පෙළපොත් අලුත් වෙලා | සිළුමිණ

පෙළපොත් අලුත් වෙලා

* ගිලිහී ඇති කියවීමේ රුචිය වැඩිවීමක්
* දරුවන්ගේ පීඩනය අවම කිරීමක්
* ගණිත රුචිය වර්ධනයට සරල ප්‍රවේශයක්
* නිමාව හොඳයි; ඇහැට ප්‍රියයි

පොතේ නිමාව දරුවාට ප්‍රියමනාප විදිහට තියෙනවා
අලුත් පොතක් ලිවීම පහසු කටයුත්තක් නොවේ

නව පාසල් වාරය ආරම්භවී පාසල් දරුවන්ගේ සිත් යළිත් ඉගෙනීම් කටයුතු කෙරෙහි යොමුවීමත් සමඟ කාගේත් අවධානයට යොමුව ඇත්තේ ඇතැම් ශ්‍රේණි සඳහා ලබා දී ඇති පෙළ පොත් කෙරෙහිය. කාලයක් පෙළ පොත් දරුවන්ට මහා බරක් ලෙස දැනෙද්දී මෙලෙස අලුතෙන් දරුවන් අතට පත්වූ පෙළ පොත් ගැන කවුරුත් සාධනීය ආකල්ප දැරීම සතුටට හේතුවකි. නිදහස් අධ්‍යාපනයේ පහස ලබන මෙරට දරුවන්ට නොමිලයේ ලැබෙන පෙළ පොත් මහඟු දායාදයක් ලෙස හැඳින්විය හැකිය.

වර්ෂ 1980 සිට සිසු දරුවන්ට නොමිලේ පිරිනැමෙන පෙළපොත් පාර්ලිමේන්තු පනතකින්ම නිර්දේශ කොට ඇති පරිදි වසර අටකට වරක් සිදුවන විෂය නිර්දේශ අලුත් වීමත් සමඟින් පෙළපොත් ද අලුත් වේ. ඒ අනුව 2008 වර්ෂයෙන් පසුව සිදුවූ විෂය නිර්දේශ වෙනසත් සමඟින් පෙළපොත් අලුත් වීමේ ක්‍රියාදාමය මෙවර 2015 වර්ෂයේ සිට වසරින් වසර ශ්‍රේණියෙන් ශ්‍රේණියට දරුවන්ට නව පෙළපොත් ලබා දෙමින් ක්‍රියාත්මක කෙරේ. මේ වන විට එය අවසාන අදියරට ළඟා වෙමින් පවතී.

පළමු ශ්‍රේණියේ සිට එකොළොස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනීම් කටයුතු කරන මිලියන 44ක් පමණ වන මෙරට සිසු දරුවන්ට පොත් වර්ග 400කින් පමණ සමන්විත පෙළපොත් වර්ෂයකට මිලියන 43ක් පමණ මුද්‍රණය කර බෙදා දේ. ඒ සඳහා රජය වර්ෂයකට වැය කරන මුදල් කන්දරාව බිලියන හතරක් පමණ වන බව අප කළ විමසීමක දී පැවසුවේ දැයේ දරුවන් වෙනුවෙන් නොමිලේ පෙළපොත් ලබාදීමේ කර්තව්‍යයේ ප්‍රධාන වගකීම දරන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාය.

2015 දී සය වැනි සහ දස වැනි ශ්‍රේණිවලත්, 2016 දී පළමුවැනි, හත්වැනි සහ එකොළොස්වැනි ශ්‍රේණිවලත් 2017 දී දෙවැනි සහ අටවැනි ශ්‍රේණිවලත් මේ 2018 නව වසරේ දී තෙවැනි සහ නවවැනි ශ්‍රේණිවලත් පොත් වෙනස් වූ බව පවසන කොමසාරිස් ජනරාල්වරයා සිවුවැනි සහ පස්වැනි ශ්‍රේණිවල පෙළ පොත් ඉදිරි දෙවසරේ දී අලුත් වන බව ද පැවසීය.

වසර අටකට වරක් සිදුවන පෙළපොත් වෙනස් කරන ක්‍රියාදාමයේ මෑත වසර තුනක සිට සිදුවූ වෙනස්කම්වල පැහැදිලි ගුණාත්මක වෙනසක් ඇති බව ගුරුභවත්හු මෙන්ම මවුපියෝ ද පවසති.

පෙළපොත්වල මෙවර සිදු කෙරුණු වෙනස්කම් ගැන ඉලංගසිංහ මහතා තොරතුරු පැහැදිලි කළේය.

