ලංකා පාර්ලි­මේ­න්තුවේ කාන්තා නියෝ­ජ­නය | Page 2 | සිළුමිණ

ලංකා පාර්ලි­මේ­න්තුවේ කාන්තා නියෝ­ජ­නය

ශ්‍රී ලාංකේය කාන්තාව සිය දේශපාලන අයිතිය හෙවත් මූලිකවම ඡන්ද අයිතිය ලබාගැනීමට කළ සටන හුදෙක් ‘ඉල්ලා ගැනීමේ’ ව්‍යාපාරවලින් ඔබ්බට ගිය සටන් ව්‍යාපාරයක් නොවී ය. විශේෂයෙන් එවක මහමුදලි වූ සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ අර්යාව වූ ඩේසි බණ්ඩාරනායක ළමාතැනී මෙහි පෙරමුණ ගැනීම සටන අඩක් ජය ගත්තා වන්නේ ය. මේ සටනේ කම්කරු පන්තියේ හෝ මැද පන්තියේ කාන්තා නියෝජනයක් පෙනෙන්නට නැත. ඩොනමෝර් පවා මෙරට කතුන්ට ඡන්දය දීමට අත එසැවූයේ, මේ ඉල්ලීම කරන කතුන්ගේ ප්‍රභූත්වය ද සලකා බලා යන්න නොරහසකි.

එහෙත් අතීතයේ අපේ රටේ කතුන් මේ රට පාලනය කළ අවධි තුනක් වංශ කතාවල දැක්වේ. අනුරාධපුර යුගයේ දී ක්‍රි.පූ. 48 – 44 දී මෙරට ප්‍රථම අග රාජිනිය ලෙස අනුලා දේවිය පත් වූවා ය. ඉන්පසු ක්‍රි.ව. 33 දී සීවලී රැජින මාස හතරක් රට පාලනය කර තිබේ. ඒ අනුරාධපුර යුගයේදී ය.

පොලොන්නරු යුගයේදී ක්‍රි.ව. 1196 දී ලීලාවතී බිසව රාජ්‍යත්වයට පත් වන්නේ පළමු වන පරාක්‍රමබාහු රජුගේ මරණින් පසුව ය. ඉන් පසු ක්‍රි.ව. 1202 දී නිශ්ශංකමල්ල රජ බිසව වූ කල්‍යාණවතී රට පාලනය සියතට ගත්තීය. සියවස් ගණනාවක රාජාවලිය තුළ ස්ත්‍රීන් රට පාලනය කර ඇත්තේ වසර 14 ක් පමණි. එසේ ම මේ කතුන්ගේ රාජ්‍ය පාලන කාලයන් ඉතිහාසයේ අවර්ණ යුගයක් ලෙසය සටහන් වී ඇත්තේ.

ක්‍රි.ව. 1208 න් පසු නැවත මෙරට රාජ්‍ය පාලනය කාන්තාවක් අතට පත් වන්නේ 1960 දී ය. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට අගමැති ‍පදවියට පත් වීමත් සමඟ ය. ඇය අගමැති ධූරයට ප්‍රථමවරට පත් වන්නේ සෙනෙට් සභාව ඔස්සේ ය. ඇය ජන සම්මත අගමැතිනිය ලෙස පත්වන්නේ 1970 දී ය.

මෙරට කාන්තාවන්ට ඡන්ද බලය ලැබීම සමඟ කාන්තාවන් පාර්ලිමේන්තු දේශපාලනයට වැඩි උනන්දුවකින් සාකච්ඡා කළ ද සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු 1931 ජූනි 13 දා පැවැත්වූ ප්‍රථම මහ මැතිවරණයට කිසිම පක්ෂයකින් කාන්තා අපේක්ෂකයන් ඉදිරිපත් කර නැත. සමහර කතුන් ඡන්දයට ඉදිරිපත් වුව ද ඡන්දයට දින කිහිපයකට පෙර තම නාම යෝජනා ඉල්ලා අස්කර ගෙන ඇත. ඒ පිළිබඳ 1931 මාර්තු 05. සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ කතු වැකිය මෙසේ ය.

