දුම්රියට පෙම් බැඳ එන්ජිමට පණ දෙන අරුම පුදුම මිනිසා | සිළුමිණ

දුම්රියට පෙම් බැඳ එන්ජිමට පණ දෙන අරුම පුදුම මිනිසා

ඔහු අපූරු මිනිසකු ලෙස හැඳින්වීම අසාධාරණ නැත. ඒ අන් කිසිවක් නිසා නොව කුඩා කාලයේ පටන් දුම්රිය එන්ජින් පිළිබද තිබූ කුතුහලය නිසා කුඩා ආකෘති ඒ අයුරින්ම තැනීමට ඔහු තුළ තිබූ උපන් හපන්කම නිසාය. මිනිසුන් අතර තවත් එක් සහජ හැකියා ඇති අයෙකු ලෙස ඔහු අපට මුණ ගැසුණේ එළිමහන් කඳවුර පාර, උඩගම, මහව ලිපිනයේදීය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වසර ගණනාවක් සේවය කර මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ඔහු නමින් එම්. එඩ්වඩ් පෙරේරා ය. ඔහු මේ වන විට හැට අටවන වියෙහි පසුවන විශ්‍රාමිකයෙකි. පුංචි සන්දියේ පටන් සිය ගමනාගමන කටයුතු බොහෝ අවස්ථාවලදී දුම්රියෙන්ම සපුරා ගත් නිසාදෝ ඔහුගේ ජීවිතය කුඩා කාලයේ පටන්ම දුමිරිය සමගත්, රේල් පීලි සමගත් කුමක්දෝ ගනුදෙනුවක් ඇති කරගන්ට ඇතැයි ඔහු සමග කතාබහට වැටුණු අපට සිතුණු දෙයක් විය.

ළමා වියේදී මැටියෙන් දුම්රිය තැනීම ආරම්භ කළ ඔහු පසුව ලීයෙනුත් ඉන් පසුව පණ නංවා ක්‍රියාත්මක කළ හැකි පරිදි යකඩෙනුත් දුම්රිය එන්ජින් තැනුවේ සිය සිතේ නැගුණු ඒ සිතිවිල්ලට ප්‍රාණයක් එක් කරමිනි. කෙසේ හෝ ඔහු පළමු දුම්රිය එන්ජිම සාදා ඇත්තේ 5 ශ්‍රේණියේ සිටින විටදීය.

මේ වන විට දුම්රියෙහි ප්‍රධාන මෙහෙයුම් මැදිරි හතක් (07) සාදා නිමවා ඇති මොහු මේ ගමන් මග පැහැදිලි කළේ මෙලෙසිනි.

“ මම එක වසරේ ඉඳන් පහ වසර දක්වා ඉගෙන ගත්තේ අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ. අපි ඒ කාලේ හිටියේ අනුරාධපුරේ. ගේ ඉස්සරහින් තමා රේල් පාර තිබුණෙ. කෝච්චි යන හැම වෙලාවෙම මම පාර අයිනට ගිහින් බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්න වෙලාවක තමයි මට හිතුණේ කෝච්චි එන්ජිමක් හදන්න ඕනෙ කියලා. ඒකට මම මුලින්ම යොදා ගත්තේ කෝච්චිවලින් වැටෙන ග්‍රීස්. ඒවා වළං මැටි වගේ හයියයි. ඒවාගෙන් පළමු වතාවට දුම්රිය එන්ජිමක් හැදුවා. ඒක මට ලොකු පන්නරයක් වුණා. ඊට පස්සේ තමා මට හිතුණේ ගමන් කරන්න පුළුවන් විදියට එන්ජින් එකක් හදන්න ඕනෙ කියලා.“

