
මාකඳුරේ ගුණවර්ධන කවියා තරම් නිදහස්කාමී අන් පුද්ගලයකු කවීන් අතර නොවී ය. ඔහු 1924 දී රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන්පන්න කෝරළයේ මාකඳුරේ ග්‍රාමයේ ය. මාකඳුරේ කුඩා කල පටන් ම ‘සොඳුරු දඩබ්බරයෙකි.’ වයස අවුරුදු පහළොවේදී ගෙදරින් අමනාපව ගොස් නතර වූයේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ට අයත් රත්නපුර සිරිසුමන පිරිවෙනෙහි ය. ඒ වනවිට ඔහු අකුරු කරමින් සිටියේ ඇමටියගොඩ ප්‍රාථමික පාසලේ ය. අවුරුදු 18 වන්නටත් පෙරම ඔහු පද්‍යකරණයට අත්පොත් තැබුවේ ය. ඔහු අතිශය ව්‍යක්ත බස් වහරක බුහුටි බවක් ලත් කවියෙක් විය. බළන්ගොඩ ගුණවංශ නාහිමියන් ඇසුරේ පැවිදි බිමට බට මාකඳුරේ කොටදෙනියාවේ අඹගහලන්දේ විවේකාරාමයේ වසර 7 ක් පමණ චීවරය දරා සිටියේ ය. ඔහුගේ කවීත්වයේ බුහුටි බවට ඉමහත් ආලෝකයක් ලැබුණේ රත්නපුරේ සිරිසුමන පිරිවෙනින් හා බලගල්ලේ සරස්වතී පිරිවෙනින් ලද ප්‍රාචීන පතපොත ඇසුරින් නිසා බව පෙනේ.
සිය නායක හිමියන් සමඟ ඇති වූ කතා බහක් දුරදිග යෑමෙන් ඔහු සිවුරු හැර දමා කුරුණෑගල ප්‍රදේශයට ගොස් එහිදී මග තොට යන එන අයට ශාස්ත්‍ර කීමට පටන් ගත්තේ ය. ඔහු ජ්‍යොතිෂ දැනුම ලබා ගත්තේ බලගල්ලේ සරස්වතී පිරිවෙනේදී බැව් ප්‍රකට ය. 1940 ගණන්වලදී හේමපාල මුනිදාසයන් සංස්කරණය කළ ‘සිංහල බලය’ පුවත්පතට කවි ලියූ අල්විස් පෙරේරා, කුඩලිගම, මීමන, බටුගෙදර වැන්නන් සමඟ හරි හරියට කවි ලිවීමට පටන් ගත්තේ ය. 1949 වන විට මාකඳුරේ ගුණවර්ධන ප්‍රකට කවියකු බවට පත්ව සිටියේ ය. 1949 ‘මීවදය’ පොසොන් කලාපයට ජොනියා නමින් කවි පෙළක් රචනා කළේ ය. මේ කවි පෙළම ඔහුගේ ප්‍රතිභාවට දෙස් දෙයි. එය ‘ජොනියා’ නම් සුනඛයකු පිළිබඳව ලියැවුණු හෘදය ප්‍රකම්පනය කැරෙන තරමේ පුවතක් රැගත් පද්‍ය පෙළකි. ඌ ගමේ සෑම ගෙදරකින් ම සංග්‍රහ ආදරය ලබන සුනඛයෙක් ය. ගම්මු පන්සල් යන විට ඌ ඔවුන් සමඟ පන්සලට යයි. පින්කම් පොළට යයි. බණ මඩුවට ගොඩ වෙයි. ගම්මුන් සමඟ එකට හිඳ බණ අසයි. ගමේ මැරෙයක් දිනක් මේ බල්ලාට වෙඩි තබයි. ඉන් සංවේගයට පත් මාකඳුරේ ඉහත කී ‘ජොනියා’ නම් වූ කවිපෙළ ලියයි. වචන දහසක ගද්‍ය ඛණ්ඩ පෙළකින් ලිවිය නොහැකි දෙයක් මේ කවි පේළි හතර තුළ ගැබ්ව ඇති බව දෙස බලන්න.
