ඔයා සතුටු වෙන්නේ මාව පරාජය කරල ද? | Page 2 | සිළුමිණ

ඔයා සතුටු වෙන්නේ මාව පරාජය කරල ද?

“ලංකාවෙ පාරවල වාහනේ එළවන්න බයයි මට.

හැමෝම යන්නෙ පාර තමන්ට

විතරක් කියලා හිතාගෙන.

ඊයෙ යන්න තිබුණ ගමනක් අද මේ දැන් යන්නා වගේ.”

නරේන්ද්‍ර නේෂන් වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් දෙනු වස් මහ මාවතෙහි ඉඩ පහසුකම් ඇති ස්ථානයක රථය නවතා දුරකථනය අතට ගත්තේය. ඔහු රථය පදවමින් දුරකථන ඇමතුම් ගන්නේ හෝ දෙන්නේ නැත.

නේෂන් වෛද්‍යවරයා එවිටත් රෝහලේ ය. තුන් හෝරාවක ශල්‍යකර්මයක් අවසන් කොට අඩ හෝරාවක විවේකයකින් පසු යළිත් ඔහු ශල්‍යාගාරයට යෑමට සූදානම් වෙමිනි.

“මං උදේ ඩොක්ටර්ගෙ ගෙදරට ගියා. දෝණි ගෙ ඉල්ලීමකට.” නරේන්ද්‍ර කීවේය.

“මං දන්නවා නරේන්ද්‍ර. මමයි දුවට කිව්වෙ ඔයත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්න. ම‍නෝහාරි සම්බන්ධ කාරණයක් නිසා අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන.”

“ඒක හරි. ඒත් ඉතින් යකා කියන තරම් ම කළු නැහැ කියලා කතාවක් තියෙනවා. මං ඉන්නවනෙ. මම කියන්න හැදුවෙ මට ආයෙත් රෝජා දුව මුණ ගැහෙන්න ඕන. ඔයා කොහෙද කියලයි බැලුවෙ.”

“මං නැතුවට කමක් නැහැ. අපේ දරුවා කැමතියිනෙ නරේන් මාමා එක්ක කතා කර කර ඉන්න.”

නරේන්ද්‍රගේ සිතෙහි උපන් සතුට හුදකලා සිනා පොදක් වී දෙතොල් මත රඟ දුන්නේය.

“මට ඩොක්ටර් එක්කත් පුංචි කතාවක් තියෙනවා. කීයටද එන්නෙ?”

නේෂන් වෛද්‍යවරයාගේ සැහැල්ලු ප්‍රීතිමත් සිහින් සිනාව නරේන්ද්‍ර සොයා ආවේය. ශල්‍යාගාරයට ඇතුළු වූ පසු පිට වෙන්නේ කුමන පැයකදැයි කීමට නුපුළුවන. කාලයට වඩා ජීවිත වටිනාකම් වටහා ගත යුතු මොහොතක කාලය යනු අසුරු සැණක් ද නොවේ.

“නරේන්ද්‍ර ඕන දෙයක් මගෙ දරුවා එක්ක කතා කර ගන්න. ඒ කතා කරන්නෙ මං එක්ක කියල ම හිතා ගන්නකො. මට අවසර මං නවතිනවා.”

නේෂන් වෛද්‍යවරයා දුරකථනය විසන්ධි කළෙන් නරේන්ද්‍ර යළිත් ගමන ආරම්භ කළේය.

විදේශීය ස්විස් ගමනට සතියක් ඇත. ඒ සතිය තුළ ඉන්ද්‍රජිත්ගේ පැමිණීමත් වේ නම් එය රුක්නාද්ගේ විදේශීය ගමන් මඟ ව්‍යාකූල කරන්නක් වීමට ඇති අවකාශ වැඩිය.

රෝජා සඳපාණි පැවසූ පරිදි ඉන්ද්‍රජිත්ගේ පැමිණීම තරුණ රුක්නාද් ගේ තරුණ සිතෙහි තරමක නොසංසුන්කමක් ඇති කරනවා වීමට බැරි නැත. එහෙත් කැපවීමේ ධර්මතාවෙහි වටිනාකම මැනවින් වටහා ගෙන සිටින රුක්නාද් මන්ත්‍රිවරයා පවසන්නේ ඉන්ද්‍රජිත්ගේ පැමිණීම තමාට දෙවියන් දුන් වරදානයකට සම කළ හැකි කතාවකි.

