අතීත උරුම සොයා යන අපූරු මිනිසා | Page 2 | සිළුමිණ

අතීත උරුම සොයා යන අපූරු මිනිසා

එච්. එම්. කරුණාරත්න

* පරණ මෙවලම් සොයා ගොස් අමාරුවේ වැටුණු අවස්ථා එමටයි.
* ගොවි‍ කෞතුකාගාරය නැරැඹීම නොමිලේ
* පැරැණි භාණ්ඩ කෝටියකටවත් විකුණන්නේ නෑ

හෙළ සිංහලයේ ඇතැම් අතීත උරුම අදටත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. අතීත මිනිසා දුක් විඳ අපට දායාද කළ ඒ වස්තූන් කෙසේ හෝ අද අපට දක්නට ඉතිරිව ඇත්තේ අතීත උරුම පිළිබඳ කැක්කුමක් තිබූ මිනිසුන් නිසාය. මේ හෙළයේ අපේ පැරැණියන් කළ කී දෑ මෙන්ම ඔවුන් පරිහරණය කළ ඇතැම් දේ අද දකින්නට නොතිබුණත් මේ ධරණීතලයේ ඔවුන්ගේ නාමයන් නොමැකී පවතින්නේ ඒ නිසාය. එසේ අපේ රටේ අතීත මිනිසුන් භාවිත කළ දෑ සුරැකිව පැවතීම වර්තමාන පරපුර ලද භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

එදා මිනිසුන් සිය දහඩියෙන් මහන්සියෙන් දින සති මාස ගණන් දුක් විඳ කළ නිර්මාණ හා කාර්ය අද විනාඩියෙන් දෙකෙන් සිදු කර ගැනීමට හැකිවන සේ තාක්ෂණය දියුණු වී තිබේ. ඒ නිසාම අතීතයේ පටන් අප මුතුන් මිත්තන් භාවිතා කළ කී දෑ අද වටිනාකමක් නොමැතිවම වළ පල්ලට යමින් තිබේ. එහෙත් ඇතැම් තැන්වල තවමත් එදා මේ සිංහලයේ පැවති ‍ජීවන රටාවේ අවශේෂ යන්තමින් හෝශේෂව තිබීම අපගේ වාසනාවකි. වත්මන් පරපුරට අපේ පැරැණි ශිල්පයන්හි වටිනාකම යන්තමින් හෝ වටහා ගැනීමට ඒ පැරැණි වස්තු ඉවහල් වේ.

අපේ එවන් අතීත උරුම වත්මන් පරපුරට දයාද කරන අපූරු මිනිසකු පසුගියදා අපට හමු වූයේ ගල්ගමුව ප්‍රදේශයෙනි. එදා මෙරට තිබූ ගොවි උරුමයෙන් මෙන්ම අපේ සංස්කෘතියෙන් අපට ගිලිහී ගිය බොහෝ දෑ එක් රැස් කළ ඔහු අපූරූ මිනිසෙකි.

ඔහු නමින් එච්. එම්. කරුණාරත්නය. අංක 06, යාය 05, බේකරිය පාර, කලුවරගස්වැව, ගල්ගමුව ලිපිනයේ පදිංචිව සිටින හෙතෙම හැට හැවිරිදිය. සිය සැදෑ සමය ගෙවමින් සිටියත් ඔහුගේ අරමුණ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් අපේ පැරැණි සංස්කෘතික අංග සුරැකීමය.

කුඩා කාලයේ පටන් කෘෂිකර්මය පරම්පරාවෙන්ම උරුම වූ නිසා කෘෂි සම්ප්‍රදායටත් සංස්කෘතියටත් ඔහු දක්වන්නේ දැඩි ආදරයකි. එනිසා ඔහු ඒ මෙවලම් එක්තැන් කර මනාව සුරැකීමට පෙලැඹී තිබේ. ඇතැම් තැන්වල කසළ ගොඩවලට පවා දමා තිබූ ඇතැම් වටිනා කියන පුරාණ මෙවලම් ඔහු සිය පුංචි කෞතුකාගාරයට එක් කරගෙන ඇත්තේ ඒවායේ වටිනාකම හොඳින් අවබෝධ කරගෙනය. ඒ අතීත උරුම මතු පරම්පරාවට දයාද කිරීම ඔහුගේ එකම අභිප්‍රායයි.