“ජොනියා අනන්තය බුදුගෙය ගිය වාර
වෙඩිකාරයා නොදනී වෙහෙරට පාර
මේ දෙදෙනා කෙරෙන් කවුරුද අවි චාර
යනු විමසීම හිමියනි ඔබටය බාර”
ඔහු මේ ආයාචනය කරන්නේ බුදු හිමියන්ට ය. මා මේ සටහන ආරම්භ කරද්දීම පැවසුවේ මාකඳුරේ අතිශය නිදහස්කාමී පුද්ගලයකු කියා ය. ඔහු අවසාන කාලයේ සිටියේ වේයන්ගොඩ ය. රැකියාවක් නොකළ මාකඳුරේ ගේ බිරිය සතු කුඹුරු වතුපිටි තිබුණි. බත බුලතින් අඩුවක් නොවූ නිසා ම මාකඳුරේට මේ නිදහස් පිළිවෙත තව තවත් පහසු කළේ ය. උදෑසනම වේයන්ගොඩ නගරයට එන මාකඳුරේ පළමුව හමුවන බසයට ගොඩ වෙයි. එය මහනුවර පැත්තට යන බසයක් නම් ඔහු කෙළින් ම යන්නේ මල්ලව කවියාගේ ගෙදරට ය. කොළඹ පැත්තට යන බසයක් හමුවී නම් කෙළින් ම කුඩලිගමගේ ගෙදරට යයි. කුරුණෑගල පැත්තට යන බසයක් වී නම් හෙතෙම බෝගමුවේ දයා ඒකනායක කවියාගේ නිවහනට ගොඩ වෙයි. ඔහුගේ මේ නිදහස්කාමී පිළිවෙත හොඳින් දැන හඳුනාගෙන සිටි සූරසේන ආටිගල කවියා සිය ‘දියඇල්ල’ නම් සඟරාවට මාකඳුරේ ගැන සටහනක් තබන්නේ මෙසේ ය.
“නෑවෙන්නේ කොතැන ගියත් විනෝද රස පීල්ලේ ය
ඇඟටම ගොඩවුණ අයෙකුගෙ වුවත් ඇඟට නේල්ලේ ය
අද කොළඹය හෙට වේයන්ගොඩ අනිද්ද ගාල්ලේ ය
උදේ හමුවුණොත් බසයක සවස ඇත්තේ රේල්ලේ ය”
මාකඳුරේ පිළිබඳ පුදුමාකාර හරස් කැපුමක් මේ කවිය තුළ ගැබ්වී ඇත.
ලේඛනයට මෙන්ම හිටිවන කවි බිණීමෙහිද මාකඳුරේ ඉමහත් සමත් කමක් පෙන්වීය. වරක් බිංගිරියේ සෙනරත් විජයකුමාර, ඇටියාගොඩ බණ්ඩාරනායක හා මාකඳුරේ ගුණවර්ධන කවීහු තිදෙන ගොඩකවෙල වේරහැර පිහිටි සිරිසේන ගුරුසිංහ කවියාගේ නිවහනට ගොඩවැදුණේ ගුරුසිංහ කවියාගේ ආරාධනයක් පරිදි ය. ඔහු මේ තිදෙනාට ආරාධනා කොට තිබුණේ කුරහන් තලප හා දඩමස් භෝජනයක් සඳහා ය. ගුරුසිංහ කවියාගේ බිරිය අමුත්තන් තිදෙනා කලින් ම කෑම මේසයටම කැඳවාගෙන ගියා ය. ඇය පිඟන් හතරකට තලප ගුළි දෙක බැගින් බෙදා මුළුතැන්ගෙට දිව ගියේ දඩමස් ගෙන ඒමට ය. දඩමස් තැම්බීමට තරමක වේලාවක් ගත විය. මේසය වටා හිඳගෙන සිටි පිරිස කට හඬ අවදි කළහ.
(බිංගිරියේ) “කුරහන් කන්න මොනවද ගෙයි ඇති හොද්ද
(ඇමටියගොඩ) හොද්දක් නැති හැඩයි ඒකයි නිස් සද්ද
(ගුරුසිංහ) හොද්දක් නැතුව කවුරුන් කුරහන් කත්ද
(මාකඳුරේ) ගුළිදෙක විතරක්ද වෙන මොනවත් නැද්ද”
සිංහල කවිය තුළ විරල එහෙත් ප්‍රශස්ත කාව්‍ය විශේෂයක් වන මාලා බන්ධන කවි නමින් හඳුන්වන මේ පද්‍යම මාකඳුරේගේ කවිත්වය කෙතරම් විශිෂ්ට ද යන්න අපට කියා පායි.