“ලංකාවේ දේශපාලනයෙහි යෙදෙන ස්ත්‍රීන් කටට ගෙන හැපිය නොහැකි තරම් කෑම ප්‍රමාණයක් එකවරම ගිලීමට උත්සාහ කරන අය බව පෙනේ. ලලනාවන් කිහිප දෙනෙක් තම ලොකුකම පෙන්වීමට නාම යෝජනා ඉදිරිපත් කළ නමුත් ආසන පොරයේ ගිනියම හා උණුසුම ඔවුන‍්ගේ ශරීරවලට එතරම් සුවදායක නුවූවා සේ ය. අපේක්ෂිකාවෝ හිමින් සීරුවේ නම් ඉවත් කර ගත්හ.”

එසේ ම ඩෝරා ගොඩ්ලිබි සහ ලීලාවතී අසරප්පා යන දෙදෙනාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූයේ ඔවුන් රජයේ නිලධාරීන්ගේ බිරින්දෑවරුන් වූ නිසා ය.

කෙසේ හෝ විවිධ අර්බුද මැද කාන්තා ඡන්ද අයිතිය සහ ඡන්දයට ඉදිරිපත්වීමේ අයිතිය පිළිබඳ කතිකාව ඉදිරියටම ගියේ ය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඒ අනුව තේරී පත්වූ ප්‍රථම කාන්තාව බවට ඉතිහාසයට එක් වූයේ ඇඩ්ලින් මොලමුරේ ය. සිය පියා වූ ජේ.එච්. මීදෙණිය අදිකාරමගේ අභාවයෙන් පසු ඔහු නියෝජනය කළ රුවන්වැල්ල ආසනය සඳහා 1931 නොවැ. 14 දා පැවැති අතුරු මැතිවරණයෙන් මොලමුරේ මැතිනිය (ඇය එවක කථානායක ෆ්රැන්සිස් මොලමුරේගේ බිරිය වූවා ය.) ජය ගත්තා ය. ඇය ඡන්ද 13,866 ක් ලබා ගනිද්දී දෙවැනියා ව‍ූ ආර්.එස්.එස්. ගුණවර්ධනට හිමි වූයේ ඡන්ද 4468 කි. ඇයගේ ජයග්‍රහණය පිළිබඳ 1931 නොවැ. 17 දා දී ඉන්ඩිපෙන්ඩන්ට් පත්‍රය අදහස් දැක්වූයේ මෙසේ ය.

“බලවත් පුරුෂයින් තිදෙනෙකු විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය කරමින් ඇය ලබාගත් ජයග්‍රහණය ගැන ඇඩ්ලින් මොලමු‍රේට හෘදයාංගමව ප්‍රශංසා කළ යුතු ය. එසේ වුව ද මේ ජයග්‍රහණය ස්ත්‍රීන්ගේ උද්ඝෝෂණය විසින් ලබාගත් ජයග්‍රහණයට හේතු ලෙස දැක් විය යුත්තේ මීදෙනිය අදිකාරම්ගේ දුවණිය මන්ත්‍රීකමට පත් කිරීමේ දී තම ගෞරවනීය පියාට දිස්ත්‍රික්කයේ ජනතාව කීකරුව සිටීමත්, ඇය සතුව පවතින පෞද්ගලික සිරියාවන්තකමක් ය.”

1931 දී පත් වූ ඇය 1935 දක්වා රුවන්වැල්ල ආසනය නියෝජනය කළා ය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ දෙවැනි ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ සහ ප්‍රථම දමිළ මන්ත්‍රීවරිය වන්නේ නේසම් සරවනමුත්තු මහත්මියයි. ඇය ද රා.ම. සභාවට පත්වන්නේ අතුරු මැතිවරණයකිනි. සිය සැමියා වූ දොස්තර රත්නජෝති සරවනමුත්තු මහතා 1931 දී උතුරු කොළඹ ආසනය ජය ගත්ත ද ඔහු ඡන්ද පෙත්සමක් නිසා අසුන අහිමිවීම නිසා, 1932 මැයි 28 දා පැවති අතුරු මැතිවරණයට ඉදිරිපත් ව‍‍ූ සරවනමුත්තු මහත්මිය ද වැඩි ඡන්ද 9000 කින් අසුන ජය ගත්තා ය.