‘‘ඒ කාලේ මම හැදුණු වැඩුණු ගම්බද පරිසරයත් එක්ක මට මේ දේවල් අරුම පුදුම දේවල් නෙමෙයි. මගේ අම්මා තාත්තා මේ හැම භාණ්ඩයකින්ම හැම උපකරණයකින් ප්‍රයෝජන ගන්නා ආකාරය අපට හොඳින්ම උගන්නලා තියෙනවා. ඒවගේම මම ඒවායෙන් වැඩකරලා තියනවා. අපි කුඩා කල ජීවත් වුණේ ඒවා ඇසුරේයි.අපේ කාලයේ අපට අරුමයක් නොවූ මේ උපකරණ ඉදිරියේ දී තාක්ෂණ දියුණුවත් සමඟ අපේ සමාජයෙන් ඈත්වේ යැයි මං හිතුවා. ඒවා දකින්නටවත් ලැබෙන එකක් නැතියි මට හිතුණා. මොකද තාක්ෂණය ලංකාවට එන්නට ගත්තට පස්සේ අතීත උපකරණ භාවිතය සෑහෙන්න සීමා වූණා. ඒ නිසා මිනිස්සු රොබෝවරු වගේ වෙන්න පටන් ගත්තා. එදා මිරිස් අඹරපු මිරිස් ගල මුල්ලට වැටිලා විදුලියෙන් ක්‍රියාත්මක වෙන යන්ත්‍ර එන්න ගත්තා. එදා අම්බරුවන්ගෙන් ගොයම් පාගලා පස්සේ ට්‍රැක්ටරයෙන් පාගන්න ගත්තා. ඒකට පසුකාලීනව 'සුනාමි, බූතයා' වගේ මහා විශාල යන්ත්‍ර අපේ ගොවි සංස්කෘතියට එකතු වුණා.කොළ මැඩලා බැත මනින්න ගත්ත බුසල කුරුණිය ලාහ මුල්ලකට වුණා. ඒත් අපේ අතීත සිංහලේ දේ තමා අදටත් අපිට මහා හැගීමක්, ආත්මාභිමානයක් ගෙනැත් දෙන්නෙ.

එදා අපේ කාලේ වී ටික ලොකු මාගලක දාලා ගෑනු වට වෙලා මෝල් ගහෙන් කොටලා තමා වී ටික කොටා ගත්තෙ. ඒත් අද වෙද්දි අපේ ඒ සිංහල සිරිත් විරිත් පවා නැතිවෙලා. ඒ නිසා තමයි මම මේ විදිහට ඒ උපකරණ ආරක්ෂාකරලා අනාගත දරු පරපුර වෙනුවෙන් එකතු කරන්න කල්පනා කළේ. මම එහෙම එකතු කරපු දේ පාසල් ළමයින් විශ්ව විද්‍යාලවල සිසුන් වගේම ආචාර්ය මහාචාර්යවරුන් පවා ඇවිත් දැක බලා ඉගෙන ගන්නවා” යැයි අප සමග කතාවට එක් වෙමින් කරුණාරත්න මහතා පැවසීය.

ඔහු සිය කුඩා ගොවි කෞතුකාගාරය ඉතාමත් පිළිවෙළට හා පැහැදිලිව මෙන්ම ආරක්ෂිතව ද තබා ගෙන ඇත්තේය. සියල්ලම යාන්ත්‍රීකරණය වූ මෙවන් යුගයක නගුලකින් කුඹුරක් සා දෑකැත්තෙන් මැඩුවම් බා කුල්ලෙන් පොළා ලාහෙන් මැන වී ටික ගෙට ගන්නා තැනක් සොයා ගැනීමටවත් නොමැත. ඈත පිටිසරට ගියද එහි වෙනසක් නැත්තේය. කලාතුරකින් පමණක් අම්බරුවන් යොදා සී සෑම කළ ද බහුලව සී සාන්නේ ට්‍රැක්ටරය මගිනි. එවන් අතීතයක් තිබූ අපට ඒ සුන්දර දසුන් අද වන විට වත්මන් පරපුරට අහිමි වී ගොසිනි. ඒවා දකින්නට බලන්නට ලැබෙන්නේ චිත්‍රයකින් පැරැණි ජායාරූපයකින් හෝ නරඹන්නන් සඳහාම ඉදිකළ ආදර්ශ ගම්මානයකින් පමණි.

