අපේ මුහුදු සීමා­වෙන් එක­ව­රම මතු වූ සමු­දුරු අප්ස­රා­වියෝ | Page 2 | සිළුමිණ

අපේ මුහුදු සීමා­වෙන් එක­ව­රම මතු වූ සමු­දුරු අප්ස­රා­වියෝ

අප අවට මුහුදේ සතර කොන් හොඳින් දන්නා ඔවුන් එදා දියඹේදී දුටුවේ මෙතෙක් කිසිදා නොදුටු දෙයකි. දෑස් දල්වා ඒ අලංකාර සතුන් දෙස බලා සිටි ඔවුන් ගොඩබිමට පැමිණ දුන් පණිවිඩයත් සමඟ කල්පිටිය අවට මුහුදු තීරය පිරී ඉතිරී ගියේ එම දසුන යළිත් දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු මුහුදු සංචාරකයන් හා පර්යේෂකයන්ගෙනි. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපය සොබා දහම සුරකින මුහුදු කලාපයක්ය යන පණිවිඩය ද රැගෙන පැමිණි මේ සතුන්ගේ අාගමනය අපට වැදගත් වනුයේ අපේ මුහුදු තීරයෙන් මේ සතුන් වඳවී ඇතැයි මෙතෙක් සිතා සිටි මතය දුරු වන බැවින්ය. කිසිදා පණ පිටින් දැක ගත නොහැකියැයි සිතූ ඒ සත්ව විශේෂය සැබැවින් දැක ගත් පිරිස් වාසනාවන්ත යැයි පවසනුයේ එනිසාය.

 

මේ වසර අවසාන වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණි. මේ අවසන් අදියර පසු වන සමයේ ලෝක වාසී කාගේ කාගේත් අවධානය දිනාගත් මාතෘකාවක් බවට පත් වී ඇත්තේ පරිසරයේ සිදුවන වෙනස්කම්ය. බොහෝ පාරිසරික විපත්තීන්ට මුහුණ දීමට සිදු වන මාසයක් ලෙසද අවසන් මාසය හැඳින්විය හැකිය. ඊට නිදසුන් වන මතකයේ රැඳුණු ප්‍රධාන සිදුවීම් කිහිපයකටම ඉකුත්ව ගිය වර්ෂ අගදී ජාති කුල මල ආගම් බේදයකින් තොරව ලෝකවාසීන්ට මුහුණ දීමට සිදු විය. ඒ අමිහිරි මතක අතරට මේ වසරේ ද අග භාගයේ සිදු වු වැසි කුණාටු තත්ත්වය ද අයත්ය. සොබා දහම එබඳුය. වර්ෂය අවසානය හෝ වේවා වසරේ මුල හෝ මැද හෝ කියා බේදයක් නැත. සොබාදහමට කීකරු නොවන කල පෙරළා බැට දීමට වග බලා ගනී. සොබා දහමේ නීති - රීතින් උල්ලංඝනය කරමින් මිනිසා විසින් සිදු කරන්නා වු ව්‍යසන සියල්ලක්ම නිහඬවම විඳ දරා ගෙන සිටින නමුදු ඒ සියල්ලක්ම හිලව් කරමින් අවසන වැඩ අල්ලයි. මිනිස් සිත් සතන් සෝ - සුසුම් ගඟුලක ගිල්වයි.

ලෝකයේ සෙසු රටවල් හා සාපේක්ෂව ගත් කල අපේ රට එවැනි වු සොබාදහමේ අකාරුණිකකම්වලට ගොදුරු වන්නේ අල්ප වශයෙනි. එයට හේතුව වන්නේ අපේ මිනිසුන්ට යම් තාක් දුරකට හෝ සොබාදහම පිළිබඳ කිසියම් කැක්කුමක් පැවතීම හා එනිසාම සොබාදහමේ අයිතීන් සුරැකීමට යම් තරමකට හෝ වෙහෙසීමය. ඒ සඳහා වන කදිම නිදුසුනක් පසුගිය දිනෙක අපේ රට ආශ්‍රිතව සිදු විය. සොබාහමට ආදරය කරන කාගේත් අවධානය මේ ආරංචිය වෙත ඇදී ගියේ නිතැතිනි.

ස්ථානය කල්පිටිය ආශ්‍රිත මුහුදු කලාපයයි. දිනය නොවැම්බර් දෙවැනි සතියය. ඒ ආසන්න මුහුදු සීමාවේ සිරිසර දැකීමට උත්සුක වූ සංචාරකයෝ සිවු දෙනෙක් උදෑසනම බෝට්ටු සංචාරයක යෙදුණහ. සංචාරය අතරතුරදී ඔවුන් මුහුණ දුන්නේ කිසි විටෙකත් නොසිතූ සිදුවීමකටය. මේ සිද්ධියට මුහුණ දී ඒ ගැන අප හා තොරතුරු පැවසුවේ ඉෂාන් ප්‍රනාන්දුය. ඔහු පළපුරුදු මුහුදු සංචාරක මඟ පෙන්වන්නෙකි.

