
හිමිදරි පාන්දර ජංගම දුරකථනයට පැමිණි කෙටි පණිවිඩයක හඬින් නින්ද කැඩිණි. එහි සටහන්ව තිබුණේ මරණය පෙනි පෙනී සිතේ සවියෙන් අනෙක් අයට ද සවියක් වෙමින් ජීවත් වූ තරුණ පුතෙකුගේ සදාකාලික සමුගැනීමේ පුවතයි. ගෙවී ගිය කාලය තුළ ඔහු හමුවීමේ සිට මේ දක්වා සිදු වූ සියල්ල සියල්ල රූප රාමු පෙළක් මෙන් දැස් ඉදිරියේ මැවුණේ සැණෙකිනි. එය එක් අතකින් ශෝකාන්තයකි. අනෙක් අතින් ධෛර්යවන්ත පුතකුගේ හා පියෙකුගේ කතාවකි.
ඔහු එස්. එම්. එස්. මොහොමඩ් ය. ඉකුත් වසරේ දිනෙක ඔහු සිළුමිණට පැමිණීයේ කදිජා පදනම මඟින් කරන්නට යන සත්කාර්යය සඳහා මාධ්‍ය දායකත්වයක් ලබා ගැනීමේ අරමුණිනි. එනම් මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලියන දෙසීයක් වැය කර එහි අඩු පාඩුවක්ව පවතින 'පෙට් ස්කෑනර්' යන්ත්‍රයක් රැගෙන දීමට මහජනතාවගේ උදව් ලබා ගැනීම සඳහාය.
ඔහු අපට එම පදනම පිළිබඳ බොහෝ තොරතුරු කීවේය. නමුදු මේ කාර්යය සඳහා එසේ පෙළගැසීමට හේතුව පිළිබඳ අපි ඔහු වෙතින් තොරතුරු විමසීමු.
“මගේ පුතා රෝගී වුණාට පස්සේ තමයි මම ජීවිතේ ගැන බොහෝ දේ දැනෙන්න ගත්තේ. මගේ පුතා පිළිකා රෝගීයෙක් ඔහුට තියෙන්නේ අස්ථි පිළිකාවක්. රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යන්නට පෙර පුතාට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු ඉන්දියාවේ රෝහලකට රැගෙන ගියා. නමුත් සාර්ථක වුණේ නැහැ. මාස කිහිපයක් අපි ඒ රටේ හිටියා. ඉන් පසු ලංකාවට ආවා. අපේ රටේ පෞද්ගලික රෝහලක හිටියා. මගේ දේපළවලින් කොටසක් විකුණුවා. මට ඉන්න එකම පුතා වෙනුවෙන් මට මොනවද කරන්න බැරි. දුවලා හත් දෙනා අතරට තමයි මේ පුතා ඉන්නේ. අවසානයට තමයි අපි මහරගම අපේක්ෂා රෝහලට ගියේ. මම එහිදි බොහෝ අඩුපාඩු දැක්කා. පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නැතිව රෝගීන් පත්වී ඇති අසීරුව දුටුවා. ඒ ගමන තමයි මම මේ යන්ත්‍රයක් අරන් දෙන්න හිතුවේ. ඒ සඳහා රටේ හැමෝමත් දායක කරගන්න ඕනැ වුණා. අපි ඒකයි මුලින්ම සිළුමිණ පත්තරේට ආවේ.” මොහොමඩ් අප හා පැවසීය. ඔහුගේ එකම පුතු හමීඩ් ඔහු අසලම සිටියේය.
තමන්ට වැලඳී ඇති රෝගය පිළිබඳ දැනුවත්ව සිටියද හමීඩ් වෙතින් කිසිදු වෙනසක් හෝ ළතැවිල්ලක් පළ නොවීය. ඒ වන විටත් ඔහුට ශල්‍ය කර්ම දෙකක් කර තිබුණි. තම පියාගේ සත්කාර්යය සාර්ථක කර ගැනීම ඔහුගේ එකම අරමුණ වුයේය. අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරද ඔහු එහි අැති අඩුපාඩු හා අනෙකුත් රෝගීන්ට උදව් කළ යුත්තේ කෙසේද යන්න සිය පියාට කීවේය. මොහොමඩ් තම පුතුගේ ඉල්ලීම් ඉටු කළේය. පුතු පිළිබඳ සොයා බලන අතරේම ගෙවී ගිය කාලය තුළ ස්කෑනර් යන්ත්‍රය ට මුදල් සෙවීම ආදි කටයුතු පිළිබඳ සොයා බලුවේය. ජාති ආගම් බේදයකින් තොරව මනුෂ්‍යත්වය මුල් කොටගෙන මේ පියපුතු හවුල තමන්ට කළ හැකි දේ කළේය. අවසානයේ දෙස් විදෙස් මහජනතාවගේ උදව්වෙන් යන්ත්‍රය මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් එකතු වුයේය. ඒ පිළිබඳ හමීඩ් පුතු සිටියේ අපමණ සතුටිනි. මේ සියල්ල සිදුවන අතරේ හමීඩ් සඳහා ප්‍රතිකාර කෙරිණි. හමීඩ්ගේ ජීවියට යම් බලා පොරොත්තුවක් තබමින් යළිත් සැත්කමක් කෙරිණි. එහිදි සිදු වුයේ ඔහුගේ එක් අතක් කපා ඉවත් කිරීමය.
