‘චණ්ඩියා’ රැක­ග­නිමු! | Page 2 | සිළුමිණ

‘චණ්ඩියා’ රැක­ග­නිමු!

අලි-ඇතුන් සම්බන්ධයෙන් පසුගිය සති කීපය පුරා බොහෝ පුවත් මැවිණි. ඒ අතර තවත් සුවිශේෂ කතාවක් ලෙස ජනමාධ්‍යවල මුල්තැන ගත්තේ ගල්ගමුවේ තනි-දළයාගේ පැන යෑමය. ‘චණ්ඩියා’ අල්ලාගෙන ගොස් දැමූ තැනින් තුන්වැනි වරටත් පැන ආවේ රටම පුුදුම කරවමිනි. මෙසේ අලි-ඇතුන් පැන ඒමට හේතුව කුමක්ද? හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතාගෙන් අපි විමසුවෙමු.

“දළ ඇතුන් ආරක්ෂා කරගැනීම නමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති එක් පියවරක් වන්නේ සැකයට තුඩු දෙන අලි ඇතුන් නිර්වින්දනය කර අල්ලා අලි රැඳවුම් මධ්‍යස්ථානයක කොටු කිරීමයි. මේ සඳහා හොරොව්පතාන ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 10ක පමණ වනාන්තර කොටසක් විදුලි වැට යොදා ආරක්ෂා කර තිබෙනවා. මෙහිදී බලධාරීන්ගේ මතකයට නැඟිය යුතු කාරණය වන්නේ බොහෝ විට දඩබ්බරකම් පෙන්වන්නේ පිරිමි අලි-ඇතුන් බව අමතක වී තිබීමයි. අලි රැඳවුමට වසර ගණනක් තිස්සේ රැගෙන යන්නේ පිරිමි අලින්. පිරිමි සතුන්ගේ සංචරණ වපසරිය රංචු ගැසුණු ගැහැනු සතුන් ගමන් කරන දුරට වඩා ඉතා වැඩියි.

“ගැහැනු සතුන් මාතෘ අඩවිය ලෙස තෝරාගන්නා කලාපය තුළ දිනකට සැතපුම් 20ක් පමණ ඔබ-මොබ සැරිසරනවා. එහෙත් සරු මද කාලයක් සහිත ඇතින්නකගේ ඉව වැටුණු පිරිමි සතෙක් ඇය තමන්ගේ පෙම්වතිය කරගැනීමේ අරමුණින් හැතැප්ම විස්සක්-තිහක් වුණත් ඈතට ඇවිද යන්න ඉඩ තිබෙනවා. මේ නිසා මිනිසා විසින් ඇති කරන නිශ්චිත කලාපයක පිරිමි අලින් රඳවා තබාගැනීම ඉතා අසීරු කරුණක්. අනෙක හොරොව්පතානේ ඉන්නෙම පිරිමි අලි. උන් මද කිපුණත් නැතත් ඔහේ ඇවිදගෙන යනවා. ඒ බවත් දෙපාර්තමේන්තුවට අමතක වෙලා.’’

මෙසේ කියූ වෛද්‍ය අතපත්තු මද කිපුණු අලි ඇතුන් සහ මද කිපෙන ගැහැනු සතුන් ගැනද විස්තරයක් කළේය:

