කුරුල්ලන් තුන් දහසකට දිනපතා කන්න දෙන දුප්පතා | Page 2 | සිළුමිණ

කුරුල්ලන් තුන් දහසකට දිනපතා කන්න දෙන දුප්පතා

ඔහු දුප්පතකු වුවත් හිත හොඳ මිනිසෙකි. සතා සිවුපාවුන්ට හා පරිසරයට ආදරය කරන මේ ඉන්දියානුවා දිනකට සිය දිළිඳු ආදායමෙන් පක්ෂීන් දහස් ගණනකගේ කුස පුරවන්නේය. ගුජරාටයේ ජුනාගාත් දිස්ත්‍රික්කයේ පදිංචි ඔහු හර්ෂුක් බායි ය. සෑම දිනකම ගිරව්, ගේ කුරුල්ලන් සහ වී කුරුල්ලන් දෙදහස් පන්සීයක් තුන්දාහක් අතර සංඛ්‍යාවක් ඔහුගේ ගෙවත්තට ඉගිළ එන්නේ හර්ෂුක් බායි වෙතින් පිදෙන අහරින් කුසගිනි නිවා ගැනීමටය. වසර දාහතක සිට ඔහු මේ සද්කාර්ය කරනුයේ කිසිම පැකිළීමකින් තොරවය.

හර්ෂුක් බායි කුරුල්ලන්ට ආහාර දීම ආරම්භ කළේ වසර දෙදාහේදී හදිසි අනතුරකින් ඔහු එක්තැන් වීමත් සමගය. කිසි තැනක යා ගත නොහැකිව ගෙට කොටුවු ඔහු දැකීමට දිනක් ගම්බද සිට මිතුරකු පැමිණියේ ගොවිපොළෙන් ලබාගත් ධාන්‍ය මල්ලක් ද අතැතිවය. හර්ෂුක් බායි ඉන් ධාන්‍ය කරලක් සිය නිවෙසේ උඩු මහලේ සඳළු තලයේ එල්ලුවේ නිකමටය. ධාන්‍ය කරල කෑමට වැඩි වේලාවක් නොගොස් ගිරවෙක් පැමිණියේය. ඉන්පසු එළැඹි සෑම දිනකම පාහේ ඔහු සතුටින් පිනා ගියේ දිනෙන් දින ඔහුගේ සදළුතලයට එන ගිරවුන් සංඛ්‍යාව වැඩි වනු දැකීමෙනි. එලෙස මාසයක් යද්දී ඔහුගේ සඳළුතලයට එන ගිරව් සංඛ්‍යාව 100ක් 150ක් අතර වූහ. වැඩිකල් නොගොසින්ම ඒ අතරට ගේ කුරුල්ලෝ ද එක් වූහ.

මෙලෙස කුරුල්ලන් සංඛ්‍යාව වැඩිවත්ම තම නිවෙසේ සඳළුතලයේ උන්ට ආහාර දීමට තරම් ඉඩකඩ නොමැති බව හර්ෂුක් බායිට වැටහිණි. එතැනදී ඔහු කළේ පරණ පයිප්ප කීපයක් සොයා ගෙන ඒවායේ සිදුරු විද පක්ෂීන්ට වැසීමට රාක්ක කීපයක් තැනීමය. ඔහු ධාන්‍ය කරල් ඒ රාක්කවල රැඳ වූ අතර කුරුල්ලෝ පහසුවෙන් ඒ මත වසා ධාන්‍ය ආහාරයට ගත්හ. මෙලෙස කාලයක් ගත වෙද්දී හර්ෂුක් බායි හා ඔහුගේ පවුලේ උදවිය එතැනට තව තවත් ධාන්‍ය රඳවන රාක්ක එක් කළහ. වසර දාහතක් අවසානයේ ඔහුගේ ගෙවත්තේ ධාන්‍ය කරල් 2700ක් ඇල්ලීමට හැකි වන සේ රාක්ක සවි කෙරිණි. හර්ෂුක් බායිගේ පවුලේ උදවිය දිනකට දෙවරක් මේ රාක්කවල ධාන්‍ය කරල් එල්ලති. දවස පුරාම එහි වසා සිටින කුරුල්ලෝ ශබ්ද නඟා හඬ නංවමින් ධාන්‍ය බුදින අන්දම ඔවුන් බලා සිටින්නේ සතුටෙනි. හර්ෂුක් බායි ජීවත් වන්නේ පවුලේ සුළු ව්‍යාපාරයෙන් ලබන ආදායමෙනි. මෙලෙස කුරුල්ලන්ට ආහාර දීම සඳහා වසරකට ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කරයි. ඔහු පමණක් නොව දැන් ඔහුගේ දරු මුනුබුරන් පවා ගෙවත්තට පැමිණෙන කුරුල්ලන්ට සලකනුයේ පවුලේ උදවියට මෙන්ය.