“අපි එදා උදෙන්මයි මුහුදු ගියේ. මුහුදේ ඉක්කර නමින් හඳුන්වන ප්‍රදේශයට ළඟා වෙනකොට ඩොල්පින් වර්ගයට අයත් කබරමුල්ලා ලෙස හඳුන්වන මාළු පස් දෙනෙක් බෝට්ටුවේ දිය රැලි සීමාවට ඔබ්බෙන් ඉදිරි රල කපා ගෙන පිහිනා ගෙන යනවා අපි දැක්කා.. මම වෘත්තියෙන් මුහුදු සංචාරකයින්ට මඟ පෙන්වන්නෙක්. මෙවැනි සතුන් අපි ඔනෑ තරම් දැක තියෙනවා. ඒ අත්දැකිම් එක්ක මම හිතුවේ මේ නම් ඩොල්ෆින් කියලමයි. නමුත් ඩොල්ෆින්ට වැඩිය අමුත්තක් මං මේ සතුන්ගේ දැක්කා. ඒ හින්දා මං මේ මාළුන් ගැන වඩාත් සැලකිලිමත් වුණා. මේ කබරමුල්ලා ඩොල්ෆින් විය නොහැකි බව මම ඉන්තේරුවෙන්ම දැන ගත්තා. පෙනුම නම් මුහුදු ඌරාට බෙහෙවින්ම සමානයි. ඒහින්දා බෝට්ටුව ටිකක් විතර මාළුන්ට සමීප කළා. ඇත්තටම මගේ නිරීක්ෂණය නිවැරැදියි. මමත් මගේ මිතුරාත් මුලසිටම සිතු පරිදි මේ සත්ව විශේෂය මුහුදු ඌරන් බව අපට පැහැදිලි වුණා. අපේ මුහුදු කලාපයට මුහුදු ඌරා කියන සංවේදී ක්ෂිරපායි සත්වයාගේ පැමිණීම අපට හොඳ එමෙන්ම දුර්ලභ පණිවිඩයක්.”

මේ කතාව කන වැකුණු අපිද කථාවේ සුල මුල සෙවීමේ අදහසින් කල්පිටි මුහුදු ගියෙමු. මුහුදු ඌරා වශයෙන් නම් ලැබුවත් මේ සත්ව විශේෂය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනුයේ ‘ මහසමුදුරේ දේවතාවන් ’ හෙවත් ‘සමුදුරු අප්සරාවන් ’ලෙසය. මන්ද යත් මේ සත්වයින් ඒ තරම්ම වටිනා බැවිනි. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපය සොබා දහම සුරැකි මුහුදු කලාපයක්ය යන පණිවුඩය ද රැගෙන අපේ රටට පැමිණි මේ සත්ව විශේෂයේ ජිවන තතු අපූර්වත්වයෙන් අනූනය.

මේ සිද්ධිය සැලවීමත් සමඟ නොවැම්බර් මස මුල් සතිය කල්පිටිය ආශ්‍රිත මුහුදු කලාපයම සමුද්‍රීය ක්ෂිරපායින් ගැන අධ්‍යයනය කරන්නන්ගේ අවධානය දිනා ගැනිමට සමත් වු ප්‍රදේශයක් බවට පත් විය. එයට හේතුව වුයේ ඉතාමත් කලාතුරකින් දැක ගත හැකි, විශේෂයෙන්ම සජීවී පරිසරයකදී සජීවී සත්වයකු ලෙස දැක ගත හැකි යැයි කිසිලෙසකින්වත් විශ්වාස කළ නොහැකි සමුද්‍ර ක්ෂීරපායි සත්වයෙකු වන මුහුදු ඌරන් පස් දෙනකුම එක්වර බලා ගත හැකි වීමය.

මුහුදු ඌරා අයත් වනුයේ IUCN සංරක්ෂණ වර්ගීකරණ මට්ටම යටතේ රතු දත්ත පොතට නම ගිය ක්ෂිරපායි සත්ව ඛාණ්ඩයටය. රතු දත්ත පොතේ ඉතා දුර්ලභ සත්වයෙකු ලෙස මේ සත්ව විශේෂය නම් කර ඇත. එයට හේතුව වී ඇත්තේ මුහුදු ඌරන්ගේ යහ පැවැත්මට හානිකර වු මානව ක්‍රියාකාරකම්වල ක්‍රමික වර්ධනයක් සිදු වීමය.