“තරුණියක් නැති ගෙදර හරියට මල් ගහක් නැති මිදුල වාගෙ යි
මල් ගහක් නැති මිදුල හරියට දෙව් රුවක් නැති දෙවොල වාගෙ යි
දෙව් රුවක් නැති දෙවොල හරියට පුන්සඳක් නැති අහස වාගෙ යි
පුන්සඳක් නැති අහස හරියට තරුණියක් නැති ගෙදර වාගෙ යි”
වරක් අගනුවර තරුණ කවි සමාජයේ සාංවත්සරික උත්සව සංවිධාන කටයුත්තක් සඳහා උඳුගොඩ නවරත්න කවියා සමඟ නුවර යෑමට මාකඳුරේට පැවරුවේ එවකට එහි උප සභාපති ධූරය හෙබවූ බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා කවියා ය. මේ උපදෙස ලද වහාම මාකඳුරේ උඳුගොඩට තැපැල් පතක් යැවීය. එහි සඳහන් වූයේ
“මහනුවර යන්න ට - සිදුව ඇත අප දෙන්න ට
කතා කර ගන්න ට - පාන්දරියෙන් වරෙන් බං හෙ ට”
උඳුගොඩ එවකට නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහලේ විදුහල්පතිවරයා ය. ගුරු විදුහලට ලැබෙන ලියුම් වීදුරු රාමුවක් තුළ බහා තැබීම එකල සිරිත විය. ‘බං’ ඇමතුමෙන් සිය විදුහල්පතිතුමා අමතා එවූ තැපැල්පත දුටු ඇබෑසි විදුහලේ සිසු ගුරුවර ගුරුවරියෝ ‘පාන්දරින් වරෙන් බං හෙට’ යනුවෙන් තැනින් තැන කියන්නට විය. මෙයින් සසල වූ උඳුගොඩ වහාම මාකඳුරේට තැපැල් පතක් යැවීය. එහි මෙසේ විය.
“බං කියන හෑලී - ලියා එව් කවි පේළී
උගුරකට වේළී - ඉරා දැමුවෙමි කෑලි කෑලී
උඳුගොඩ වෙනුවට තැපැල්පතක් පැමිණි බව දුටු මාකඳුරේගේ ඉහමොළ රත්විය. මේ මාකඳුරේ උඳුගොඩට ලියා යැවූ පිළිතුරයි.
“බං ලියැවුණේ බං
වැරදීමකින් බං
ඒ වචනෙ හරි බං
බං කියන එක වරදක් ද බං”
අනතුරුව සිනහවකින් එය පිළිගත් උඳුගොඩ මාකඳුරේ සමඟ මහනුවර බලා පිටත් වූහ.
මාකඳුරේ ගුණවර්ධන කවියා අගනුවර කවි කුලයේ සුන්දරම සද්ධිවිහාරිකයෙක් විය. ඔහු පිළිබඳව තරම් රස කතා ඇති කවියෙක් නොවූ විරූ තරම් ය. 1982 ඔක්තෝබර් 7 දා කීර්ති ශේෂ භාවෝපගත වූ මාකඳුරේ කවියාගේ පත්තලගෙදර ඇති සොහොනේ එතුමා විසින් ම විරචිත කවියක් ඒ ඵලකයේ තවමත් සටහන්ව ඇති බව මෙනෙහි වද්දී අපේ දෑස් අග කඳුළක් නොරඳවයි ද?
“කන්දට නොවැටහෙයි නිල් දියෙහි සීතල
උල්පත තියෙන්නේ කඳු මුදුන පාමුල
ලෝකය සුවඳ කළ මුත් දිවා රෑ කල
නා ගස දන්නෙ නෑ දෙන සුවඳ නා මල”
මෙය මාකඳුරේ ගුණවර්ධන කිවිඳා තමා ගැනම කළ ආත්ම සටහනක් දෝ යි අපට සිතේ.