කොළඹ කුණු ගැන දැන් කනු කුනු නෑ | Page 2 | සිළුමිණ

කොළඹ කුණු ගැන දැන් කනු කුනු නෑ

* පිරිසුදුකම ගැන ජනතාවටත් හැඟීමක් තියෙන්න ඕනෑ
* කොළඹ කුණු කෙරවළපිටියේ කොම්පෝස්ට් බලාගාරයට
* කුණු වෙන් කර නොදුන්නොත් දඩ

තට්ටු පිට තට්ටු ගොඩනැගිලි ඉදිවුණාට වැඩක් නැහැ කොළඹ හරි අපිරිසිදුයි” ඒ බහුතර මතයයි. සැබැවින් ම කලකට පෙර කොළඹ නගරයේ ඇතැම් ස්ථාන, මංමාවත්වල කුණු ගොඩවල් එමට තිබිණි. තැන තැන බැහැර කෙරුණු කුණු පසුගිය කාලයේ කොළඹ නගරයේ අතුරු මාර්ගවල සුලභ දසුනක් විය. දින දෙක තුන තැන තැන ගොඩ ගැසුණු කුණු දෙස බලමින් ජනතාව බොහෝ මැසිවිලි නැගූහ.

“සුද්දෙක් වුණත් ආවොත් ආපහු හැරිලා දුවයි. මේ රටේ තියෙන කුණු කඳු දැක්කම”

“කොටුව පිටකොටුව පැත්ත අපායක් වගෙයි. වැස්සහම පාරට බහින්න අප්පිරියාවේ බැහැ...”

“මේ කුණු ප්‍රශ්නවලට විසඳුමක් ඇත්තෙම නැද්ද?

කොළඹ පදිංචි අය මෙන් ම දිනපතා කොළඹට යන එන්නන් කොළඹ කුණු ගැන කනු කුනු නොගෑ මොහොතක් නැති තරම් ය. කුණු ප්‍රශ්නවලට විවිධ විසඳුම් ගලා එද්දී විටෙක කොළඹ කුණු අපට එපා යැයි කියමින් ඇතැම් ප්‍රදේශවල ජනතාව පිකටිං උද්ඝෝෂණ කරන්නට ද වූහ.

කාලයක් තිස්සේ කොළඹ කුණු ප්‍රශ්නයට විවිධ විසඳුම් තිබිණි. නමුදු ඒ හැම එකක් ම තාවකාලික පැලැස්තර පමණක් විය. නමුදු දැන් කොළඹ කැළි කසළවලට ස්ථිර විසඳුමක් ලැබී ඇත්තේ ය. එය සනාථ වන්නේ කොළඹ නගරයේ මං මාවත් දෙස විමසිල්ලෙන් බැලීමෙනි.

හිමිදිරියේ ම කොළඹ නගරයට එනවිට දැන් නගරය පිරිසුදු කැර තිබෙනු දක්නට පුළුවන. අව්ව වැස්ස පින්න ආදී පීඩාවන් නොතකා කම්කරුවෝ තම රාජකාරිය අකුරට ඉටු කරති.

පාර අමදින්නන්ගේ රාජකාරිය කොයි මොහොතේ ඇරඹුණේ දැයි දැන් කෙනෙකුට සිතා ගත නොහැකි ය. ඒ උදෑසන හයට, හතට මෙන් ම රාත්‍රි කාලයේ ද නගරය පිරිසුදු කරන කම්කරුවන් තැන තැන තම රාජකාරිය කරන බැවිනි.

“ඉස්සර වගේ නෙමෙයි, දැන් වෙලාවට කුණු ලොරිය එනවා. අපි ඉස්සර නම් ගෙදර එකතුවන කුණු හැම කුණු ගොඩක් ම එකම බෑග් එකක දාලා කුණු මල්ලට දුන්නා. ඉස්සර එහෙම කළාට දැන් එහෙම කරන්න බැහැ. අපි කුණු වෙන් කරලා තමයි ලොරියට බාර දෙන්නේ. මුලින් මුලින් නම් ඒ වැඩේ මහ කරදරයක් විදිහටයි දැනුණේ. ඒත් ඒක දැන් ගානක් නැහැ. අපි ඉස්සර ඉඳලම ඒ විදිහට කටයුතු කරා නම් කොළඹ කුණු ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිවසේ එකතුවන කැළි කසළ බැහැර කිරීම සම්බන්ධව කුරුඳුවත්ත ‍ප්‍රදේශයේ ගෘහණියක පැවසුවේ එවැනි කතන්දරයකි.

