බෲස් වෙනුවට බ්‍රිජට් | සිළුමිණ

බෲස් වෙනුවට බ්‍රිජට්

බෲස් වෙනුවට බ්‍රිජට් පැනමාවේ මගෝඩියන් තිදෙනකුගෙන් ඩිලන්ට උදව්

ලොව දිගම මාර්ගයේ, දාරියන් කපොල්ල පනින්නේ කෙසේදැයි උදේ-හවා සිතමින් පැමිණි ඩිලන්ට කොස්ටරිකා-පැනමා දේශසීමාවේ අන්තර්ජාල සැපයුම්හලකදී හමුවූ රොන් නමැති ඇමෙරිකානු ජාතිකයා කුලුපග මිතුරෙක් වූයේය. පසුව ඔහුගේ නිවෙසේ දින කිහිපයක් ගත කිරීමටද ඩිලන්ට ආරාධනා ලැබිණි. මේ අමුතු බයික් එකකින් යන ගමන ගැන රොන් තොරතුරු විමසද්දී දාරියන් කපොල්ල පැන ගන්නේ කෙසේදැයි ඔහු ඩිලන්ගෙන් විමසීය. පහුරකින් දාරියන් කපොල්ල තරණයට සැරසෙන බව පැවසූ ඩිලන්ට පැනමාවේදී පහුරක් සාදා ගැනීමට නියම සුදුස්සා ගැන නියම හෝඩුවාවක් රොන් ලබා දුන්නේය.

“ලාස්ලෝ කියලා රොන්ගේ මිතුරෙක් ඉන්නවා පැනමාවේ. නියම වැඩකාරයෙක්. සෑහෙන මුහුදු ගමන් පිළිබඳ අත්දැකීම් තියෙන කෙනෙක්. මිනිහා වරක් ඇන්ටාක්ටිකාවටත් තනියම මුහුදු ගමනක් ගියා. මට ගිහින් ඔහු මුණ ගැහෙන්න කියා රොන් කිව්වා.”

එ් සමඟම ඩිලන් පැනමාවේ අමදෝර් ප්‍රදේශයේ වෙසෙන ලාස්ලෝ සොයා ගියේය. ලෝක ප්‍රසිද්ධ පැනමා ඇළේ දියකඩනයෙහි දකුණු කෙළවර පිහිටා ඇති අමදෝර්හි කුඩා වරායක්ද වේ. බෝට්ටු එන්ජින් අලුත්වැඩියා කටයුතුවල නිරත ලාස්ලෝ, ඩිලන්ට හමු වූයේ වරාය අසල තිබෙන කියොස්කෝ නමැති මත්පැන්හලේදීය. එම අවන්හලේදීම ඩිලන්ගේ පහුරු ගමනට මහත් අත්වැලක් වූ ශාක් සහ ලයනල් ද මුණ ගැසිණ.එහිදී මේ තිදෙනාට ඩිලන් සිය කතාව කියද්දී ඔවුහූ පුදුමයෙන් ඒ අසා සිටියහ.

“ඔවුනුත් බෝට්ටුකාරයෝ ලෙසයි පැනමාවේ හිටියේ. ඒ වුණාට තුන්දෙනාම ඇවිල්ලා ජාත්‍යන්තර පොලීසියෙන් පැන යන අය. ලයනල්ට තිබුණෙ බැංකු මංකොල්ල ප්‍රශ්නයක්. ලාස්ලෝ ලක්ෂ ගාණක පරිගණක වගයක් උස්සලා කරදර රැසකට පැටළිලා හිටිය කෙනෙක්. ශාක් සුඛෝපභෝගී රුවල් නැව් හොරකම් කරලා තව මනුස්සයෙකුට පාර්සල් බෝම්බයක් යවලා මහ ජරමර ගොඩක් වෙච්ච කෙනෙක්. කොටින්ම කිව්වොත් නියම මගොඩියෝ තුන්දෙනෙක්. වැඩේ කියන්නෙ, ඇත්ත නම්වලිනුත් නෙවෙයි තිදෙනා පෙනී සිටියෙත්. හැබැයි නියම දක්ෂයෝ. මට පුළුවන් වුණා කොහොමහරි ඔවුන්ගෙන් මගේ ගමනට උදවු ගන්න. සමහරවිට ඔවුන් හමු නොවුණානම් මට පහුර හදාගන්න බැරි වෙන්නත් තිබුණා.”

