පන්සලේ රසකතා | Page 2 | සිළුමිණ

පන්සලේ රසකතා

කලවැදි ප්‍රශ්නේ ඕං ඔහොමයි

සමදරා මුලිම්ම මීගම්මන පන්සලේ තේවාවට ආවේ එයාගේ අප්පත් එක්ක. පන්සලේ නින්ද ඉඩම් බුක්තියට තේවාව කරන රංකිර‍ා ගුරුනාන්සේ එක්ක සුරලක් අල්ලන්ට, බෙර පදයක් ගහන්ට හපනෙක් මේ හතර සීමාවේ නැතුවා. එහෙව් එකාගෙ පුතා ගැන ආයේ මොනවා කියන්ටද? උඩුරාවන සීලරතන හාමුදුරුවෝ කියන්නේ සමදරා ගැට බෙරේ අඩවන කොට ගහ කොළත් තෙයි අල්ලනවා කියලයි. නායක හාමුදුරුවෝ ශරීර වීරිය හීන වෙච්චි නිසා, සීලරතන හාමුදුරුවෝ තමයි පන්සලේ ආවතේව බලා කියා ගන්නේ. පොඩි උන්නාන්සේ තුන් හතර නමක් වැඩ ඉන්නවා. සීල රතන හාමුදුරුවන්ට අත් ලෙහෙව්වට සමදරාත් එක්ක හීං කොල්ලා කියලා එකෙකුත් ඉන‍්නවා. හීං කොල්ලා කිව්වට හීං එකෙක් නෙවෙයි. ඉහ නිකට පැහිච්චි මෝරච්චි එකෙක්.

නායක හාමුදුරුවෝ හයිහත්තිය තියෙන සන්දියේ පන්සල් වත්තේ මල්කැති ගානවා බොහොම ජයට. ඉතින් පැණි හකුරු පන්සලට අඩුවක් නැතිවා. හකුරු නං ඒ හැටි ගණන් නැතුවා. ගමෙත් හැම ගෙදරකම කිතුලක් බේත් තියාගෙන පැණි උණු කොරනවා හකුරු හදා ගන්නවා. පන්සල් වත්තේ කිතුල් මල් කැති ගාන්නේ සාමෙල්. මල් කපන හැම කිතුල් ගහකටම උණ ගහක් හැර ගහල බැඳලා තියෙනවා නඟින්ට පහසුවට, නැතුව කිතුල් ගස්වල බඩ ගාන්ට බැරුවා.

සාමෙල් කිතුල් කපන්නේ මුරේ‍ට. දවසක් ඇර දවසක් ඇල් තෙලිජ්ජ මුරේ සාමෙල්ට සාමෙල්ගේ ගෙදරත් පැණි උණු කොරනවා හකුරු හදනවා. සාමෙල් පන්සල් වත්තේ මල් කපන ගමං ගමේ ඇත්තන්ගේ කුඹුරුත් අඳේට වැඩ කොන්නවා.ගමේ කිතුල් කපන සමහරු රා වක්කොරන්ට පටන් ගත්තේ පැණි හකුරුවලට වැඩිය කාසි ගන්ට පුළුවන් ක්‍රමයක් නිසයි.

සාමෙල්ට රා විකිණීමෙන් ලැබෙන ආදායම වැඩි වෙන්ට පටන් ගත්තා. දැන් පන්සල් වත්තේ පන්සලට දෙන තෙලිජ්ජ මුරේ ටිකෙන් ටික හීං වෙන්ට තියා ගත්තා. සාමෙල්ගේ රා වෙළඳාමට නායක හාමුදුරුවෝ හරිම විරුද්ධයි. ඒත් පන්සල් වත්තේ කිතුල් මල් කැතිගානවා විතරක් නෙමෙයි පොල් ටික, පුවක් ටික, කඩා දෙන්නෙත් සාමෙල් නිසා නායක හාමුදුරුවෝ මේකා තරහකර ගන්ටත් කැමති නැතුවා. සාමෙල්ට නොයෙක් වතාවල පන්සලේ කිතුල්වලින් රා වක්කොරන්ට එපා කියල දායකයෝ පන්සලට නාටක කියනවා.

