
' මම ඩුබායි එන කොට ගුවන් තොටුපොළක් තිබුණේ නැහැ. අපි ආවේ හරියට පැරෂුට් වලින් බැස්සා වගෙයි. එතැන තිබුණේ ධාවන පථයක් විතරයි. පොළොවේ පය ගහනවත් එක්ක දරා ගන්න බැරි රස්නයක් දැණුනා'
එක්සත් අරාබි එමීරයේ පළමු වෛද්‍යවරිය ලෙස එරට හඳුන්වන සුලේඛා ඩාවුඩ් 1963 වසරේ දී අහසින් ඩුබායි පොළවට පාත් වූ අයුරු සිහිපත් කරන්නීය. අඩසියවසකටත් වඩා පැරණි ඒ යුගයේ ඩුබායි දේශයයේ ජනතාව බොහෝ ලෙඩ රෝග වලින් පීඩා විඳිද්දී එහි විධිමත් රෝහල් තිබුණේ නැත. වෛද්‍යවරුන් ගෙන්වා ගත්තේ වෙනත් රට වලිනි. මේ කියන කාලයේ ඩුබායි හි ළමුන් මන්ද පෝෂණයෙන් පෙලුණ අතර ක්ෂය රෝගය, පාචනය වැනි රෝග පැතිරෙමින් තිබුණි. වෛද්‍යවරුන්ට එරට ඉල්ලුම වැඩි වුවත් වෛද්‍ය පහසුකම් පැවතුණේ අවම මට්ටමේය.
සුලේඛා එමීරයට පැමිණෙද්දී 'ඩුබායි' ගැන නිකමට හෝ අසා තිබුණේ නැත. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද සුලේඛා ඩාවුඩ් වෛද්‍යවරිය, ඩුබායි කරා ළඟා වුණේ කිසිදු පෙර සැලසුමක් අනුව නොවේ. සිය වාසනාවට තම දෙමව්පියන් ඒ සඳහා අවසර ලබා දුන් බව දැන් මහළු වියේ පසුවෙන වෛද්‍යවරිය පවසන්නීය.
"මගේ දෙමව්පියන් මගේ ගමනට මාව දිරිමත් කළා"
නාග්පුර් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලද ඇය ඉල්ලුම් කර තිබුණේ කුවේටයේ පිහිටි ඇමෙරිකානු මිසමක වෛද්‍යවරියක ලෙස කටයුතු කිරීම සඳහාය.එහෙත් කුවේටයට පැමිණි ඇය එතැනින් 'ඩුබායි' කරා එවනු ලැබුණි.
' තත්ත්වය කොතරම් දුෂ්කරද කියන කාරණය මට වැටහුණේ එහි ළඟා වුණාට පසුවයි. එමීරයේ වැඩ කිරීම ඉතාම දුෂ්කර බව මට වැටුහුණා. එතරම් උෂ්ණාධික පරිසරයක වායු සමීකරණ පහසුකම් තිබුණේ නෑ'
කොන්ක්‍රීට් මං මාවත් මෙන්ම නිත්‍ය බල ශක්තිය බොහෝ දුර ඈත සිහින පමණක් වූ බව ඇය සිහිපත් කරන්නීය. එනම් යටිතල පහසුකම් පැවතුණේ අවම මට්ටමේ හෝ නැත්තටම නැතිවය. සුලේඛා සමග පැමිණි සිරියානු සහ ලෙබනන් වෛද්‍යවරු මෙවන් පරිසරයක සේවය කිරීමට සූදානම් නැති වූ බැවින් ආපසු හැරුණි. ඒ අතර සුලේඛා වෙනස් තීරණයකට පැමිණියාය. 'එමීරය වෙනුවෙන් මට කරන්නට දෙයක් ඇති බව මම තේරුම් ගත්තා. මහජනතාවට මාව අවශ්‍ය බව මම තේරුම් ගත්තා. මම වැඩ ආරම්භ කළා' සුලේඛා පුහුණුව ලබා සිටියේ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස වුව ද පැවති අවශ්‍යතාව අනුව ඇයට පිළිස්සුම්, සර්පයන් දෂ්ට කිරීම් සහ චර්ම රෝග වැනි පොදු කායික රෝග සඳහා ද ප්‍රතිකාර කිරීමට සිදු විය.
ඇය සිය මෙහෙවර ආරම්භ කරන්නේ වැඩි වශයෙන් ගෝත්‍රික ජනයා පදිංචි 'ඩුබායි' කාන්තාරයේ ඉදි කරන ලද තාවකාලික රෝහල් මඩුවකය. එහි මාස කිහිපයක් කටයුතු කරමින් සිටියදී ඇයගේ හාම්පුතුන් සාජාහි කුඩා සායනයක් ආරම්භ කිරීමත් සමඟ සාජා වෙතද කැඳවනු ලැබුවාය.
ඒ ගමන මේ දින වල මෙන් පහසු වූයේ නැත. ඩුබායි සිට සාජා දක්වා තිබුණේ කිලෝ මීටර් දොළහක පමණ දුරක් වුව ද ඒ දුර යාමට කොන්ක්‍රීට් පාරවල් තිබුණේ නැත. ඩුබායි කාන්තාරය දිගේ සාජා වෙත එන යන ගමනේ දී වාහන වැල්ලේ එරුණ වාර ගණන හිසේ කෙස් ගාණට වැඩි බව ඇය සිනාසෙමින් සිහිපත් කරන්නීය. දුෂ්කර වුවත් ඇයගේ විශිෂ්ඨ සේවය ජනතාව අතර මහත් ඇගයීමට ලක් විය. තමන් ලද සුවිශේෂ තෑග්ගක් ලෙස ඩුබායි හා සාජා වැසියන් මේ තරුණ වෛද්‍යවරිය සැළකුවාය. එමීර් වාසීන් ගෙන් ඇය නිරන්තර සම්මානයට පාත්‍ර වූවාය.
සුලේඛා ගේ දුෂ්කර ගමන හිතේ හයියෙන් සහ දැඩි කැපවීමෙන් කර ගෙන යද්දී 1971 දී එක්සත් අරාබි එමීරය රාජ්‍යය මට්ටමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ඒ සමගම එරට වෛද්‍ය පහසුකම් ද වේගයෙන් සංවර්ධනය වන්නට පටන් ගත්තේය.
ඉන්දියාවේ 'නාග්පූර්හි' පිළිකා රෝහලක් ඇතුලු රෝහල් තුනක හිමිකාරිය වීමේ ගමනක ආරම්භය සනිටුහන් කරමින් සුලේඛා පෞද්ගලික රෝහලක් ආරම්භ කිරීමට තීරණය කරන්නීය. අඩසිය වස කට අධික කාලයක් මහජන සේවයේ යෙදීසිටි ඇය මේ වන විට සාජා හි තමාගේම රෝහලේ සේවය කරයි.
'මම ජීවත් වන්නේ මෙහේ වුණත් ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතාව ඒ විදියටම තියා ගන්න අවශ්‍ය නිසා ඉන්දීය ගමන් බලපත්‍රය දිගටම නොවෙනස්ව තියා ගත්තා'
එක්සත් එමීරයේ කීර්තිමත් නාමයක් හිමි කර ගත් සුලේඛා ඩාවුඩ් එසේ පැවසුවත් ආපසු ඉන්දියාවට නොයන බව පවසන්නීය.
' මම දැන් අයිති මේ භූමියටයි. මගේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒත් මගේ අද නිවස මෙතැනයි'