මගේ ඊළඟ කුරුමානම යක්කුරේ හොර අලියා | Page 2 | සිළුමිණ

මගේ ඊළඟ කුරුමානම යක්කුරේ හොර අලියා

මාව ඉක්මනට අරන් යන්න. මට බොහෝම අමාරුයි. අලියා මාව ගහට තියලා මිරිකුවා.” වේදනාවෙන් කෙඳිරි ගාමින් ඔහු පැවැසීය. ගැමියෝ වහාම ලී මැස්සක් සාදා විගින් ඒ මත හොවා ඔසවාගෙන ගියහ. වතුර ටිකක් ඉල්ලීම හැර වෙන කිසිවක් ඔහු කතා කළේ නැත. නමුත් වතුර දීම නුසුදුසු යැයි සිතූ ගැමියෝ එය ප්‍රතික්ෂේප කළහ.

ඉංග්‍රීසි පාලන සමයේදී සුදු ජාතික රජයේ නිලධාරීන් බොහෝ දෙනෙකු ලංකාවේ වනාන්තරවලටත් වනගත ගම්මානවල ජනතාවටත් දැක්වූයේ අසීමිත ආදරයක් හා දයාවකි. ස්වභාවික චමත්කාරයෙන් සපිරි අපේ වනාන්තර හා වනසතුන් ඔවුන්ගේ විනෝදකාමී ජීවිතය රසවත් කළ සැබෑ තෝතැන්නක් වීම ඊට හේතුවකි.

මේ අතරින් උතුරුමැද පළාතේ සුළු මංමාවත් පිළිබඳ අධිකාරිවරයාව සිටි චේස් විගින් කාගේත් හිත් දිනාගත් රජයේ නිලධාරියෙකි. දක්ෂ ක්‍රීඩකයෙක් මෙන්ම දඩයක්කරුවෙක් ද වූ ඔහු ජීවිතයේ අවසානය දක්වාම තමන්කඩුව ගැමියන්ගේ සැබෑ හිත මිතුරෙක්ව සිටියේය. මේ නිසාම ඔහු ගැන ගෙතුණු නොයෙක් ප්‍රබන්ධ හා කටකතා ද එමටය. චේස් විගින් දඩයම් ක්‍රීඩකයෙකි. ඔහු රජරට ප්‍රදේශය බාර නේවාසික රාජ්‍ය නිලධාරියා ද විය. ඒ නිසාම ගැමියන්ට හිරිහැර කළ වල් අලි පිළිබඳව ගැමියන් ප්‍රථමයෙන් පැමිණිලි කළේ ඔහුටය. 1916 මාර්තු මාසය වන විට දරුණු වල් අලි 29 දෙනකු මරා දැමීමට විගින්ගේ 303 රයිපලය සමත් වී තිබිණ. විගින්ගේ අලි දඩයම් පිළිබඳ තොරතුරු රැසක් හැරී ස්ටෝරි හා දොස්තර ස්පිට්ල් විසින් තම ග්‍රන්ථවල සඳහන් කර ඇත. විගින්ගේ මරණය පිළිබඳ සැබෑ විස්තරය ද එමඟින් අපට දැනගැනීමට අවස්ථාවක් ලැබී තිබීම වැදගත් වෙයි.

හැරී ස්ටෝරිගේ “අ සිලෝන් ස්පෝට්ස්මන් ඩයරි” නම් පොතේ මෙලෙස සඳහන් වෙයි.

“1918 අගෝස්තු මාසයේදී මම තමන්කඩුව ප්‍රදේශයේ පිහිටි එගොඩපත්තුව නම් ප්‍රසිද්ධ වැදි ගම්මානයට සංචාරයක් සඳහා ගියෙමි. එහිදී මට කන්වතී නම් වයස්ගත තොටියකු මුණ ගැසිණ. ඔහු සමඟ කථාබහ කළ මම විගින්ගේ මරණය ගැන ඔහුගෙන් කරුණු විමසුවෙමි.