රුක්නාද් මෙන් ම ඉන්ද්‍රජිත් ද ත්‍රස්තවාදී අරගලයෙන් රිදුම් දෙන සිත් ඇතිව තවමත් පීඩාකාරී මනසින් ජීවත් වන්නෝය.

ප්‍රතිගාමී දේශපාලන පක්ෂ විසින් ස්වකීය බලය ස්ථාපිත කර ගැනීමට යොදන සියලු කෲර උපාය මාර්ග පොදු මිනිසා අගාධයකට පෙරළා දමන්නක්ව පවතී. මෙය උතුරටත් දකුණටත් පොදු නැගෙනහිරටත් බටහිරටත් පොදු එක ම ගැටලු සහගත ප්‍රශ්නයයි.

අගාධයන්ට ඇද වැටුණු මිනිසා දුකඛ දෝමනස්සයන්ගෙන් පීඩිතව වෛරී චේතනාවන්ගෙන් උමතුව උනුන්ට එරෙහිව නැගී සිටිනු විනා දේශපාලන ගැඹුර යථාර්ථය සොයා ගැන්මට හෝ මිනිස්කමේ වටිනාකම් අවබෝධකරගැන්මට හෝ උත්සාහ නොකිරීම නව ගෝලීයකරණ අධිරාජ්‍යවාදයේ කෲර බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දීමේ එක් ප්‍රවේශයක් ද?

සුපිරි වෙළෙඳසලක් නෙත ගැටෙත් ම නරේන්ද්‍රගේ සිතුවිලි දැහැන බිඳ වැටිණි.

රෝජා සඳපාණි තරුණියට ඇය ප්‍රිය කරන යමක් ගෙන යායුතු යැයි සිත දුන් පණිවිඩය පිළිගත් ඔහු සුපිරි වෙළෙඳසල ඉදිරියේ රථය නවතා ඉන් පිටතට පය තැබුවා පමණි.

කාන්තාවන් දෙතුන් දෙනෙක් ඉක්මන් ගමනින් ඔහු වෙත ආවේ භාණ්ඩ මලු ද අත ඇතිවය.

“මේ අපේ සර්නෙ. අපේ මන්ත්‍රිතුමානෙ. ගෙදරට බඩු ගන්න ඇවිත් වගේ.”

කාන්තාවෝ ළෙන්ගතු සොඳුරු බස් පවසමින් ඔහුගේ ගමනට බාධා කළහ.

“නැතුව ඉතින් මේ නංගිලා මට කන්න ගෙනත් දෙනවද? මම මගේ වැඩ කරගන්න එපායැ...?”

නරේන්ද්‍ර සියලු ශෝක සංතාපයන් සිතින් ඉවත් කර කාන්තාවන්ට සුහද කතා බහකට අනුබල දුන්නේය.

“ඉතින් සර් කියන්න එපායැ... අවශ්‍ය දෙයක් ඇත්නම් අපි කරලා දෙනවා.”

“සර් ගිය සතියෙ රූපවාහිනියෙ කරපු සාකච්ඡාව අපි ඇහුවා. අනේ ර‍ෙට් මිනිස්සු වෙනුවෙන් ඔය තරම්වත් කතා කරන්න මන්ත්‍රි කෙනෙක් ඉන්න එක ලොකු දෙයක්.”

“මට කියන්න තියෙන්නෙත් එච්චරයි.”

“ඒ කිව්වෙ මන්ත්‍රිතුමා?”

“තමන්ගෙ මන්ත්‍රිතුමා කෑවද, බිව්වද, කඩේ යනවද, කාටද කඩේ යන්නෙ, යන්නෙ ලෝක වෙළෙඳ පොළටද, ගමේ පොල් අතු කඩේටද සුපර් මාකට් එකකටද කියලා හොයලා බලන්න තරම් හිතවත් ඡන්දායක දායිකාවෙ ඉන්න එක ඇත්තට ම ලොකු දෙයක්.”