මේ වසරේ නොවැම්බර් මස 08 වන දින ශ්‍රී ලංකාවේ කල්පිටිය ආශ්‍රිත මුහුදු කලාපයෙන් මුහුදු ඌරන් වාර්තා විමත් සමගම සමුද්‍රීය ක්ෂීරපායින් පිළිබදව අධ්‍යයනයන්හි නියැළෙන විද්වත්හු සහ පර්යේෂකයෝද සියඅවධානය මේ කාරණය පිළිබඳ සෙවීමට යොමු කළහ. අවසන් වරට මේ සත්වයන් පිළිබඳ අපේ රටෙන් වාර්තා වී ඇත්තේ 2016 නොවැම්බර් මාසයේ 08 වැනිදාට ආසන්න දිනකදීය. ඒ මන්නාරම කාල්පාඩු මුහුදු වෙරළ තීරය ආශ්‍රිතවයි. එදින ධීවරයින් දුටුවේ සිත් තැති ගන්වන සුලු මියගිය මුහුදු සත්වයෙකුගේ මළ සිරුරක් වෙරළට ගොඩ ගසා විත් ඇති ආකාරයයි. ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුම්වත් කිරිමෙන් අනතුරුව මෙම සත්ව විශේෂය අන් කවරකු හෝ නොව මුහුදු ඌරෙකුගේ ශරීරය බවට හදුනා ගෙන ඇත. විශාල ප්‍රමාණයේ සිරුරකින් හෙබි මේ සත්වයා මිය යෑමට හේතුවී ඇත්තේ සිරුරේ බාහිරව දක්නට ලැබුණු විශාල තුවාලයකි. තුවාල කැළල ගැඹුරු බව සත්වයා පරීක්ෂා කිරීමේදී අවබෝධ විය.

මසුන් මැරීම සදහා නිති විරෝධී ලෙස භාවිතයට ගන්නා ඩයිනමයිට් පිපිරීම් මෙම සත්වයාගේ ජීවිතය බිලි ගෙන තිබුණි. 2016 මැයි මාසයේදී ද විල්පත්තුව මුහුදු කලාපයට අයත් මොල්ලිකුලම ප්‍රදේශයේ දී ධීවරයෙකුගේ දැලට මුහුදු ඌරෙකු හසු වු බවට වාර්තා වී ඇත.

ඒ වනතුරුත් ඇතැම් පර්යේෂකයන් සිටියේ ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් මේ අනගි සත්ව විශේෂය වඳවී ගොස් ඇතැයි යන අනුමානයෙනි. සතා හසු කරගත් ධීවරයාද නීතියේ රැහැනට හසු විය. එසේම 2010 වසරේ දෙසැම්බර් මාසයේදී ද මන්නාරම ආශ්‍රිත මුහුදු කලාපයේදී මුහුදු ඌරන් දෙදෙනෙකු මරා මස් පිණිස ගොඩට රැගෙන ආ ධීවරයින් දෙදෙනෙකු පිළිබඳ වාර්තා විය. මේ මුහුදු ඌරන් දෙදෙනා ගැහැනු සහ පිරිමි ලෙස හඳුනා ගත් අතර පිරිමි සත්වයා ගේ බර ග්‍රෑම් 480 ක් පමණ සහ ගැහැනු සත්වයා ග්‍රෑම් 525ක් පමණ බරින් යුතු විය. වී ඇත. ගැහැනු සත්වයාගේ පියයුරුවල කිරි තිබීම හේතුවෙන් ඇය පැටවුන් සිටින සතකු ලෙසද වාර්තා විය. මෙම සත්වයින් ඝාතනය සදහා යොදා ගෙන ඇත්තේද ඩයිනමයිට්ය. මෙතෙක් අප මුහුදු සීමාව ආසන්නයේ හමු වූ විශාලතම මුහුදු ඌරන් ද මේ සතුන් වේ.අවාසනාව වන්නේ එලෙස හමු වූ සෑම ‍සතකුම මිය ගිය සතුන් විමය. එලෙස තිබියදී පසුගියදා සජීවිව මේ සතුන් දැක ගැනීමට ලැබීම ඉතාම විරල අවස්ථාවක් විය. කාලීනව මෙම දුර්ලභ මුහුදු ක්ෂිරපායින්ට එල්ල වු ජීවිත තර්ජන උග්‍ර වත්ම ඔවුන්ගේ ආරක්ෂාව සදහා දැඩි නීතිරීති පැනවිණ. 1937 දී නිති ගත වී කාලීනව සංශෝධනය වෙමින් යළිත් 2009 වසරේ අවසන් වරට සංශෝධනය වු වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ උපලේඛන අංක II යටතට අයත් වන දැඩි ලෙස ආරක්ෂිත ක්ෂිරපායි සතුන් හා උරගයින් ගේ නාම ලේඛනයේ මෙම සත්ව විශේෂය ඇතුළත් කර ඇත්තේ එවුන් ගේ ජීවිත වලට එල්ල වී ඇති තර්ජන හේතුවෙනි. එම ආඥා පනතේම තුන් වන කොටස යටතේ කොදු ඇට පෙළ සහිත හා රහිත සතුන් යටතට අයත් 30 (2) වගන්තිය යටතේ, II උපලේඛනයේ ඇතුළත් වන දැඩිලෙස ආරක්ෂිත ක්ෂීරපායි සතුන් හා උරගයින්ට අදාළව සිදු කරනු ලබන වැරැදි සම්බන්ධයෙන් වැඩි කර ඇති දඩ හා සිර දඩුවම් පිළිබඳ අර්ථ දක්වා ඇත.