‘‘මම මේ උපකරණ එකතු කරන්න ගත්තෙ වයස අවුරුදු 23 දී. ඉස්සරලාම මං එකතු කළේ නගුලක්. දැනට අවුරුදු 37 ක් වෙනවා මගේ පුංචි කෞතුකාගාරයට. ඇතැම් අවස්ථාවල මේ උපකරණ එකතු කරන්න ගිහින් අසරණ වුණු අවස්ථාත් තියනවා. අද වෙද්දි කොහෙවත් හොයාගන්න බැරි උපකරණ මම අනාගත පරපුර වෙනුවෙන් එකතු කරලා තියනවා. මේ උපකරණ නරඹලා කවුරුන් හෝ කෙනෙක් දැනුමක් බුද්ධියක් ලබා ගන්නවා තරම් සතුටක් මට තවත් නෑ. මම රුපියලක්වත් අය කරන්නෙ නෑ. මම මහන්සි වෙලා මේ දේවල් කළාට මම මේ අවුරුදු 37 ට කිසිම කෙනෙකුගෙන් සත පහක දෙයක් අරන් නෑ. මේක සමාජ සේවයක් ලෙසයි මං කරගෙන යන්නේ. ඇතැම් ලොකු වටිනාකම් තියන උපකරණ සමහරු කසළ ගොඩට විසිකරලා දාල තියෙද්දි මම අතේ තියෙන කීයක් හරි දීලා ඒක ගෙදර අරන් එනවා. එහෙම ගිහින් එකතු කර ගත් දෙයින් තමා මේ වෙද්දි මගේ පුංචි කෞතුකාගාරය පිරිලා තියෙන්නෙ.”

මේ කුඩා කෞතුකාගාරයේ බැලු බැලූ සෑම තැනම දක්නට ඇත්තේවිවිධාකාරයේ උපකරණය. ඒ අතර දුර්ලබ ගණයේ ලා සැලකෙන වස්තු, අතීත වලව්වල වූ භාණ්ඩ, අපේ රටේ පැරැණියන්ගේ ජීවන රටා හා සමාජය ‍විදහා පාන චිත්‍ර ද වෙයි. වරමන්ද, පිළිතාලිය (වී ඉසීමට භාවිතා කළ උපකරණයක්) ලාහ, මතය, ලී නගුල, කරත්ත මල්ල, කුරහන් ලව්ව, අටමගලය, යොත්ත, සරක්කුඩු පෙට්ටිය, මැදිය කලය, පුස් මල්ල, හැඹිලිය, ලී සේරුව, කුරුණිය, වටපෙට්ටිය, කරත්තය ආදී විශාල වටිනාකමක් හා පෞරාණික උපකරණ කරුණාරත්න මහතාගේ කෞතුකාගාරයේ වෙයි. 1830 වසරේ ශ්‍රී පාදස්ථානයේ චිත්‍රයක්, වීරපුරන් අප්පුගේ චිත්‍රයක්, රාහුල හාමුදුරුවන්ගේ චිත්‍රයක්, ගොංගාලේ ගොඩ බණ්ඩාගේ චිත්‍රයක්, අතීත පොළක දර්ශනයක්, නිකවැරටිය ප්‍රදේශයේ පැරැණි ආරෝග්‍ය ශාලාවක දර්ශනයක්, අතීත ගැහැනුන් වී කොටන ආකාරය දැක්වෙන චිත්‍රයක් ආදී වශයෙන් ඉතා පැරැණි වටිනා චිත්‍ර ද ඒ කෞතුකාගාරයේ සුරැකිව තිබේ.

එපමණක් නොව ඒ කාලයේ තිබූ බලු බද්ද ඇඟ බද්ද යනාදී බදු ගෙවූ පසු ලැබුණු කුවිතාන්සි පත්ද බදු කොළද එකල විවාහ සහතිකද ඔහු සන්තකයේ ආරක්ෂිතව තිබේ. ඊට අමතරව ඔහු වෙත ඇති එකල විසූ ස්වාමීන් වහන්සේ නමක විසින් ලියූ අතීත සිදුවීම් සහිත දින පොතෙන් එදා අප පැරැණි සමාජයේ තොරතුරු අගේට විස්තර කෙරේ.

සිය කෞතුකාගාරයේ ඇති ඇතැම් අතීත මෙවලම් පෙන්වමින් ඒවා භාවිතයට ගත් අයුරු කරුණාරත්න මහතා අප හා විස්තර කළේය.