ලාස්ලෝගේ තවත් යහළු මිත්‍රයන් කීප දෙනකුගෙන්ම ඩිලන්ට ලැබුණේ නොමඳ සහායකි. මගෝඩි චරිතවලින් ගහණ පැනමාව යනු මධ්‍යම ඇමෙරිකාවේ දියුණු රාජ්‍යයක් ලෙස දිස් වූවත් ලොව තිබෙන දූෂිතම රාජ්‍යයක් ලෙස සැලැකේ. ලොව සිටින ඕනෑම අපරාධකාරයකුට දූෂකයකුට මෙන්ම හොරෙකුට පැනමාව යනු නියම රැකවරණයක් සහිත රාජ්‍යයකි. ඒ එම රටේ තිබෙන නීතිමය ලිහිල සේම පරිපාලන ගැටලු නිසායි.

“පැනමාවේ නගරවල කොතරම් ආයුධ භාවිත කරනවාද කිව්වොත් මං ඉන්න කාලේ රජය විසින් වැඩසටහනක් දියත් කළා. ඒකේ නම තමයි “ආයුධ හා උණ්ඩ වෙනුවට බෙහෙත් හා ආහාර” එයින් මිනිස්සුන්ට දුන්න පණිවිඩය ළඟ තියෙන ආයුධ හා උණ්ඩ රජයට බාර දෙන්න. රජයෙන් ආහාර හා බෙහෙත් ලබා දෙනවා කියා. ඒ රටේ මිනිස්සු පොඩි දේටත් කරන්නෙ වෙඩි තියාගන්න එක. මට හුඟාක් වෙලාවට මගේ සගයෝ තුන්දෙනා කිව්වේ පරෙස්සමෙන් ඇවිදින්න කියලයි. කොයි වෙලාවෙ ප්‍රශ්නයක් වෙනවද දන්නෙ නෑ.”

පැනමාවේ අමදෝර් පළාතේ මසක පමණ කාලයක් ගතකොට ලාස්ලෝ, ශාක් සහ ලයනල්ගේ උදවු ඇතිව බෲස් පහුරක් බවට පත්කිරීමට ඩිලන් අපමණ වෙහෙසක් ගත්තේය.

“කීප විදිහකටම මම කල්පනා කළා පහුර හදන විදිහ ගැන. පස්සෙ හිතුවා හිස් තෙල් බැරල් 10ක් අරන් දෙපැත්තට පහ ගානේ තියලා පාස්සලා ඒක උඩ උණ බම්බු අසුරලා පහුර හදන්න. අවර පෙත්තකුත් හදාගත්තා. බෲස් පහුර උඩ තිබ්බා. බෲස්ගේ එන්ජිමෙන් පහුරට පණ දුන්නා.” මේ සියලු කාර්යයන්ට ලාස්ලෝගේ මිතුරෙක් වූ පැනමාවේ එල්චෝරියෝවල වෙසෙන අන්තෝනියෝගේ යකඩ වැඩපොළෙන් ලැබුණේ මහත් සහයෝගයකි. කෙසේ වුව පහුර සෑදීම නම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. පහුර දියත් කිරීමට බලපාන නීති රෙගුලාසි කෙරෙහිද ඩිලන් අවධානය යොමු කළත් එම නීති-රීති විසඳා ගැනීමටනම් මඟක් පෑදුණේ නැත. ඊට නීතියෙන් අවසරයක් නොලැබුණේ පහුර තාවකාලික හා අවදානම් සහිත නිසාය.

“පස්සෙ මං රටින් පිටවීමේ මුද්‍රාව තබා ගැනීමටවත් උත්සාහ කළා. ඒකටත් ඩොලර් 1500ක් ඉල්ලුවා අතරමැදියෙක්. මට කොයින්ද එච්චර සල්ලි. මං ඒකත් අතෑරලා දැම්මා. පස්සෙ වෙන දෙයක් වෙයන් කියලා හොරෙන්ම යන්න තීන්දු කළා.”

ඉන් පසුව ඩිලන්ට ප්‍රශ්නයක් වූයේ දාරියන් කපොල්ල තරණය කරනුයේ කිනම් දිශාවෙන් ද යන්නයි.

“මුලින් හිතුවේ පැනමාවේ විශාලම නගරයක් වන කොලෝන්වල සිට කැරිබියන් පැත්තෙන් අත්ලාන්තික් සාගරය දෙසින් යන්න. ඒ පැත්තෙන් දුර අඩුයි. කිලෝමීටර් 400ක් විතර. ඒ වුණාට ශාක්ලා, ලාස්ලෝලා කැමැති වුණේ නෑ එහෙන් යනවට. මොකද ඒ පැත්තෙ මුහුද රළු වැඩි නිසා. පස්සෙ මං තීන්දු කළා පැසිපික් සාගරය තරණය කරන්න. ගූගල් මැප් එකේ අමදෝර් සිට කොළොම්බිය‍ාවේ ආසන්නතම මිනිස් වාසයට පෙන්නුව රේඛීය දුර කිලෝමීටර් 750ක් පමණ. දුර වුණාට මාත් හිතුවා ඒ පැත්තෙන් යනවා කියලා.”

