මහාචාර්ය ඒ. වී. සුරවීරගේ... | Page 3 | සිළුමිණ

මහාචාර්ය ඒ. වී. සුරවීරගේ...

මේ විචාර ක්‍රමය වෙසෙසින් හිස එසවූයේ සංස්කෘතික පරිණාමයෙහි තීරණාත්මක ඉරි තැළීමක් සේ හැඳින්විය හැකි ජනප්‍රිය සංස්කෘතිය තුළ ය.

මේ ක්‍රමයේදී සිදු වනුයේ තවෙකකුට පුද්ගලබද්ධ අපහාස කිරීමෙන් ආචාර සමතෝලනයක් ඇති කිරීමට මානබැලීමකි. එය සමච්චල් සදාචාරය (Fun Morality) ලෙස මාර්තා වොල් ෆෙස්ටීන් නමැත්තිය විසින් හඳුන්වනු ලැබ තිබේ. ඉහත ගෙනහැර දැක්වූ තත්ත්වයට සිද්ධාන්තමය හා මානුෂික පිළිතුරක් ලෙස ලියෝ තොල්ස්තෝයිගේ කලාත්මක ප්‍රඥප්තිය ඉදිරිපත් වෙයි.

ලියෝ තොල්ස්තෝයිගේ ‘What is Art’ කෘතිය ‘කලාව යනු කුමක්ද’ යනාදි ලෙස පරිවර්තනය කරන මහාචාර්ය ඒ.වී. සුරවිර ඒ කෘතියේ සමස්ත ධාරණාව මඟින් “කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයකි’’ යන තොල්ස්තෝයි ප්‍රඥප්තිය විෂයයානුබද්ධව පෝෂණය කරයි.

‘සාධු කලාව’ යන සංකල්පය ඔස්සේ සාකච්ඡා කරන තොල්ස්තෝයි විශිෂ්ට කලාව යන්න ද සාමාන්‍ය මිනිසාට අවබෝධ කරගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ යෝග්‍යතාව අවාධාරණය කරයි.

මේ මතවාද සනාථ කිරීමට දෝ තොල්ස්තෝයි විසින් ‘Three Hermits’ කෙටිකතාව ලියනු ලැබිණි. එහි කියැවෙන පරිදි අධ්‍යාත්මයෙහි ඇති උත්තරීතර බව මිනිසාගේ ඇමතුම්-පැවැතුම්හි වූ සරල බවින් වටහාගත හැකි බවට සැකයක් නැත.

විද්‍යාව හා කලාව යන්න දෙකක් බව පොදු මතවාදය වුව ද විද්‍යාව විසින් කලාවේ පැවැත්ම සඳහා මූලපදනම සකස් කරනු ලැබිය යුතු බව තොල්ස්තෝයි What is Artහි අවසානයේ අවධාරණය කරන වැදගත් අදහස ය.

එහෙත් අද විද්‍යාවේ මුහුණුවරින් කලඑළි බැස ඇත්තේ අසත්‍යවාදි විද්‍යාවක් බව ද තොල්ස්තෝයිගේ අදහස වෙයි. තොල්ස්තෝයිගේ ඒ අදහස් සමාජ සන්දර්භයක් තුළ එකලස් කළ හැකි නම් එසේ කළ හැක්කේ සමාජ යන්ත්‍රණය හා සමාජ පරිණාමය පිළිබඳ පුළුල් දැනුමක් ඇති විටෙක පමණි. ඒ දැනුම අත් කරගත හැකි විචාර ශික්ෂණවේදයක් ලෙස මහාචාර්ය ඒ.වී. සුරවීරගේ සමාජීය සාහිත්‍ය අධ්‍යයනය (2002) කෘතිය හැඳින්විය හැකි ය.

මෙහි කලින් ප්‍රකාශ වූ “විද්‍යාව විසින් කලාව සඳහා මූලප්‍රතිෂ්ඨාවක් සැපයිය යුතු ය’’ යන අදහස මේ ග්‍රන්ථය මගින් මනාව නිරූපණය වේ යැ යි කිව හැකි ය.

මෙහි පූර්විකාවේ මහාචාර්ය ඒ.වී. සුරවීර දක්වන මේ අදහස එහි-ලා වැදගත් සාධකයකි: “මේ අධ්‍යයනය Sociology of Literature නමින් හඳුන්වනු ලබයි. මෙවැනි අධ්‍යයනයකින් අපේක්‍ෂා කරනුයේ කල්පනා ලෝකයත් විද්‍යාවත් සරල සමීකරණයකට පත් කිරීමයි කලාව-සාහිත්‍ය යන විෂය ක්‍ෂේත්‍රය සමඟ සමාන්තරව දිවෙන සමාජය හා දාර්ශනික මතවාද හා සිද්ධාන්ත පරීක්‍ෂා කිරීම් මූලිකව මෙමඟින් සිදු වී ඇත.

කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස්ගේ ‘ද්වන්දාත්මක විඝටන’ (Dialectic Materialism) සිද්ධාන්තය ද, ‘සමාජයක පදනම හා මතු-මහල’ (Infra-Structure and Supper-Structure) යන සකස් වීම් පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීම් මෙහි දැකගත හැකි වේ.

යම් යුගයක වෙසෙන සංස්කෘතික කණ්ඩායමකට අනන්‍ය චින්තනය ‘ජනක සංස්තිථිවාදය’ (Genetic Structuralism) ලෙස ලූෂන් ගොල්ඩ් මාන් දැක්වූ අදහස ද මෙහි සමාලෝචනය වෙයි.’’

මහැදුරු ඒ.වී. සුරවීරගේ විචාර චින්තනය ඉදිරි යුගයට ද දල්වන ලද පහන්ටැඹකි.

Comments