‘‘අපේ පවුලේ හැමෝගෙම එකම සතුට හා විනෝදාංශය මෙයයි. අපි දිනපතා හොඳ වටිනා ඇඳුම් අඳින්න කැමතියි. එලෙස අඳින ඇඳුම් අපවිත්‍රවූවිට අපි ඒවා සෝදා අදිනවා. මෙයත් එලෙසමයි. අපි කුරුල්ලන්ට ආදරෙයි. උන් අපේ ගෙමිදුලේ වහලා අපවිත්‍ර කළ පසු අපි ඒවා ද පිරිසුදු කරනවා. ඒ දේ අපට දැන් හුරුවෙලා යැයි” හර්ෂුක් බායිගේ මුනුබුරා ක්‍රිපාල් පවසන්නේය.

කාලයක් යනතුරු නගරය මැද්දේ ජීවත් වූ ඒ පවුල ගෙමිදුලට එන කුරුල්ලන් වැඩිවත්ම නගරයෙන් එපිට ඉඩකඩ ඇති ඉඩමක නිවෙසක් තනා පදිංචි විය. අක්කර හතරක් පමණ වූ ඒ ඉඩමේ ඔවුන්ගේ නිවෙස වටා කුරුල්ලන්ගේ පහසුව සඳහා රාක්ක හා දිය බොන ස්ථාන සවිකර ඇත්තේය.

‘‘මගේ පරණ ගේ අවට පදිංචි අයට කුරුල්ලන්ගේ ශබ්දයෙන් කරදර වුණා. උන්ගේ ආහාරයට දුන් ධාන්‍ය කරල්වලින් අවට අපවිත්‍ර වුණා. ඒත් ඔවුන් කවදාවත් ඒ ගැන පැමිණිලි කළේ නෑ. එහෙත් මේ කුරුල්ලන්ට ඉඩකඩ අවශ්‍ය නිසා මා වෙනත් තැනකට ආවා‘‘ යැයි හර්ෂුක් බායි පවසයි.

දැන් ඔහුගේ නිවෙසට ගිරවුන්ට අමතරව ගේ කුරුල්ලන් එන්නේ රංචු පිටිනි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ගේ කුරුල්ලන් සහමුලින් වදවී යෑමේ තර්ජනයට ලක්ව සිටියදී ගේ කුරුල්ලෝ ඔහුගේ නිවෙසට පැමිණ බිත්තර දමා රැක පැටවුන් ද රැගෙන ඉගිළ යති. මේ නිවෙස කුරුල්ලන්ට එතරම්ම සුරක්ෂිතය. එපමණක් නොව දැන් හර්ෂුක් බායි සිය ගෙවත්තේගේ කුරුල්ලන්ට කැදලි තැනීම පහසුවන සේ වැටකොළු හා පතෝල වැල් සිටුවා ඇත්තේය. ගේ කුරුල්ලෝ එම වැල් ගොන්නේ හැසිරීමට ප්‍රිය කරති. හර්ෂුක් බායි සිය අසල් වැසියන්ට ද එම බීජ ලබා දී එළවළු වගාවට උනන්දු කරවයි.

කුරුල්ලන්ට බඩ කට පුරා ආහාර දෙන හර්ෂුක් බායි පරිසර හිතකාමියෙක් මෙන්ම ගොවියෙක් ද වෙයි. අත්හදා බැලීම් කරමින් නව කෘෂි නිපැයුම් කිරීමටද ඔහු ප්‍රිය කරයි. මෑතකදී ඔහු බිම සිටුවා අල බහින අල වෙනුවට පොළොව මතුපිට වැල්වල හැදෙන අල විශේෂයක් හඳුන්වා දුන්නේ ඔහුගේ නවතම කෘෂි නිෂ්පාදනයක් ලෙසිනි. පෝෂණ ගුණයෙන් අනූන එම අල වර්ගය නිපදවීම වෙනුවෙන් ගුජරාට ආණ්ඩුව ඔහුට ක්‍රිෂි රත්නා සම්මානය පුද කළේය.

“ මේ කුරුල්ලන්ගේ පැමිණීම මට ආශිර්වාදයක්. එසේම කුරුල්ලන් හා සතුන් රැකබලා ගැනීම අපේ යුතුකමක්” යැයි පවසන හර්ෂුක් බායි වසර මුලදී මේ සද්කාර්යය වෙනුවෙන් ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි අතින් ශ්‍රිස්ති සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 

Comments