මිනීමරු වල් අලියකු විසින් දාස්තොට දී කුඩා පිරිමි ළමයකු මරා දමා තිබුණේය. මේ අවස්ථාවේදී පොලොන්නරුවේ සිටි විගින් ඒ ගැන සොයා බැලීමට ගියේය. අලියා යක්කුරේ නම් ස්ථානයේ සිටින බවට ආරංචියක් ලැබිණ. ගම්මුන් කීප දෙනෙකු ද කැටුව යක්කුරේ බලා ගිය ඔහුට වනලැහැබක සිටි දරුණු අලියා මුණ ගැසිණ. පළමු වෙඩි පහරින් ම අලියා බිම හෙළීමට විගින් සමත් වූ නමුත් සැණෙකින් නැගිට සිටි අලියා වනය දෙසට පලා ගියේය. ඒ පසුපස එළවා ගිය විගින් තම රිපීටරයේ වෙඩි උණ්ඩා අටක් ම අලියා වෙතට එල්ල කළේය. වේදනාවෙන් හා කෝපයෙන් වියරු වැටී සිටි අලියා සැණෙකින් ආපසු හැරී විගින් වෙත හඹා ආවේය. තවදුරටත් අලියා නවත්වාලීමට තම තුවක්කුවේ උණ්ඩ අසමත් බව වටහාගත් විගින් ඒ අසල තිබුණු කුඩා ගසකට මුවා විය. එය නොමහත් කඳක් සහිත ගසක් විය. ගස වෙත කඩා වැදුණු අලියා ගසේ කඳත් විගින්ගේ සිරුරත් එක විට හොඬින් ග්‍රහණය කර ගත්තේය. ඒ සමඟම දරුණු පා පහරක් විගින් වෙත එල්ල කළේය. අලියා වනයට වැදී නොපෙනී ගියේය. දරුණු තුවාල සහිතව ගස මුල වැටී සිටි විගින් ලී මැස්සක බාවා පොලොන්නරුවට ඔසවා ගෙන යද්දී නගරයට ළඟාවීමට ප්‍රථම විගින් අවසන් හුස්ම හෙළීය.

විගින් මරුමුවට පත්වූයේ ඔහු විසින් මරා දමන ලද තිස්තුන් වන අලියා අතින් බව කියැවෙයි. ලී මැස්සක හොවා විගින් රැගෙන මහවැලි ගඟ හරහා එන පිරිස දුටු දාස්තොට ස්ත්‍රීහු විලාප දෙන්නට පටන් ගත්හ. ඒ තරමට ම විගින් රජරට ගැමියන්ගේ හිතවත් මිත්‍රයෙකුව සිටියේය.

ආර්. එල්. ස්පිට්ල්ගේ “වයිල්ඩ් සිලෝන්” නම් ග්‍රන්ථයට අනුව යක්කුරේ වීරකථාවලින් පිරුණු ගම්මානයකි. මේ බොහෝමයක් කථා “වීර විගින්” වටා ගෙතී ඇත.

නිසංසල තුරු ලතාවෙන් වැසී ගත් පොලොන්නරු වැව් බැම්ම මත පිහිටි වන නිලධාරින්ගේ සංචාරක බංගලාවකි. එක් පියකරු සැඳෑවක හතළිස් පස් වන වියේ පමණ පසුවන කෙසඟ සිරුරක් ඇති සුදු ජාතිකයෙක් අතින් ගත් රයිෆලයක් ද කරේ එල්ලාගත් ගමන් මල්ලක් ද රැගෙන සිනහාමුසු මුහුණින් මෙහි පැමිණියේය. ගමන් විඩාවෙන් වෙහෙසට පත්වූ බවක් පෙන්නුම් කළත් දීප්තිමත් දෙනෙත මේ අමුත්තාගේ නිර්භීත ගතිය මනාව පිළිබිඹු කළේය.

