
“සුහුරු පුතා මක්කැයි කොරන්නේ?” ස්මාට් ෆෝනයට එබීගෙන සිටින මුනුපුරා දැක සීයා ඇහුවා.
“සීයේ! පුළුවන් නම් කියන්නකෝ මේ මාසේ වැදගත්කම...” සුහුරු කීවා.
“මේ ඉතිං ඉල් මහ නොවැ... මොකද්ද ඔය හැටි ඇති වැදගත්කොම! මළවුන්ගේ මාසෙ කියල නං කියනව...”
“නෑ සීයේ ලෝකෙ... ලෝකෙ...”
“ම්හු...”
“අයියෝ... මේ තියෙන්නේ ඉන්ටනෙට්-එකේ ලෝකේ රටවල් 60කට වැඩි ගානක මිලියන ගානක් සෙනගට එකතු වෙන්න කියලා, පරිසරේ රැකගන්න, සරලව ජීවත් වෙන්න, ‘කිසිම දෙයක් මිල දී නොගන්නා දවසට’ එකතු වෙන්න කියලා...”
“අනේ කොල්ලෝ! මදුරු නෙට්-එකක් වත් නැති මට ඉන්ට මොන නෙට්ද? අනෙක උඹලට ඔය දේ ලෝකෙ අනික් රටකින්ම කියන්න ඕනැද...”
“මේ බලන්නකො සීයේ මම කියනවාට... නොවැම්බර් 24 උතුරු ඇමෙරිකාවේ... අනෙක් රටවල නොවැම්බර් 25 ‘බයි නතිං ඩේ’ කියලා පරිභෝජනවාදීන්ට එකතු නොවී, එදාට ඒ පින්තූර යාළුවන්ට යවලා, දහයක් විතර සෙට් වෙලා සුපර් මාකට්වලට බැහැලා හිස් කූඩ අරගෙන අනිත් අයට පේන්න කැරකිලා... ෂා මරු ජොලි වැඩේ... ක්රිස්මස් ෂොපින් යන්න කලින් කරලා සතුටින් නිවාඩුව ගත කරන්න කියනවා.”
“අනෙ දෙවියනේ! නත්තලට බඩු ගන්න කලින් නෙවෙයි හැමදාමත් කරන්න ඕනෑ සරලව ජීවත් වෙන එක තමයි... මොකෝ ජේසු තුමා ඉපදුණෙත් ගව ලෙනක කියන සරල දේ වත් අපේ උන්දැලාට මතකද නත්තල් කිට්ටු වෙනකොට. අනෙක, අපේ රටේ අවුරුද්දට නොනගතේ කියන්නේ මොකක්ද? කිසි ගනුදෙනුවක් නොකරන දවස. ඉතින් අපේ ආසියානු සඟිස්කුරුතියේ සරලකොම හොඳට කියලා තියෙනවා. දිග ඉතිහාසයක් නැති සුද්දො තමයි දියුණුව කියලා මුලින්ම මේ පරිසරය හූරං කාලා මේ තැනට ගෙනැල්ලා දැන් විරෝගෙන ‘පරිසරය රකිනඩෝ!’ ගගා කෑගහන්නේ. බුදු හාමුදුරුවො, ජේසු තුමා වගේ උත්තමයෝ විලාසිතා කළාද? කෑදර කොමට උස්බුරුත්තා වෙන කල් කෑවා බීවාද? නෑ. සරලව තමයි හිටියේ... උන්නාන්සෙලා කියපු දේවල් හරියට තේරුම් ගත්ත නං අද ලෝකෙට මෙහෙම වෙන්නේ නෑ.”
“ඉතිං සීයා කියන්නේ මේ වැඩේ හොඳ නැද්ද?”
“මොකෝ නරක! හැබැයි ඉතිං ඔයිට වැඩිය බොහොම හොඳයි දවසකට ඕක සීමා නොකර හැමදාටම සීමාවක් ඇතුව දේවල් පරිබෝජනේ කොරන්ඩ පුරුදු වුණා නං...”
“සීයා කියන දේත් හරි
“ඒකට ඉතිං සුහුරු පුතාගේ සුහුරු බාංඩෙන් ඒරොප්පේ දේවල්වලටම එබීගෙන ඉඳලා බෑ. අපේකොම ටිකක් හුරු පුරුදු වුණා නං හරි...”
සුහුරු, සීයා දෙස ඇස් බැමි උඩ තියා බැලුවා.
“නෑ මං මේ නිකොමට වගේ කීවේ...”
සීයා සුහුරුගේ හිස අතගෑවා.
අරුණි