
ගෙතුළට ගිය නරේන්ද්‍ර ඈත මෑත බැලුවේය. නිදහස් රාත්‍රියකට ගැළපෙන නිවහනකි. ප්‍රියදෝණි කුඩා මුළුතැන් ගෙට ගියාය.
ගෙතුළ වූ සරල සොඳුරු දසුනින් ප්‍රමෝදයට පත් ඔහු ද ඇය සොයා මුළුතැන් ගෙට ගියේය.
“මහමායා මට පුදුම නිදහස් සතුටක් දැනෙනවා. ජීවිතය සරල වෙන්න වෙන්න මොන තරම් සැනසීමක් හිතට දැනෙනවද?”
“නෑ නරේන්. ජීවිතය සරල නැහැ සංකීර්ණයි. දුක වේදනාව පීඩාව දරා ගන්න බැරි වුණාම පැලක හිටියත් එකයි මාලිගාවක හිටියත් එකයි. කඳුළු විතරයි තනියට ඉන්නෙ.”
“නෑ”
ඔහු කීවේ මඳක් කෝපයෙනි.
“ඔයා ආදරය හඳුනන්නෙ ම නැහැ. මානව බැඳීම්වල වටිනාකමක් තියෙනවා කියලා පිළිගන්නෙ ම නැහැ. ඔයාගෙ තනියට කඳුළු විතරක් ද තියෙන්නෙ? එතකොට මං මේ ආවෙ?”
“තව ටිකක් අඬවලා යන්න වෙන්නැති.”
“ඔව් ඒකට තමා.”
කී සැණින් නරේන් ඇය ළයට ළං කර ගත්තේ මෙතෙක් සිතට වද දෙමින් පැවති මහත් දුකකින් මිදෙන්නට හැකිවූ සතුටෙනි.
“මායා අපි අපේ රටට යමු. මෙහෙ හිටියා කියලා ඔයාට සතුටෙන් ඉන්න බැහැ. මොනවා ඉගෙන ගන්නද ඔයා මේ ඇවිත් ඉන්නෙ? ඔයාගෙ රටේ අභිමානය විනාශ කරන්න ශිෂ්‍යත්වයක්? ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුගත විදේශ අධ්‍යාපනයට යොමුවීම වරදක් නෙමේ. ඒත් අපි අනාගතය ගැනත් හිතන්න ඕන. ජාත්‍යන්තර මානව සම්බන්ධතා වටිනවා. ඒ තුළ මනුෂ්‍ය ඇගයීම්වලට වටිනාකම් තියෙන්න ඕන. අධිපතිවාදය නෙමේ.”
“මං ආවෙ මගේ රටටවත් රටේ ඉතිහාසයටවත් අගෞරව කරන්න නෙමේ. කාගෙවත් බළල් අතක් වෙන්නවත් නෙමේ.”
“දන්නවා මං හොඳට දන්නවා. ඒකයි මං හිතන්නෙ ඔයා අයිති මට කියලා. මං පහුගිය දවස්වල පුදුම දුකක් වින්දා. දහඅටේ කොල්ලෙක් නෙමේ මං. ඒත්... නෑ. ඒ කතා දැන් ඕනෙ නෑ. බලන්න ඔයාගෙ හැටි? කෙට්ටු වෙලා. කෙට්ටු වෙලා. වඳුරු පැටියෙක් වගේ. දැක්කම මගෙ පපුව පිච්චුණා. කරුණාවන්ත ඇස් දෙකට මොකද වුණේ. ගිලා බැහැලා.”
ප්‍රියදෝණි මහමායා ප්‍රශ්නයක් නොවූ ප්‍රශ්නයකට පිළිතුරක් නොවූ පිළිතුරක් දෙන්නට හිස ඔසවා ඔහු මුහුණ බැලුවාය. අලුත් වූ ඇගේ දෙනෙතේ කඳුළු යළිත් ඔහු සිත කලඹවන්නට විය.
