විදේ­ශ­ය­කදී ජනතා සම්මා­න­යට පාත්‍ර­වීම විශාල ජය­ග්‍ර­හ­ණ­යක් | Page 446 | සිළුමිණ

විදේ­ශ­ය­කදී ජනතා සම්මා­න­යට පාත්‍ර­වීම විශාල ජය­ග්‍ර­හ­ණ­යක්

ඇය කලා හැකියාවන් රැසක් ඇති යුවතියකි. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඇය අපේ කම රැකගනිමින් කලාවේ විවිධ අංශයන්හි දස්කම් ප්‍රකට කරන්නීය.මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත ඇරැඹූ ප්‍රථම ශ්‍රී ලාංකික නාළිකාව වන ඕස්ට්‍රෙලියාවේ විශ්වවාහිනී නාළිකාවේ නිවේදිකාවක් ලෙස සජීවී වැඩසටහන් මෙහෙය වන්නීය. නමින් චතූ පත්බේරිය වන ඇය රසඳුන සමඟ සමීප කලාකාරිනියකි. ඇය අද තුන්වැනි පිටුවේ තාරකාව ලෙසින් ඔබ හමුවට එන්නීය.

ආයුබෝවන් චතූ. කොහොමද අලුත් තොරතුරු?

ආයුබෝවන්. කලාකටයුතු සමඟ රැකියාව කරගෙන සුපුරුදු ලෙස ඉන්නවා.

දැන් රූපවාහිනී නිවේදිකාවක් කියලා ආරංචියි.

ඔව්. ලංකාවෙන් පිටත ඇරැඹූ ප්‍රථම ශ්‍රී ලාංකේය නාළිකාව වන විශ්වවාහිනී හි සජීවී වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.මට මෙම අවස්ථාව ලැබෙන්නේ එහි සභාපති බන්දු දිසානායක මැතිතුමා නිසා.

ඕස්ට්‍රේලියාවේ කලා කටයුතු සිදුවන ආකාරය ගැන තොරතුරු කිව්වොත්.

මම ජීවත්වන්නේ මෙල්බර්න් නගරයේ.ලංකාවෙන් පිටත විදේශයක විවිධ කලා කටයුතු වැඩි වශයෙන්ම සිදුවෙන නගරය මෙල්බර්න් කියලා කිව්වොත් නිවැරැදියි. සියලු ක්ෂේත්‍රවලට සම්බන්ධ ශ්‍රී ලාංකික කලාකරුවන් මෙහි වාසය කරනවා. ඉන්ද්‍රජිත් මිරිහාන වැනි දක්ෂ සංගීතඥයන්, සමන් කුලරත්න, සිසිර දිසානායක වැනි ගීත රචකයන්, රනිල් මල්ලවාරච්චි වැනි ජනප්‍රිය ගායකයන්, ජයශ්‍රී චන්ද්‍රජිත්, අනුර චන්ද්‍රසිරි, භානුක මනෝරත්න වැනි වේදිකා නාට්‍ය සහ සිනමාවට සම්බන්ධ කලා ශිල්පීන් රැසක්ම මෙහි වාසය කරනවා. මෙවැනි පිරිසක් සමග එක්ව කටයුතු කරන්නට ලැබීමත් භාග්‍යයක්.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමුද?

මගේ ගම පාදුක්ක.පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා ගෞරව උපාධිය ලබාගත්තා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය සමාජ විද්‍යාව (ශාස්ත්‍රපති සහ දර්ශනපති) ලබාගෙන මේ වන විට ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ වෛද්‍ය පුනරීක්ෂණ නිලධාරිනී (Medical Review Officer) ලෙස රැකියාව කරනවා.

ඔබ කලාවට යොමුවන්නේ.

ලංකාවේ සිටියදී භරත නැටුම් හැදෑරුවා. මංගල සේනානායකගේ නාට්‍ය කණ්ඩායමට බැඳිලා වේදිකා නාට්‍ය රඟපෑවා.රෝහණ වීරසිංහයන්ගේ කලාභූමි සංගීත ආශ්‍රමයෙන් සංගීතය හැදෑරුවා. මීට අමතරව ගුවන් විදුලි නාට්‍ය වලට හඬ කැවීම් ශිල්පිනියක ලෙස දායක වුණා.

ඔබේ හැකියාවන් වඩාත් කල එළියට එන්නේ ඕස්ට්‍රේලියාවේදී.

මම ඕස්ට්‍රේලියාවට යන්නේ 2007 වසරේදී.එහිදී මම මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කළා. ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් ලියැවුණු නුවන් සමරපතිගේ U Turn ග්‍රන්ථය 2014 ඔස්ට්‍රේලියාවේ දී එළිදැක්වු අවස්ථාවේදී එහි role model වීමේ අවස්ථාව මට ලැබුණා.ඉන්පසුව ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු සංගීත සංදර්ශන, නාට්‍ය සංවිධාන කටයුතු වැනි විවිධ කලා කටයුතු සඳහා සක්‍රියව දායකවීමට මට අවස්ථා ලැබුණා.

2015, 2016 වසරවල සෙරන්ඩිබ් නිවුස් මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන ඔස්ට්‍රේලියාවේ පැවැති සෙරන්ඩිබ් සම්මාන උළෙලේ Most Inspirational Woman ලෙස ජනතා සම්මානයට පාත්‍රවීම මගේ කලා ජීවිතයේ ලැබූ විශාල ජයග්‍රහණයක්.

ඔබ පිළිකාව පරාජය කළ යුවතියක්.

ඇත්තටම.2012 වසරේදී මම ජීවිතයේ අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන්නා. මට පියයුරු පිළිකාවක් වැළඳිලා තිබුණා. මට ආදරය කළ අය මාව අතහැර ගියා. එහෙත් මම මානසිකව ඇද වැටෙන්නේ නැතිව කෙසේ හෝ එයින් සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා.. දැන් මම මේ අත්දැකීම පිළිකා රෝගීන් සමඟ බෙදා ගන්නවා.පිළිකා රෝගීන් සදහා ධනාත්මක චින්තන වැඩසටහන් පවත්වනවා.දැනට ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පිළිකා රෝගීන් 135 දෙනකු පමණ සමග කටයුතු කරනවා.

අනාගතයේ කලා කටයුතු ගැන කියනවා නම්

ඔස්ට්‍රේලියාවේ රූගත කිරීමට නියමිත ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වීම සඳහා ආරාධනා ලැබී තිබෙනවා. එහි රූගත කිරීම් මේ වසරේ නොවැම්බර් මස දී ආරම්භ කිරීමට නියමිතයි. දැනට විශ්වවාහිනී නාළිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

ලංකාවේ සිනමා හෝ ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණොත්

මම මගේ මවුබිමට ආදරෙයි. ඒ නිසා සතුටින් බාරගන්නවා. කොහොමත් ඉදිරියේදී ඉඩකඩ තිබෙන විධියට ලංකාවේ කලා කටයුතු වල නිරත වෙන්න අදහස් කරනවා. 

 
 

Comments

පිටු