ගස් සෙවණේ අකුරු කරන පුංචි පාසල | Page 2 | සිළුමිණ

ගස් සෙවණේ අකුරු කරන පුංචි පාසල

මේ ස්මාට් ක්ලාස් රූම් ගැන කතා කරන යුගයකි. එහෙත් කොළඹ තදාසන්න පාසල් හා ප්‍රධාන නගර ආසන්නයේ පාසල් කීපයක් හැරුණු විට අපේ රටේ ඇතැම් පාසල් සඳහා ඇත්තේ අවම පහසුකම්ය. දුෂ්කර පළාත් කරා යද්දි ඒ පළාත්වල දරුවන්ට පාසලෙන් ලැබෙන ප්‍රතිලාබ අවම වෙන්නේ ඉගෙනුමට අවශ්‍ය පහසුකම් අවම වීම හේතු කොටය. එහෙත් ඉගෙනුමෙන් සමාජ තත්ත්වය ගොඩනඟා ගැනීම හා ජීවන අභිවෘද්ධිය සලසා ගැනීම හැර වෙන විකල්පයක් නොමැති බැවින් කටුක දේශ ගුණය ඇතුළු සියලු දුෂ්කරතා මැඩගනිමින් ඉගෙනීමේ පුතිඵල නෙළා ගැනීමට දරුවෝ උත්සුක වෙති.

ඔවුන් ඉගෙනුමට ගන්නා වෙහෙස විමසද්දී ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලැබේ නම් ඔවුන් ජනප්‍රිය පාසල්හි දරුවන් අභිබවා යනු ඇතැයි අපට සිතේ.

ශුෂ්ක පරිසරයේ රුක් සෙවණේ සිට අකුරු කරන මේ දරුවන් අපට හමු වූයේ කැබිතිගොල්ලෑවේදීය. වෙනත් ගමනක් යමින් සිටි අප ගිය වාහනයේ තිරිංග තද වූයේ දුෂ්මන්ත මායාදුන්නගේ හඬෙනි. ගරාවැටුණු මැටි ගොඩනැගිල්ලක් අසල රුක් සෙවණේ අකුරු කරන දරුවන් අප නෙත ගැටුණේ එවිටය. දුෂ්මන්ත ගේ කැමරාව ක්‍රියාත්මක වෙද්දී ගුරුවරිය අප කරා පැමිණියාය.

“අනවසරයෙන් පින්තූර ගන්න බෑ. ඔයාලා කවුද ?” ඇය ප්‍රශ්න කළාය. අනවසරයෙන් ම දම්වැල්වැට පැන ගිය මම, “අපි මේ ලස්සන ඉස්කෝලේ දැකලයි පින්තූරයක් ගත්තේ” යැයි පවසා අපගේ අනන්‍යතාව හෙළි කළෙමි..

“අනේ මිස් මේවා පත්තරවල දාන්න එපා. පසුගිය දවසක අපිට ප්‍රශ්න ගොඩක් ආවා.” එසැණින් කොහේදෝ සිට එතැනට පැමිණි චිදුහල්පතිවරයා පැවැසීය.

විශ්වාසය තහවුරු කරගත් අපි රුක් සෙවණේ සිටම ආගිය තොරතුරු කතා කළෙමු. දුෂ්මන්තගේ කැමරාව දෙස බලා සිටි දැරියක් කඩදාසි කොළ නවා සකසා ගත් කැමරාවක් තම සාක්කුවෙන් ගෙන පොඩ්ඩක් හිනාවෙන්න යැයි මගෙන් ඉල්ලීය. මම සිනාසුණෙමි. ඔයා ලස්සනයි. මේ ඩිජිටල් ලෝකයේ ඇය ඇගේ කඩදාසි කැමරාවේ සටහන් කරගත් මගේ රුව විශ්වයේ කොතැනක හෝ රැදී ඇත්නම්...

