මිනිසුන්ගේ කටයුතු පහසු කරන බළලුන්ගේ ජංගම ක්‍රීඩා උද්‍යානය | සිළුමිණ

මිනිසුන්ගේ කටයුතු පහසු කරන බළලුන්ගේ ජංගම ක්‍රීඩා උද්‍යානය

මේ නව නිර්මාණය තමයි පසුගිය වසරේ ලෝකයේ හොඳම නව නිර්මාණ අතරින් තුන්වැනි තැනට තේරුණේ. ඒත් මේ නව නිර්මාණය ගැන කියවන ඔබට හිනා යන්නත් පුළුවන්. මොකද මේ නිර්මාණය අපේ වගේ රටවලට ඉතාම දුරස්ථ අවශ්‍යතාවක් සහිත උපකරණයක් නිසා. ඒත් ඔබ දන්නවද මේ උපකරණය විදෙස් රටවල ජනතාව අතර උණු කැවුම් වගේ අලෙවියක් වාර්තා කරමින් ජනප්‍රිය වූ බව.

මේ උපකරණය මිලදී ගන්න මුදල් වැය කරන්නේ මිනිසුන් තමයි. ඒත් උපකරණය භාවිත කරන්නේ නම් මිනිසුන් නෙමෙයි. මේ උපකරණය නිපදවලා තියෙන්නේ බළලුන් වෙනුවෙන්.

අපේ රටවලට කාර්ය බහුලත්වය නිසා ඇතිවන සමාජ ගැටලු ආගන්තුක නැහැ. ඒ වගේම එය දරුණු සමාජ ප්‍රශ්න ඇති කරන තැනකට තවමත් ඇවිත් නැහැ. ඒත් බටහිර රටවල එසේ නොවෙයි. කාර්ය බහුලත්වය කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක්. එය පදනම් කරගෙන තමයි සෙසු සියලු දේ තීරණය වන්නේ. ඒ නිසාම කාර්ය බහුලත්වය මත ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල එදිනෙදා කටයුතු සහ අවශ්‍ය ගෘහ උපකරණ පවා තීරණය කිරීමට සිදු වෙනවා. ඒත් කොතරම් කාර්ය බහුල වුවත් මිනිස්සු කැමතියි තමන්ගේ ආශාවන් අනුව කටයුතු කරන්න. සුරතල් සතුන් ඇති කිරීම කියන්නෙත් ඒ වගේ මග හැර යන්න බැරි මිනිස් ආශාවක්. මේ නවතම උපකරණය නිපදවලා තියෙන්නේ අන්න ඒ ආශාවෙන් පෙළෙන බොහෝ දෙනා වෙනුවෙන්.

අපි හිතමු ඔබ සුරතල් බළලෙක් ඇති කරනවා කියලා. ඔබ වෙසෙන්නේ විදේශීය රටක හොඳටම නාගරික පරිසරයක. ඔබට විනෝද ගමනක් යන්නත් තියෙනවා. ඔබ වෙනුවට ඔබේ සුරතල් බළලා බලා දෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් කළ යුත්තේ ඔබේ විනෝද ගමනට ඔහුත් රැගෙන යෑමයි. ඉතින් කොහොමද එහෙම බළලෙක්ව අරගෙන යන්නේ. අන්න එතනදී තමයි මේ නව නිපැයුම ප්‍රයෝජනවත් වෙන්නේ.

මේ නව නිපැයුම එහි නිර්මාණකරුවන් නම් කරලා තියෙන්නේ portable cat toy park කියලයි. සිංහලෙන් කිව්වොත් ජංගම බළල් ක්‍රීඩා උද්‍යානය. අනේ කියලා ඔබට හිතෙයි. ඒත් අමතක කරන්න එපා අපි මේ කතා කරන්නේ බටහිර රටවල මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කළ නිර්මාණයක් ගැන බව.

මේ ‍උපකරණය රැගෙන යෑම ඉතාම පහසුයි. ඒ වගේම ඔබ ගිමන් හරින තැනකදී එය කූඩාරමක් හෝ මදුරු දැලක ආකාරයෙන් විවෘත කළ හැකියි. ඔබට තියෙන්නේ මේ විනිවිද පෙනෙන කූඩාරම ඇතුළට ඔබේ බළල් සුරතලාව දමලා විවේකයෙන් ඉන්න එකයි. මේ උපකරණයේ ඉතා සිහින් එහෙත් නම්‍යශීලී කම්බි දැල බිඳ දැමීමට බළලුන්ට බැහැ. ඒත් ඔවුන්ට මේ කූඩාරම වැනි උපකරණ ඇතුළේ කෙළිදෙළෙන් ගත කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ජංගම බළල් ක්‍රීඩා උද්‍යායන පැකේජ් එකට බළල් ක්‍රීඩා උපකරණ කිහිපයක්ද ඇතුළත් කරන්නට එහි නිර්මාණකරුවන් කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මේ ක්‍රීඩා උපකරණ බළලුන්ට ලබා දීමෙන් ඔබගේ වටිනා ගෘහ උපකරණ බළල් නිය පහරින් බේරා ගැනීමේ හැකියාව ඔබට උදාවෙනවා කියලයි.

ඒ වගේම මේ උපකරණය ඇතුළට ඔබේ සුරතල් බළලව දාලා ඔබට එදිනෙදා ගෙදර වැඩ කර ගන්නත් පුළුවන්. නැතිවෙයි කියලා බයවෙන්න ඕනෙත් නැහැ. පූස් පූස් කියලා කෑ ගගහ හොයන්න ඕනෙත් නැහැ.

අපට නම් විහිළු වගේ පෙනුණත් බටහිර රටවල මිනිසුන්ට නම් මේවා ඉතා ප්‍රයෝජනවත් උපකරණ තමයි.

Comments