පොදුවේ ඒ ප්‍රශංසාවෙන් ගැහැනු සිත් සතුටෙන් පිරෙන්නට විය. මන්ත්‍රිවරයාගේ ළෙන්ගතුකම මවාපෑමක් හෝ වංචාවක් නොවේ. එදත් අදත් කවදත් කුමන තනතුරක් දැරුවත් ඔවුන්ට නරේන්ද්‍ර මන්ත්‍රිවරයෙකු පමණක් නොව වැඩිහිටි සොහොයුරෙකි.

“අපි ඉතින් පරම්පරාවෙන් පරාවට ම සර්ට තමා.”

“ස්තුතියි දරුවනේ ස්තුතියි. දැන් ඉතින් මට යන්න දෙනවද? මං හදිස්සි ගමනක් යමින් ඉන්නෙ. තව කාරණයක්. ඊළඟ පරම්පරාවටත් කියන්න මට ඡන්දෙ දෙන්න.”

කාන්තාවෝ සිනාසෙමින් මාර්ග බාධකයෙන් ඉවත් වූහ. නරේන්ද්‍ර ඔවුන් පසු කරමින් යන අතර මිත්‍රත්වය පළ කරනු වසු ඔවුන්ගේ උරහිසට අතට හිසට සෙමින් තට්ටු කළේ ඇඟිලි තුඬිනි.

සුපිරි වෙළෙඳ සැලෙහි පාරිභෝගික ජනයා බහුල වූයේ නැත. ඔහු විවිධ රසකැවිලි සහිත රාක්ක දෙස බලමින් සෙමින් සෙමින් එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගියේය.

එමට රස කැවිලි අතර ඔහු සිත් ගන්නක් තිබුණේ නැත.

“පලතුරු ටිකක් ගෙනියනවා.”

ඔහු සිතුවේ ඇගේ ආහාර රුචිය කවරාකාරදැයි මතකය ඇසුරෙන් තෝරා බේරා ගැනීමේ සිතට නොදැනෙන තරමේ ප්‍රායෝගික උත්සාහයකට මැදිවය.

***********

උදාව ඇති දවසේ දෙවැනි වරටත් න‍ෙර්න්ද්‍රගේ ආගමනය බලාපොරොත්තුවෙන් නිවසින් පිටතට පැමිණි රෝජා සඳපාණි, නිවාස සංකීර්ණයත් ඈතින් ඈතට විහිදුණ කුඹුරු යායත් වෙන් කළ තාප්පය අසල ඇති ගල් අසු‍ෙන් හිඳ පාර බලා සිටියාය. ගල් අසුනට මලින් පිරි වැල්වලින් හොඳහැටි සෙවණ ලැබී ඇත. තාත්තා මේ සොඳුරු සෙවණට “මල්ලිය ගොමුව” යැයි නම් තබා ඇත. එය සිහියට නැගෙන විට තරුණිය තුළින් උපන්නේ සුන්දර මල්ලිය ගොමුව තරම් ම සුන්දර වූ සිනා පොදකි.

“මගේ තාත්තා නරේන් මාමාට හුඟක් කැමතියි. ගිය ආත්මෙ සහෝදරයෙක් වෙන්නැති කියනවා. නරේන් මාමාත් එහෙමයි. ඒත් ඉතින්...”

තරුණිය නරේන්ද්‍රගේ සොහොයුරින් දෙදෙනා තුළ තමා කෙරෙහි ඇති නොසතුට දැන සිටියද සිතට කරදර දෙන එවැනි විරෝධයන් ගැන නොසිතා සිටීමට උත්සාහ කළාය.

“නරේන් මාමා ගැන දුක හිතෙනවා. ම‍නෝ අක්කා අනිත් දෙන්නට ම වැඩිය නරේන් මාමාට හිතවත්.”

නිවාස සංකීර්ණ භූමියේ රථගාලට පැමිණි මෝටර් රථයක නළා හඬින් තරුණියගේ අවධානය එ දෙසට යොමු විය. ඇය නරේන්ද්‍රගේ මෝටර් රථය හඳුනා ගත්තාය.

