සැඟ­වුණු දෙවොල | Page 2 | සිළුමිණ

සැඟ­වුණු දෙවොල

එක්තරා නගරයකි.

පසෙක ඇත්තේ බස් පොළ ය. අනෙක් පස දුම්රිය පොළ ය.

බස්වලින් දුම්රියෙන් බැස එන, බස්වලට දුම්රියට නගින්නට එන මගීන් සංඛ්‍යාව සුළුපටු නොවේ.

මෙසේ නගරයට එන මගී සමූහයාගෙන් පිරිසක් අනිවාර්යයෙන් ම ඇදී එන තැනක් මෙහි තිබේ. ඒ කාටත් පොදු මහජන වැසිකිළියයි.

වැසිකිළියකින් සැලසෙන්නේ ශාරීරික සැහැල්ලුවයි, සැනසිල්ලයි. එහෙත් මේ වැසිකිළිය ශාරීරික මානසික උභය සන්තුට්ඨිය සලසන්නකි.

දිනක් මම මේ වැසිකිළියට ගියෙමි. ශාරීරික සැහැල්ලුව ලදිමි. පිටතට’විත් ඔබ මොබ බැලීමි. මිනිසුන් මානසික සැනසිල්ල විඳින හැටි දැක බලා ගතිමි.

දඩිබිඩියේ මෙහි දිව ආවේ මැදිවියේ මිනිසෙකි. වැසිකිළිය ඇතුළට නොගිය ඔහු පිටත බිත්තියේ සිය දුරකථන අංකය ලියා ආ වේගයෙන් ම ආපසු යන්නට ගියේ ය. ඔහු දුම්රියක් අල්ලා ගැනීමට ගියා විය යුතු ය.

ඊළඟට බිත්තියේ කෙටි සටහනක් තැබුවේ තරබාරු අයෙකි. ඔහු බස්පොළ පැත්තට ගියේ ය. තවත් අයකු බිත්තියේ වූ අංකයක් දෙස බලා සිය ජංගම දුරකථනයේ අංක ඔබනු මට පෙනිණ. ඉනික්බිති වැඩියේ තලතුණා හිමි නමකි. වැසිකිළිය පාවිච්චි කළ හිමියෝ පිටතට පැමිණ බිත්තියේ තිබූ අංකයක් දෙකක් සිය දිනපොතේ ලියා ගත් හ.

මගේ කුහුල ඇවිස්සිණ. මම බිත්තිවලට කිට්ටු වී හොඳින් බැලුවෙමි. කිසිදු පිළිවෙළක් නැතිව, එක එක හැඩයට හදිසියේ ලියන ලද දුරකථන අංක රැසක් එහි විය. මේ නම් කිසිවකුගේ පර්යේෂණයට ලක් නොවුණු අමුතු ම සන්නිවේදන මධ්‍යස්ථානයක් යැයි මට සිතිණ.

‍මීට එරෙහි අය ද කඩමණ්ඩියේ දී මට හමු විය.

‘බලන්ඩ එක එක විකාර ලියල තියන හැටි! හරි කැතයිනේ. ඕව වැහිල යන්ඩ තීන්ත ගාන්ඩ ඕනැ. ඒත් ඒකට ඉඩ දෙන්නෙ නෑනෙ’ නිලධාරියෙකු වැනි අයෙක් කීවේ ය.

‘ඒ කවුද?’ මම ඇසීමි.

‘හොඳට හොයල බලන්ඩ! එතකොට තේරෙයි!’

නිලධාරියකුට පවා බිය ගෙන දෙන මේ බලවේගය කුමක් දැයි සොයා ගැනීමට මට යම් කලක් ගියේ ය.

අවසානයේ මට ඔහු හමු විය. දේශපාලන බලය මෙන් ම සමාජ බලය ද චණ්ඩි බලය ද ඔහු සතු යැයි මට සිතිණ.

මට ඔහු හමු වූයේ වැසිකිළිය අසල මගී චර්යාවන් නිරීක්ෂණය කරමින් සිටිය දී ය. ඔහු ද සිටියේ කිසියම් නිරීක්ෂණයක යෙදෙමිනි. සමහරවිට ඒ මා ගැන විය යුතු ය.

‘මහත්තය මොකද මෙතෙන්ට වෙලා කරන්නෙ? ලැට් එක පාවිච්චි කරන්ඩ ආව නං ඒ වැඩේ කරගෙන යන්ඩ ඕනැ. මං කීප විටක් දැකල තියනව මහත්තය මිනිස්සු දිහෑ බලබල ඉන්නව. ඇයි මහත්තය මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට හැසිරෙන්නෙ?’ ඔහු තදින් ඇසුවේ ය.

මට කිසියම් බියක් දැනිණ. එහෙත් මම එය යටපත් කරගෙන ඔහුට සිනාවක් පෑවෙමි.