දැන් දෙණිය පැත්තේ අකුලක සාමෙලා ගුබ්බෑයමක් තනා ගෙන ගමේ ඇත්තන්ට රා විකුණන්ට. පන්සලට ඇල් තෙලිජ්‍ජ මුරේ හුඟක් වෙලාවට ලැබෙන්නෙම නැති ගානයි. ඒත් පන්සලට පේනවා සාමෙලා දවසේ උදේ හවස මල් කැති ගාන්ට යනවා. සාමෙලා හරිම උප්පර වැට්ටියා. පෙළක් වෙලාවට කුඹුරේ වැඩ තිබ්බා කියලා හොඳටම ගොංමං අඳුර පාත් වුණාම මල් කැති ගාන්ට ගොඩ වෙනවා. එහෙව් වෙලාවට කාටවත් මුලිච්චි වෙන්නේ නැතුව සහමුලින්ම තෙලිජ්ජ මුරේ ඇන්න යනවා. මොනව හරි මුසාවාදයක් ඇද බානවා.නායක හාමුදුරුවොත් මේ ගස් බැලයත් එක්ක කස්ස කොන්න කොරා ගන්ට යන්නේ නැතුවා, ඒත් ඉතිං පන්සලට එන දායක කාරකාදීන් සෝලි තියන්ට පටන් ගත්තා සාමෙලාගෙ නොසංඩාල කම්මායංවලට.

නායක හාමුදුරුවෝ පෙළක් දවසට හීං කොල්ලා ගහමුල නවතා තියනවා. එහෙම දවසට ගහෙන් බාගෙන එන තෙලිජ්ජ මුට්ටියේ තියෙන තෙලිජ්ජ බාගයක් විතර මලට එල්ලන මුට්ටියට වක් කොරල ඩිංගිත්තක් ගෙනත් හීං කොල්ලට දෙනවා. “ඕං බලපං හීං කොල්ලා මාමේ, මේ මල් කැති ගෑවිල්ලෙං කිසිම පොරෝජනයක් නැතුවා. රෑ තිස්සේ එක්කහු වෙන තෙලිජ්ජ මුට්ටියේ පල්ල විතරයි.මේ කාලකණ්ණි කලවැදි හැත්ත තෙලිජ්ජ බොන්නට ඇබ්බෑසි වෙලානෙවැ. කලවැදි ප්‍රශ්නේ බොහොම බරපතළයි.ගස් බඩ ගාන එකේ කිසිම කාරියක් නැතුවා නායක හාමුදුරුවන්ට කියාපං තෙලිජ්ජ මුරේ මුළුවස්සං කලවැද්දෝ බීලා කියල මෙහෙම කියල මඟ ඇරල යනවා.

හිං කොල්ලත් කට කාරයා අහනවා “ඈ සාමෙල් රෑ තිස්සේ කලවැද්දෝ තෙලිජ්ජ බොනවා නං දවල්ට එක්කහු වෙන කොටහවත් පන්සලට දීපං හකුරු ඩිංගක් හැඳි ගාන්නට” කියනවා. “දැන් තෙලිජ්ජ අඩුයි. දවල්ට ඊට එහා, ලේන්නු දඬු ලේන්නු හොඳටම තෙලිජ්ජ මුට්ටියට ඇබ්බැහි වෙලා. මට දැන් මේ කාරණාව තිත්ත වෙලා තියෙන්නේ. පුරුද්දට ගහට නඟිනවා” කිය කියා හැමදාම මල් කැති ගානවා.

හීං කොල්ලා බැරිම තැන මොකදෑ කොරන්නේ සාමෙලා කු‍ඹුරේ ඉන්න ජාමෙට කිතුලට නැඟල බලාපි. අපෙ අප්පේ මාදිය කළයක් විතර තෙලිජ්ජ මුට්ටිය කටගහ පිරිල. මෙකගෙ මුසාවාදවලට යස වැඩක් කොරන්ට ඕනෑ කියල තෙලිජ්ජ මුට්ටිය හෙමිහිට ගලවා ගෙන කිතුල් මල කපා දැම්ම‍ා ගහමුලට. ගොම්මනේ මල කැති ගාන්ට ආපු සාමෙලා “ විලාප තියෙනවා මල කපල බිම පතබාල කියල මේකා අහසට පොළවට දෙස් තියෙනවා. මුට්ටියත් නෑ කියල.

මේ වෙලාවේ හීං කොල්ලා ඇවිත් “සාමෙලා උඹ සංකා නැතුව හි‍ටපං දවාලට ආපු ලේන්නු මල කපල බිම පත බාන්ට ඇති මේ තෙලිජ්ජ වැටෙන්නැති මල මොකටදෑ කියල” කියාපි. එතකොට සාමෙලා අහනවා ඈ හී කොල්ලා මාමා “මුට්ටියට මොකෑ වුණේ” කියලා. ඒකත් කලවැද්දියක් හරි ඇන්න යන්ටැති” කියාගෙන ආපසු පන්සල දිහාට අඩි කැඩුවා.

යමුනා සමරදිවාකර 

Comments