‘‘වරමද්ද කියන උපකරණය භාවිත කර ඇත්තේ විශේෂයෙන්ම කුළු හරක් ඇල්ලීම සඳහායි. අං සහිත ගෝන්නු හත් දෙනෙකුගේ සහ මීමින්නු හැට දෙනෙකුගෙයි හම් අරන් තම්බලා වේලලා තමයි මේ වරමන්ද කියන උපකරණය හදලා තියෙන්නෙ. 1940 විතරකාලයේ අපේ රටේ කුල භේදය හරියට තිබුණ නිසා මදුකාරයන් කාරයන් ලෙස සලකන සැඩොල් කුලයේ අය තමා මේවා හැදුවේ. මේ වරමන්ද හදන්න විශාල කාලයක් ගත වෙනවා. ඒ කාලේ ඉතිං භාණ්ඩ හුවමාරු ක්‍රමය තිබුණු නිසා මේ වගේ වරමද්දක් හදලා දුන්නාම මදු කාරයන්ට වී අමුණක් (බුසල් 07 ක්) හරි කුරහන් පෑලක් හරි දෙන්න ඕනෙ. ඒ වගේම තමා අතීතයේ අල්මාරි තිබුණෙ නෑ රෙදි වගේ යම් යම් දෑ දාලා තියාගන්න. අන්න ඒ කාර්යය සිදු කරගන්න තමා 'පිලිතාලිය' කියන එක භාවිතා කළේ. විශේෂයෙන්ම කුඹල් කරුවො තමා මේවා හැදුවෙ. ඒ වගේම 'වී ඉහින පෙට්ටිය' කියලා කිව්වෙ ලාස් භාගයක විතර ප්‍රමාණයක් වී දාන්න පුළුවන් උපකරණයක්. කුඹුරක කොපමණ ප්‍රමාණයක් වගා කරලා තියෙනවාද කියා හොයා ගන්න මේ උපකරණය හරහා හැකියාව තියනවා. ඒ වගේම 'මතය' කියලා හඳුන්වන්නේ ගිං තෙල් දුම් වැනි තෙල් වර්ග නිෂ්පාදනය කරන්න යොදා ගත්ත උපකරණයක්. මෙවැනි උපකරණ රාශියක් මම එකතු කරලා තියනවා.

මේ හැම උපකරණයක්ම විශේෂිතයි. ඒත් සමහර ආයතන කෝටි ගණන්වලට මගේ මේ උපකරණ මිල කරලා ඉල්ලනවා. ඒත් කවදාවත් සල්ලිවලට ආසා වෙලා මම ඉඳිකටු තුඩක තරම්වත් දෙයක් දීලා නෑ. මොකද මේ දේවල් ඒ විදිහට දෙන්න පුළුවන් දේවල් නෙමේ.”

අපගේ හෙළ උරුමයන්ට වටිනාකමක් ලබා දෙමින් ඔහු සිදු කරන මේ අපූරු සේවාව ඉතාමත් අගනේය. ‘‘මෙන්න මෙහෙම තැනක් තියනවා නරඹන්න එන්න කියලා දැන්වීමක්වත් මං මෙතුවක් කාලයකට දාලා නෑ. මම මට පුළුවන් විදිහට මේ උපකරණ ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා. සමහර චිත්‍ර තියෙනවා ගොඩක් පරණයි. ඒ වගේ දේවල් මතුවටත් ආරක්ෂා කරගන්න ලැමිනේට් කරලා තියා ගන්න ඕනෑ. ඉතිං එවැලි දේ සඳහා මුදල් වැය වෙනවා. මම මට හැකි පරිදි ඒ දේවල් කර ගන්නවා.

අද අපේ දරුවෝ ඈත අතීතයේ දේ දන්නේ නෑ. අපේ සිංහල රාජ වංශය ගැන වුණත් දැනගන්නෙ පොතක් පත්තරයක් බලලා. ඒ නිසා තමා මම ඒ කාලේ ඉඳලම මේ විදිහෙ වටිනාකමක් තියෙන දෙයක් කළානම් හොඳයි කියා හිතුවේ. අපේ පැරැණි කෘෂිකාර්මික යුගයත් එක්ක ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය අද ගිලිහිලා. ඒ නිසා මේ විස්තර ආදිය දැන් සමාජයේ සියලුම දෙනාට ගොඩක් වැදත් වෙනවා. මේ කටයුතු සඳහා මට පවුලේ අයගේත් උදව් උපකාර ලැබෙනවා. මේ වෙද්දි මම මේ එකතුකරලා තියන හැම උපකරණයකම අතීත භාවිතය ගැන විස්තරාත්මක පොතක් ලියාගෙන යනවා. ඒ පොත මුද්‍රණය කරලා පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන්න මගේ බලාපොරොත්තුවක් තියනවා. ඒ දේවල් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.”

ලංකාවේ අතීත උරුමයන් පිළිබඳ පිටරැටියෝ බොහෝ උනන්දු වෙති. ඒවා දැක බලා ගැනීමට ආසා කරති. එනිසා අතීත උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැක ගන්නා ඔහු අප රටේ පැරැණි උරුමය වෙනුවෙන් කරනුයේ අගනා සේවයකි. ඒ නිසා කරුණාරත්න මහතා රටට දැයට ජාතියට ආගමට මෙන්ම මුළු මහත් ප්‍රජාව වෙනුවෙන් කරන මේ සුවිශේෂී සේවාව අපි අගය කළ යුතු වෙමු.

ඒ උරුමයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට ඔබටත් අවැසිනම් 0776600600 යන දුරකථන අංකයෙන් කරුණාරත්න මහතා සම්බන්ධ කර ගැනීමට ඔබටත් හැකිය.

එම්. එම්. ක්‍රිෂාන්
ගල්ගමුව සමූහ

Comments