ගිනි ගහන මද්දහනේ කුණු එකතු කර මදකට විඩා නිවමින් කුණු පටවන කරත්තය ද සමඟ විහාර මහාදේවි උද්‍යානයේ හෙවණනකට වී සිටි මල්කාන්ති අපට හමුවූයේ කොළඹ නගරයේ මං මාවත් ඔස්සේ යන ගමනේදී ය. “මට උදේ පහ වෙනකොට වැඩට එනවා. කන්නන්ගර මාවතේ එහා කෙළව‍රේ ඉඳලා බැස්ටියන් පල්ලිය ගාවට එනතුරු මං අතුගාලා පිරිසුදු කරනවා. උදේ හතයි තිහ වෙනකොට පිරිසිදු කිරීම ඉවරයි.‍ ඊට පස්සේ ආයෙමත් දවල් එකට පිරිසුදු කරන්න පටන් ගන්නවා. ඇත්තම කිව්වොත් සමහර වෙලාවට දුකක් හිතෙනවා, කේන්තිත් යනවා. අව්වට පිච්චි පිච්චි අපි පාරවල් අතුගානවා. අතුගාපු පාරටම සමහර මිනිස්සු අතේ තියෙන කොළ කෑලි, ටොෆි කාලා කොළේ ඔහේ විසි කරනවා. ඒ අය අතේ තියෙන කොළ කෑල්ල විසි කරන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනෑ නේද?

මල්කාන්ති පවසන්නේ කනගාටුවෙනි. පාර අතුගෑම රාජකාරිය වුවත්, පිරිසුදු කළ මංමාවත්, අපිරිසිදු වනු දැකීමට ඔවුන් අකමැති ය.

කලක් මිනිස්සු බ්ලූමැන්ඩල් කුණු කන්ද ගැන කියමින් විවිධ මැඩවිලි නගන්නට වූහ. තවත් කලෙක මීතොටමුල්ල කුණු කන්දය. පස් කඳු නාය ගිය අප රටේ ප්‍රථම වරට කුණු කන්දක් ද නාය ගියේ ය. අපිට කුණු පිළිබඳ ඇත්තේ බොහෝ අමිහිරි මතකයන් ය. පෙරට වඩා නිතර දෙවේලේ පිරිසුදුව දකින, තැන් තැන්වල කුණු ගොඩවල් නොදකින කොළඹ නගරයේ කුණු ප්‍රශ්නයට සැබැවින් ම විසඳුමක් ලැබුණේ ද? මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සොයා ගියේ කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ළඟට ය. “ඇත්ත කොළඹ නගරයේ තිබුණ තදබලම ප්‍රශ්නයක් තමයි ‘කුණු’. නමුත් අද කොළඹ නගර සභාව මේ කුණුවලට ස්ථිර සාර විසඳුමක් ලබාදී තිබෙනවා. කුණු ප්‍රශ්නය විසඳීමට ජනාධිපති තුමා පැවැරුවේ පාඨලී චම්පික ඇමැතිතුමාට. අපේ රටේ ආයතනයක් තියෙනවා ඉඩම් සංස්ථාව කියලා. මේ ආයතනයට තමයි ලංකාවේ තිබෙන පහත් බිම් අයිති. ඒ ආයතනය අයත් වන්නේ පාඨලී චම්පික ඇමැතිතුමාගේ අමාත්‍යාංශයට. මේ වනවිට වත්තල කෙරවළපිටියේ කොම්පෝස්ට් බලාගාරයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ නගරයේ එකතුවන සියලු කසළ භාර දෙන්නේ කෙරවළපිටිය බලාගාරයට.