බංගලාව අබියස එක් ගස් කඳක් මත කාසියක් රඳවා තැබූ අමුත්තා යාර පනහක් පමණ පසුපසට පියවර මැන්නේය. ඔහු ඉන්පසු කළේ තම රයිෆලය උරහිස් මට්ටමට ගෙන නිවැරැදිව ඉලක්කය ගැනීමයි. ප්‍රදේශයම කම්පා කරවමින් බිහිසුණු වෙඩි හඬක් නිකුත් විය. කාසිය හරි මැදින් සිදුරු කළ වෙඩි උණ්ඩය ගස් කඳ තුළට කා වැදී ඇත.

සුදු දඩයක්කරුවාගේ මේ ක්‍රීඩාව කාගේත් නෙත් සිත් ඇද ගැනීමට සමත් විය.

“යමක් කිරීමට පළමුව ඔබේ හැකියාව උරගා බලන්න” ර‍යිෆලය උරහිස මත රඳවාගෙන බංගලාවේ මිදුලේ සක්මන් කරමින් එසේ පැවසූ මේ ආගන්තුකයා, “මගේ ඊළඟ ඉලක්කය යක්කුරේ හොර අලියා. එය මට සහතිකයි. ඔව් මා හෙට උදේ ඌ මුණගැසෙන්නම්” යනුවෙන් දැඩි ස්වරයකින් පවසා තම අලුත් රයිෆලය බංගලා භාරකරුට පෙන්වා “ඔබ මීට පෙර මෙවැන්නක් දැක නැත්දැ”යි ඇසීය.

රයිෆලය අත ගා බැලූ බංගලා භාරකරු, “මීට වඩා බර අඩු තුවක්කුවක් වුණානම් වඩා හොඳයි. යක්කුරේ හොර අලියා ඊයේත් ළමයෙක් පොළොවේ ගහලා චප්ප කරලා මරල දැම්මා. ගම්මු ගෙවල්වලින් එළියට බහින්නත් දැන් බයේ ඉන්නේ” යැයි පැවැසීය.

“මේ තුවක්කුව හොඳයි. අලි දඩයමේදී සැහැල්ලු තුවක්කු පාවිච්චි කරන්න එපා යැයි මට නොයෙක් වර උපදෙස් ලැබී තිබෙනවා. නමුත් මෙතෙක් මට වැරැදිලා නැහැ. මම නූලෙන් බේරුණු අවස්ථාත් තියෙනවා. කෙසේ නමුත් මා කරන්න යන දේ යක්කුරේ ගැමියන් අගේ කරයිද කියලා මට සැකයි.” සුදු දඩයක්කරු පැවැසීය.

“කිසිම සැකයක් නැහැ. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම ගැලවුම්කරු ලෙස ඔබ පිළිගනීවි. ඔබ කළ යුත්තේ යක්කුරේ හොර අලියාගෙන් ඔවුන් බේරා ගැනීම පමණයි.” පිළිතුරු දුන්නේය.

“එය දැනගැනීමට ලැබීම ගැන හරිම සතුටුයි. පසුගිය වසර පහළොව පුරාම මගේ රාජකාරි ප්‍රදේශයේ කොතැනක හෝ සිටින හොර අලියෙක් ගැන අසන්නට ලැබුණු විට මම පළමුව කළේ ඌ සොයා යෑමයි.” එසේ පැවසු දඩයක්කරුවා අන් කවුරුන් හෝ නොව ටී. චේස් විගින්ය.

