මං අම්මට විරුද්ධව සාක්කි කියන්නේ නෑ | Page 589 | සිළුමිණ

මං අම්මට විරුද්ධව සාක්කි කියන්නේ නෑ

 ළමයින් මල් වැනිය. එහෙත් බොහෝ දෙනාට මල් වන්නේ තමන්ගේ ළමයින් පමණය. මෙවැනි සමාජයක පරාර්ථකාමී වීමට කිසියම් සීමාවක් පැවතීම අවැඩක්ම නොවන බැවින් එය එසේ වුවද කම් නැතැයි පැවසිය හැකිය. එහෙත් කෙනෙකුට තමන්ගේම ළමයින් වුවද නොවටින්නේ නම්....

පුදුම වීමට දෙයක් නැත. මේ යුගයේ එය එසේ සිදු වෙමින් තිබේ. එවැනි මොහොතක අසරණ වන්නේ කිසිවකුගේ හව් හරණක් නැති වන අහිංසකයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ රැල්ල මෙසේ දිගින් දිගට ගලා යන්නේ නම් කඳුළු බිඳු මතින් ජීවිතය ආරම්භ කළ බිඳුණු සිත් සහිත අනාගත පරම්පරාවක් අප රටට ඉතිරි වනු නොඅනුමානය. ඉදින් අප වැඩිහිටියන් ලෙස ඒ ගැන සිත යොමු කළ යුතුමය. වැඩිහිටියන් බවට පත් වන අපේ බාල පරම්පරාවද ඒ සම්බන්ධව සිතීමට යොමු කළ යුතුමය. ශෂිකාගේ කතාව අපට කියන්නේද අපේ අනාගත පරම්පරාව එසේ නොවිය යුතු බවය.

ශෂිකා උපත ලබන්නේ බියගම සියඹලාපේ ප්‍රදේශයේය. පවුලේ වැඩිමහල් දියණිය ලෙස ඇය උපත ලබන්නේ පොහොසතුන් නොවූ ඇයගේ මව සහ පියා සතුටු සයුරක ගිල්වමිනි. ඇයගේ පියා බෙහෙවින් තරුණය. වෘත්තියෙන් බුල්ඩෝසර් ක්‍රියාකරවන්නෙකි. බෙහෙවින් තරුණ මවද නිශ්චිත රැකියාවක නිරත නොවූවාය. පියාගේ වෘත්තියෙන් ලැබුණු ආදායම කිරෙන් කා තෙලන් අත සෝදන්නට ප්‍රමාණවත් නොවූවද ඔවුන්ට දුකක් නැතිව ජීවත් වීමට ප්‍රමාණවත් විය. කුඩා සහෝදරයාගේ උපතින් පසුව ශෂිකාගේ ජීවිතය අග හිග කම් මැදින් වුවද සතුටින් ගලා යමින් තිබිණ.

එහෙත් ඒ සතුට තාවකාලික විය. බුල්ඩෝසර් ක්‍රියාකරවීමට නිවෙසින් බැහැර බොහෝ දුර පළාත්වල සේවයට ගිය පියා යළි නිවෙසට එන තෙක් ශෂිකාගේ මවගේ සිත එක තැන රැඳුණේ නැත. ඇය තවත් පෙම්වතකුගේ උණුසුම සොයා ගියාය. පදිංචිව සිටි නගරයේ නමින්ම හැඳින්වෙන මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශෂිකාට සහ ඇගේ සොහොයුරාට මේ අලුත් අමුත්තාගේ ආගමනය සතුටක් ගෙන දුන්නේ නැත. එහෙත් විකල්ප නොවීය. දරුවන් ගැන සිතා තම හැඟීම් පාලනය කර ගැනීමට තරම්, සැමියාගේ ගෞරවය නම්බුව ගැන සිතා සිතිවිලි පාලනය කර ගැනීමට තරම් ශෂිකාගේ මව බුද්ධිමත් වූයේ නැත.