කොළඹ නගරය පිරිසුදු කරන්නේ කොළඹ මහ නගර සභාවෙන්. අපි සියලු ආයතනවලට නිවාසවලට දන්වා තිබෙන්නේ කුණු වර්ග කර අපට බාරදෙන්න කියලා. අපි කෙරවළපිටියට බාර දෙන කසළ ටොන් එකකට රුපියල් 3000 ක මුදලක් ගෙවනවා. දිරණ නොදිරණ වශයෙන් කසළ වෙන්කරලා දෙන්න කැමති අය අතර ඒ පිළිවෙළට අකමැති අයත් ඉන්නවා. ඒ අතර ප්‍රධාන පෙළේ හෝටල් තිබෙනවා. අපි මේ අයට දඩ ගහනවා. වෙන් කරන ලද දිරාපත් වන කසළවලින් කොමපෝස්ට් නිෂ්පාදන කරන අතර වෙන් නොකරන කසළ කෙරවළපිටියේ ගබඩා කිරීමක් කරනවා. ඉදිරියේදී කසළ භාවිතයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කැරෙනවා. එය මේ වනවිටත් මූලික පියවර සැකසෙමින් තිබෙන්නේ. දවසට කසළ මෙට්ට්‍රික් ටොන් හය දාහක් කෙරවළපිටියට බාරදෙනවා. එයින් ටොන් හාර දහක කොම්පෝස්ට් පොහොර හදනවා. පාරවල් පිරිසුදු කිරීම, එකතු වන කුණු කසළ ඉවත් කිරීම පමණක් ම නොවෙයි, ඇළ මාර්ග පිරිසුදු කිරීමක් කරනවා‍. නාවික හමුදාව, පහත්බිම් සංස්ථාව, කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තමයි මේ කටයුතු කරන්නේ.‍ මිනිස්සු පාරවල්වල කුණු දැම්මොත් දඩ ගහනවා. ඒ වගේ ම තමයි දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර කොළඹ නගරයේ ලයිට් කණුවල කුණු දාන්න බහාලුම් එල්ලනවා. අ‍‍තේ තියෙන කොළ කෑල්ල වතුර බීලා විසි කරන බෝතල තැන තැන නොදමා දාන්න ඕන ඒ කුණු බාස්කට්වලට. කොළඹ නගරයේ මල් පෝච්චි 3000 ක් පමණ තියෙනවා. ඒවා නඩත්තු කිරීමට පෞද්ගලික ආයතනවලට බාරදී තිබෙනවා. මං විශ්වාස කරනවා තව අවුරුදු හතළිහකටවත් කොළඹ නගරයට කුණු ප්‍රශ්න මතුවන එකක් නැහැ කියලා.”

නාගරික කොමසාරිස්වරයා පවසන්නේ කොළඹ කුණුවලට විසඳුම් සෙවූ ආකාරය ගැනය.

නගර පිරිසුදු කිරීමේ දී කොළඹ දිස්ත්‍රික්ක හයකට බෙදා ඇත්තේ ය. දිස්ත්‍රික්ක එක යනු කොළඹ උතුර ය. දිස්ත්‍රික්ක දෙක ඒ හා බී ලෙස වෙන්කර ඇත්තේ මැද කොළඹ ය. දිස්ත්‍රික්ක තුන යනු බොරැල්ල ය. දිස්ත්‍රික්ක හතර නැගෙනහිර කොළඹ ය. දිස්ත්‍රික්ක පහ බටහිර කොළඹ ය. මෙසේ බෙදා වෙන්කරන ලද දිස්ත්‍රික්කවල පිරිසුදු කිරීම් කටයුතු කොළඹ නගර සභාව මෙන් ම, නගර සභා වෙන් ටෙන්ඩර් ලබාගත් අබාන්ස් ආයතනය හා කෙයා ක්ලීන් ආයතනය එක්ව සිදුකරනු ලබන්නේ ය. පැය විසිහතර පුරාම කොළඹ නගරය පිරිසුදු කරන අතර රාත්‍රි 9 සිට උදෑසන හය දක්වා යන්ත්‍රයක් මගින් මංමාවත්වල ඇති වැලි ඉවත් කරන්නේ ය. මෙවැනි මැෂින් තුනහතරක් නගර සභාව සතුව ඇත‍. එමෙන් ම නගර සභාව විසින් තැන තැන පෝස්ටර්, බැනර් එල්ලීම ද තහනම් කර ඇත්තේ ය. අනවසර විදිහට දැන්වීම් පුවරු, පෝස්ටර්ථ, බැනර් එල්ලන්නේ නම් ඒ සියල්ලට එරෙහිව නගර සභාව නීතිමය කටයුතු කරන්නේ ය.

