
පසුගිය ජුනි, ජූලි මාසවල මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් දිවයින පුරා වාර්තා වූ අතර මේ වන විට එම සංඛ්‍යාව 90% ක් දක්වා අවම කර ගැනීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඩෙංගු රෝගය පිටු දැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, මාධ්‍ය, පළාත් පාලන අමාත්‍යාංශ ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව මෙයට හේතු වූ අතර සියල්ලට ම වඩා රටේ සමස්ථ ජනතාව ඩෙංගු උවදුර පිටුදැකීම සඳහා පුරවැසි මට්ටමෙන් දක්වන ලද සහයෝගය මෙම ජයග්‍රහණය සඳහා හේතු වූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
පසුගිය ජුනි ජූලි මාසවල දිනකට රෝහල් ගතවූ රෝගීන් සංඛ්‍යාව 90000 ක් ඉක්මවා ගියද මේ වන විට දිනකට රෝහල් ගතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20 - 30 තරම් පහත වැටී ඇතැයිද වෛද්‍ය බණ්ඩාර පවසයි. මේ වන විට අංගොඩ උණ රෝහලට දිනකට ඇතුළුවන රෝගීන් සංඛ්‍යාව 27 දක්වා අඩු වී තිබේ.
ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වූයේ සති හතරක් තුළ ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 50% දක්වා අඩු කළ යුතු බවය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනතාව එක්ව සිදු කළ ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රතිඵලයක් ලෙස සති 4 ක් තුළ වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 60% දක්වා අඩු වූ අතර මේ වන විට එය 90% දක්වා අඩු වී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. නිවාස, පාසල් කාර්යාල හා අවට පරිශ්‍ර පිරිසුදු කර ගැනීම හා නියම ආකාරයෙන් කුණු කසල බැහැර කිරීම තුළින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ධූමායනය මෙන් ම ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමෙන් ඩෙංගු රෝගය මර්දනය කිරීමට හැකි වූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
ඉදිරියෙහි එළැඹෙන මෝසම් වැසි සමයේදි යළිත් ඩෙංගු රෝගය පැතිරිය හැකි බැවින් උක්ත වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඩෙංගු සඳහා අවදානම් කලාපවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර පසුගිය සතියේ දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවිණ. ඩෙංගු රෝගයෙන් වැළැකීම සඳහා ජනතාව දැනුවත් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කැරිණි.
මදුරුවන් සක්‍රීය වන උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී අත් පා හොඳින් වැසෙන සේ ඇඳුම් ඇඳීම, මදුරු දැල් භාවිතය, පැඟිරි තෙල් හෝ මදුරු විකර්ෂක භාවිතයෙන් මදුරු දෂ්ටනයෙන් වළකින ලෙස ජනතාවට අවවාද කෙරේ. උණ ගැනී පළමු පැය 24 ගත වූ පසුව ඩෙංගු උණ සඳහා අදාළ පරීක්ෂණය කර ගැනීම සුදුසුය. එම ප්‍රතිඵල අනුව රෝගියා රෝහල්ගත විය යුතුද නිවසේ සිට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. උණ සහ ඇඟපතේ වේදනාව සමනය කර ගැනීමට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතුය. දින දෙකකට වඩා උණ ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලෙන් හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්ය.
මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා ඇති හොඳ ම පිළියම තම නිවෙස ගෙවත්ත පාසල හෝ කාර්යාල පරිශ්‍ර පවිත්‍රව තබා ගැනීමය. ඩෙංගු රෝගය පිටු දැකීම රජයේ හෝ බලධාරීන්ගේ වගකීමක් පමණක් ලෙස නොසලකා එය ජනතාවගේ ද වගකීමක් ලෙස සිතා කටයුතු කිරීමෙන් පමණක් ඩෙංගු රෝගය රටින් තුරන් කිරීමට හැකිවෙතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
සාගරිකා දිසානායක
ඡායාරූපය - විපුල කුමාර රාජපක්ෂ