“ඕ. නරේන් මාමා ඇවිත්.”

ඇය ගේ මුහුණින් මතු වූ ප්‍රසන්න සිනාව නරේන්ද්‍රගේ සිතට සතුටක් විය. මෙවන් ගමනක් මෙවන් අමුත්තෙක් තමාට කරදරයක් සේ නොසිතන්නට තරම් ඇය දයාබර දියණියක සේ වීම මේ වියපත් ජීවිතයට සතුටක් වන්නේ හැඟීම්බරවය.

නරේන්ද්‍ර රථයෙන් බැස රෝජා සඳපාණිට තමන් සමීපයට එන්නැයි කීවේ ඇඟිලි තුඩිනි. ඇය වහා ඔහු වෙත ආවාය.

“දෝණි කැමතිද මන්දා. මං දෝණිට පේර ගැට ටිකක් ගෙනාවා.”

“පේර”

“හ්ම්”

“ස්තුතියි, තෑන්ක්ස්, නන්රි”

තරුණිය කීවේ විහිළුවෙනි. ඇයට බෑගය තුළ ඇත්තේ පේර පමණක් නොවන බව වැටහිණි.

“නරේන් මාමා පලතුරු වත්තක් ම ගෙනත්. අලිගැට පේර, දෙළුම්, දොඩම්, අඹ, කෙසෙල්, අන්නාසි ඇයි මේ?”

“දරුවො ඔයාට කන්නනෙ.”

“දෙළුම්වලට මං ආසයි.”

නරේන්ද්‍ර හිස වැනුවේ ඇය කියන්න වැටහුණු ඉරියව්වෙනි.

“නරේන් මාමා ආයෙත් ඒවි කියලා තාත්තා කෝල් කළා.”

“කරදරයක් ද?”

“නෑ නරේන් මාමා. මම මනෝ අක්කටත් එන්න කිව්වා. එයා ඒවි. මාමා දන්නවද මනෝ අක්කා ඩ්‍රයිවිං ලයිසන් අරන්.”

“මනෝට හොඳට ඩ්‍රයිවිං පුළුවන්. දෝණිට බැරිද?”

“පුළුවන්. මට තියෙන්නෙ ඉන්ටර්නැෂනල් ලයිසන් එකක්.”

“ඉතින් ඩ්‍රයිව් නොකරන්නෙ?”

“ලංකාවෙ පාරවල වාහනේ එළවන්න බයයි මට. හැමෝම යන්නෙ පාර තමන්ට විතරක් කියලා හිතාගෙන. ඊයෙ යන්න තිබුණ ගමනක් අද මේ දැන් යන්නා වගේ.”

තරුණිය වැරදි නැත. නරේන්ද්‍ර සිතුවේය. බොහෝ රියැදුරන්ට රියැදුරු ආචාර ධර්මයන් නැත. මහ මාවතක් වේවා කුඩා මාවතක් වේවා ඊට අදාළ මාවත් නීති රීති කෙරෙහි සැලකිල්ලක් නැත. වාහනයක ගමනාන්තය මරු කටින් ගැලවීමක් වැනි දුෂ්කර ස්වරූපයක් ගැනීමේ අමානුෂික ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යමින් පවතී. රථවාහන අනතුරුවලින් මිය යන්නේ එක් කෙනෙකු දෙන්නෙකු නොවේ. දරු පවුල් එකතු, ගම්වැසි එකතු, මිතුරු එකතු ලෙසින් මිය යාම රැල්ලක් වී නොනැවතී පැතිර පැතිර යයි.

“දැන් රක්ෂාවට යන කොට කොහොමද යන්නෙ?”

“තාත්තා ගිහින් දාවි. මං බස්වල යන්නත් පුරුදු වෙනවා. සමහර විට මට කාර් එකත් පුරුදු වෙයි.”

“හ්ම්”

රෝජා සඳපාණි ගෙතුළට ගිය සැණින් නරේන්ද්‍රට කීවේ එදින උදෑසන ඉන්ද්‍රජිත් දුරකථන ඇමතුමක් දුන් බවයි.

“එන දවසක් කිව්වද?”