එහෙත් ඇයට ද ඡන්ද පෙත්සමකින් අසුන අහිමි විය. නැවත ඇය 1932 නොවැම්බරයේ පැවැති ඊළඟ අතුරු මැතිවරණයෙන් ද ඡන්ද 8100 කින් ජය ගැනීමට සමත් වූවා ය. ඇය 1935 සිට 1947 දක්වා රා.ම. සභාවේ සිටියා ය. ඇය 1936 මහ ඡන්දයේ දී ද උතුරු කොළඹ ආසනය රැක ගත්තා ය. 1936 රා.ම. සභාවේ සිටි එකම මන්ත්‍රීවරිය නේසම් සරවනමුත්තු මහත්මිය යි.

ඉන්පසු එළඹි සෑම මැතිවරණයකටම විවිධ දේශපාලන ධාරා නියෝජනය කරමින් මෙරට කාන්තාවන් පාර්ලිමේන්තුවට, නගර සභාවලට සහ පසුව පළාත් සභාවට තේරී පත් ව‍ූහ.

1930 දශකයේ දී මැලේරියා මර්දන ව්‍යාපාරය හා දියත් ව‍ූ සූරියමල් ව්‍යාපාරයට එක් වී කටයුතු කළ කාන්තාවෝ ද පසුව දේශපාලන පොර පිටියට පිවිසියහ. ඒ වමේ පක්ෂ ව‍ූ සමසමාජ පක්ෂයෙන් හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පෙරදැරිව ය. මේ පක්ෂවලින් ඉදිරිපත් වූයේ ද නාගරික ප්‍රභූ පැලැන්තියේ අය මෙන් ම උගත් වමේ දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු ය.

ප්‍රථම පාර්ලිමේන්තුව සඳහා 1947 පැවැති මහ ඡන්දයේ දී කාන්තාවක් ජය ගත්තා ය. ඒ කිරිඇල්ල ආසනයට ඉදිරිපත් වූ ෆ්ලොරන්ස් සේනානායක ය.‍ ඇය ඉදිරිපත් ව‍ූයේ ලංකා සමසමාජ පක්ෂයෙනි. ඊට අමතරව සිසි කුරේ මහත්මිය සෙනෙට් සභාවට පත් කළා ය. ඇය මෙරට ප්‍රථම සෙනෙට් මන්ත්‍රීවරියයි. ඉන්පසු අවිස්සාවේල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේදී (1948) කුසුමා ගුණවර්ධන මහත්මිය නි‍තරගයෙන් පත් වූවාය. ඉන්පසු 1956 දී කිරිඇල්ල ආසනයට සිය සැමියා වූ පිලිප් ගුණවර්ධනයන්ගේ විප්ලව ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කර ජය ගත්තා ය. ඇය 1948 සිට 1959 දක්වා පාර්ලිමේන්තුවේ සිටියා ය. (දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දික ගුණවර්ධන ඇයගේ පුතුන් ය.) එම පාර්ලිමේන්තුවේ මහනුවර අසුන සඳහා 1949 පැවැති අතුරු මැතිවරණයෙන් තමරා කුමාරි ඉලංගරත්න ජය ලැබුවා ය.‍ ඇය 1952 දක්වා මහනුවර අසුන ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස ද 1970 – 77 දක්වා ගලගෙදර අසුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද නියෝජනය කළා ය. ඇය මෙරට පහළ ව‍ූ විශිෂ්ට දේශපාලනඥයෙකු වූ ටී.බී. ඉලංගරත්නයන්ගේ බිරිය ය.

1952 දී දෙවන පාර්ලිමේන්තු මහ ඡන්දයේදී ඩොරින් වික්‍රමසිංහ අකුරැස්ස ආසනය ජය ලබා පාර්ලිමේන්තුවට ආවාය. ඇය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්ස් පක්ෂයේ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහයන්ගේ බිරිය ය. එම පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවට ක්ලෝඩග් ජයස‍ූරිය ද පත් කර ඇත.

 

Comments