මේ සියලු කටයුතු නගර සභාව විසින් නිසි පිළිවෙළට කරනු ලබන්නේ නගරය පිරිසුදු කිරීම සඳහා ය‍. නමුදු නගරය පිරිසුදු කර ගැනීමේ වගකීම නගර සභාවට පමණක් නොව කොළඹ නගර සභා‍ සීමාවේ පදිංචිකරුවන්ට මෙන් ම දිනපතා නගරයට යන එන්නන් සතුව ද ඇත.

නිවසේ එකතුවන කුණු අතරමග කොහේ හෝ තැනක දමන්නට පුරුදු වී සිටි නගර වැසියන්ට දැන් එසේ කිරීමට බැරි ය. දිනපතා ‍ දවසට දෙවරක් හෝ පැමිණෙන කුණු ලොරියට ට්‍රැක්ටරයට ඔවුන් දිරණ හා නොදිරණ වශයෙන් වෙන්කර කසළ බාරදිය යුතු ය.

මීට කලකට පෙර නිරන්තරවම කුණු නිසා ප‍ීඩා විඳි ‘රෙඩ්බාන’ ඇළ දෙපස හා අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි ‍උදවිය දැන් සැනසුම් සුසුම් හෙළති.

“ඇත්තම කිව්වොත් අපට කුණු දාන්න තැනක් නැතිව තිබුණේ. ඒත් දැන් උදේටයි රෑටයි නගර සභාවේ කුණු ලොරි එනවා. ඒ නිසා මේ පැත්ත පිරිසුදුයි.” සෙල්වි පවසන්නට වූයේ රෙඩ්බානා වත්තට යන පාර පෙන්වමිනි. කලකට පෙර කැළිකසළවලින් පිරී තිබු‍ණු රෙඩ්බානා ඇළ දැන් එදාට වඩා පිරිසුදු ය. මුදු එහි ජලය මතුපිට තැනින් තැන ෂොපින් බෑග් පාවෙනු පෙනුණි. දවසට දෙපාරක් කුණු එකතු කරනවා නම් ඇයි මෙහෙම වෙන්නේ?

“ඉස්සර මේ පැත්ත පළාතේ කෙනෙකුට එන්න බැහැ. ඇළ ඉවුර දෙපැත්තෙම තියෙන ගෙවල්වල අය කුණු දැම්මේ ඔන්න ‍ඔය පන්සල තියෙන තැනට. පාරේ යන මිනිස්සු කුණු ගෙනල්ලා ඒ ගොඩටම දානවා. කොහොම හරි නගර සභාවේ කුණු ලොරි එන්න ගත්තට පස්සේ කුණු දාන එක නතර වුණා. අපි කුණු වර්ග කරලා දුන්නහම තමයි ලොරියෙන් බාර ගන්නේ. උදේට ෂොපින් බෑග් භාර ගන්නේ නැහැ. රෑට අට හමාර නවය වෙනකොට ලොරිය එනවා. නළාව සද්දේ ඇහුණහම මිනිස්සු වෙසක් බලන්න පෙරහරේ හනවා වගේ තමයි කුණු බෑග් උස්සගෙන එන්නේ. මං උපන්දා සිට තමයි මේ ගමේ ඉන්නේ. ඒ නිසා මේ කතාව කියන්න බය නැහැ. නගර සභාවෙන් ඇළ සුද්ද කළා. නමුත් සමහර අය ෂොපින් බෑග් ඇළට දානවා. ලොරියෙන් ෂොපින් බෑග් බාර ගන්නේ නැහැ. ඒ බෑග් දාන්න තැනකුත් නැහැ. පුච්චන්න ක්‍රමයකුත් නැහැ. කුණු ලොරියේ පොලිතින් බාර ගන්නේ සිකුරාදාට පමණයි. සතියේ මුල එකතු වන ඒවා සිකුරාදා වනතුරු තියාගන්න බැහැ. ඇළ අස්සේ ඉන්න මීයෝ ගෙවල්වලට ඇවිත් කිලුටු බෑග් ඇදගෙන යනවා” මරිය පිලමිනා පවසන්නේ තමන් අද මුහුණ දෙන තත්ත්වයයි.