නරේන්ද්‍ර ඇසුවේ තරමක් කලබලයෙනි.

“නෑ.. මනෝ එක්ක කතා කරගෙන දිනයක් කියන්නම් කිව්වා. මට ඒ දෙන්නා ගැන දුකයි නරේන් මාමා.”

“ගෑනු ළමයි ඉන්ද්‍රජිත් එනදාට එයාපෝට් ගිහින් එයාව බදාගෙන අඬන්න ඕන. එතකොට ඔයාලා දිහා බල බලා මුළු රට ම අඬාවි. ඒ කඳුළුවලින් මහාද්වීප පහම පිරෙන්න ඕන.”

නරේන්ද්‍ර එවර තරුණිය කෝප ගැන්වීමට උත්සාහ කළේ ද විහිළුවෙනි.

“නරේන් මාමා විහිළු කරනවා. බොහොම නරකයි. කොච්චර කරුණාවන්ත සුන්දර සිදුවීමකට ද අපි මුහුණ දෙන්න ලෑස්ති වෙන්නෙ?”

ඇය නොසතුට පළ කළාය.

“හරි. හරි. ඉතින් ඔය තරම් කේන්ති ගන්න එපා පුංචි විහිළුවකට. දෝණි තාම ඇහුවෙ නැහැ මං හදිස්සියෙ ම ආයෙත් ආවෙ ඇයි කියලා.”

“නරේන් මාමාගෙන් ප්‍රශ්න අහන්න බැහැ. ආවෙ ඇයි කියන නොකියන අවසාන තීරණේ න‍ෙර්න් මාමා අතේ.”

“රෝජා ඔයත් අපේ කොල්ලයි කෙල්ලො දෙන්නයි වගේ ම හැදිලා. නිතර ම මට දෝෂාරෝපණය කරන්නමයි හදන්නෙ. මතක තියා ගන්න මං වැඩිහිටියෙක්.”

රෝජා සඳපාණිගේ තැති ගැන්ම දෙනෙතින් පිට විය. නරේන්ද්‍ර ඇය දෙස බලා සිටියේ ව්‍යාජ අමනාපයකිනි. එහි ව්‍යාජය තරුණියට වැටහුණේ නැත.

සොහොයුරියන්ගේ දරුවන්සේ තරුණිය ද හැදී වැඩී ඇතැයි තරහෙන් කීවද මේ මොහොතේ නරේන්ද්‍ර සිත තලමින් සිටියේ ඔවුන් නොව වෙනත් ගැහැනියකි.

“නරේන් ඔයාට හිතක් පපුවක් නැද්ද? පුංචි කරුණාවක් හරි හිතේ ඇතිව අනිත් මිනිස්සු දිහා බලන්නකො. නෑ. මං වැරැදියි. මාව පීඩාවට පත් කළාට ඔයා අනිත් කාටත් අනුකම්පා කරනවා. ඔයාගෙ හැම තීරණයක්ම හරියි නිවැරදියි කියලා ඔයා හිතන්නෙ. ඒ තීරණ තීන්දුවල මට චුට්ටක්වත් ඉඩක් නැහැ. ඔයා සතුටු වෙන්නෙ මාව පරාජය කරල ද? නෑ නරේන් ඔයාත් එක්ක මගෙ කිසි ම තරගයක් නැහැ. කා එක්කවත් මගෙ තරගයක් නැහැ. මං ආපහු හැරෙනවා මිසක්.”

ඒ දුක්බර ආයාචනයක් වන් හඬ යළි කිසිදාක දෙසවන් සොයා නො එනු ඇත. ඉන්ද්‍රජිත් සේ මේ පෘථිවිතලයේ කොතැනක හෝ සිට ඇය තමා අමතනවා නම් සුදු රෝසමලක් නොව තියුණු විෂ සහිත පිහියක් ආයුධයක් අත තිබුණ ද කමක් නැත.

මේ අතීත කටුක මතක සටහන් මෙනෙහි කිරීමට පැමිණි ගමනක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය සොයා පියාසලන්නට සිදුවීම ගැන සඳපාණි තරුණිය හා කතා කළ යුතුව ඇත.

ලබන සතියට

Comments