“පිරිමි සතුන් ලිංගිකව උත්තේජනය වෙන්න වෙලාවක් කලාවක් නෑ. ඒත් ගැහැනු සතුන් ඒ සඳහා සරු මද තත්ත්වයට පත් විය යුතුයි. සමහරු හිතන්නේ පිරිමි සතුන් මද කිපුණු විට පමණයි ඒ අවශ්‍යතා ඇති වන්නේ කියලා. ඒක වැරැදියි. සරු මද පෙම්වතියකගේ ඉව වැටිලා ඇය සොයාගෙන යන්න හිතෙන ඕන වෙලාවක පිරිමි සතාගේ හැඟීම් ඇති වන්න පුළුවන්. තවත් වැරැදි මතයක් තමයි මද කිපෙන්නේ පිරිමි සතුන්ට පමණයි කියන කාරණය. ගැහැනු සතුන්ගෙත් මද ග්‍රන්ථි තිබෙනවා. ඒත් ශ්‍රාවය වන්නේ සුළු වශයෙන්. අනෙක පිරිමි සතුන් වගේ වසරකට හෝ දෙකකට වරක් ඇති වන මද කාලෙට ගැහැනු සතුන් ප්‍රචණ්ඩ හැසිරීමක් පෙන්වන්නේ නෑ. එය සරු මද කාලයට සම්බන්ධයකුත් නෑ. පිරිමි අලින් වුණත් වැඩිපුරම කලබල වෙන්නේ මේ මද ශ්‍රාවයට එන බමරු නිසා. උන් කම්මුල් තෙමී වැගිරෙන මද ශ්‍රාවය බී මදි වුණාම ග්‍රන්ථි සිදුර අස්සේ රිංගා ඒවා බීමට උත්සාහ කරනවා. එය අලින්ට බොහොම වේදනාකාරීයි. ඒ නිසා තමයි වැඩිපුරම කුපිත වන්නේ. ඇත්තටම අලින්ට මද කිපෙන්නේ ඇයි කියන කාරණය තවම මිනිසා විසින් සොයාගෙන නැති ක්‍රියාවලියක්. කෙණරන්ගේ සහ ඇතින්නන්ගේ එය ක්ෂීණ වී ගිය ග්‍රන්ථියක් නිසා පරිණාමයේ ළඟම දවසක පිරිමි සතුන්ගේත් මද ග්‍රන්ථි නැති වී යයි කියා හිතන්නත් පුළුවන්.’’

වෛද්‍ය අතපත්තුගේ විස්තරයට අනුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අවශ්‍යතාව මීට වසර 25කට පමණ පෙර ලංකාවට දැනුණේ ආසියානු සංවර්ධන බැංකුවේ වුවමනාවක් මතය. එ් කාලයේ එහි වගකීම පැවරුණේද ඔහුටමය.

“ඔවුන්ගේ නිර්දේශය වුණේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇති කරන්න. එය බාරව හිටියේ මම. ඒත් වැඩේ අසාර්ථක වන බව දැනුණු නිසා එය ආරම්භ කිරීම වැළැකුණා. ඒත් මගේ සහභාගීත්වයකින් තොරව එය ආපසු ළඟදි පටන් ගත්තා. මෙහි අසාර්ථක බවට හේතු තමයි: භූමිය ප්‍රමාණවත් නොවීම, වර්ග කිලෝමීටර 10ක් තුළ අලින් 7-8 දෙනකු රැඳවීමේ අපහසුව, එවිට අලින් අතර සටන් ඇති වීමේ සම්භාවිතාවක් තිබීම, ආහාර පාන හිඟ වීම. ඒත් මේ වන විට අලින් 15ක් පමණ මේ රැඳවුම් මධ්‍යස්ථානයේ ඉන්නවා. එයට ගිහින් දැමූ අලින් පස් දෙනකු පමණ මිය ගියා. හේතුව ආහාර ප්‍රමාණවත් නොවීම නිසා ඇති වන ශාරීරික දුර්වලකම වන්න පුළුවන්. හැබැයි මේ මධ්‍යස්ථානය පිහිටුවද්දී කීවේ පිටින් තණකොළ, කොළ අතු ආදිය අලින්ට කන්න ගෙනත් දානවා කියලයි. ඒත් දැන් එහෙම දෙයක් සිදු වන්නේ නෑ.’’

