෙ ජීවිතය පුරාම මං විඳින දඬුවම්. ඒ දඬුවමම විටෙක මට ම සරදම් කරන හැටි.

එදා මට නොදැනුණු ඒ ඔබ ළඟ රැඳුණු මිනිසත්කමේ සුන්දර සුවඳ මෙදා පොදු ලෝකයාගේ නැහැයට දැනෙන අපිරිමිත සුගන්ධය වළක්වා ගන්නට මට නොහැකි වන හැටි. මා ලෝකය තේරුම් ගන්නා විට ලෝකය මා හා ළෙන්ගතුව මට ම අවනත වන හැටි; හීලෑවී හුරතල් වන හැටි; ලෝක ස්වභාවය තේරුම් බේරුම් කරගන්නේ නැතිව විකල් මනසින් හැසිරෙන විට ලෝකය මා හා එරෙහි වී වියරු බිහිසුණු ස්වරයෙන් මට ම අමතන හැටි.

Comments