මුලින්ම ග්‍රීස් මැටිවලින් හදපු එන්ජිම දෙවනුව මම ලී වලින් හැදුවා. ඒත් රේල් පාරක දුවන්න පුළුවන් කමක් ඒකෙන් ලැබුණේ නෑ. ඒ නිසා එන්ජින් පිළිබඳ තරමක් අධ්‍යයනය කරලා තමයි දුවන්න පුළුවන් විදියට එන්ජින් හතක් නිර්මාණය කළේ. මේවා ආකෘති වුණත් ඇත්ත දුම්රිය එන්ජින්වල තියන අංගෝපාංග සියයට අනූ නවයක්ම තියනවා. මට නිවාඩු තියන විදියට තමා මේවා නිර්මාණය කළේ. මේවාට අමුද්‍රව්‍ය විදියට අරගෙන තියෙන්නේ යකඩ රේසර්, යකඩ පතුරු, මෝටර්, ස්ප්‍රීන් වගේ දේවල්. නිවසට ගන්න වොට් 230 විදුලිය ට්‍රාන්ස්ෆෝමරයකට දීලා ඒ විදුලි ධාරාව වොට් 12 ට අඩු කරලා තමා මේක දුවන විදියට හදලා තියෙන්නේ. “

ඔබගේ මේ නිර්මාණවලට ඇගැයීමක් ලැබිලා තියනවද? අප ඇසුවේ කතාබහ අතරතුරදීය.

“ඇත්තටම නෑ. එහෙම ඇගැයීමක් ලැබිලා නෑ. මේ නිර්මාණ දිහා බලලා මම මගේ හිතිං ඇගැයීමක් කරනවා. ඒක විතරයි. තුන් හතර දෙනෙක් මේ කෝච්චි ප්‍රදර්ශනවලට අරන් ගිහිං විශාල මුදලක් හම්බ කරගත්තා. ඒත් මට සතයක්වත් දීලා නෑ. මේවා හදලා වසර 5 ක් විතර වෙනවා. අදටත් මේවා එදා වගේම විදුලිය ලබා දුන්නාම රේල් පිලි උඩ දුවනවා.“

මොහු විසින් සාදා ඇති එන්ජින් වර්ග පිළිබද ඔහු මෙලෙස සඳහන් කළේය.

“මම හදලා තියන එන්ජින් අපේ රටෙත් දුවනවා. M1, M4, M6 යන එන්ජින් වර්ග වගේම ඉස්සරම අපේ රටේ භාවිතයට ගත්ත ගල් අඟුරු එන්ජිමකුත් මම හදලා තියනවා. ඒ වගේම මම තනිවම හිතලා හදපු එන්ජින් මැදිරි තුනකුත් තියනවා. මේ වගේ රෝද, ඒ වගේ ස්ප්‍රීන්, මැදිරි ඇතුලේ ආසන තියන විදිහත්, රේල් පීලි මත ගමන් ගද්දී ඇහෙන ශබ්දත් ඇත්ත දුම්රියවල වගේම තියනවා. “

මෙවැනි සියුම් නිර්මාණ කිරීමෙන් හුදෙක් මානසික වින්දනයක් පමණක් ලබන එඩ්වඩ් මහතා එයට ලබා දී ඇත්තේ ස්වයං ඇගැයීමකි. අනුරුවක් වුවද දුම්රිය එන්ජිමෙහි ඇති සියලු කොටස් මේ පුංචි එන්ජිම තුළටද එකතු කිරීමට තරම් දැනීමක්, සෙවීමක් ඔහුගේ ගවේෂණාත්මක නිර්මාණය තුළ කැපී පෙනෙන්නා සේ අපටද හැඟුණේ දුම්රිය මැදිරි පුංචි රේල්පීලි මත පණ ගන්වා ගමන් ආරම්භ කළ පසුවය. කෙසේ හෝ වේවා මෙතුවක් කාලයක් ඔහුගේ පහනින් අනුන් එළිය බැලුවා හැරුණුකොට ඔහුට ලැබුණු සම්මානයක් හෝ වටිනාකමක් නැත. එහෙත් ඔහුගේ හැකියාව මෙසේ හෝ පත්තිරුවක සටහන් තැබුවේ ඔහුට සිය හදවතේ ස්වයං ඇගයීමට එහා ගිය වටිනාකමක් මේ පුදුම මිනිසා වෙනුවෙන් තැබීමේ අරමුණෙනි.

ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන්

Comments