එසේ වෛද්‍ය අතපත්තු විස්තර කරන විට මේ හොරොව්පතාන රැඳවුම් මධ්‍යස්ථානය පිළිබඳ ඇතැම් පරිසර ලෝලීන්ගේ හැඳින්වීමේ නාමය මගේ සිහියට ආවේය. ඔවුන් එය හඳුන්වන්නේ ‘විවෘත සිරගෙය’ නමිනි. එහි විසීමට තරම් සුදුසු පාරිසරික තත්ත්වයන් නැති විට චණ්ඩි පමණක් නොව අහිංසක අලින් පවා උත්සාහ කරන්නේ සුපුරුදු හොඳ පරිසරයකට පැන ඒමටය. චණ්ඩියාගේ කතාව ජනප්‍රිය වුණේ ඒ උත්සාහය තෙවරක්ම සාර්ථක වූ බැවිනි. එයට හේතු කීපයක් ඇති බව වෛද්‍ය අතපත්තු පෙන්වා දෙයි.

“ගල්ගමුවේ ‘දළ පූට්ටුවා’ ලෙස වැරැදියට හැඳින්වූ ‘දළ සමීපයා’ බොහොම අහිංසක සතෙක් බව හැමෝම දැනගෙන හිටියා. උගේ මහලු වයසත් ඊට හේතුවක්. ඒත් ‘චණ්ඩියා’ තවම තරුණයි. දැන් අවුරුදු තිහක් විතර ඇති. ලිංගික අවශ්‍යතා දැඩිව දැනෙන වයස. මෙයාටත් මුලින් මම දකිද්දි දළ දෙකක් තිබුණා. ඒත් විසේකාරකමටයි, වියරු වැටෙන තරමටයි වෙනත් දළ ඇතෙක් සමඟ ගැටුමකදි තමයි එක දළයක් අහිමි වුණේ. ගම්වල සාමාන්‍යයෙන් මේ වගේ තනි දළයන්ට කියන්නේ ‘ඒකදන්තයා’ කියලා. ඒත් ඊට වඩා මෙයා මිනිසුන් එක්ක අරියාදුවට වැඩියෙන් ගිය නිසා තමයි චණ්ඩියා කියලා නම වැටුණේ. ගෙවල් කඩලා, වගා හානි කරලා මිනිසුන්ට පහර දුන්නාම දෙපාර්තමේන්තුවට තිබෙන එකම මන්තරේ තමයි නිර්වින්දනය කරලා වෙන තැනකට ගිහින් දාන-එක.

“මීට අවුරුදු නවයකට විතර කලින් චණ්ඩිව එහෙම අල්ලන් ගිහින් කිලෝ මීටර 250ක් විතර දුර සෝමාවතිය වනෝද්‍යානයට දැම්මා. එහේ ඇති තරම් කෑම බීම තිබුණත් චණ්ඩි සතියක් යන්නත් කලින් හැරෙන තැපෑලෙන් හිටපු තැනටම ආවා. එක දළයක් නිසා අඳුනගන්න ලේසි වුණා. මිනිස්සු දෙපාර්තමේන්තුවටත් ගතු කියන්න ගත්තා. ඒ පාර කට්ටිය හිතුවා සෝමාවතියටම ආයේ දාලා වැඩක් නැති නිසා හොරොව්පතානට දාන්න. එහේ විදුලි වැට තියෙන නිසා ඉඳියි කියලත් කල්පනා කළා. හැබැයි එහෙම අල්ලාගෙන යන්න නම් වසරක් ඇතුළත දෙවැනි වරටත් නිර්වින්දන බෙහෙත් විදින්න වෙනවා. ළඟ ළඟ ඒ බෙහෙත් විදින එක හොඳ නැති වුණත් එහෙම කළා. ඒ වුණාට චණ්ඩියා විදුලි වැට දුර්වල වුණු තැනකින් පැනලා ආයෙත් සුපුරුදු ගල්ගමුවටම ආවා.