“ඔය ඉතින්?”
ඔහු කීවේ ඇගේ මුහුණ ළය මත තබා තුරුලු කරගනිමිනි.
“ජීවිතයට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න ළමයො. ආදරයට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. ජීවත් වෙනවා කියන්නෙ එක එක්කෙනාගෙ අඩු පාඩුකම් දුර්වලකම් ගැන හිත හිතා ඊර්ෂ්‍යා කර කර හූල්ල හූල්ල ඉන්නවට නෙමේ. මං ඔයාට මුලින් ම කිව්වා මං ආදරය විඳින්න කැමති මනුෂ්‍යයෙක් කියලා. ඔයා මට උත්තර දුන්නෙ ආදරය විඳවිල්ලක් කරගෙන. මට කේන්ති ඒකයි. කාට බයේද ඔයා මේ තරම් හිත හංගගන්න හදන්නෙ?”
“ඔයාට බයේ නරේන් ඔයාට බයේ”
“ඇයි? ඇයි මට බය?”
“ඔයා මාව ලජ්ජාවට පත් කරනවා. මට අපහාස කරනවා. හෑල්ලු කරනවා. මට දුකයි නරේන්. මොකක්ද මගෙන් ඔයාට වුණ වැරැද්ද?”
“වැරැද්ද මාව විශ්වාස නැති එක. තාමත් තේරුම් ගත්තෙ නෑ මේ යක්ෂයා මාව හොයාගෙන ඇවිත් ඉන්නෙ ඇයි කියලා.”
ප්‍රියදෝණි මහමායාගේ වෙව්ලන දෙ අත් නරේන්ද්‍රගේ සිරුර වෙලා ගත්තේ උණුසුම් සුසුමක් ද ඔහුගේ පුළුල් උර මඬල මත තැන්පත් කරමිනි.
දිල්ලි සරසවි බිමක කුඩා හුදකලා නේවාසිකාගාරයක් වන් නිවසක ඒ ගත කළ හෝරා කිහිපය තම ජීවිතයේ අතිශයින් සෞන්දර්යාත්මක මොහොතක් ලෙස තම ජීවිත සටහන් අතරට එක්වීම පසු කාලයේ වේදනාබර චමත්කාරයක් වූ සැටි නරේන්ද්‍රගේ මතකයට ආවේ වල්මත් නොවූ තාරුණ්‍යයක සිතා ගත නොහැකි නිමේෂයක් වෙමිනි.
සිදුවීමට දශක එකහමාරකට වැඩි අතීතයක් ඇත. ඒ සොඳුරු සැනසිලි සහගත ප්‍රීතිය කෙසේ කොහේ සිට ආවාදැයි නොවැටහෙන්නකි.
මලකින් සුවඳ හමන්නේ, ගං දිය බිඳු සිසිල්වන්නේ, ඉර සඳ පායන්නේ, සයුර රළ නංවන්නේ කුමක් නිසාදැයි කාට කිව හැකිද? ඇගෙන් ලත් ඒ කාරුණික සොඳුරු ස්නේහය ද එවන් ආස්වාදයක තමා ගිල් වූ සැටි පෙර බවයක කුසලයකැයි පළමුව ඔහුට සිතිණි.
තම දෝතට මැදිව උරතලයට හිස තබා ගෙන සිටි ඇය ඉතා සෙමෙන් ඇගේ අතක් තම ළය මත තබනු ඔහුට දැනුණේය. ඇය තම හෘදස්පන්දනයට සිත යොමු කරමිනි.
“හෘදවස්තුව තාම හොඳට ගැහෙනවා නේද?”
ඔහු ඇසුවේ සිනාසෙමිනි. එවිට ඇය නිහඬ වන්නැයි ඉල්ලා සිටින්නාසේ ඔහු දෙතොල මත ඇඟිල්ලක් තැබුවාය. ඔහු එ ඇඟිල්ල තදින් අල්වා ගත්තේය.