“අලුත් පොතක් ලිවීම පහසු කටයුත්තක් නෙවේ. මෙහි දී සලකා බැලෙන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. පෙළපොත සම්පූර්ණයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබාදෙන විෂය නිර්දේශයට අනුකූල විය යුතුයි. ඒ වගේම විෂය නිර්දේශයේ සඳහන් සියලු කරුණු පෙළපොතට අතුළත් විය යුතු සේම විෂය නිර්දේශයේ සීමාවෙන් ඔබ්බට ගිය දැනුමක් සපයන්නක් ද විය යුතුයි. පොත ලිවීමට යොදාගන්නා භාෂාව අදාළ පන්තියට හා ශිෂ්‍ය වයස් මට්ටම මනාව ගැළපෙන්න ඕනැ. එසේම අන්තර්ගතය මෙන්ම භාෂාවේ නිරවද්‍යතාව සඳහා ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගැන මෙවර දැඩි අවධානයක් යොමු කළා. සිසුන්ට කියවා පහසුවෙන් අවබෝධ කරගත හැකි වන පරිදි ලියා අවශ්‍ය අවස්ථාවල දී රූප සටහන්, වගු, ප්‍රස්තාර ආදිය ඇතුළත් විය යුතුයි. සෑම පාඩමක්ම අවසානයේ ඇගැයීම් ක්‍රමවේදයක් තිබීම ආදී කරුණු ඇතුළත් විය යුතුයි.”

ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබාදෙන නව විෂය නිර්දේශයන්ට අනුකූලව පෙළ පොතක නිමාව සිදු කෙරෙනුයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගිනි. එම ක්‍රමවේදය අප හා විස්තර කළේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සංවර්ධන) නිර්මලා පියසීලි මහත්මියයි.

“සාමාන්‍යයෙන් සියලුම ශ්‍රේණිවල එක්වර වෙනස්කම් කරන්නෙ නෑ. එය පියවරෙන් පියවරයි කරන්නේ. ඒ වගේම පෙළපොත් වෙනස් වන ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ ක්‍රමවේදයට තව තවත් නව අංග එක්කරමිනුයි සියලුම ශ්‍රේණිවල පෙළපොත්වල වෙනස්කම් කළේ.

මෙදා පොත් සම්පාදනයේ දී 2008 දී කළ වෙනසට වඩා ලොකු වෙනස්කම් රැසක් කරලා තියෙනවා. සමහර විෂයන්ට මීට කලින් එක සංස්කාරකවරයෙක් පමණක් හිටපු අවස්ථා තිබුණා. නමුත් අපි මේ වතාවේ සංස්කාරක මණ්ඩලයට විෂය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරුන් වගේම ජාතික අධ්‍යාපන ආයතන නියෝජිතයකු, අමාත්‍යංශයේ විෂයට අදාළ නිලධාරියකු ලෙස සාමූහිකවයි පොත්-පත් සංස්කරණ කටයුතු සිදු කළේ. ඊට අමතරව මෙවර සෑම පොතකටම භාෂා සංස්කරණයට විෂය පිළිබඳ විද්වතකු යොදාගත්තා. මූලකෘතිවල නම යෙදිය යුතු සෑම තැනකදීම නම යෙදුවා. එමඟින් දරුවන්ට ස්වයං අධ්‍යාපනයක් ලැබීමට මහඟු දායකත්වයක් සපයන නිසා. උදාහරණයක් කිව්වොත් උපුටා ගැනීම කියා අදාළ පොතේ හෝ වෙබ් පිටුවේ නම යෙදීමෙන් දරුවන්ට තව තවත් තොරතුරු සොයා ගොස් දැනුම වැඩි කරගන්න එය මනා පිටිවහලක් වෙනවා. ඒ වගේම සෑම පාඩමක් අවසානයේ ඇගැයීම් ක්‍රමවේද මෙන්ම ප්‍රාථමික අංශ පොත්වල අවසානයට ගුරු උපදෙස් මාලාවක්ද සඳහන් කර තිබෙනවා.”

මෙලෙස සම්පාදනය කොට මුද්‍රණය කරන පොත් සංස්කරණයට එක් නොවූ බාහිර විද්වත් මණ්ඩලයක් මඟින් නැවත සමීක්ෂණයට ලක් කෙරේ. එසේම මුද්‍රණය කළ නව පොතක් අහඹු ලෙස තෝරා ගත් පාසල් කීපයක විෂයට අදාළ ගුරුවරුන් යොදාගෙන සිසුන්ට උගන්වයි. එම සමීක්ෂණයේ දී පොත ගැන ගුරුන්ගේ මෙන්ම සිසුන්ගේ ද අදහස් විමසා බැලේ.