“සාමාන්‍යයෙන් සංරක්ෂණ මූලධර්මයක් තමයි වරක් සිදු වූ වරද නැවත වරක් නොවන්නට වගබලාගැනීම. ඒ වුණාට අපේ පණ්ඩිත රැළ වසරකදී තුන්වැනි වරටත් නිර්වින්දන බෙහෙත් විදලා අල්ලගෙන ආයෙත් ගිහින් දැම්මේ හොරොව්පතානටමයි. මේ චණ්ඩියා හැබෑම චණ්ඩියෙක් නිසා ආයෙත් ඔන්න ඇවිත් ඉන්නවා තමන්ගේ ගම-රට බලා.

“මෙතන තිබෙන ප්‍රශ්නය නැවත වතාවක් චණ්ඩිව අල්ලන-එක නෙවෙයි; එයා ගිහින් දාන්නේ කොහෙටද කියන-එකයි. ඒ ගැන අපි කවුරුත් දන්නේ නෑ. තවමත් දෙපාර්තමේන්තුව වුණත් හිතලා නැතුව ඇති. හැබැයි මේ අය තේරුම් ගත යුතුයි නැවත වතාවක් අර වැරදුණ දේ නොකළ යුතු බව.’’

වෛද්‍ය නන්දන අතපත්තු කළ යුතු දේ පිළිබඳ ඉඟියක් දුන්නේ සිය අත්දැකීමක්ද ඇසුරෙනි.

“1998 කාලේ දැන් හම්බන්තොට වරාය හදලා තිබෙන භූමියෙන් ඔය වගේ ප්‍රචණ්ඩකාරී එක්කෙනෙක් මම ඇල්ලුවා. අපි එයා ගිහින් දැම්මේ උඩවලවේ උද්‍යානයට. ඒත් එයත් මේ වගේම හැරෙන තැපෑලෙන් හිටපු තැනට ඇවිත් තිබුණා. ඊට පස්සේ අපි කල්පනා කළා හේතුව. අලින්ගේ ඉව බොහොම හොඳයි. ඒ නිසා මිනිස් වාස, ජලාශ වගේ දේවලින් හුරු-පුරුදු බිම පිළිබඳ ඉව නැති කරන්න පුළුවන් තැනකට ගෙනගියොත් ආපසු එන්නේ නෑ. පස්සේ අපි එයාව ගල්ඔය ගෙනිච්චා. වැඩේ සාර්ථක වුණා.

“ඒ වගේ මේ චණ්ඩිටත් තමන්ගේ ප්‍රදේශයේ ඉව පහසුවෙන් සොයාගත නොහැකි වන උඩවලව, යාල වැනි දිහාකට ගිහින් දැම්මොත් මේ පැන ඒමේ තත්ත්වය වෙනස් වෙන්න බොහෝ ඉඩ තිබෙනවා.

“එයින් ඔවුන්ගේ චර්යාවට බලපෑමක් වන්නෙත් නෑ. මොකද: අපි පළාත් වෙන් කරගෙන සීමා මායිම් හදා ගත්තාට මේ දිවයිනේ සෑම අඟලක්ම අලි-ඇතුන්ට අයිතිව තිබුණේ. ටොලමිගේ ලංකා සිතියම බැලුුවාම කොළඹත් අලි හිටියා. එනිසා අලි-ඇතුන්ට මේ බිමේ ඕනෑම තැනක් හුරුයි. ඒ නිසා බකපණ්ඩිතයන්ගේ යෝජනාවලට සහ මාධ්‍ය සන්දර්ශනවලට ඉඩ නොතබා චණ්ඩිගේ ආරක්ෂාව ගැන සැබැවින්ම සිතන්න, ඒ සඳහා සුදුසු පියවර ගන්න කියා මම, තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නඟන්නට ඉඩක් නැති චණ්ඩි වෙනුවෙන් ඉල්ලා සිටිනවා.’’


නිකමට කිවුවා

චොකලට් නැති ලෝකයක්!

“මොකෑ මුනුපුරෝ මූණ දික්කරගෙන?” සීයා කොලොප්පමට වගේ ඇහුවා.