“මහමායාව. ඔයා නපුරුකම් කරන්නේ නැත්නම් මාත් හොඳ මනුෂ්‍යයෙක් තමා. ඔයා ජීවිතය අඳුරන්නෙ නැති එකේ පව් බර මං අදින්න ඕන.”
ඔහු කීවේ සැබවින්ම සිතට දැනුණ දුක ඒ පැවසුමට මුසු කරමිනි.
“නරේන්, අපි අතීත කතන්දර අමතක කරමු. වැරැදි ගැන කතා කරලා වැඩක් නෑ දැන්. සතුටෙන් ඉන්න. මං ඔයා ළඟ හිටියත් නැතත් හොඳ ජීවිතයක් තියෙනවා ඔයාට. ඒ ජීවිතේ නාස්තිකර ගන්න එපා.”
“මේ මාව ආයෙත් කේන්ති කරන්න එපා ප්‍රියදෝණි. මං මේ ඇවිත් ඉන්නෙ ඔයා මං ළඟ ඉන්න ඕන නිසා. තේරුම් ගන්න මාව.”
“මට හිතා ගන්න බැහැ.”
“ඔයාට තියා මට හිතා ගන්නත් බැහැ. මට මේ වෙලා තියෙන්නෙ මොකක්ද කියලා. වෙන දෙයක් වෙයි. දැන් මගෙ තේ එක දෙන්න. මට ටිකක් නිදාගන්න ඕන. තේ එක බීලා මං මේ පුටුවක් උඩ හරි ඇස් දෙක පියාගන්නවා. ගමන් මහන්සියත් තියෙනවා මට.”
ප්‍රියදෝණි ඔහුගෙන් මිදී ඔහු දෙස බැලුවේ සිතෙහි බියක් ඇතිවය.
“මහන්සිය පපුවට නෙමේ හිතට. එනකොට ලොකු හිතේ බයක් තිබුණා. ඒ වගේ ම ලොකු බරක්. ඔයාට පිං. දැන් හිත සැහැල්ලුයි. ඒ වුණාට නිදිමතයි.”
ඇය තේ බඳුන පිළියෙල කොට ඔහු අත තැබුවේ දෝතිනි.
“ළමයො ඔයා බය වෙලා. බය වෙන්න එපා. ඇයි මේ?”
“ඔයා හොටෙල් එකට යන්නෙ කීයටද?”
“ඔයා නෙමේ අපි. ඔයා අද මං ළඟ ඉන්න ඕන. උම්මග්ග ජාතකේ පිංගුත්තර කතාවෙ, මෝඩ පිංගුත්තරයා වගේ මං ඇඳ ළඟ බිම රෙද්දක් එළාගෙන නිදා ගන්නම්. එච්චරනෙ මේ ළමයට මගෙන් කෙරෙන්න ඕන. එකඟයි මං.”
ඔහුගේ උපහාසය ඇය සිනාගන්වන්නක් විය.
“ඔය මං කිව්වෙ. පිංගුත්තර මතක් කළා විතරයි අපේ ළමයට හරි සන්තෝසයි. එක් කුසේ උපන් නිවුන් සහෝදරයක් මතක් කළා වගේ.”
ඇය තවත් සිනා ගන්වමින් ඔහු කීවේ ඇගෙන් තරවටු පහරක් ද කමිනි.
“තව මගෙන් ගුටි කන්නෙ නැතිව නිදා ගන්නවද? මං අට හමාරට විතර ඔයාව අවදි කරන්නම්. එහෙම නැත්නම් දැන්ම හෝටලේට යනවද?”
“නෑ මං ආසයි ටිකක් වෙලා මෙතන ඉන්න. කරදරයක් නීති විරෝධි වැඩක් නෙමේනෙ.”
ඔහු අනුමත කරමින් හිස සලන අතර ම ඇය ඔහුගේ අතක් ගෙන කාමරයට කැඳවාගෙන ගියාය. එහි දෙපස කුඩා යහන් දෙකක් විය.