එක බංකුවේ දරුවෝ අටක් පමණ වාඩිවී සීටිති. ඒ පන්තියේ ගුරුතුමිය දරුවන් ගේ පැනයන්ට පිළිතුරු දෙමින් ක්ෂණිකව සන්නිවේදනය පිළිබද පාඩමක් ආරම්භ කළාය. දරුවන්ගේ මුහුණු ප්‍රීතියෙන් බැබළෙමින් තිබිණ. දුෂ්මන්ත ඒ සිනහ මුහුණු කැමරාවේ සටහන් කරගත්තේය.

දරුවන්ගේ කාලයද උදුරාගත් අපි වීදුහල්පතිතුමා සමඟ කතා කරමින් පාසල පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත්තෙමු. එය අනුරාධපුර කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පිහිටි කහටගොල්ලෑව ද්විතීය කනිටු විදුහලයි. පාසලේ එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. පාසලේ වේදිකාවේ හා නැටුම් කාමරයේ ද පන්තිය.

මැටි ගෙඩනැගිල්ලක පවත්වන පස් වැනි පන්තිය නිරතුරුව ඉදි කළ යුතුය.

“පරිගණකාගාරයක් තිබුණත් අපට එය පවත්වාගෙන යෑමට සුදුසු ⁣ගොඩකැගිල්ලක් නෑ. දූවිල්ල නිසා පරිගණක හානි වෙනවා. ගුරු හිඟයත් අපට බලපානවා.” යනුවෙන් පාසලේ විදුහල්පති එච්. බී. ඒ. උදය කුමාර මහතා පවසයි. තාක්ෂණයෙන් දරුවන් ඉහළට ගෙන යෑම අරමුණු කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූවද මේ පාසලට පරිගණක තාක්ෂණය ඉගැන්වීමට ගුරුබවතෙක් නැත. පාසලට ගුරු භවතුන් දහසය දෙනකු සිටියද ගුරු හිඟය පාසලේ ප්‍රමුඛ ගැටලුවයි. පාසලේ දරුවෝ 21ක් මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටිති. එහෙත් ඒ දරුවන්ට ගැන්වීමට 2017 වසරේ ජනවාරියේ සිට ඉංග්‍රීසි හා මාර්තු මාසයේ සිට වාණිජ හා ගිණුම් විෂයන් සඳහා ගුරුවරුන් නොමැත.

පන්ති කාමරයක් සදහා අඩි විස්සයි විස්ස ගොඩනැගිල්ල ඉදිකර ගැනීමට ගුඩ් නේෂන්ස් අනුග්‍රහයෙන් රුපියල් 100000 ක් ලැබුණද එහි වහලය ඉදිකර ගැනීමට නොහැකිව විදුහල්පතිවරයා ළතැවේ. දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා හිඟපාඩු බොහෝය. මේ ගම්බද පාසලේ දක්ෂ දරුවන් වෙනුවෙන් යමක් කරන්නට ඇත්නම් යන සිතුවිල්ල සිතේ පිළිරැව් දේ. අප මෙලෙස සටහනක් තබනුයේ එබැවිනි. ඒ දරුවන්ගේ අපේක්ෂා කවුරුන් විසින් හෝ ඉටුකරනු ලබන්නේනම් එය මහත් පිනකි. පෝෂණ පාසලක් නැති මේ පාසල නෙවෝද්‍යා පාසල්වලට හෝ පාසල් 1000 ව්‍යපෘතියට හෝ අයත් නැති පළාත් සභාව යටතේ පවත්නා පාසලකි. තවත් මෙවන් පාසල් රැසක් රට පුරා ඇත. ඒ සියලු දරු දරියන්ට අධ්‍යාපනයේ සම අයිතිවාසිකම් ලැබෙන්නේ නම් ඔවුන්ද තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් රටටද සම්පතක් වනු නොඅනුමානය.

ටෙක්ලා පද්මිණී කාරි­ය­ව­සම්  

Comments