“බලන්නකො සීයේ වෙන්න යන දේ... මට නං ඉඳලා වැඩක් නෑ.”

“ඒ මක්කෙයි අප්පේ ඒ? ඔහොම කතා පොඩි කාලෙම කියන්න පුරුදු වෙන්නෙපා පුතේ...”

“නෑ සීයේ... වැඩිම වුණොත් මම තව අවුරුදු හතළිහයි ඉන්න කැමති.”

“කට කට! අවකැපෙන කතා දිගටම...” සීයා තරවටු හඬින් කියන ගමන් යළිත් හේතුව විමසුවා.

“මොකද්දෑ ඔච්චර ප්‍රශ්නේ දැන්?”

“මේ බලන්නකෝ මේක... තව අවුරුදු හතළිහක් ඇතු

ළත චොකලට් නැති වෙනවලු ලෝකේ...”

“හිහ් හිහ් හිහ්... ඒකටදෑ මේ කලකිරිල්ල?” සීයා හොඳටම

හිනා වෙන්න ගත්තා.

“හිනා නෙවේ සීයේ... සමකයට ආසන්න උතුරෙ-දකුණෙ අංශක 20ක විතරලු කොකෝවා හැදෙන්නේ. ඒකට හොඳට ආර්ද්‍රතාවයි, වැස්සයි නැත්තං ගස් හැදෙන්නෙත් නෑ-ලු. ඉදිරි අවුරුදු 30 ඇතුළත උෂ්ණත්වය අංශක 2.1කින් වැඩි වෙන්න නියමිත නිසා කොකෝවා ගස් මැරිලා ගිහින්, ලෝකෙම චොකලට් නිෂ්පාදනයට ඒක බලපානවලු. කොකෝවා රැකගන්න ඕන නම් වනජීවීන්ට තියලා තියෙන කඳුකර බිම්වලට වගාව ගෙනියන්න වෙයි වගේ-ලු.”

“තව මොනවැයි ඉතිං ඔය චොකලට් ගැන කියලා තියෙන්නෙ?” සීයා උනන්දු වුණේ මුනුපුරාගේ මුවගට සිනහවක් එක් කරමින්.

“ආ... මටයි කීවේ...! ඒ වුණාට මම දන්නව නේ සීයත් කොච්චර චොකලට්වලට...”

“හා හා - කට කට! ඕකේ තියෙන-එක කියාපං ළමයා වැඩි දේවල් නැතුව...” සීයා ලජ්ජාව සඟවාගත්තා.

“මේකේ තියෙනවා: බටහිර එක මනුස්සයෙක් අවුරුද්දකට චොකලට් බාර් 286ක් කනවලු. ඒ ප්‍රමාණෙ හදන්න කොකෝවා ගස් දහයක් හිටවන්න ඕනලු. හනේ මන්දා...” මුනුපුරා මූණ එල්ලාගත්තා.

“ඕං ඕක නේ මුල ඉඳන්ම කීවේ ගස් කපන්න එපා, දුම් පිට කරන්න එපා, පරිසරය දූෂණය කරන්න එපා එහෙම කියලා... කෝ? කවුද ඇහුවේ...? ලොකු ලොකු රටවල් ඇහුවෙත් නෑ... ඒවා පස්සේ ගිය පොඩි රටවල් ඇහුවෙත් නෑ... අන්තිමට පේනව නේ ප්‍රශ්නෙ දුර-දිග යන තරම? දත් නැති අපට කටේ දිය වෙන්න චොකලට් කෑල්ලක් වත් නැතිව යන තැනට ආවා නේ...” සීයා කියාගෙන ගියා.

“ආ.. ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට!”මුනුපුරා අත්පුඩියක් ගසමින් කීවා.

“නෑ... මං මේ ඔය ළමයි ගැන හිතලා නිකමට වගේ කීවේ...” සීයා ලජ්ජාවෙන් අහක බලාගත්තා.

 

අරුණි 

Comments