එහි සරල රේඛීය දුර එසේ පෙන්වූවත් ගමන් කිරීමට නියමිත ප්‍රදේශය ගැන, පැමිණෙන බාධක ගැන නම් ඩිලන්ට කිසිදු හෝඩුවාවක් නැත. එසේම වැය වන ඉන්ධන ගැන ද තිබුණේ ලොකුම ප්‍රහේලිකාවකි.

“මට ඔය ගමනේදී ලොකුම ප්‍රශ්නය වෙලා තිබුණේ කොයිතරම් තෙල් ප්‍රමාණයක් යයිද කියලා. මොකද ඇත්තෙන්ම මං පහුරෙන් ගමන් කරන්න සූදානම් වූ ප්‍රදේශය ගැන කිසිම තොරතුරක් තිබුණේ නෑ. කොයිතරම් කැලෑ ප්‍රදේශයක්, ගම් තියෙනවද, සුළං, දියවැල් ආදි කිසිම තොරතුරක් නැතිවයි මං ගමන පිටත්වීමට සැරැසුණේ. මං මෙතෙන්දි ගමන යෑමට සැරසුණේ තනිකරම විශ්වාසය උඩ පමණයි. මඟ සොයා ගැනීමට ජීපීඑස් උපකරණය ගැන විශ්වාසය තැබුවා. ඇත්තටම ඒක මට ලොකු උපකාරයක් වුණා.”

ඩිලන්ගේ පහුරේ තෙල් ගැටලුවට විසඳුමක් සොයා දීමට ඉදිරිපත් වූයේ ශාක්ය. ඒ ශාක්ට හුරු-පුරුදු ක්‍රියාදාමයට අවතීර්ණ වෙමිනි.

“කොපමණ තෙල් ප්‍රමාණයක් පිච්චෙයිද කියලා අපි කිසිම කෙනෙකුට නිච්චියක් තිබුණේ නෑ. ඒ නිසා ශාක් කිව්වා රුවලක් හදමු කියලා. ඊට පස්සෙ එයාම කිව්වා, ‘ඉන්නකෝ මං රුවලක් හදලා දෙන්නම්’ කියලා. ඒක හදපු විදිහ තමයි අපූරු කතාව. මං කිව්වා, ‘මගේ ගාව සල්ලිනම් නෑ රුවලකට ගෙවන්න’. මිනිහා ඒකට කිව්ව කතාව තමයි, ‘නෑ නෑ ඒ ගැන ඔයා ළතැවෙන්න එපා. මං ඒක බලාගන්නම්. ඒක මගෙන් කියලා හිතාගන්නකෝ’. ඔන්න දවසක් එයා එයාගේ ඩිංගි බෝට්ටුවට නැඟලා කොහේදෝ ගිහින් ආවා. ඒ එනකොට මිනිහා ආවේ රුවලකුත් අරන්. මහ රෑ. මම දැනගත්තා අනිවාර්යයෙන්ම පැනමාවේ අවට කොහේහරි රුවල් බෝට්ටුවක් තියෙනවා රුවලක් නැතුව කියලා. ශාක් නෙවෙයි, තුන්දෙනාගෙම තරම එහෙමයි. එවැනි මහ තග්කාරයන්ගෙන් තමයි මට උදවු ලැබුණේ. ඒකයි මං හැම තිස්සෙම කියන්නෙ මේ ගමන මුල සිටම මගේ වාසනාව උඩ ගියේ.”

එහෙත් එවැනි අනුන්ගෙන් කඩා-වඩාගත්තු දෙයකින් යැපීමට ඩිලන්ගේ සිත කීවේ නැත.

“මං බය වුණා ඒ රුවල දාගෙන පහුරෙ යන්න. මොකද මං හොරෙක්, වංචාකාරයෙක් නෙමෙයිනේ. කොහොමහරි ඒ රුවල ඉරුණා. පස්සෙ ශාක්, ඔහු ළඟ තිබුණ වෙනත් රුවලක් දුන්නා. ඒ රුවල නිසා තමයි මං කොපමණ තෙල් ප්‍රමාණයක් මේ ගමනට වැයවෙනවාද කියලා වැඩි තැකීමක් කරන්නෙ නැතිව ගියේ. මොකද තෙල් නැතිවුණොත් රුවල දාගෙන යන්න පුළුවන්නේ.”

පහුරේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඩිලන් රැගෙන යන අඩුම-කුඩුම කෙරෙහිද අවධානය යොමු කළේය. “ආහාරපානවලට වතුර ලීටර් 150ක් විතර ගත්තා. කෑම කිලෝ 20ක් විතර ඔය හාල්, නූඩ්ල්ස්, ටින් කෑම වගේ දේවල්. පෙට්‍රල් ලීටර් 150කුත් අරන් ගියා.”