පියා නොමැති නිවසේ ආධිපත්‍ය පතුරුවන අමුත්තා ශෂිකා‍ගේ ජීවිතයට කළු සෙවනැලි ගෙන එන්නට විය. අමුත්තාගේ ආගමනය ගැන ඉව වැටුණු අසල්වාසීහු කිසිවක් නොදුටුවාසේ සිටින්නට උත්සාහ දැරූහ. එහෙත් කිසිවක් කිසිදා රහසක් නොවන්නා සේ ශෂිකාගේ මවගේ පෙම් පැටලැවිල්ලද වැඩි කල් නොගොස්ම පියාගේ කණටද වැටුණේය. ඔහුගේ දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ කණිපින්දම් තවත් ඉවසීමට නොහැකි වූ තැන එක් අසල්වැසියකු පොරොන්දු වූයේ අමුත්තා පැමිණ සිටින මොහොතක ඒ බව දැන්වීමටය.

දිනක ඒ අවසානාවන්ත මොහොත උදා විය. අමුත්තා නිවෙසට පැමිණ සිටින බව අසල්වැසියාගෙන් ශෂිකාගේ පියාට දැන ගන්නට ලැබිණ. ඔහු සියල්ල හිටිවනම අත්හැර දමා නිවෙසට ආවේය. කුමක් හෝ අවසානාවකට එදින පාසල් නොගොස් නිවස‍ේ නතරවී සිටි ශෂිකාටත් ඇගේ කුඩා සොහොයුරාටත් හදිසියේ ‍සිදුවූ පියාගේ පැමිණීම මොහොතක කාලයකට අප්‍රමාණ සතුටක් ගෙන දුන්නේය. එහෙත් එතැන් සිට ශෂිකාගේ ජීවිතයේ අතිශය අසුන්දරම දර්ශනය රඟ දැක්වෙන්නට විය.

තම බිරිය ගේ අශ්ලීල හැසිරීම තමාගේ ඇස් ඉදිරියේ ඔප්පු වූ බැවින් ඇය බියපත්ව හඬා වැටෙතැයි ඇතැම්විට ශෂිකාගේ පියා සිතුවා වන්නට හැකිය. එහෙත් එය එසේ නොවීය. අහඹු ලෙස සිදුවූ සැමියාගේ ආගමනයෙන් තුෂ්නිම්භූත වූ ඇය තම වරද සඟවා ගන්නට මෙන් වඩාත් කලහකාරී වූවාය. ඉන් ශක්තිය ලද ඇයගේ සොර සැමියා ශෂිකාගේ පියාට පහර දෙන්නට විය. ඔහුට ඉතා හොඳ සහයක් ලබා දුන් ඇය ඉදිරියට පැන වැර යොදා තම සැමියාගේ දෑත් පිටුපසට කොට අල්වා ගත්තේ ඔහුට සෙලවීමට හෝ නොහැකිවන පරිද්දෙනි.

අපරාධයක් සිදුවන විට මහ පොළොව පවා නුහුලන බවක් කියවුණද තම දරු දෙදෙනාගේ දෑස් ඉදිරිපිට අසරණව ගිය පියා වෙනුවෙන් මහ පොළොව කම්පාවූයේද නැත. ඒ ‍අතර අනාචාරය කෙරෙහි බිය නොවූ යුවළ මනුෂ්‍ය ඝාතනයද සුළු කොට තකමින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ. බිරියගේ දෑතට සිරව අවසඟව හුන් සැමියාට තම බිරියගේ සොර සැමියාගේ වියරු හස්තයෙන් වැදුණු පිහි පහරෙන් සිරුර කීතූ කීතුව යනු දැණින.

අහිංසක දරු දෙදෙනා බියෙන් මර ලතෝනි තැබූහ. ඔවුන් අස්වැසීමකට කිසිවකුත් නොවූහ. පියා මරුවා සහ පාපතරයා සමග සටන් කරන අතර ඔහුගේ සහයට සිටිය යුතු මව මරුවාට සහ පාපතරයාට සහය වෙමින් සිටියාය. සුන්දර කුරුළු කැදැල්ලක් ඒ සමගින් කඩ කඩව බිම පතිත විය.

මහා විපතක් සිදු විය. පියා මරු වැළඳ ගත්තේය. මේ මහා අපරාධය පැමිණිලි කිරීමට සිටි පැමිණිලිකරුවන් වූ දරු දෙදෙනාට ඒ වන විට මහ පොළොව මත ඉතිරිව සිටි එකම හව් හරණ වූ මව අපරාධයේ චූදිතයා වූවාය. ඉතින් තව කුමක් සිදුවන්නටද?