එසේම තාක්ෂණික ඇගැයීම් කමිටුව මඟින් එක් එක් මුද්‍රිත පොතෙහි තිබිය යුතු භෞතික ගුණාත්මක තත්ත්වය පිළිබඳ සොයා බලන අතර පොතේ ප්‍රමාණය, කඩදාසියේ ස්වභාවය, ජීඑස්එම් ගණන (වර්ග මීටරයක ඇති ග්රෑම් ගණන) කඩදාසියේ දීප්තිමත්භාවය හා පාරාන්ධතාව ආදි භෞතික ලක්ෂණ ගැන නිර්ණය කොට පරීක්ෂාවකට ලක් කෙරේ. ඒ අනුව තාක්ෂණික ඇගැයීම් කමිටුව දෙන නිර්ණායකවලට අනුකූල වන පරිදි පෙළපොත් මුද්‍රණය මුද්‍රණකරුගේ වගකීමකි. තාක්ෂණික කමිටුව විසින් මුද්‍රණකරුවන්ගේ යන්ත්‍ර සූත්‍රද නිසි ප්‍රමිතියට තිබේදැයි පරීක්ෂා කෙරේ.

එවැනි කරුණු රාශියක් ගැන අවධානය යොමු කරමින් මුද්‍රණය කරන පොත් සාම්පලයක සියල්ල නිසි ප්‍රමිතියට තිබේදැයි විද්‍යාගාර පරීක්ෂාවකට ද ලක් කෙරේ. ඇතැම් දෙනා පෙළපොත් ගැන නොයෙක් දේ පැවැසුවත් අතිසූක්ෂ්ම සුපරීක්ෂාකාරී ක්‍රියාදාමයකින් අනතුරුව දරුවන්ගේ අතට පෙළපොත් ලැබෙන්නේ එසේය.

පිරිවෙන් 754ක් ද ඇතුළුව 11020ක් පමණ වන මෙරට පාසල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා දරුවන්ට ලැබෙන පෙළපොත් දරුවාට සේම ගුරුවරයාට ද අතිශය වැදගත්ය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ සහකාර විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ හසළ දැනුමැත්තෙකු ලෙස ප්‍රකට සරත් ආනන්ද මහතා මේ නව පෙළපොත් ගැන අපට කරුණු පැහැදිලි කිරීමක් කළේය.

“කියවීමේ පුරුද්දෙන් ඈත්වීම මෑත කාලයේ දරුවන්ගේ තියෙන ලොකු ගැටලුවක්. අපි හැම වෙලේම පුංචි දරුවන් උනන්දු කරනවා අඹ යාළුවො, මඩොල් දූව, ගඟ අද්දර කැලේ වගේ පොත් කියවන්න කියා. හැබැයි ළමයි ඊට යොමු වන්නෙ නෑ. මේ නව පෙ‍ළපොත් මඟින් දරුවාට කියවීමේ පුරුද්ද ඇතිකිරීමට හොඳ ප්‍රවේශයක් ඇති කරලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් පාඩමක් කියා දෙද්දි දරුවාට ඒ පාඩම නැවත කියවීමට ආශාවක් ඇති වෙනවා. ඒ හරහා දරුවන්ගෙන් බැහැරවෙලා තිබුණු කියවීමේ පුරුද්ද නැවත මතු කරගැනීමට මේ නව පෙළපොත් මඟින් අවස්ථාව සැලසිලා තියෙනවා. ඒකට හේතුව තමයි රූපමය, භාෂාමය පැත්තෙන් තියෙන සිත් ඇදගන්නා ස්වභාවය. කොටින්ම කිව්වොත් අතීත දරුවා ආච්චිගෙන් සීයගෙන් කතන්දර අහන්න තිබුණු ආශාව වැනි දෙයක් මේ පෙළ පොත්වලින් නැවතත් ඉස්මතු වෙලා තියෙනවා.

ඒ වගේම පොතේ නිමාව දරුවාට ප්‍රියමනාප විදිහට තියෙනවා. සිංහල පෙළපොත්වල හැම පාඩමකටම දරුවාට සමීප වීමට බොහෝම ලස්සනට චිත්‍ර දීලා තියෙනවා. එය හරිම වටිනා දෙයක්. ඒ හරහා දරුවා පොතෙන් ඈත්වෙන්නෙ නෑ. ඊළඟට පාඩමක් අවසානයේ අභ්‍යාසයක් දෙනවා වෙනුවට මෙවර වෙනම වැඩපොතක් දීලා තියෙන්නෙ. ඒකෙන් පොත් දෙකක් වීම නිසා දරුවාගේ සිතට යම් බර අඩුවීමක් වෙනවා වගේම පාඩම් පොත පැත්තක තියා පාඩම මතකයෙන් වැඩ පොතෙහි වැඩ කිරීමෙන් පාඩම දරුවාට හොඳින් කාවැදුණා ද කියලා ගුරුවරු ලෙස අපට තහවුරු කරගැනීමට පහසුයි. මහාචාර්ය ජේ. බී. සර් වගේ අය සම්බන්ධ වීම නිසා දරුවන්ගේ නිවැරැදි භාෂාමය හැකියාව දියුණු කරගන්න අවස්ථාව සැලැසිලා තියෙනවා. ඒ වගේම මෙවර තුන ශ්‍රේණියේ පොත්වල යම් සරල බවක් මම දකිනවා. එය දරුවාට තිබෙන පීඩනය අවම කරන්න කරපු හොඳ දෙයක්. ගණිතය පොත්වලටත් රූපමය අවස්ථා දීම නිසා දරුවන්ගේ රුචිකත්වය වර්ධනය වෙනවා. දරුවන්ට උහුලගන්න අපහසු අභ්‍යාසවලට එක්වරම නොයා ක්‍රමානුකූල යන ගතියක් මේ වෙනස්කම් වලින් පෙනෙනවා.