පහුරට නමක් යෙදීමටද ඩිලන් අමතක නොකළේය. ඒ ‘බ්‍රිජට්ගේ දිරිය’ යනුවෙනි. හැමෝටම ප්‍රහේලිකාවක් වූයේ කවුද මේ බ්‍රිජට් යන්නයි.

“බ්‍රිජට් කියන්නෙ මගෙ අම්මගෙ නම. ඇය තමයි මට මේ ලෝකයේ හැම දේකටම විශ්වාසය කියන දේ තහවුරු කළේ. මොකද ඇය මාවයි, මගේ සහෝදරයෝ තිදෙනායි උස්-මහත් කරන්න තාත්තත් නැතිව සෑම දෙයක්ම කළේ විශ්වාසය මතයි. ඒ විශ්වාසය උඩ තමයි මමත් මේ ගමන යන්න සැලැසුම් කළේ. ඒක නිසයි මම බ්‍රිජට්ගේ දිරිය කියල නම දැම්මේ.”

ඒ සියලු අත්‍යවශ්‍ය දෑ ඉටුකර ගැනීමෙන් පසුව ලෝක සංචාරයේදී ඩිලන් අත්විඳින්නට වූ ත්‍රාසජනකම අත්දැකීමට මුල පුරන්නට වූයේය.

“පහුරු ගමන පිටත්වෙන්න පැය ගාණක් තියෙද්දී ලයනල් කිව්වෙම මේ ගමන යන්න එපා කියලමයි. ඔහු කොච්චර උදවු කළත් ගමන යන්න ළංවෙද්දී විරුද්ධ වුණා. හැබැයි ඒ විරුද්ධ වුණේ මට තියෙන ආදරයට. ලයනල් කිව්වෙ මොකක්ද දන්නවද, ‘ඩිලන් උඹ මැරෙන්න තවම තරුණ වැඩියි’ කියලා. මං ඇහැව්වා ‘ඇයි මාව බය කරන්නෙ’ කියලා. ‘මම දන්න නිසා. කාලගුණය නරක වෙලාවට මුහුද කොයි වගේද කියලා ඩිලන් උඹ දන්නෙ නෑ. ඒ වගේම මොන වගේ මිනිස්සුද ඔය පළාත්වල ඉන්නෙ කියලා උඹ දන්නවද? මේ හැම පළාතකම ඉන්නෙ ජාවාරම්කාරයෝ. උඹට ගැලවෙන්න හම්බ වෙන එකක් නෑ’ කිය කියා මිනිහා මාව නවත්වන්නමයි හැදුවේ. ඒත් හැබැයි ලාස්ලෝනම් කිව්වෙ යන්න කියලමයි. පස්සෙ ලාස්ලෝ එයා තනිවම ඇන්ටාක්ටිකාවට ගිය ගමන ගැනත් කිව්වා.”

ඩිලන් ගමන පිටත්වීමට ආසන්න මොහොතේදී රැස්ව සිටි අමදෝර් වැසියන්ගෙන් කෙනෙක් වූ ඊශ්‍රායල් ජාතිකයෙකු පැවැසූවේ නුරුස්නා කතාවකි.

“යාළුවා... ඒයි ඩිලන්. මමත් පළපුරුදු නාවිකයෙක්. ඔහේට යමක් කියන්න තියෙනවා. මෙතන නිකන් උත්සව සිරියක් ගෙන හැමෝම ඔයා ගැන ආඩම්බරයෙන් කතා කරනවා තමයි. මොකක්ද ඒකෙ තේරුම. ඇත්තම කිව්වොත් මේකයි කතාව. මට නම් ඩිලන් ඔයා පණපිටින් ගොඩබිමකට යයි කියලා කිසිම විශ්වාසයක් නෑ. ඔයා ඔය පහුරේ නැඟලා කරන්න හදන්නෙ සියදිවි හානි කරගැනීමක්.” එලෙස මේ පහුරු ගමනට දැඩි විරෝධතාවක් පෑ තවත් අයෙක් සැතැපුම් දහස් ගාණක් ඈතක විසූ බව ඩිලන් කීවේය. ඒ අන් කවරකුවත් නොව ඩිලන්ගේ බිරිය මාටිනාය.

බොහෝ දෙනාගේ අනතුරු ඇඟවීම් මැද ජීවිතයත්-මරණයත් අතර ගමනක යෙදෙන්නට ඩිලන් 2013 මාර්තු 15 වැනිදා මැදියම් රැයේදී කොළොම්බියාවේ දාරියන් වනාන්තරය හරහා මිනිස් වාසයක් සොයා යාත්‍රා කිරීම ආරම්භ කළේය. 

Comments