එදින රාත්‍රිය සංචාරක බංගලාවේ ගත කළ විගින් පසු දිනට හිරු උදාවෙත්ම දාස්තොට ගම්මානය බලා පිටත් විය. දාස්තොට ගම්මුලෑදෑනි සහ තවත් කීප දෙනෙක් ද ඔහු සමඟ ගියහ. නමුත් අලියා එහි නොසිටියේය. පසුව මහවැලි යක්කුරේ දක්වා ගමන් කළත් ඉන් ඔබ්බට කිසිම සලකුණක් නොවීය. මේ වන විට මධ්‍යහ්නය ද පසු වී තිබිණ. විගින් තම දිවා ආහාරය ගැනීමට සූදානම් විය. ඒ සමඟම ගැමියෙක් පැමිණ තමාට අලියා දකින්නට ලැබුණු බව දන්වා සිටියේය. අලියා හමුවන තුරු එහිම නතර වී සිටින්නට අදහස් කළ විගින් කෑම පාර්සලයෙන් අඩක් කා ඉතිරිය රාත්‍රී ආහාරය සඳහා ඔතා තබා පිරිසක් සමඟ වහාම අලියා සිටි ස්ථානයට ගියේය. ආරංචිය නිවැරැදිය. හොර අලියා නිසොල්මන්ව එහි සිටියේය. විගින් හොරෙන්ම අලියා වෙතට ළඟා විය. දැන් දඩයක්කරුත් දඩයමත් අතර ඇත්තේ බඹ දෙකක පමණ දුරකි. විගින්ගේ රයිෆලය ඉහළට එසැවිණ. ඒ සමඟම පිට පිට වෙඩි හතරක් නිකුත් විය.

විගින් බලා සිටියදීම අලියා කැලයට පලා ගියේය. තවත් වෙඩි දෙකක් ඒ දෙසට එල්ල වූ නමුත් ඉන් ඵලක් නොවීය. නැවැත පතුරම් හයක් රිපීටරයට දමාගත් විගින් අමතර තුවක්කුරු ද සමඟ අලියා ගිය අඩිපාර ඔස්සේ කැලයට ඇතුළු විය.

නිවැරැදි මඟ සොයා ගැනීම සඳහා ඔවුන් මඳක් නැවතුණා පමණි. අඩි කීපයක් ඉදිරියෙන් සිටි අලියා ඔවුන් වෙත හඹා ආවේය. වහාම ක්‍රියාත්මක වූ විගින් අඩියක් ඉදිරියට පැන අලියාට වෙඩි තැබුවේය. තම ඉලක්කය ගැන කිසිදු සැකයක් විගින් තුළ නොවීය. නමුත් අලියාගේ ගමන එයින් නොනැවතිණ.

මේ වන විට අලියාත් විගිනුත් අතර දුර ප්‍රමාණය යාර පහකට වැඩි නොවීය. එය තීරණාත්මක මොහොතකි. සැණෙකින් තවත් වෙඩිල්ලක් නිකුත් විය. කෝපයට පත් අලියාගේ ගමන නවතාලීමට එය ද අසමත් වූයෙන් වහාම පසුපසට පැනගත් විගින් කුඩා ප්‍රමාණයේ ගසකට මුවා විය. එහෙත් තම උත්සාහය අත් නොහළ දඩයක්කරු තුවක්කුවේ ඉතිරිව තිබුණු අවසන් වෙඩි උණ්ඩය ද නිකුත් කළේය.

දැන් අලියා උගේ හොඬවැලේ දුර ප්‍රමාණය දක්වා විගින් වෙත ළඟා වී හමාරය. අසරණ වූ විගින් වඩ වඩාත් ගස් කඳේ ආවරණයට මුවා වීමට උත්සාහ ගනී. මේ අවස්ථාවේ මඳක් හෝ පමාවීමට අකැමැති වූ අලියා ගස් කඳත් සමඟ ම විගින් ද හොඬවැලේ ග්‍රහණයට ගෙන තරයේ මිරිකා කීප වරක් ම සොලවා දැම්මේය. නිර්භීත විගින් පණුවෙක් මෙන් ඇඹරී ගොස් හොඬවැලේ ග්‍රහණයෙන් මිදී අලියාගේ ඉදිරි දෙපාවලට හේත්තු විය. ඉන් බියපත් අලියා මරහඬ දී ආපසු හැරී කැලයට දිවීය. එසේ දුවන විට විගින්ගේ එක් පාදයක් අලියාට පෑගී බිඳුණේය.