මවත් ඇයගේ සොර සැමියාත් සිරගත කෙරිණි. අවශේෂ නෑදැයන්ගේ සහයෙන් පියාගේ අවසන් කටයුතු කරන අන්දම ශෂිකා සිහිනයෙන් මෙන් බලා සිටියාය‍‍. නිවසේ කැණිමඩල බිඳ වැටුණු කල අවතැන් වූ දරු දෙදෙන වයස්ගත වැඩිහිටි ඥාති කාන්තාවකගේ භාරයට පත් විය.

එතැන් සිට ශෂිකාට මුළු ලොවම නීරස විය. ඇය පාසල් යනවාට පාසල් ගියාය. කෑවාට කෑවාය. යළිත් ඇයගේ ලෝකයේ සිනා පිපුනේ නැත. කටුක මතකය යළි පාරවන්නට උසාවිය හමුවේ වරින් වර පෙනී සිටින්නටද විය. ඇසින් දුටු එකම සාක්ෂිකරුවන් ලෙස ඇයත් සොහොයුරාත් ලේඛණ ගත වී අවසන්ය. තමා දුටු දේ සැබෑය. එහෙත් එය වචන කර පවසන්නේ කෙසේද? කාට එරෙහිවද? එහි අනෙක් කොන මෙලොව තමන්ට ඉතිරිව ඇති එකම සම්පත වෙත එල්ල වී පවතින්නේය. තමන්ගේ වචන ඇයගේ ජීවිතය තීන්දු කරණු ඇත. එවිට සිදු වන්නේ තමන්ට මවත් සදහටම අහිමි වීමය.

ඇය තම මුව තවත් තද කොට පියා ගත්තාය. ඉදින් කිසිඳු වචනයක් මවට එරෙහිව තමාගේ හෝ සෙහොයුරාගේ මුවින් පිට නොවනු ඇත. එසේ තීන්දු කළ ඇය කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට අධිශ්ඨාන කර ගත්තාය.

මහා අපරාධයකට මුල වූ ඇයගේ මවට තවදුරටත් තමා හේතුවෙන් මරු වැළඳ ගත් සැමියාගේ දරුවන් අවශ්‍ය වූයේ නැත. ඇප ලබා පැමිණි ඇය තමා නිසාම මනුෂ්‍ය ඝාතකයකු වූ ඔහු සමග ප්‍රසිද්ධියේ ජීවත් වීම ඇරඹුවාය. ශෂිකා සහ කුඩා සොහොයුරා ඥාති කාන්තාව ගේ නිවසේ අසරණ වෙද්දී ඔවුන් දෙදෙනා තවත් දරුවන් දෙදෙනෙකු මෙලොවට බිහි කළහ.

කිසියම් සාංසාරගත පුරුද්දක් නොවන්නට, එසේත් නැතිනම් කිසියම් කර්මයක් පටිසන් නොදෙන්නට මොලොව උපදින දරුවන් බෙහෙවින් එක සමානය. ඔවුන් පෙරළෙන, දණ ගාන, ඇවිදින, බහ තෝරන කාලසීමාවන් සමානය. ඔවුන් වෙනස් කරන්නේ ඔවුන්ට ජීවත් වීමට ලැබෙන සමාජය විසිනි. එතැන් සිට වයසින් වැඩෙත්ම ඔවුහු එකිනෙකාට වෙනස් ගති ගුණ ඇති වෙනස් මිනිසුන් වෙති. ඒ කුමක් වුවද ළමා කළ ඔවුන් කිසිවකුට වැරැද්දක් නැති අහිංසකයන්ය. කුරා කුහුඹුවකුට වැරැද්දක් නැති ඒ අසරණයන් වැඩිහිටියන්ගේ වැරදි හේතුවෙන් දඬුවම් විඳිය යුතු නැත. එහෙත් ඒ බව සිහි තබා ගණිමින් ක්‍රියා කළ යුත්තේ වැඩිහිටියන් මිස දරුවන් නොවේය.

වැඩිහිටියනි, ඔබ මොලොවට බිහි කරන දරුවන්ට දෙමාපිය යුතුකම් ඉටු කිරීමට හැකි බව ඔබට විශ්වාස නම් පමණක් දරුවන් මොලොවට තිලිණ කිරීමට කාරුණික වන්න.

නම් පමණක් මනඃකල්පිතයි

ටිරෝනි වෑවලගේ 

Comments

පිටු