මුහුදු ඌරා නමට සරිලන ආකාරයේ ඌරකුගේ හිසට සමාන වු ස්වභාවයකින් යුතු සත්වයෙකි. ගෙලක් නොපිහිටයි. සිරුර අළු සහ රතු දුඹුරු මිශ්‍රණයකි. උරපත් යුගල සහ ඩොල්ෆින්ට සමාන වු ඉස්කෝප්පාකාර වු වලිගය හේතුවෙන් දුටුමතින් මේ ඩොල්පින් යැයි වරදවා වටහා ගත් අවස්ථාද වාර්තා වී ඇත. ගැහැනු සතුන්ගේ දෙපස පිහිටා ඇති උරපත් යුගල ආසන්නව ස්ථන ග්‍රන්ථී පිටා ඇත. කුඩා පැටවු මවගෙන් කිරි උරා බීමට ඒවා යොදා ගනිති. හිසෙහි පිහිටීම පහසුවෙන්ම මුහුදු තෘණ ආහාර වශයෙන් බුක්ති විඳීමේදී පහසුවකි. ශාක භක්ෂකයෙකි. දිවා රාත්‍රී දවසේ වැඩි කාලයක් තණ සහ මුහුදු පැලෑටි සොයමින් බුදියි. අනතුරකදී වේගයෙන් පලා යයි. රංචු මෙන්ම තුන, පහ සහ දෙදෙනා බැගින් සැදි යුගල බන්ධන ලෙසත් හමුවේ.

මුහුදේ ජිවත් වුණත් මත්ස්‍ය විශේෂයක් නොවේ. ක්ෂිරපායි සත්ව‍ විශේෂයකි. උණුසුම් දිය ඇති මුහුදු සිමාවේ, මෝය ආශ්‍රිතව, නොගැඹුරු මුහුදු සිමාවට මේ සත්තු ප්‍රිය කරති. අපේ මන්නාරම කල්පිටිය අවට මුහුදු කලාපය, යාපනය අර්ධද්විපයට බටහිර මුහුදු කලාපය, ආදම්ගේ පාලම මුහුදු කලාපය මොවුන්ගේ කදිම ගොදුරු බිම්ය. මුහුදු තෘණ සදහා හිතකර වු පාරිසරික තත්ත්වයන් ඇත්තේ කොතැනද? මුහුදු ඌෙරා් එතැනය. මුහුදු තෘණවල යහපැවැත්ම මුහුදු ඌරාගේද යහපැවැත්මට සෘජුවම බලපායි. ඒවා විනාශ වී යෑම මුහුදු ඌරාගේ ද විනාශයට මුලය. ඒ විනාශයට මුල වන්නේද අවිධිමත්, පරිසරයට හානිකර වු මානව ක්‍රියාකාරකම්ය.

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සත්වයින් ඇතුළු සමුද්‍රීය ක්ෂිරපායි විශේෂයන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණයට ප්‍රමුඛතාව ලබා දිමේ අරමුණැතිව දිප ව්‍යාප්තව මුහුදු කලාපයන් ආවරණය වන පරිදි සමුද්‍රීය සංරක්ෂණ ඒකක ස්ථාපිත කර ඇති අතර ඒ සදහා විශේෂ පුහුණුවක් ලැබූ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ද රාජකාරීන්හි යෙදවීමට කටයුතු කර ඇත.

(මේ සතුන්ගේ සේයාරූ සජීවීව ලබා ගැනීම අපහසු කාර්යයකි. මන්ද යත් ඉතා දුර්ලභ සත්ව විශේෂයක් සේම මොවුන් මිනිස් ඇසින් වසන්ව ජීවත් වීමය.) 

 සඳ­මල් රශ්මි ශ්‍රී බුද්ධික   

Comments