තව කරුණක්, පහුගිය යුගවල පෙළපොතයි ගුරු අත්පොත හෙවත් විෂය මාලාවයි දෙපැත්තක ගියේ. මේ නව වෙනස්කම් හරහා දෙකම එකපාරක යන ස්වරූපයක් තියෙනවා. ඊට පෙර ගුරු අත්පොත්වල තියෙන පාඩම් ළමයින්ගේ පෙළපොත්වල නෑ. ළමයින්ගේ පෙළපොත්වල තියෙන පාඩම් ගුරු අත්පොත්වල නෑ. ඒක තවත් පහදනවා නම් 4 ශ්‍රේණියේ තුල්‍ය භාග. ළමයින්ගේ පොතේ තියෙනවා. නමුත් ගුරු අත්පොතේ නැහැ.

මීට පෙර පොත්වල සෑහෙන වැරැදි තිබුණා. ඒ කියන්නෙ සංශෝධන අවුරුද්දෙන් අවුරුද්දට ඒ පොත්වල වුණා. උදාහරණයක් පස්වැනි ශ්‍රේණියේ සිංහල කියවීම් පොත. ගුරුවරු දැකලා කියන කියන ගානෙ අවුරුද්දෙන් අවුරුද්දට ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස වෙනස්කම් කළා. මේ සැරේ අපිට එහෙම වැරැදි දකින්න නැහැ. ඒකට හේතු ලෙස මම දකින්නෙ හොඳ පිරිසක් ඒකාබද්ධව සාමූහික ප්‍රයත්නයක යෙදිලා තියෙනවා කියන කාරණයයි එතැනින් පිළිබිඹු වන්නෙ.

හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා, දරුවන්ට නිවැරැදිව අකුරු ලිවීම හුරු කිරීමට ජාතික අධ්‍යාපන කොමිසම දෙන ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් හල් කිරීම. නමුත් ඒ ක්‍රමයට පෙළපොත්වල මුද්‍රණය වෙලා නැහැ. එම නිසා පෙළපොත් තුළින් දරුවාගේ ඇස ගැටෙන අකුර නොවෙයි උගන්වන්න වෙලා තියෙන්නෙ. එය අඩුවක්”.

ගුරුවරුන්, සිසු දරුවන් සේම පෙළපොත් පරිහරණය කරන තවත් පිරිසක් ද සිටිති. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දු වන දෙමවුපියෝය. පසුගිය වසර කීපයේ පෙළපොත්වල සිදුවූ වෙනස්කම් හොඳින් දුටු මවක වන රක්ෂණ සංස්ථාවේ සේවය කරන මීරිගම පදිංචි ගයා කුමුදුනී මහත්මිය මෙසේ අදහස් ප්‍රකාශ කළාය.

“පාසල් යන මගේ දරුවන් තිදෙනාටම නව පෙළපොත් පරිහරණය කරන්න ලැබුණා. පෙළපොත් කියන්නෙ දරුවන්ට, ගුරුවරුන්ට වගේම පාඩමක් ගැන කියා දීමේ දී දෙමාපියන්ටත් ලොකු අත්වැලක්. ඇත්තටම මීට පෙර පැවැති පොත්වලට වඩා මේ පොත්වල ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම පොත්වල නිමාව ඉතාම හොඳයි. ඇහැට හරිම ප්‍රියයි. ඉතාම මිල අධික පොතක් හා සමාන වටිනාකමක් පොතේ තියෙනවා. ඒ වගේම චිත්‍ර, මූලාශ්‍රය සටහන්, වෙබ් අඩවිවල නම් සඳහන් කොට තිබීම හරිම වටිනවා අමතර කරුණු දරුවන්ට සොයා දීමට. හැබැයි එකම ගැටලුව විෂය කරුණුවල තියෙන බරකම. අපි සාමාන්‍ය පෙළට ඉගෙන ගත්ත දේවල් අද හයේ, හතේ පොත්වල තියෙන්නෙ. ඒත් හැබැයි අද දරුවන්ගේ ධාරණ ශක්තිය ඉතාම ඉහළයි.”

Comments