‘මෙතන ටිකක් අමුතු තැනක් වගේ. මේ ගැන තේරුම් ගත්තොත් කෙටිකතාවක් ලියන්ඩ පුළුවන් කියල මට හිතුණ’ මම වචන එකතු කළෙමි.

‘එතකොට මහත්තය පොත් ලියන කෙනෙක්. පත්තරවලට ලියන කෙනෙක් නෙමෙයිනේ’

‘නෑ’

ඔහු මා හා හිතවත් වූයේ ඒ කතාබහෙනි.

‘මහත්තයො, මේක ගැන හිතල සාහිත්‍ය නිර්මාණයක් කරන එක වෙනයි, ඇත්ත කතාව ලියන එක වෙනයි. ඇත්ත හෙළිවීම හානිකරයි’ ඔහු කීවේ ය.

‘මට ඒක තේරෙනව’ මම කීමි.

‘මහත්තයො, මිනිස්සුන්ට නොයෙක් නොයෙක් වුවමනාකං තියනව. කෙනෙකුට කෙළින් කියා ගන්ඩ බැරි ජීවිතේ අඩුපාඩුකං තියනව. ඒව බොහො වෙලාවට ජීවිතේ හැංගිච්ච රහස්. මිනිස්සුන්ට ඒව හැමදාම හංගගෙන ඉන්ඩ බෑ. එතකොට පිස්සු හැදෙනව. ඒව කොහෙන් හරි පිටවෙන්ඩ ඕනැ. ඒව තමයි ඔය පිටවෙලා තියෙන්නෙ. දැන් බලන්ඩ, ජීවිතේ තනි වෙච්ච මිනිහෙක් ඇවිත් තමන්ගෙ ටෙලි‍ෆෝන් නොම්බරේ මේකෙ ලියල යනව. ඒ වගේ ම තවත් ප්‍රශ්නයක් තියන කෙනෙක් මේකෙ තියන අංකෙකට කතා කරනව. ඒ දෙන්නට දෙන්න යාළු වෙනව. එතකොට දෙන්නට ම යාළුවො ඉන්නව. ඒක ඉතිං හොඳයිනෙ. හැබැයි ඉතින් මට මහත්තයට කියා ගන්ඩ බැරි දේවලුත් මෙතනින් කෙරෙන්ඩ පුළුවනි. ඒව ඉතින් මහත්තය මොළේ කල්පනා කරල තේරුම් ගන්ඩ ඕනැ. මේක දේවාලයක් වගේ තැනක් මහත්තයො, මිනිස්සුන්ට ජීවිතේ දෙන තැනක්. අන්න ඒක හොඳට තේරුම් ගන්ඩ! මේක රැකුණොත් තමයි මිනිස්සුන්ට සැනසිල්ල ලැබෙන්නෙ. නැත්තං උන්ට පිස්සු හැදෙයි’

මම පුදුම වී ඔහු දෙස බලා සිටියෙමි. මට පෙනුණේ සාමාන්‍ය මිනිසකු නොව දෙවියෙකි.

‘මහත්තය, කට්ටියක් ආව මේකෙ තීන්ත ගාල යන්ඩ. උන් හිතන්ඩ ඇති මේකෙ තියන දේවල් මකල දාපුහම මිනිස්සුන්ගෙ ප්‍රශ්න සේරම නැතිවෙලා යයි කියල. මං උන්ට බැණල එළෝගත්තෙ! මම දිවා රෑ ඇහැ ගහගෙනයි ඉන්නෙ. බලන්ඩ මහත්තයො, අපි සීගිරියෙ කුරුටු ගී වැහිල යන්ඩ තීන්ත ගානවද? ඒවයින් සීගිරි ගල කැත වුණාද? වටිනාකමක් නෙමේද ලැබුණෙ? ඒකනෙ ආණ්ඩු ඒව රැක ගන්ඩ අවුරුදු පතා ලක්ෂ ගණන් මුදල් වෙන් කරන්නෙ? මේකත් ඒ වගේ මයි. එතන තියෙන්නෙ මැරිච්ච මිනිස්සුන්ගෙ ජීවිතේ. මෙතන තියෙන්නෙ ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ. ඉතින් මේක නැති කරල දාන්ඩද කියන්නෙ? මං ඉන්න කං ඒව හරියන්නෙ නෑ. මේකයි මගෙ තීරණේ. මහත්තය මේකට හානියක් කරල තිබුණොත් මං මහත්තයව අල්ල ගන්නව! හරිද?’

 

අනන්‍යතාව සඟවා සිටීමට කැමති  සිළුමිණ පාඨකයකු විසින් හෙළිකරන ලද්දක් ඇසුරෙනි.

 ගුණසිංහ හෙට්ටිආරච්චි

Comments