“නරේන් සැප පහසුකම් මදි ඇති. ඒත් ටික වෙලාවකටනෙ.”
ඇය කීවේ කොට්ටයක් ගෙන දෙඅතින් එයට ගසමිනි. ඔහු යහන මත හිඳ ගත්තේය. කුඩා වුවද විද්‍යාර්ථිනියන් දෙදෙනෙකුට සෙවණ දෙන කුටිය චාම් සිත් ගන්නා පෙනුමකින් යුතු විය.
“නරේන් ඇයි කල්පනා කරන්නෙ?”
“ටික වෙලාවකට නෙමේ. මට ජීවිත කාලෙම වුණත් මේ වගේ තැනක ඉන්න පුළුවන්. පරිසරය නිහඬයි. ඊටත් වැඩිය අපි දෙන්නා නිහඬයි. මේ මේ කොහෙද ඔයා යන්න හදන්නෙ?”
“ගිරවා වගේ කියවන්නෙ නැතිව නිදා ගන්නකො. දැන් හයහමාරයි. ඔයාට හොඳ නින්දක් ගන්න පුළුවන්.”
“හරි. හරි. ඔයාට ඕන මගෙ අම්මා වෙන්නනෙ. මට නින්ද යනකන් නැළවිලි ගීයක් කියන්නකො ඉතින්”
ඔහු යහනෙහි වැතිරෙන තුරු බලා සිටි ඇය සෙමින් යහනට ළංව ඔහු පසකින් හිඳ ගත්තාය. දෙනෙත් පියා ගත් සැණින් නින්ද නොනින්ද අතර තමා අතරමංවනු ඔහුට දැනුණේය. නිදිබර දෙනෙත් ආයාසයෙන් අවදි කර ඔහු ඇය දෙස බැලුවේ නුරාවෙන් තොර මඳ සිනාවක් මුවග ඇතිවය.
ඇගේ අත තම හිස මත තැබෙනු ඔහුට දැනුණේය. ඇය හිස පිරිමදින විට ඔහුට සිතුණේ ජීවිතය ආදරයෙන් ස්නේහයෙන් පිරිතිරී යන සැටියකි.
“ඔයත් ටිකක් නිදා ගන්න”
ඔහු කීවේ ගැඹුරු නින්දකට පිවිසෙන්නට ළං වෙමිනි. ඇය යන්තමින් සිනාසෙමින් හිස සැලුවාය.
ඔහු අවදි වන විට රාත්‍රිය පැමිණ සිටියේය. පළමුව තමා ඉන්නේ කුමන කුටියකදැයි අවිනිශ්චිතව ඔහු කාමරය පුරා බැලුවේය. විදුලි බුබුළ ඔහුට මඟ පෙන්වන්නට විය.
තම ළය මත උණුසුම් මුහුණක් ඇත. ඉන් නැගෙන සුසුම් ළයට සිහිලක් ද ගෙන දෙමිනි. මේ ප්‍රියදෝණි මහමායා ගේ කුටියයි.
ඇය තම යහන ඔහුට සැතපෙන්නට දී දෙදණින් බිම හිඳ මුහුණ ඔහු ළය මත තබාගෙන සුව නින්දකය. සීමා මායිමක් නැති දයාව සහ කරුණාව සිත පත්ලෙන් රැළි නගමින් පැමිණ ඇය තුරුළට ගන්නැයි ඉල්ලා සිටින්නාසේ ඔහුට දැනෙන්නට විය. අයැදුම කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් මිස නුරාවෙන් අනුරාගයෙන් ජීවය ලබා නැත.
ඔහු මුදු මුදුව ඇගේ හිස පිරිමැද්දේ ඇය අවදි වෙතැයි බියෙන් මෙනි. නමුදු ඇය අවදි වූවාය.
“ඔයාට හොඳටම නින්ද ගියා නේද?”
ඔහු ඇසුවේ රහසින් මෙනි. ඇය වහා නැගී සිටියාය.