එවැනි ගැටලු ඇතැම් තැන්වල නැතිවම නොවේ. එසේ වුවත් සමස්තයක් ලෙස අද කොළඹ නගරය කැළි කසළවලින් අපවිත්‍ර වී නැත. නගර වැසියෝ සැනසුම් සුසුම් හෙළන්නේ දිනපතා තම නිවසේ එකතු වූ කුණු දැමීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බැවිනි. එමෙන් ම කොළඹ නගරයේ දැන් කුණු දැමීම සඳහා බහාලුම් ඇත්තේ ය. ඒවා වර්ග කර ඇත්තේ ය. එමෙන් ම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතනවල ද කසළ බැහැර කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇත්තේ ය. අහස උසට තැනුන මන්දිර, ගොඩනැගිලි දකින විට රටක සංවර්ධනය පිළිබඳ යම් හැඟීමක් කා තුළත් ඇතිවන්නේ ය. ඒ අහස උසට නැගි මන්දිර දෙස බලා ඒ සැනින් අවට බිම බැලූ විට දැකිය හැක්කේ කසළ කඳු නම් එවිට සිතෙන්නේ කුමක්ද කොළඹ නගර සභාව මෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වල ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ නම් කොතරම් අගේ ද?

‍එමෙන් කසළ පිළිබඳ විවිධ වැඩ පිළිවෙළ තිබුණ ද මිනිසුන්ගේ ආකල්ප මෙන් ම තම ගෙවත්ත, නිවෙස මෙන් ම තමන් ජීවත්වන නගරය ද පිරිසුදුව තබා ගත යුතුයි යන අරමුණ නැත්නම් මේ කරන කිසිවකින් මිලක් නොවනු ඇත‍.

“කියන්න කනගාටුයි. අපි පාරේ කුණු අදින්නේ රස්සාවක් විදිහට. ඒත් අපි හරි කැමැත්තෙන් තමයි නගරය පිරිසිදු කරන්නේ.‍ අතුගාල කුණු ඉවත්කරලා තියෙන පාර දිහා බැලුවම සතුටක් දැනෙනවා. නමුත් ටිකකින් ඒ දිහා බැලුවම දුක හිතෙනවා. බුලත්විට කාලා කොළේ දාන්නෙත් පාරේ. ටොෆි කොළ, චොකලට් කොළ බස් ටිකට් මේ ඔක්කොම පාරේ. වෙලාවකට හිතෙනවා ඇයි මොකටද මේ තරම් නැහෙන්නේ කියලා.”

කොළඹ වටේ රවුමක් ගොස් එන අතරමඟදී මාර්ගයක් අයිනේ පිරිසිදු කරමින් සිටි විමලාවතී පීරිස් පවසන්නට වූවාය. ඒ අසලම ලොරි දෙකක් තිබුණි. එකක් දිරණ ද්‍රව්‍ය එකතු කරන ලොරියකි. අනෙක් ලොරිය නොදිරණ ද්‍රව්‍ය දමන ලොරියකි. සියල්ල පැහැදිලිව තිබියදී, ඉවත ලන කසළවලට මූල්‍ය වටිනාකමකුත් ලැබෙන යුගයක තවදුරටත් නගරය අපිරිසුදු වන්නේ නම් කොතැන හෝ වරදක් තිබිය යුතු ය.

අරයාට මෙයාට කියා ඇඟිල්ල දික්කරන යුගය නිමා කර නගර වැසියන් මෙන් ම නගරයට පිටින් පැමිණෙන්නන් ද පිරිසුදුකම ගැන වඩාත් අවධානය යොමු කළ යුතු කාලයකි මේ.

ඡායාරූප - සරත් පීරිස් 

Comments