විගින්ගේ තනියට ගිය අමතර තුවක්කුකරුවා මේ වන විට ආරක්ෂාව පතා දුවගොස් සැඟව සිටියේය. පසුව එම ස්ථානයට පැමිණි ගම්මුන්ට දැකගන්නට ලැබුණේ තුවාල සහිතව බිම වැතිර සිටින විගින්ය. ඔහුගේ ගිලිහුණු පතුරම් පටිය ද පසෙක විය. බිඳී ලේ හලන කකුලේ තුවාලය හැරුණු විට විගින්ට එතරම් අමාරුවක් ඇති බවක් නොපෙනිණි.

“මාව ඉක්මනට අරන් යන්න. මට බොහෝම අමාරුයි. අලියා මාව ගහට තියලා මිරිකුවා.” වේදනාවෙන් කෙඳිරි ගාමින් ඔහු පැවැසීය. ගැමියෝ වහාම ලී මැස්සක් සාදා විගින් ඒ මත හොවා ඔසවාගෙන ගියහ. වතුර ටිකක් ඉල්ලීම හැර වෙන කිසිවක් ඔහු කතා කළේ නැත. නමුත් වතුර දීම නුසුදුසු යැයි සිතූ ගැමියෝ එය ප්‍රතික්ෂේප කළහ. මහවැලි ගඟ තරණය කරන විට ඔහු නැවැතත් වතුර බිඳක් ඉල්ලා සිටියේය. එය ද නොලැබිණ. පොලොන්නරුවට තවත් සැතපුම් තුනක් යා යුතු වුවත් නොනැවතී දිගටම ගමන් කිරීමට ඔවුහු තීරණය කළහ. මේ අතර වතුර ඉල්ලමින් විගින් තව තවත් කෙඳිරි ගාන්නට විය. එම නිසා අකමැත්තෙන් වුවත් වතුර ටිකක් බීමට දෙන ලදී. වතුර පොවා ඉක්මනින් නැවැතත් ගමන් ඇරැඹූහ. නමුත් පොලොන්නරුවට සැතපුමක් පමණ තිබියදී අවාසනාවන්ත ලෙස විගින් ලී මැස්ස මතම අවසන් හුස්ම හෙළීය. සති කීපයකට පසු අලියාගේ මළසිරුර ද වනය තුළ තිබී හමු විය.

ප්‍රසිද්ධ දඩයම්කරුවන්ගේ වංශයට අයත් වූ ද, කෙනෙකුට ලේසියෙන් ඇසුරු කිරීමට නොලැබෙන්නා වූ ද මේ හිතහොඳ සෙල්ලක්කාර සුදු නිලධාරියා එංගලන්තයේ ඉපිද ලංකාවේ හද්දා පිටිසර කැලෑ ගම්වාසීන්ගේ කල්‍යාණ මිත්‍රයෙක්ව ජීවත් වී ඒ දුප්පත් ගැමියන්ගේ කර මතම අවසන් හුස්ම ටික පූජා කළේය. ඔහුගේ සිරුර ඔහු කවදත් ආදරය කළ පොලොන්නරුව භූමියේම මිහිදන් කළේ ඔහුට කළ හැකි උත්තම ගෞරවයක් සේ සලකාය. එවකට අනුරාධපුරයේ මහා දිසාපතිව සිටි එච්. ආර්. ප්‍රීමන් මහතා විසින් විගින්ගේ ඥාතින්ගේ ඉල්ලීම පරිදි සිරුර යළි ගොඩගෙන අනුරාධපුරයට රැගෙන ගොස් ආගමික චාරිත්‍රානුකූලව සාන්ත ඇන්ඩෲ දේවස්ථානය අසල යළිත් මිහිදන් කැරවූ බව කියැවෙයි.

 කැමිලස් වනිගසූරිය 

Comments