“මෝඩ ළමයා, මොකද ඇඳට ආවෙ නැත්තෙ? ඒක මට දන් දීලා බිමට වැටුණා. හිතුවද මං ඇඟට පනියි කියලා. නැහැ. නැහැ. මං ශීලාචාර වියපත් බඹරෙක්. මතක තියා ගන්න.”
“ගිරවෙක් වගේ කියවන්න නම් දන්නවා. දැන් යන්න ඕන නේද? නැගිටින්න. රෑට කෑම? හැමදාම ගන්න බෙහෙත් අරන් නේද ආවෙ?”
ඇය එකවර ප්‍රශ්න වැලක් ගෙනාවාය.
“ඔයා යනවා කියලා අවසර ගත්තද? නීති රීති කඩන්න එපා. මහා ජංජාලයක් වෙයි.”
“නරේන් අපි යමු. ප්‍රශ්නයක් නැහැ.”
නරේන්ද්‍ර කුමාරවේල් කැඳවන දුරකථන ඇමතුම ගත්තේය. අඩ හෝරාවක් ගත වූයේ නැත.
කුමාරවේල් ගේ රථය නිවස ඉදිරිපිට නතර විය. ඔහු ප්‍රියදෝණි දෙස ඕනෑකමින් බලනු නරේන්ද්‍රට පෙනිණි.
“කුමාරවේල් ඔයා මගෙ හිතට සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළානෙ. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. ස්තුතියි ඔයාට.”
නරේන්ද්‍ර කීවේ රියැදුරාගේ උරහිසට තට්ටු කරමිනි.
“මේ මගේ නංගි”
“නෑ සර්ට නංගිලා නැහැ. ඉන්නෙ අක්කලා දෙන්නෙක්. මට හොඳට මතකයි.”
ප්‍රියදෝණි මහමායාගේ කලබලවූ දෙනෙත් විසල් වන සැටිද නරේන්ද්‍ර දුටුවේය.
“මෙයා ලංකාවෙ. ඉස්සර අපේ තේ වත්තක වැඩ කරලා. මට අඳුරගන්න බැරිවුණා. එයා මාව අඳුන ගත්තා. කුමාරවේල් මේ මගෙ නෑදැ නංගි කෙනෙක්. අපි දන්නෙත් නැහැ. හිතුවක්කාරකමට මේ යුනිවර්සිටි එකට ඇවිත්. මං හොයන්න ආවා.”
“දැන් කාලෙ ගෑනු ළමයි කරන්නෙ අපිට දුක් දෙන වැඩ සර්. මගේ දුවට වයස දාහතයි. කොල්ලෙක් එක්ක පැනලා ගියානෙ. අම්මා තාමත් අඬනවා. ඒත් ඒ කෙල්ලගෙ හිත උණුවෙලා නැහැ.”
ප්‍රියදෝණි හෝටලයට එනතුරු ම නිහඬව සිටීම තමාගේ බොරුව ලත් ජයග්‍රහණයකැයි නරේන්ද්‍ර කීවේ මහ හඬින් සිනාසෙමිනි. ඇය මඳක් උරණ වූවාය.
“විහිළුවටවත් බොරු කියන්න එපා නරේන්. ඒ මනුස්සයා එක්ක මොනවටද ඔය වල්පල් කතා කළේ?”
“මං නෙමේ පටන් ගත්තෙ එයා. මිනිහා මාව අඳුනාගත්තා. දැන් ඔයාට ලැජ්ජයි. එහෙමද?”
“පව් ඒ මනුස්සයා. දුව පැනලා ගියා කිව්වෙ දුකෙන්.”
“ඔයාට හිතා ගන්න බැරි වුණාට තමන් ආදරය කරන කෙනෙක් පැනලා ගියාම කාට වුණත් මහා දුකක් දැනෙනවා. මොනවා කරන්නද? ඉවසගෙන ඉන්න වෙනවා.”