“රෝගය පැතිරියෑම වළක්වන්න තමයි වෛද්‍යවරු පුතාගේ අතක් ඉවත් කර දැමුවේ. කමක් නැහැ මගේ පුතාගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා. පුතා ලෙඩ වුණාට පස්සේ අපේක්ෂා රෝහලේ දී බිරියටත් මටත් උපදේශනය ලබා දුන්නා. නමුත් පුතා අපි හැමෝටම වඩා හොඳ මානසික තත්වයක ඉන්නවා.”
මීට කලකට පෙර මොහොමඩ් පැවැසුවේ එසේය. දැන් සියල්ල නිසලය. තම එකම පුතු පිළිබඳ අපමණ සිහින දුටු ඒ පියාගේ දෑසේ ඉතිරිව ඇත්තේ උණූ කඳුළු පමණය. සියල්ල අතහැර අකාලයේ දිවි මඟින් සමුගත් හමීඩ් පුතු රටට ඉතිරිකර ගිය දෙයක් ඇත. කොයි මොහොතේ හෝ මිය යන බව දැන සිටි හමීඩ් තම පියාට වගකීමක් පවරා ගොස් ඇත්තේය.
දරුවෙක් ලෙඩ වුණාම කොයි අම්මා තාත්තගෙත් දුක කඳුළ එකයි. “ මම මගේ දරුවා වෙනුවෙන් හැමදේම මේ රටේ පිළිකා රෝගීන් වෙනුවෙන් කරනවා.”ඔහු මෙසේ පැවැසුවේ මාස කිහිපයකට පෙරය. මෙය ලියන මොහොත වන විට සියල්ල සිදුවී හමාරය. නමුදු යම් කලෙක මොහොමඩ් හමීඩ් නම් වු යෞවනයා පිළිබඳ කොහේ හෝ ලියැවී තැබෙනු ඇත. ඒ තමා මෙන්ම මේ රටේ අනෙකුත් පිළිකා රෝගීන් සඳහාද යමක් කරන්නැයි පියාවෙතින් ඔහු කළ ඉල්ලීමත් සමඟය.
මොහොමඩ් හමීඩ් නම් වු යෞවනයා, ඔහුගේ පියා වූ එම්. එස්. එම් මොහොමඩ් සහ කදීජා පදනම පිළිකා රෝගීන් වෙනුවෙන් මහජනතාවගේ ආධාර ඇතිව එකතු කළ මුදලින් පරිත්‍යාග කිරීමට ගිය පෙට් ස්කෑනර් යන්ත්‍රය සවිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි ආදියද මේ වන විටත් ඉදිවෙමින් පවතී. යන්ත්‍රය ලබන නොවැම්බර් මාසයේ අපේක්ෂා රෝහලේ ස්ථාපිත කළ හැකි වනු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තොරතුරුවලින් පැවසේ.
හමීඩ් තරුණයා මිය ගියේය. තම එකම පුතුගේ වියෝව ඉවසා ගනු නොහැකි ඔහුගේ පියා දුක වාවා ගත නොහැකිව හිදින්නේය. දරු දුක වෙනුවෙන් කඳුළු සලන තැවෙන දැවෙන මේ පියාගේ දුක තුරන් කිරීමට එම ප්‍රවෘත්තිය සහනයක් වනු ඇත්තේය. එසේම පිළිකා රෝගයෙන් වේදනා විඳින රෝගීන්ගේ මෙන්ම ඔවුන්ගේ නෑසියන්ගේ ද සන්තාපයට පත් හදවත්වලට සුවයක් ගෙනෙනු ඇත.
ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු